Tuesday, January 31, 2012

නවවන කොටස


ආන්යා ගෙදරට යද්දි ගීතාන් ඇවිත්. අනුහස් එක්ක දෙන්නම හැටන් වලදි වැස්සකට අහු වෙලා හොඳටෝම තෙමිලා, ඒ පයින්ම ගෙදර ඇවිත් සීතල වතුර නාලා, වෙවුල වෙවුල ගිනි උදුන ලඟ වාඩි වෙලා ඉන්න වෙලාවෙයි ආන්යා තාත්තා එක්ක ගෙට ගොඩ වුණේ.
"එන්න ටිකක් පරක්කු වුණ ලොකු පුතේ. මේ දවස් වල ලොක්කෝ ඇවිත් නේ. ඉතින් කීයටද ආවේ?"
තාත්තා අම්මට බෑග් එක දීලා ගිනි උදුන ලඟ පුටුවකට බර වෙන ගමන් කතාව පටන් ගත්තා. හැටන් වල වැස්සෙන් පටන් ගත්තු කතාව කෙලවර වුණේ අම්මා පස් වෙනි වතාවටත් තාත්තට ඇඳුම් මාරු කරගන්න කියලා දැනුම් දීපු වෙලාවෙයි. ආන්යා නම් ඒ වෙද්දි මූණ සෝදලා ඇඳුම් මාරු කරලයි උන්නේ.
ගීතාන් ගෙදර එන්නේ කාලෙකින් නිසා ඔහු ආපු දවසට මුලු ගෙදරම පිරිලා වගේ කියලා ආන්යට හිතුණා. අනුහස් ගීතාන්ට වඩා අවුරුදු කීපයක් බාල වුණත් දෙන්න හිටියේ යාලුවෝ වගේ. හැම වෙලේකම මොනවා හරි පිස්සු වැඩක් කරමින්, කාට හරි වද දෙමින් ඉන්න එක තම වැඩිපුරම කලේ.
"ඉතින් අහන්නකෝ අයියා...හොඳම වැඩේ තමා මෙයා මනි මහත්තයාගේ ලොකු පුතාත සින්න දොරේ කියලා රැවටිලා. ඒ මනුස්සයට කතා කරලා තියෙන්නෙත් එහෙම. අභි බඩ අල්ලගෙන හිණා වෙනවා ඒක කියලා..."
රැ කෑම කාලා ඉවර වෙලා සාලේ වාඩි වෙලා අතරේ අනුහස් කිව්වේ අම්මයි, තාත්තයි එනවද කියලා කුස්සිය දිහාට එබිකම් කරමින්.
"නෑ...මේ ඇත්තද මෙයා කියන්නේ?" ගීතාන් ආන්යාගෙන් ඇහුවේ හිනාවෙවී.
මෙච්චර දවස් අනුහස් ඒ වග දැනගෙන නේ ද ඉඳලා තියෙන්නේ කියලා ආන්යා දැනගත්තේ මෙවෙලේ.
"ඔයා නම් අන්තිමයි අනූ...මෙච්චර දවස් දැනගෙන ඉඳලත් කිව්වේ නැති හැටි. මම නිකම් ඒ මනුස්සයා ඉස්සරහ ලැජ්ජා වුණා" ආන්යා කිව්වේ අමනාපෙන් මූණ රතු කරගෙන.
"මේ මේ...මාව ඕකට අල්ලගන්න එපා. අභි තමා කිව්වේ ඔයාම හොයාගන්නකල් ඉන්න දෙන්න කියලා"
"ඔයාට අර කොහෙන්වත් ආපු අභි ලොකුයි නේ මට වඩා. ඔයා නම් මහා නරකයි අනූ. මම ඔයා එක්ක හොඳටම තරහයි" ආන්යා එහෙම කියද්දි තරහටයි, ලැජ්ජාවටයි, දුකටයි මේ සේරටම එක්ක ඇගේ ඇස් වලට කඳුලු පිරුණා. ඈ පුටුවෙන් නැගිට්ටේ කඳුළු පිහිමින්.
"ඒයි...මීනු...ඔහොම ඉන්න" ඒ පාර නම්  අනුහස් ගේ සෙල්ලක්කාර හඬේ ගැබ් වෙලා තිබ්බේ කලබල වුණ ගතියක්.
"හොඳට හිටපු කෙල්ලව ඇඬෙව්වා නේ. මීනු ඔහොම ඉන්න...මෙන්න මෙහාට වෙලා ඉන්නවා, ආයෙම කෙල්ලව අඬවන්න නොයා" ගීතාන් අනුහස්ව පැත්තකට ඇදලා දමලා ආන්යා පස්සෙන් ආවා. කඳුලු පිහිමින් ආපු ආන්යා නතර වුණේ පෝටිකෝවේ කණුවක් ලඟ.
"මීනූ...ඔයා ඇත්තටම අඬනවද? කෝ බලන්න...අනේ නගෝ අඬන්න එපා ඉතින්. දන්නවනේ අර යෝදයාගේ හැටි ඔහොම්මමනේ. කෝ, මේ බලන්නකෝ"
ගිතාන් ආන්යව තමන්ගේ පැත්තට හරවගන්න උත්සාහ කරමින් කිව්වා. ඒත් ආන්යා නොහැරීම වත දරදඬු කරගෙනම උන්නා.
"නපුරු වෙන්න එපා නංඟි. එන්නකෝ ගෙට යන්න. දැන් අම්මලා ආවොත් බලයි මොකද කියලා. අපි යමුකෝ මම ඔයාට ගෙනාපු තෑගි බලන්න. අනූව එක්කගන්න ඕන නෑ. කෝ ඉතින්...එන්නකෝ හොඳ ළමයා වගේ"
ගීතාන් වදෙන් පොරෙන් වගේ ආන්යව ගෙට එක්කගෙන ගියා. සාලේ උන්නු අනුහස් මේ දෙන්න දිහා යටැසින් බැලුවා.
"මීනූ..."
ඔහු කතා කලත් ආන්යා ඒ දිහාව බලන්න ගියේ නෑ. ඇගෙ හිත ඇත්තටම ගොඩක් රිදිලයි තිබුණේ. ආර්යන් ගැන වැරදි දෙයක් හිතාගෙන ඉන්න ඈට සිද්ධ කරපු එක ගැන අභි ගැනත් ඈට දැනුනේ අමනාපයක්.
ගිතාන් ඔහුගේ කාමරේට එක්ක ගිහින් ඈට ගෙනාපු ඇඳුම්, කොණ්ඩකටු ආදිය පෙන්නදි නම් ආන්යාගේ හිත යාන්තම් හරියාගෙන ආවා. ගිතාන් හැමදාම වගේ ආන්යට තෑගි ගොඩාක් උස්සගෙන ඇවිත්.
"සෙරෙප්පු ගත්තේ නෑ මීනු ඔයාගේ සයිස් මට අන්ෂුවර් නිසා. මෙහෙන් අරන් දෙන්නම්කෝ හොඳේ"
"අනේ එපා අයියා ඕන නෑ නිකම් වියදම් කරන්න. මට සෙරෙප්පු තියෙනවනේ. හානේ...මේ චූටි ටෙඩීබෙයාර් කීටැග් එක හරි ලස්සනයි"
ආන්යා තමන්ගේ තෑගි අතරේ තිබ්බ පුංචි කීටැග් එක අතට අරන් කිව්වා.
"ටෙඩි බෙයාර් නෙවෙයි ඔය බලු හාමි කෙනෙක් නේ. ඕකගේ බඩ මිරිකුවාම බුරනවා"
ආන්යා ඒ සතාගේ බඩ එබුවාම ඔන්න ඇත්තටම බල්ලෙක් වගේ බුරන සද්දයක් ආවා. ඈට හිනා ගියා හොඳටම.
"ඇති යාන්තම් වැහි අඳුර පහ වෙලා වගේ"
මේ හඬ ඇහිලා ඇවිත් කාමරේට යන්තම් එබුණ අනුහස් කිව්වේ හෙමිහිට.
"එන්න එපා මෙහාට, යන්න" ඒ පාර ආන්යා ආයෙම මූණ නපුරු කරගෙන කිව්වා.
"අයියෝ සොරි සොරි. මම හිතුවේ නෑ ඔයා මේක මේ තරම් සීරියස් ගනී කියලා"
"ඔයාලා නිසා මමයි අර මනුස්සය ඉස්සරහ ලැජ්ජ වුණේ" ආන්යා තදින් කිව්වා.
"ආර්යන්ට ඒකේ ගාණක් නෑ, හැබැයි ඉතින් මිනිහා කිව්වා ඔයා පව්, ඒ නිසා කියන්න කියලා. කෝ ඉතින් කියන්න වෙලාවක් ආවේ නෑනෙ" අනුහස් එහෙම කිව්වාම ආයෙමත් අර සීතල හැඟීම ආන්යගේ හිතේ යන්තමට පැතිරෙනවා ඈට දැනුණා. ආන්යා සුසුමක් හෙලලා බිම බලාගත්තා.
"කෝ මේ කට්ටිය...කුමන්ත්‍රණයක්වත්ද?"
ඊලඟ මොහොතේ තාත්තා කාමරේට එබුණ නිසා කතාව එහෙම්මම යට ගියා. ඒත් රෑ නිදා ගන්න ඇඳට ගිහින් ඇස් පියවෙන තුරුත් ආර්යන් තමන්ගේ හිතේ සක්මන් කරමින් උන්නු වග ආන්යට දැනුනා. වගේ වගක් නැතිවා වගේ ඉන්න, ඈ ගැන විශේෂ සැලකිල්ලකුත් නොදක්වන ආර්යන් ගැන තමන් මෙච්චරටම හිතන්නේ මොකද කියලා ආන්යා දැනගෙන හිටියේ නැහැ. ඒ සන්සුන් වෙච්ච තරමටම, නිහඬව උන්නු තරමටම ඔහු ආකර්ශණීය වුණ නිසාද?

2 comments:

  1. ලස්සනයි..හැම කොටසම කියවනව කමෙන්ට් නොකලත්..ඒ නිසා ඉක්මනින් ඊලඟ කොටස දාමු..

    ReplyDelete
  2. arayan hithe holman karanne aregathe eke nam echara hode ledak neme,, ikmnate hode karagaen wey :P ;)

    ReplyDelete