සීත හිම සහ,
සුලං මැදින් නත්තල්
සමය උදා විය. විශ්වවිද්‍යාලයේ අපට නිවාඩු ලැබී තිබූ අතර, නිවාඩුව ලැබී දින දෙකකට පසු නෑසියන් බැලීමට
යන මාගේ මිතුරියන් යන්නට සූදානම් වෙමින් උන්නහ.
"ඇයි ඔයාටත්
බැරි මා එක්ක යන්න එන්න අපේ අයියගේ ගෙදර?" සොනාලි දස වන වතාවටත් මගෙන් එසේ විමසුවේ සිය
ගමන බෑගය සකසන අතරතුරේය.
"අනේ, මේ පාර බෑ සෝනු. ආයෙම
දවසක බලමු. අනික මේ නත්තලට අපේ ගෙදරින් කවුරු හරි මාව බලන්න එන්න බැරි නෑ. ගිය පාර
කතා කරපු වෙලේ අම්මා එහෙම කතාවකුත් කිව්වා. එහෙම වුනොත් මම මෙහේ ඉන්න එපැයි. තරහා
වෙන්න එපා ඉතින්" මම ඇයට කීවෙමි.
"හ්ම්, ඕන එකක්. මම ආයේ එන්නේ
පටන් ගන්න දවසට කලින් දවසේ. ඔන්න තනියෙම ඉන්න වුනොත් මම දන්නෑ" ඈ මට කීවාය.
"ඒක ඉතින්
එවෙලෙට බලන්න බැරියැ. අනික ලතිකත් ඉන්නවනේ" මම කීවේ හිනැහෙමිනි.
"ඇයි ජේඩන්?"
සොනාලි එවර අමුතුම
මුහුනක් මවාගෙන මගෙන් විමසුවාය.
"ඇයි එයා ගැන
මොකක්ද? ඔයා හිතුවද මම
මේ මුලු නිවාඩු කාලෙම එයා එක්ක රවුම් ගහන්න යනවා කියලා. මම හිතන්නේ එයා පුරුදු
විදියට මේ පාරත්, එයාගේ ආච්චි
අම්මගේ ගෙදර යාවි. මට එහෙම තමා කිව්වේ නම්"
"ඒ කොහේද?"
"නිව්යෝර්ක්
වල"
"හ්ම්...එහෙමනම්
සුදෝ ඔයාට මේ සීතල හිම ගොඩේ තනියෙම ඉන්න වේවි" සොනාලි කීවාය.
"බලමුකෝ..."
මම වැඩිය නොසිතා කීවෙමි.
සොනාලි මා දෙස
බලා නොසතුටින් මෙන් අහක බලාගෙන යලි ඇගේ වැඩට යොමු වූවාය.
"සුබාරංචියක්
තියෙනවා කියන්න" ගෙදරින් කතා කල මොහොතක අක්කා මට එසේ කීවාය.
සොනාලි ගමන
යෑමට අවශ්‍ය භාණ්ඩ මොනවාදෝ ගෙන ඒමට එලියට ගොස් උන් අතර, කාමරයේ උන්නේ මා පමණි.
"මොකක්ද?"
"අපි දහ අට මෙ හෙන් එනවා ඔයාව බලන්න.
යන්තම් අම්මලගෙ වීසා approve වුණා" අක්කා එසේ කීවේ මසිත සතුටින්
පුරවාලමිනි.
"ආනේ...ෂෝක්
ෂෝක්. කවුද ඉතිං එන්නේ?"
"අපි සේරම
එනවා..."
"සේරම? ඒත්...එච්චර සල්ලි
කොහෙන්ද?"
"ඔයාට ඒකෙන්
වැඩක් නෑනෙ. මමයි මධුරයි එන්නේ බොස්ටන් වල ඉන්න එයාගේ නැන්දා sponser කරන හන්දා. ඔයා
දන්නවා නේද, අර ළමයි නැති
නැන්දෙක් ඉන්නේ, මධුරගේ
තාත්තගේ පොඩිම නංගි. අන්න එයා" අක්ක කීවාය.
"ෂා නියමයි නේ.
ඔයාලටත් මාර ස්වීප් නේ ඇදෙන්නේ හැබෑට"
"හ්ම්, හ්ම්. අහන්නකෝ,
මධුර හිතාගෙන ඉන්නේ මේ
පාර ආවාම ඔහේ නවතින්න පුලුවන්ද කියලා බලන්න. එයාගේ මාස්ටර්සුත් ඔහේ හන්දා බැරි වෙන
එකක් නෑ මහිතේ. ඒත් අම්මලව දාලා එන්න මට නම් මොකකද වගේ.මධුර කියනවා එන එකේ දෙකම
කරගන්න විදියක් බලමු කියලා. එහෙම වුනොත් අපිත් බොහෝ විට ඔහේ නවතීවි"
"අනේ කොච්චර
ෂෝක්ද අක්කේ...මටත් හොඳයි එතකොට" මම කීවේ සෑබෑම සතුටකිනි."අම්මලා ගැන
නම් දුකයි තමති, ඒත් ඉතිං මේක
ඉවරවෙලා මම ආපහු ගෙදර යන්වනේ. ඒ නිසා ඔය දෙන්න ඒවා ගැන හිතලා, ඔයාලගේ අනාගතේට බාධා
ඇතිකරගන්න එපා"
"හ්ම්...(ඈ
සුසුමක් හෙලුවාය). හරි එහෙනම්
අපි දහ නවය ඔහේ එනවා. එදාට පොඩි හෝටලේක නැවතිලා අනික් දවසේ අපි බොස්ටන් යනවා. හරි
නේද? එහෙනම්
පරෙස්සමින් ඉන්න සුදු නංඟි. යාලුවෝ නැත්තම් අපි එනකල් තනියෙම එහේ මෙහේ යන්න එපා,
හොඳේද?"
අක්කා උපදෙස්,
අනුෂාසනා රාශියකට පසුව
ඇමතුම විසන්ධි කලාය. මම සතුටු සිතින් යුතුව ඇඳේ දිගා වීමි. අන්තිමේදි මට
බලාපොරොත්තුව ඉන්නට යමක් ලැබී තිබිණි.
දිවා ආහාරය ලඟ
වනතුරුත් සොනාලි නොපැමිණියෙන්, බඩගින්න දරාගත
නොහැකිම තැන මම පූජා සහ ලතිකා සමග කැමගන්නට ගියෙමි. සොනාලි ගොස් තිබුණේ නයෝමිද ඈ
හා කැටුවය. දිවා ආහාරය උණුසුම් හා රසවත් විය. බදින ලද තාරා මස් සහ, පොඩි කරන ලද බටර්
යහමින් යෙදූ අර්තාපල් මගේ කුසගින්න නිවා දැමූ අතර,
ටින් කරන ලද පීච් සහ
ලයිචී, උණු කස්ටඩ්
සමග ඉතා ප්‍රනීත විය..
ආහාර ගෙන අහවර
මම කාමරයට එද්දී කාමරයේ දුරකථනය නාද වෙමින් තිබුණි. මම වහා ගොස් රිසීවරය කනේ තබා
ගත්තේ ඒ සොනාලි විය හැකිදැති සිතමිනි.
"හලෝ..."
"හලෝ...කරුණාකරලා
මට කතා කරන්න පුලුවන්ද පංචලීට?" අනෙක් පසින් ඇසුනේ සොනාලිගේ හඬ නොව පිරිමි හඬකි.
"ආ...මේ පංචලී
තමයි. ඔයා කවුද?" මම ඇසුවේ
දෙගිඩියාවෙනි.
"ආ...මම
ජේඩන්" අනේක් පසින් උත්තර දෙනු ලැබිනි.
"ජේඩන්?
හානේ, මට අඳුනගන්නත් බැරි
වුණා. ඔය කතහඬට මක් වෙලාද? හරි වෙනස්වට
ඇහෙන්නේ" මම කීවේ තාරමක් පුදුමයට පත්ව ය.
"අනේ ඔව්. මේ
පැත්තේ තද හුලන් හන්දයි, හිම හන්දයි දුරකථන
මාර්ග පොඩ්ඩක් අවහිර වෙලාද කොහෙද. අනික මට ටිකක් සනීපත් නෑ" ඔහු කීවේය.
"සනීප නෑ. මොකද
වුණේ?"
"මේකයි,
පොඩි හෙම්බිරිස්සවකුයි,
උගුරේ
අමාරුවකුයි"
"ඉතිං බෙහෙත්
ගත්තද?"
"ඔව් ඔව්. දැන්
අමාරුව අඩුයි. නිවාඩු දුන්නට පස්සෙම ඔයාට කතා කරන්නවත් බැරි වුණේ ඒකයි" ඔහු
පිලිතුරු දුන්නේය.
"හ්ම්...මේ
කාලගුණේ නිසා අසනීප නොවුනොත් තමා පුදුමේ. ඉතින් කියන්නකෝ මොකද මාව මතක් වුණේ
හදිසියෙම?" මම ඇසුවෙමි.
"හදිසියක් නෑ.
නිකමට තොරතුරු අහන්නයි කතා කලේ. සොනාලිලා යනවා කිව්වා ගියාද?"ඔහු විමසීය.
"නෑ, හෙට දවල්ට තමා යන්න
තියෙන්නේ"
"එතකොට ඔයා
තනියෙම නේද?"
"නෑ, ලතිකා ඉන්නවනේ"
මම කීවෙමි.
"ලතිකා බ්‍රයන්
එක්ක ගියාම?"
"මට තනි නෑ. මම
තනියෙම ඉන්න කැමතියි"
"හ්ම්...ඒකත්
එහෙමද?" ඔහු හඬ බාල
කොට කීයූ අතර, නහය සූරන්නටදෝ
මදක් කතාව නැවැත්වීය.
"ඔයා කැමති නැද්ද,
ඔය තනිකමෙන් මිදිලා
පොඩ්ඩකට කාට හරි උදව්වක් කරන්න හෙම?" ඉන්පසු යලි කතාව ඇරඹු ජේඩන් ඇසුවේය.
"උදව්වක්,
කාටද?"
"මට"
"ඔයාට? මොකක්ද අප්පේ ඒ?"
"මා එක්ක
නත්තල් සාපු සවාරියක් යන්න එන්න" ඔහු කීවේය.
මම මොහොතකට
ගොලු වූයෙමි.
"ඒත්...මම
හිතුවේ ඔයා ආච්චි අම්මගේ ගෙදර යනවා කියලයි" මම කීවෙමි.
"එහේ යනවා
තමයි. ඒත් ඊට කලින් මගේ ගෙයි සරසගන්න ඕන නේ. මගේ අහල පහල යාලුවන්ට පොඩි තෑගි
ගන්නත් ඕන. මොකද මම ගිහින් එන්නේ ආපහු සෑහෙන කාලෙකින් නිසා.ම්ම්...මොකද කියන්නේ?"
"අනේ
මන්දා...කවදද ඉතිං ඔයාට යන්න ඕන?"
"ම්ම්...අනිද්දා
කොහොමද? එකොලොස්
වෙනිදා කියන්නේ නත්තල් වලට සරසන්න පරක්කු වැඩිදත් මන්දා... ඒත් කමක් නෑ. එදාට
පුලුවන්ද?" ඔහු මාගෙන්
විමසීය.
මම මදක්
කල්පනා කලෙමි. වෙනත් වැඩක්ද නැති හෙයින් ඔහු හා එකව සාපු සවාරියක් යෑම නරක අදහසක්
නොවන වග මට සිතුණි, අනෙක් අතට,
ජේඩන් හුදෙක්ම මාගේ
මිතුරකු පමණක් වූ අතර, ඔහු ඉතාමත්
හොඳ මහත්මා ගතිගුණ ඇති, යටි අදහස්
කිසිවකින් තොරව මිනිසුන් හට උදව කරන හා ආශ්‍රය කරන කෙනෙක් බැව් මම වටහාගෙන
උන්නෙමි. ඔහු විටෙක සොනාලි තරම්ම පිස්සු කරත්ත්යක් වූ අතර, විටෙක මහාචාර්ය
කෝල්මාන් තරම්ම බැරෑරුම් චරිතයක් විය.
“අ..ම්..වෙන කවුරුහරිත්
අපි එක්ක යන්න එනවද?"
මම ඉන්පසු
ඇසුවෙමි.
"ඔව්. මම
දන්නවනේ ඔයා ඉතිං තනියෙම යන්න අකමැති වග. ඒ නිසා මම තව යාලුවෝ දෙන්නෙකුත් අඬගහ
ගත්තා. ඩෙනිසුයි, නෙලීයි. ඒ මගේ
අසල්වැසියෝ දෙන්නෙක්" ඔහු කීවේ මසිත මදක් සැහැල්ලු කරමිනි.
යෙහෙලියන්ගේ
වදයත්, නිතර තනිව
ගමන් බිමන් යාම නිසා පසුව ඇති විය හැකි අනවශ්‍ය කරදරත් නිසාවෙන් මම ජේඩන් සමග වුව
වැඩිපුර තනිව එලියට ඇවිදින්නට යෑමට මැලි වීමි. ඒ බව ඔහුද දැන උන්නේය.
"එහෙමද?
හරි එහෙනම්, උදේ කැම කාලා ඉවරවෙලා
මම ලෑස්ති වෙලා ඉන්නම්”
""හොඳයි.
මම පොරොන්දු වෙනවා, ඉක්මණට ඔයාව
ආපහු ගෙනත් දාන්න. එහෙනම් හරිනේ? ගොඩක්ම ස්තුතියි පංචලී. ඔයාට සුබ දවසක්. එකොලහ
මුණගැහෙමු" ඔහු එසේ පවසා ඇමතුම විසන්ධි කලේය.
මම දුරකථනයෙන
මෑත්ව, අසල වූ ජනෙල්
පඩිය උඩට වූ කුෂන් එක මත වාඩි වී, මෑත් කර තිබූ තිර අතර, ජනෙල් වීදුරුවෙන් පෙනෙන සුදු පැහැ හාත්පස
දෙස බැලුවෙමි. මා හුන් ගොඩනැගිල්ලට සමාන්තරව දිවෙන් මාවතේ සිසුන් එකා දෙන්න ඇවිද ගිය
අතර, ඉඳහිට වාහනයක්
දෙකක් ඇදී ගියේය. කලකට ඉහත නන්නාඳුනන තැනක් වූ මේ භූමිය අද වනවිට මා හට කෙතරම්
පුරුදු තැනක් බවට පත්ව ඇත්දැයි මම කල්පනා කලෙමි.
"හානේ...මේ
මොකක්ද මේ?"
සීතලෙන්
ගැහෙමින් කාමරයට ඇතුලු වූ සොනාලි, සිය ඇඳ මත වූ තෑගි පෙට්ටිය දැක කෑ ගැසුවේ උඩු කබාය වත්
ගල්වන්නට පමා නොවී ය. ඈ එන්නට පෙරාතුව මම ඇගේ නත්තල් තෑග්ග ලෙස මා ගෙන්වාගත්
උණුසුම් සලුව පාර්සල් කොට ඇගේ ඇඳ මතා තබා තැබීමි.
"ඉතින්
ඔය කෝට් එක ගලවලා
ඉන්නකෝ. මේ හිම වැටෙනවා හැමතැනම" මම සිනාසෙමින්ම ඈට කීවෙමි.
ඇය එය ගලවා
දමා, පාර්සලය ඇද
සලුව පිටට ගත්තාය. එය දුටු ඇගේ
මුහුණ සිනාවකින් එලිය වැටුණු අතර,
ඈ මදෙස
බැලුවාය.
"වාව්...හරිම
ලස්සනයි පංචලී, ඒවගේම පුදුම
සනීපයි, සිනිඳුයි මේක.
හනේ...ඔයාට ගොඩක් ස්තුතියි. සීත කාලෙට කියාපු සලුවක් මේක" ඉන්පසු
ඈ මා අසලට
පැමිණ මගේ කම්මුලක් සිප කීවාය. මගේ සිතේ පහන් හැඟුමක් වූ අතර, ඇගේ සතුට මටද සතුටක්
විය.
"මෙන්න ඔයාගේ
තෑග්ග" ඈ මා වෙත ද පාර්සලයක්
දික් කරමින් කීවාය.
මම තරමක
පුදුමයෙන් යුතුව එය විවර කලෙමි. එතුල වූයේ, අලංකාර ලා රතු පැහැ රෑට දමන සෙරෙප්පු
යුවලක් හා සුදු පැහැ අත් වැසූම් යුවලකි. සියල්ල සිනිඳු ලොම් වලින් මැසූ ඒවා වූ අතර,
සෙරෙප්පු යුවලේ ඇඟිලි
අන්තයේ ලස්සන රතු ස්ට්‍රෝබෙරි ගෙඩියක් මසා තිබිණි. ඒවා දුටු මට සිනාවක් නැගුනේ
ඔබේටමය. සොනාලි ගැන මහත් ලෙන්ගතු කමක්ද මහිතේ තිබුණි.
"හරි ෂෝක්. මම
මේවට හරිම ආසයි. මට bed slippers තිබ්බෙම නැති නිසා, ඔයා මේවා ගත්තට ගොඩක් ස්තුතියි සෝනු"
තෑගි බෙදා
ගැනීමෙන් පසු, අපි අලුත්
වාරයට කලින් අන්තිමට හමු වන දවස අද වූ බැවින්, කාමරය තුලටම වී, උණු චොකලට් පානයක් බොමින්, විවිධ රස කැවිලි කමින්
සහ ඕපාදූප කියවමින් කාලය ගත කලෙමු.
"මට ඔයා නැති
පාලුව නම් හුඟක් දැනේවි සෝනු" නිදාගන්නට පෙර ඇසිල්ලක මම සොනාලිට කීවෙමි.
"මටත් එහෙමයි.
මම ඉක්මණින් එන්නම්. සුබ රාත්‍රියක් ඔයාට"
"සුබ රාත්‍රියක්"
මම 1 ද අද??
ReplyDeleteගොඩක් ලස්සනයි අක්කි...දිගටම පුළුවන් හැම වෙලාවෙම කතාව ලියන්න නෙතු අක්කි...
අප්පේ අර කෑම සෙට් එක දැක්කාම බඩගිනි හැදුනා.
ReplyDelete