Saturday, August 4, 2012

පස්වන කොටස


"පංචි, පංචි නැගිටින්න...හිම වැටිලා..." එක් උදෑසනක සොනාලි මගේ පොරෝනය ඇද මාව සොලවා ඇහැරෙව්වේ එසේ කෑ ගසමිනි.
"ම්ම්...මොනාද? හිම වැටිලා?කොහෙද?" මම නිදි මතේම පොරෝනාව සොයමින් ඇසුවෙමි.
"මගේ ඔලුව උඩ. නැගිටින්නකෝ කම්මැලියා. අර එලියේ පිට්ටනි වල හිම"
එවර මට මදක් සිහිය ඇවිත් තිබුණෙන් මම ද වහා ඇඳෙන් බිමට පැන ජනේලය අසලට දිව්වෙමි.
මින්පෙර කිසිදිනෙක හිම දැක නොතිබුණෙන් එය ඇත්තටම බලන්නට මගේ වූයේ ලොකු ආශාවකි.
"මෙච්චරද?" මගේ බලාපොරොත්තු සුන් වූයේ පිට්ටනි යාන්තමට පමණක් වැසෙන සේ වැටී ඇති හිම පලස දැකීමෙනි. "ඔයා කෑ ගහපු විදියට මම හිතුවා පිට්ටනි යට වෙලත් ඇති කියලා"
"අනේ...අහන්න. මේ පටන් ගත්ත විතරනේ. මේ අවුරුද්දේ මුල්ම හිම පතනය. හෙට අනිද්ද වෙද්දි ඔයාට එපා වෙනකල් හිම වැටේවි. ඒ එක්කම එන සීතල...හප්පේ. උෂ්ණත්ව  ර්‍න අංශක විස්සටත් බහිනවලු" සොනාලි මට කීවාය.
"අම්මේ ඇත්තද? එහෙමනම් එලියටවත් බහින්න බැරිව ඇති නේද?"
"අපේ සීත කබා ඇඳගෙන බූට්ස් දාලා, ඇඳුම් තට්ටු දෙක තුනක් ඇඳගත්තම පුලුවන්" සොනාලි කීවාය.
ඉදින්, එදා අප දේශන සඳහා ගියේ සොනාලි කියූ පරිදි සැරසීගෙනය. තවමත් හිම පතනයේ ඇරඹුම වුවද සීතල ඉතාමත් දැඩි විය.
සොනාලි පැවසූ පරිදිම ඊලඟ දින කිහිපය වද්දි හිම පතනය දැඩි වූ අතර, එක උදෑසනක මා දකින්නට බලාපොරොත්තු වූ පරිද්දෙන්ම පොලොව මත වූ සෑම දෙයක්ම සුදු හිම වසාගෙන තිබිණි. අතරින් පතර උඩට මතු වූ ගොඩනැගිලි වහලවල් හා පියසි මතද, තුරු මුදුන් මතද සුදු හිම රැඳී දිලෙමින් තිබිණි.
"එන්න එන්න. අපි සේරම එලියට යන්න හදන්නේ. ඔලීවියත් එනවා.බ්‍රයනුයි ලතිකයිත් එනවා" හදිසියේම කාමරයට කඩා වැදුනු නයෝමි කෑ ගැසුවාය.
"දැන්?"
"දැන් තමයි අනේ. අර විල ලඟ හිම ගොඩටයි අපි යන්නේ. එතන ඩොලීස් එකටත් ලඟයි නේ. අපට පුලුවන් පොඩ්ඩක් හිම සෙල්ලම් කරන්න" නයෝමි කීවේ පුංචි දැරිවියකගේ බඳු උද්‍යෝගයකිනි.
"අපි ඉක්මණින් ලෑස්ති වෙලා එන්නම්" මම කීවෙමි.
එදා සෙනසුරාදා දිනයක් වූ අතර, නත්තල් නිවාඩුව ලැබෙන්නට තව හරියටම සතියක් ඉතිරිව තිබිණි. හිම වැටුනාට පසු නිදහසේ එලිමහනට බහින්නට අපට ඉඩ ලැබුණ මුල්ම දවස අද විය.හිම පාගමින් දුවන්නට, හිම සෙල්ලම් කරන්නට මා තුලද වූයේ නොනිම් ආශාවකි.
"අනේ මන්දා, ඔය සීතල ගොඩේ දුවන්න මොන ආසාවක්ද කියලා ඔයාට. අන්තිමට සීතලෙන් මිරිකිලා, ඇස් අමාරු හදාගෙන, මූනවල් පුපුරු ගහන් එක විතරයි ඉතිරි වෙන්නේ" මගේ ආශාව ගැන ඇසූ සොනාලි පැවසුවේ එසේය. එහෙත් ඇය අද අප සමග යන්නට ආවාය.
අප ගමන් කරන මාවත් හැරෙන්නට අනෙක් සියල්ලම හිම වලින් ආවරණය වී තිබිණි. සෑම උදෑසනකම, හිම ඉවත් කරන වාහනය අවුත් මාවත් වල හිම ඉවත් කරන ලදී. එහෙත් අද ප්‍රධාන මාවත් හැරෙන්නට අනෙකුත් පටු වීදි වල හිම ඉවත් කර තිබුණේ නැත, එනිසාම අප සියලු දෙනා පාරක් සොයා ගත නොහැකි තදින් ඇසිරුණු හිම තට්ටුව දිගේ ලිහිල්ව හිම ඇහිරී තිබූ විල අසල පිට්ටනියට යන්නට ගියෙමු. අප එහි යද්දි බ්‍රයන් හා ලතිකා එහි ඇවිත් හුන් අතර, ඩිනෝ, සහ ඉන්දියානු තරුණයෙකු මෙන්ම සොනාලිගේ අතිජාත හිතවතෙකු වූ මන්ජීත්ද එහි වූහ.
"ආ...මේ දෙන්නත් ඇවිත්" මන්ජීත් හා ඩිනෝව දුටු සොනාලි කීවාය.
"ඔව් ඔව්. ඔයාලා එද්දි අපිත් එන්න ඕන කියලා හිතුණා" ඩිනෝ කීවේය.
සීතලෙන් ගැහෙමින් හුන් මම, මෆ්ලරය මුව හා ගෙල වටා තද කරගතිමි. එහෙත් මගේ සුසුම් මෆ්ලරයේ වැදී එය සීතල හා තෙත් බවට පත් කර තිබිණි.
"හම්මෝ...මෙහෙම හිටගෙන හිටියොත් අපි සීතලේ ගල් වෙයි. කවුද එන්නේ හිම ගුලි සෙල්ලම් කරන්න?" හිම මත උඩ පනින්නට වූ මන්ජීත් ඇසුවේය.
"අපි අපි" සියල්ලෝම කෑ ගැසූහ.
ඉන්පසු ඇරඹුනේ හිම ගුලි වලින් ගසා ගැනීමයි. අන් අයෙකුට ගැසීම විනෝදජනක වුවද, පහර කෑම නම් එතරම් විනෝදජනක නොවිනි. එනිසාම අපි හිම ගුලි නොවැදෙන්නත එහාට මෙහාට දුවමින් කෑ ගසමින් විනෝද වන්නට වීමු.
"එපා...එපා...අනේ ඕකන් නම් ගහන්න එපා"
ඩිනෝ විශාල හිම ගුලියක් රැගෙන සොනාලි පසුපස පන්නමින් උන් අතර, පූජා තරමක හිම ගුලියකින් මට දමා ගැසුවාය. එය මගේ වම් උරහිසේ වැදී සුනු විසුණු වූ අතර, මම ඈට පහර දීමට හිම ගුලියක් සාදන්නට එතැන වූ පුංචි පතින් ගසකට මුවා වුණෙමි.
හිම, ඉතාමත් සිනිඳු වැලි මෙන් වූ අතර, ස්වල්පයක් අතට ගත් කල ඉක්මණින් දියව ගියේය. එහෙත් බෝල සාදන විත ඒවා වෙනත් තදින් එකෙනෙකට ඇලී ඇහීරී සිටියේය. මා හිම ගුලි කිහිපයක් සාදන අතරේ, මන්ජීත් හා දීනෝ තරමත් ඈතට වන්නට මිටි හිම ප්‍රාකාරයක් තනමින් උන්නෝය.  ඔවුන් දෙපිලකට බෙදී ඇති වගක් පෙනුනු අතර, මන්ජීත් හා ඩිනෝට ගොඩනගන්නට ඉඩ දෙමින් නයෝමි හා පූජා අනෙක් පස උන් සොනාලි ඇතුලි පිරිසට හිම ගුලි ප්‍රහාර එල්ල කරමින් උන්නහ. ඔවුන් දුටු මට සිනා පහල විය.
"තග්" මා නොසීතු මොහොතක කොහේදෝ සිට පැමිණි හිම ගුලියක් මගේ හිසේ වැදුනි. මට නොරිදුනද මා මදක් විසි වී ගියෙමි. එය එල්ල කලේ කවුදැයි , හිම ගුලියක්ද අතැතිව මම වටපිට බලද්දි, සිනා සෙමින් මා අසලට එමින් උන්නේ ජේඩන්ය. මම තරමක් පුදුම වීමි. ඒවන විට මා ඔහුව අවසන් වරට දැක සති දෙකකට වඩා කාලයක් ඉක්ම ගොස් තිබුණි.
"ඔයාද ඒ මට ගැහුවේ?" මම ඔහුගෙන් ඇසීමි.
ඔහු හිනැහුනා පමණි. නමුදු පෙරලා ඔහුට හිම ගුලි ප්‍රහාරයක් දෙන්නට මට සිත් නොදුන් බැවින් මම හිස වනා අහක බලා ගතිමි.
"ඔයාට තරහා ගියාද? මම තමයි ඒක ගැහුවේ" ඔහු මා අසලට විත් කීවේය.
මේ අතරේ අනෙක් පිරිස කෑ ගසනු සහ සිනාවෙනු මට ඇසුණි. ජේඩන්ද එදෙස බලා උන්නේය.
"පොඩි ළමයි වගේ කට්ටියම..." ඔහු කීවේය.
"ඔයා අද කොහෙද මෙහේ?" මම හිම ගුලි ගොඩට අත වූ ගුලියද දමමින් කීවෙමි.
"නිකං එන්න හිතුණා" ඔහු යලි මදෙස බලමින් කීවේය.
"හුඟ දවසකින් දැක්කේ නෑ ඔයාව?" මම කීවෙමි.
ඔහු අද හිස් වැස්ම ගලවා වීත් තිබුණු අතර, බෙහෙවින් කෙටි වන්නට කැපූ හිසකේ නිසාදෝ ඔහුගේ දෙකන් විශාලව පෙනුනි. ඔහු අද තද කොලපැහැ ජර්සියකින් සහ කලු පැහැ කලිසමකින් සැරසී සැහැල්ලුවෙන් උන්නේය.
"හ්ම්...මම ටික දවසක් ආවේ නෑ තමයි. මගේ research වැඩකට පිට යන්න වුණා. ඊට පස්සෙත් ආවට කොහේවත් යන්න වෙලාවක් තිබුණේ නෑ. දිගටම මගේ supervisor, Professor King එක්කයි ඉන්න වුණේ" ඔහු මට කීවේය.
"මම හිතුවා විරහා වේදනාව හන්දා hibernating ද කියලා" මම යන්තම් හිනැහී කීවෙමි.
ඔහුටද සිනා පහල විය.
" hibernate කරන්න මම වලහෙක්යැ? හැබැයි දන් නිවාඩු දුන්නම අපට වලස්සු වගේ hibernate කරන්න පුලුවන් වෙයි. මම මගේ apartment එකට වෙලා හොඳට නිදියනවා" ඔහු දෑත් දෙපසට දිගහැර කීවේ ඇඟේ හිරි අරිමින් මෙනි.
"ඔයා නත්තලට ගෙදර යන්නේ නැද්ද එතකොට?"
මා එසේ ඇසූ විට ඔහුගේ මුහුණේ ඉරියව් වෙනස් වී, මුහුණට ආරූඨ වූයේ වෙනස්ම පෙනුමකි.
"මම අනවශ්‍ය දෙයක් ඇහුවද මන්දා?" ඒ බව දැක මම කීවේ මදක් අපහසුතාවයට පත් වෙමිනි.
"අනේ නෑ...එහෙම දෙයක් නෑ. මේකයි, මම දැන් කාලෙක ඉඳන් ගෙදර යන්නේ නෑ. දන්නැද්ද, අම්මලා, තාත්තලා සමහර වෙලාවට ඕනවට වඩා ජීවිත වලට එබෙන්න එද්දි අමාරුයි. ඉතිං මම දැන් නත්තල් තුනකට ගෙදර ගිහින් නෑ" ඔහු මදෙස නොබලමින් කීවේය.
"ආ...එහෙමද?" මම සෙමින් කීවෙමි.
"හැබැයි, මම සමහරවිට  මගේ ආච්චි අම්මගේ ගෙදර යන්න ඉඩ තියෙනවා. ඇත්තටම කිව්වොත් මම ආගමක් අදහන කෙනෙක් නෙවෙයි පංචලී. මම ජීවත් වෙන්නේ මගේම දර්ශණයකට. කාටවත් වරදක් නොකර, මගේ පාඩුවේ, පුලුවන් විදියට කාටහරි උදව්වක් කරගෙන...අන්න එහෙම" එසේ කියූ ඔහු යලි හිනැහුණේය.
අසා ඉන්නවා හැර මට කියන්නට දෙයක් නොතිබිණි.
"මට පිස්සු කියලා හිතනවද?"
ඔහු ඇසූවද එයට මා පිලිතුරක් දෙන්නට කලින්, එකවරම වා තලය හරහා පියඹා පැමිණි හිම ගුලි වරුසාවක් අප දෙදෙනා මත කඩා වැටිනි. මම දෝතින්ම හිස බදාගෙන අනෙක් පැත්ත හැරුණු අතර ජේඩන් මා පසුපසින් මාව මුවා කරගෙන උන්නේය. හිම ගුලි වරුසාව ඉවර වූ විට අපට පිටුපසින් හිනැහෙමින් උන්නේ මගේ මිතුරු පිරිසයි.
"හනේ හනේ...අපි මෙහේ පණ දාගෙන හිම යුද්ද්ධයක් කරද්දි, මෙයා මෙන්න ගහක් අස්සේ පෙම් කෙලිනවා" එසේ කීවේ පූජාය.
ඇගේ කතාව මසිතට එක් කලේ ලැජ්ජාවකි.
"අනේ මෙතන එහෙම දෙයක් වුණේ නෑ" මම වහා කිව්වෙමි. මට ජේඩන් දෙස බලන්නට නොහැකියාවක් දැනුනි.
"එන්න එන්න දෙන්නම එලියට. අපට යුද්ධ සේනාව මදි" සොනාලි අපට අත වනමින් කීවාය.
"ඔයාට යන්න ඕනද?" ජේඩන් මදෙස බලා ඇසුවේය.
මම තවත් ලැජ්ජා හිතුනෙන් ඔහුට කිසිත් නොපවසා මම සොනාලිලා හුන් දෙසට ගියෙමි.
"හේයි ජේ..එන්න. අපි පිරිමි ළම්යි එක පැත්තක, ගෑණු ළමයි එක පැත්තක විදිහට සෙල්ලම කරමුද?" ඩීනෝ එසේ ඇසුවේය.
"ඔට්ටුයිබැරුවට" එසේ කියූ නයෝමි අපවද ඇදගෙන, එක් පසෙක වූ පඳුරු කිහිපයක් පිටුපසට ගිය අතර, ජේඩන් ඇතුලු පිරිස මන්ජීත් තැනූ ප්‍රාකාරය පිටුපසට ගියහ. එසේ යද්දි ජේදන් මදෙස බලා'මොනා කරන්නද?' වැනි ඉඟියක් සිය දෑත් ඔසවා පෑවේ සිනාසෙමිනි.
"ඇත්තටම පංචි, මොකක්ද ඒ පටලැවිල්ල?" පඳුරු අස්සේ හිම ගු සාදන අතර පූජා ඇසුවාය.
"පටලැවිල්ලක් නෑ දෙයියනේ. අපි නිකම් කතා කලා විතරයි. අනික එයා ඉස්සරහ ඕවා අහනවා එහෙම නෙවෙයි. අපි අතරේ මොනවත්ම නෑ. එයා දුකෙන් ඉන්නේ ලඟදි එයාගේ ගෑණු ලමයා එයාව දාලා ගිය හන්දා" මම කීවෙමි.
"ඒක හොඳ ආරම්භයක් තමයි. එයාගේ හිත හදන්න ඔයා යනවා, ඊට පස්සේ දෙන්නටම දෙන්නව නැතිව බැරි වෙනවා. ඊලඟට ඉතින්...ආ...ද..රේ...තමයි" නයෝමි තාලයකට කීවාය.
"අනේ මේ...ඔය විකාර කියන එක නවත්තන්නකෝ. මම ඒ මනුස්සය්ව හරියට අඳුනන්නෙවත් නෑ. අනික එයා ගැන මට එහෙම හිතන්න ඕන නෑ, එයත් එහෙම හිතනවා ඇති කියලා මං හිතන්නෑ" මම තරමක් තදින් කීවෙමි.
"හරි හරි. දැන් ඕක අමතක කරමුකෝ. අපි මෙතනට ආවේ සතුටු වෙන්න නේ. මේ දෙන්න ඕන එකක් කරගත්තාවේ. අපි-" සොනාලි කියන්නට වූ අතර හදිසියේම ගුවනේ පාව ආ හිම ගුලියක් අප අතරට පතිත වුනෙන් කතාව නැවතිනි.
"පහර දෙනූ" නජීබා කෑ ගැසුවාය.
ඉන්පසු සියල්ල්ල අමතක කල අපි බොහෝ වේලා යනතුරු හිම ගුලි වලින් ගසා ගතිමු. එය අපගේ සීතල නැති කල අතර, සියලු දුක් දොම්නස්ද අමතක කරවන්නට සමත් විය.
මේ හිම යුද්ධය අතර තුර ගණන්කල නොහැකි තරම් හිම ගුලි ගණනක ප්‍රහාරයට මා ද ලක් වූ අතර, අවසන ජය පරාජයෙන් තොරව යුද්ධය අවසන් වූ බව දෙපිලටම පිලිගන්නට සිදු විය.
"ඒක නම් කියලා වැඩක් නෑ" සියල්ල සාමදාන වීමෙන් පසු මා අසලට පැමිණි ජේඩන් හති හලමින් කීවේ සෙස්සන්ටද සිනා පාමිනි. ඒ අවසරයෙන් මම ඔහුව මා මිතුරියන්ට හඳුන්වා දුන් අතර, පිරිමි ළමුන් සියල්ලෝම ඔහුව කලින් දැන ඇඳිනගෙන උන් බව මට දැනගන්නට ලැබුණි.
මීලඟට අපි සියල්ලෝම එක්ව ඩොලීස් වෙත ගොස් උණු තේ, කෝපි බොමින් කේක් සහ බර්ගර් අනුභව කරන්නට වීමු. දවසින් බාගයක් පමණම හිමේ නැටීම නිසා අපගේ කම්මුල් රතුව. දැවීලකින් යුතු වූ අතර, තොල් පවා වියලී තිබිණි. එහෙත් සියොලඟම උණුසුම් වූ අතර, ක්‍රියාශීලි ගතියක් හා, උද්‍යෝගීමත් භාවයක් දැනෙමින් තිබිණි.
"අද දවස නම් නියමයි. අපි ආයෙම දවසක නිවාඩුවට පස්සේ මෙහෙම එකතු වෙලා ආයෙම යුද්ධයක් තියමු" මන්ජීත් කීවේය.
"ඔව් ඔව්" අපිද එකඟ වීමු.
"නිවාඩුවට ගොඩක් අය මෙහේ ඉන්න එකක් නෑ නේද ඒ වුණාට?" නයෝමි ඇසුවාය.
"අනේ ඔව්, මම ඔහායෝ යන්න ඕන. ප්‍රකාෂ්ලගේ අක්කලාත් එනවා" පූජා කීවාය.
නජීබා සහ නයෝමිද සිය නෑයින්ගේ නිවෙස් වලට යන බව කී අතර, සොනාලිටද සිය සොහොයුරාගේ නිවෙසට යන්නට සිදුවන බව ඈ මට කලින්ම කියා තිබිණි. එවිට නේවාසිකාගාරයේ ඉතිරි වන්නේ ලතිකා සහ මම පමණි.
"ආ ඒක්ත් එහෙමද?" ඩීනෝ දුකින් මෙන් කීවේය.
"අපි හිම ඉවර වෙනකල්ම එහේ ඉන්නේ නෑනෙ. ආවාම බලමු" සොනාලි ප්‍රීතිමත් හඬින් කීවාය.
"අනිවාර්යෙන්ම" පූජා එකඟ වූවාය.
එයින් සැනහුනු සියල්ලෝම යලිත් ආහාර ගන්නට වූ අතර, මම නිකමට ජේඩන් දෙස බලද්දි ඔහු මදෙස බලා හිඳ මට සිනාවක් පෑවේය.
"මම අද ගොඩක් සතුටු වුණා"
කලුවර වැටීගෙන එද්දී නේවාසිකාගාරය බලා ඇවිද එද්දී මා හා පැමිණි ජේඩන් කීවේය. අප දෙන්න අනෙක් අයට පිටුපසින් ගමන් කරමින් උන්නු අතර ඔවුන් මොන මොනවාදෝ කියමින්, උස් හඬින් සිනාසෙමින් යනු මට පෙනුනි.
"ඒක හොඳයි. ලොකු වැඩ ගොඩකට පස්සේ පොඩි නිවාඩුවක්" මම කීවෙමි.
"ඔයාගේ යාලුවොත් හරිම ෂෝක් කට්ටියක්"
"හ්ම්...ඒක නම් ඇත්ත. ඉතිං ඔයා කැමති නම්, ඔන්න ඉන්නවා හොඳ සුදුසුකම් තියෙන කෙල්ලෝ ටිකක්. මම ඇප වෙනවා එයාලා හොඳයි කියලා" මම කීවෙමි.
ඔහු හිනැහුණේය.
"ඇත්තටමද? බලමු බලමු. එහෙම හිතුනොත් මං ඔයාට කියන්නම්කෝ" ඔහු විහිලුවට කීවේය.
"ඇත්තටම ඔයා දැන් හිත හදාගෙනද ඉන්නේ ජේඩන්?" මම ඇසුවෙමි.
"හ්ම්ම්...ගොඩක් දුරට. මේ වැඩ වැඩි වෙද්දි වෙන දේවල් ගැන හිතන්න වෙලාවක් නෑ" ඔහු කීවේය.
ඉන්පසු ටික දුරක් අපි කතා නැතිව ඇවිද ආවෙමු.
"අම්...පංචලී..." ඔහු යලි මා ඇමතුවෙය.
"ඇයි?"
"ඔයා හෙට හවස මොකද කරන්නේ?"
"මම? ම්ම්...කියන්න බෑ. උදේ මොනා හරි වැඩ යෙදෙන විදියට තමයි. ඇයි?"
"නෑ. මම හෙට හවසට ඩොලීස් එනවා. මා එක්ක හවස කෝපි බොන්න එන්න කැමතිද? මම කැමතියි ඔයාව තව දැන අඳුන ගන්න" ඔහු එසේ කී විට මහිත සැලිණි.
මම ඔහු දෙස බලා යලි අහක බලා ගතිමි.යහලුවන් සේ දුරින් ආශ්‍රය කලද, එසේ හමු වීම් වලට යාමට තරම් කිසිවකුට ලං වන්නත මට පුලුවන් කමක් තිබුණේ නැත. මා අපහසුතාවයට පත් වූයේ එබැවිනි. පිරිමින් විෂයේ කුමක්දෝ බියක් සහ විකර්ශණයක් සංකේත් නිසාවෙන් මසිතේ ගොඩනැගී තිබිණි. එය මා නොදැනුවත්වම මසිත නොසන්සුන් කලේය. එහෙත් ජේඩන් මට අඬ ගසන්නේ මිතුරු සමාගමයකට විය යුතු යැයි මසිත අනෙක් අතට මට කීවේය. ඔහුට එක්වරම බෑයි කීම නොහොබී යැයි මට සිතුණි.
"ම්ම්...මෙහෙමයි, මට පොරොන්දු වෙන්න බෑ. මොකද මම එදා දෙන වැඩ එදාම බලන කෙනෙක්. ගෲප් වැඩක් යෙදෙන්නත් පුලුවන්. එහෙම නොවුනොත් එන්න බලන්නම්" මම අකීවෙමි.
"ඒකට කමක් නෑ. මට කෝල් එකක් දෙන්නකෝ" ඔහු සිය පසුම්බිය ඇද කා හට කාඩ් පතක් දෙමින් කීවේය. මම එය අතට ගතිමි.
"ඔයාගේ නොම්මරේ මොකක්ද?" ඔහු ඊට පසෙ මගෙන් ඇසුවේය.
මම මදක් පැකිලුනෙමි. එතරම් පෞද්ගලික දෙයක් ඔහුට දෙන්නට මහිත නොනැමිනි.
"ඔයා හොස්ටල් එකට කතා කරන්න" එසේ පවසා මම ඔහුට අපේ කාමරයට අදාල අංකය ලබා දුන්නේ වෙනත් කල හැකි දෙයක් නොවුනු තැනය.
"හරි. උවමනාවක් වුනොත් මම් කතා කරන්නමකෝ" ඔහු කීවේය.
නේවාසිකාගාරය අසල සොනාලි සහ පූජා මා එනතුරු බලා උන්නහ.
"එහෙනම් පරෙස්සමෙන් යන්න ජේඩන්. සුබ රාත්‍රියක්" මම මග නැවතී කීවෙමි.
මදෙසම බලා හුන් ඔහු හිස යන්තමින් වනා මට සුබ රාත්‍රියක් පතා, සොනාලිලාටද පවසා අඳුරු මග දිගේ වාහන නැවතුම්පොලට යන්නට ගියේය. මම සුසුමක් හෙලා එන්නට ආවෙමි.
"හරි මහන්සියි අනේ, මම යනවා එහෙනම්. හෙට හම්බවෙමු. සුබ රාත්‍රියක්" පූජා අපට එසේ පවසා සිය කාමරයට වැදුනාය.
සාමාන්‍ය දෙයක් හැර මා, හා සොනාලි අතරද ලොකු කතා බහක් නොවිනි. ඒ අපි සැබවින්ම මහන්සි වී හුන් නිසාය. අපි ඉක්මණින් ඇඳට වැටුනෙමු.
"පංචි.."
"ම්ම්"
"ජේඩන් හරිම ස්වීට් කෙනෙක් නේද?" මට නින්ද යාගෙන එද්දි සොනාලි පවසනු මට ඇසුනි.
"හ්ම්"


1 comment:

  1. මම 1 වෙලා හුරේ

    අදත් ගොඩක් තියේ

    පංචි පංචි කියන්න එපා අලෙ එක කැතයි

    ReplyDelete