"මිස්...ඇයි මොකක් හරි ප්‍රශ්ණයක්ද?"
හතරවෙනි පාරටත් වැරදියට ගාණක් කියවපු ආන්යාගෙන් තාරකා ඇහුවා.
ආන්යට දැනුනේ වරදකාරී හැඟීමක්. ගිණුම් ආපහු චෙක් කරන එක සීරුවෙන් කරන්න ඕන වැඩක්. මේ වගේ වෙන දේවල් හිතමින් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.
"අනේ සොරි තාරකා...මගෙ ඔලුව ටිකක් අවුල් අද. ඉන්නකෝ මම දැන් ඉඳන් හරියට කියවන්නම්"
හිත තද කරගෙන වෙච්ච දේවල් ගැන නොහිතා වැඩේ කරන්න ආන්යා හිතා ගත්තා. ඒත් එහෙම වැඩ කරන්න වුණේ පැය බාගයක් විතරයි. තාත්තාගේ කන්තෝරු කාමරේ ඇරගෙන ඇතුලේ උන්නු සේරම් අය එලියට ආවා. ආන්යා වාඩි වෙලා උන්නු තැනට කෙලින්ම පෙනුනේ ඒ දිහාව නිසා ඇයට ඒ දිහාව බැලුනේ ඉබේටම.
තාත්තා, අලුත් මැනේජර්ට බරපතල දෙයක් විස්තර කරනවත්, ආර්යනුත් ඒ කතාවට කන් දීගෙන ඉන්නවත් ආන්යට පෙනුනා. ඒත් අභි නම් උන්නේ ආන්යා උන්නු පැත්ත බලාගෙන සිනාසෙමින්. ආන්යත් යන්තමට හිනා වෙලා වැඩේට ආපහු යොමු වුණා.
"ඔයත් මෙහේ වැඩ කියලා දන්නේ අදනේ" අභි ලඟටම ඇවිත් වග ආන්යාට තේරුණේ ඒ හඬ ඇහුනාමයි. ඈ ඉක්මණට හිස උස්සලා බැලුවා.
"අනේ නෑ, මම මේ තාරකාට උදව් වෙන්නයි ආවේ. තාත්තා කිව්ව ඇවිත් උදව් කරන්න කියලා"
ආන්යා කරන වැඩේ නොනවත්වම කිව්වා.
"හරියට වැඩ කරන්න ඕන හරිද? නැත්තම් තාත්තගේ පඩියෙන් තමා අඩු කරන්නේ" අභි කිව්වේ හිනා වෙවීමයි.
ආන්යා ඒ පාර ඔහු දිහා හොඳට බැලුවා.
"වැඩ කරන්නේ කොහොමද මෙහෙම එක එක්කෙනා ඇවිත් බාධා කරද්දි, නේද තාරකා?"
"ඕකේ, ඕකේ. මට යන්න කියලනේ කියන්නේ. ඔන්න මම ගියා. ගැණු ළමයි දෙන්න වැඩේ කර ගන්න එකයි ඇත්තේ"
අභි යන දිහා ආන්යා බලාගෙන හිටියේ යන්තමත හිනාවක් මුවේ තවරගෙන. ඊලඟට ආයෙම වැඩ. වැඩේ ඉවර වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ආයෙමත් කෙනෙක් ඇවිත් ආන්යාල උන්නු මේසෙ ලඟින් හිට ගත්තා.
"එක්ස්කියුස්මී...මට දෙනවද ගිය ක්වාටර් එකේ මස්ටර් ෂෙඩ් එකේ දලු කිරපු රෙකෝර්ඩ්ස් ටිඅක"
ආන්යා ඒ හඬට හිස උස්සලා බලද්දි එතන උන්නේ ආර්යන්. ඔහු ආන්යා දිහා යන්තම් බලලා තාරකාගෙන් විස්තර පොත අරගෙන එතනින් යන්න ගියා. ආන්යාට දැනුනේ පුදුමයක්. මේ උදේ හම්බවෙච්ච මනුස්සයා දැන් හරියට අඳුනන්නේ නෑ වගේ ගියේ මොකද කියලා ඈ කල්පනා කලා.'වෙස් පෙරලෙනවද කොහෙද?' සියුම් අමනාපෙකින් ඈ තමටම කියා ගත්තා. කොහොමින්හරි යන්තම් හතර වෙද්දි දෙන්නම පවරපු වැඩේ කරලා ඉවර කර ගත්තා.
"නෝනා...ලොකු මහත්තායා කන්තෝරු කාමරේට එන්න කිව්වා තාරකා මිස් එක්කම" පියන් ඇවිත් කතා කලේ මේ දෙන්නා පොත් ටික පිලිවෙලකට තියන අතරේ.
තාරකාත් එක්ක ආන්යා ඇතුලට යද්දි තාත්තාගේ කාමරේ ජනේලේ අයිනට වෙන්න තිබ්බ පොඩි මේසේ තේ ලෑස්ති කරලා තියෙන වග ඇය දැක්කා. දැනටමත් අභි ආර්යන් එක්ක මේසේ අසලින් වාඩි වෙලයි හිටියේ.
"ආ...එන්න එන්න. මේ ඔය දෙන්න එනකල් තමා අපි හිටියේ" අභි පැනලා කතා කලා.
ආන්යාට තාත්තා දිහා බැලුනේ ඉබේටම වගේ.
"එන්න පුතේ. එන්න තාරකා"
ආන්යා තාත්තා ලඟින්ම වගේ වාඩි වුණාම ඈට කෙලින්ම ඉස්සරහින් උන්නේ ආර්යන්. ආන්යට මොකක්දෝ අපහසුතාවයක් දැනුනා ඔහු දිහා බලන්න බැරි විදියේ. ඈ ඒ නිසා මේසේ තියලා තිබ්බ කැවිලි දීසි දිහා ඇස් යොමු කර ගත්තා.
"ආර්යන්, අභි පටන් ගන්න එහෙනම්. මේ මගේ වයිෆ් ගෙදර හදාපු කේක් වගයක්" තාත්තා කිව්වේ කේක් දීසිය අතින් අත යවන තාරකා අතට දෙන ගමන්.
"එහෙනම් කන්නම ඕන" අභි කියනවා ආන්යට ඇහුණා.
ආන්යා මුලින්ම තාත්තට තේ එකක් හදලා දීලා තමට තේ එකක් හදා ගනිද්දි ආර්යන් යන්තමට ඈ දිහා බලපු වගක් ඈට ඇස් කොනකින් පෙනුනා.
"ආන්යා අර්යන්ටත් තේ එකක් හදනවද පුතේ..." තාත්තා එකපාරටම කිව්වම ආන්ය පොඩිත්තක් ගැස්සුණා. ඈ එක පාරටම ආර්යන් දිහ බලලා ආයෙමත් තාත්තා දිහා බැලුවා. කේක් කාලා ඉවර වෙලා ටිෂූ එකකින් අත පිහිමින් හිටපු ආර්යන් ඒ පාර කතා කලා.
"නෑ, නෑ. ඕන නෑ මම හදා ගන්නම් මිස්ට වීරප්පෙරුම. කරදර වෙන්න එපා"
ඒත් ඒ වෙද්දි ආන්යා කෝප්පෙකට තේ දාලාත් ඉවරයි.
"ඒකට මක් වෙනවද? දැන් හදන්නත් පටන් ගත්තා නේ. ඔන්න ඔහේ බොන්න" තාත්තා කිව්වා.
ආන්යා තේ පෝච්චිය අතේ තියාගෙනම ආර්යන් දිහා බැලුවේ ඊලන්ගට මොනාද කියන්න හදන්නේ කියලා.
"කිරි දාන්න එප. තෑන්ක්ස් මම සීනි දාගන්නම්" ආර්යන් මොකක්දෝ කලබලේකින් වගේ තේ එක ඇදලාවගේ ආන්යා අතින් අරගත්තා.
"මට නම් කිරි දැම්මට කමක් නෑ ආන්යා" කේක් කටේ පුරෝගන උන්නු අභි අමාරුවෙන් කට ඇරලා කිව්වා. ආන්යා අභි දිහා සරදම් ලීලාවෙන් බලලා තේ එකක් හදන්න ගත්තා ආයෙමත්. 'පිස්සු කොල්ලෙක්!'
"පුතේ ඔයා ඉන්න මා එක්කම ගෙදර යන්න පුලුවන් නේ" තේ බීලා ඉවර වෙද්දි තාත්තා ආන්යට කතා කරලා කිව්වා.
"ඉක්මණට යනවා නේද තාත්තේ? අයියා දැන් ඇවිල්ලත් ඇති සමහරවිට" ආන්යා කිව්වේ බිත්තියේ ගහලා තිබ්බ ඔරලෝසුව දිහා බලලා.
"අප්පච්චියේ...මට ඒක අමතකම වුණානේ. හරි හරි, මට තව විනාඩියක් දෙන්නකෝ"
තාත්තා මේසේ ලඟට දුවන ගමන් කිව්වා. තේ බීලා ඉවරවෙච්චගමන් අභි කොහාටදෝ අතුරුදහන් වෙලා. ආර්යන් තේ මේසෙම ඉඳගෙන තව මොනවදෝ වාර්තා වගයක් බලනවා. ආන්යා සුසුමක් හෙලලා එලියට එන්න ආවා. ඇගේ හිත තාමත් තිබ්බේ පොඩිත්තක් නොසන්සුන් වෙලා. හිතා පීර පීර ඒකට හේතුව හොයද්දි හිතේ කොනක ඉඳලා එබිකම් කරන්න ගත්තේ ආර්යන්. ඔහු එකපාරටම මේ තරම් තමන්ගේ හිත නොසන්සුන් කරන්නේ මොකද කියලා ආන්යා කල්පනා කලා. මීට කලින් හරියට දැකලත් නෑ, හරියට වචන දහයක් වත් කතා කරලත් නෑ, ඒත් ඔහු අහල පහලක ඉන්න වග දැනුනම පවා ඇගේ හිත හීනියට නොසන්සුන් වෙනවා නේද කියලා ආන්යා මතක් කලා. ආර්යන්ට තිබුණේ ඕනම කෙල්ලෙක්ගේ හිත සසලන විදියේ පෙනුමක් එක්කම හැසිරීමක් නේද කියල ඈට හිතුණා. ඒත් එහෙම ව්ච්චපලියට ආන්යා මේ හැඟිම් වලට ඉඩ දෙන්න ඕන නෑ කියලා ඇගේ හිතේ එක පැත්තක් කෑගහනවා ඈට දැනුනා. දැනෙමින් තිබුණ නොසන්සුන්තාවය යටපත් කර ගන්න ආන්යා උත්සාහ කලේ ඒකයි.
ඒත් ඉතින් එහෙම හිත එකලස් කරගෙන ඉන්න වුණේ තප්පර ගාණක් විතරයි. දොර ලඟ හිටගෙන උන්නු ආන්යා ලඟින් එලියට බැස්සේ ආර්යන්. ඔහු එන හඬ ඈට ඇහුණේ නැහැ. එලියේ තිබුණේ තරම වැහි අඳුරක් එක්ක පොද වැස්සක්. ඒ නිසාම එලියට බැස්ස ආර්යන් ආයෙමත් දොර අසලට ඇවිත් ගොඩනැගිල්ලේ වහල යටට වුණා.
"තාත්තා එනකල්ද ඉන්නේ?" ඔහු එතනට ඇවිදගෙන ආපු ඔහු එකපාරටම ආන්යාගෙන් ඇහුවාම ආන්යා ආයෙම ගැස්සුනා.
"ආ....ඔව්" ඇය කිව්වේ හෙමින්, ඔහු දිහා යන්තමට බලලා.
"ම්ම්..තේ එක හදලා දුන්නට තෑන්ක්ස් කරන්න බැරි වුණා නේ. තෑන්ක්ස් අ..ම්..තේ එකට" ඔහු නවත්ත නවත්ත කතා කලා.
ආන්යට ඔහු ගැන දැනෙන්න පටන් අරන් තිබ්බේ පුදුමයක්. වෙලාවකට පැත්තවත් බලන්නේ නෑ, තව වෙලාවකට හොඳට දන්නවා වගේ කතා කරනවා. ඔහුගේ මේ හැසිරීම ආන්යට ප්‍රෙහේලිකාවක් වුණා.
"ඒක සුලු දෙයක් නේ. තෑන්ක් කරන්න ඕන නෑ" ඈ කිව්වේ ඔහු දිහා විටින් විට ඇස් කොනකින් බලමින්. කොයි වෙලේ අර අරුම පුදුම ගොලු ආවේශය ඒවිද කියලා සැකෙන්.
"ඔයා මෙහෙම ඇවිත් මෙහේ වැඩ වලට උදව් කරනවටත් තෑන්ක්ස්. ඔයාගේ වෙලාව වියදම් කරගෙන, මහන්සි වෙලා...මේ එහෙම කරන අය හරි අඩුයි නේ" ආර්යන් හෙමිහිට නැවතිල්ලේ ආයෙම කියනවා.
"ඕක නම් මොකක්ද" ආන්යා කියලා දැම්මා. ඒ එක්කම ඈට මතක් වුණේ ආර්යන්ව වරදවලා තේරුම් අරගෙන කරපු හදිය. ඒකට සමාව ඉල්ලන්න ඈට ලොකු උවමනාවක් දැනුණා. සමහරවිට ආර්යන් වැඩිය මූණ නොදෙන්නේ ඒ නිසා ඇති වුණ ලැජ්ජාව නිස වෙන්නත් පුලුවන් කියලා ඈ හිතුවා.
"මිස්ට ආර්යන්..." ආන්යා කතාව පටන් ගත්ත විගසම් ආර්යන් ඈ දිහා ඉක්මණින් බලලා ඒ ඉක්මණින්ම අහක බලා ගත්තා.
"මිස්ට කියන්න ඕන නෑ. නිකම් ආර්යන් කිව්වාම ඇති"
"මේ...අම්...මෙච්චර දවස් අපි ඇත්තටම හිතාගෙන හිටියේ අලුතින් ආපු ඇසිස්ටන්ට් මැනේජර් ඔයා කියලා. ඉතින්...ඒ නිසා මොනා හරි අපහසුතාවයක් වුණා නම් සොරි"ආන්යා අතේ තිබ්බ පෑන අඹර අඹර බිම බලාගෙන හෙමින් මිමිණුවා.
ආර්යන් ඒකට උත්තරයක් දෙන්න ටිකක් වෙලා ගද්දි නම් ඔහුට තරහ ගිහින්වත්දෝ කියලා ආන්යට පොඩි බයක් නොදැනුනාම නෙවෙයි.
"ඒක ඔයාගේ වැරැද්ද නෙවෙයි නේ. ඔයා මාවවත් අලුත් එස් ඩී වත් දන්නේ නෑනෙ. අභි තමා ඕකට වගකියන්න ඕන. ඔය ඉන්සිඩන්ට් එක වුණ දවසේ එයා ඇත්ත කිව්වේ නෑනෙ"
ඔහුගේ හඬේ නපුරු ගතියක් තිබ්බේ නෑ, ඔහු උන්නේ හිනා වෙමින්ද කියලත් ආන්යට හිතුණා. ඒත් ඔහු උන්නෙ අහක බලාගෙන නිසා ඒක ඈ හරියටම දැක්කේ නෑ. ආන්යට පුදුම නොවී ඉන්න බැරි වුණා. ඔහුට සිද්ධිය වෙච්ච දවසත් මතක තිබිලා. ආන්යට පොඩි හිනාවක් ගියා.
"ඒත් මම කැමතියි මම ඇත්තටම මේ වත්තේ එස් ඩී වුණා නම්" ඔහු කිව්වේ ආන්යා නොහිතපු වෙලාවක.
"ඇයි ඒ?" ඈ වැඩිය නොහිතම ඇහුවා.
"මම මෙහාට, මේ පරිසරයට, මේ සීතලට, මිනිස්සුන්ට කැමතියි" ඔහු උත්තර දුන්නා.
ඔහු කතා කරපු හැම වචනයක් පාසාම ආන්යා පුදුම වුණා විතරයි.
"ඉතින් මේ වත්ත ඔයාලගෙනේ. ඔයාලට ඕන දෙයක් කරන්න පුලුවන් නේ" ආන්යා කිව්වා.
ඒ වෙලාවේ ආර්යන් යන්තම් හිස හරවලා ඈ දිහා බැලුවා.
"ඕන දෙයක් කරන්න බෑ..." එහෙම කියපු ඔහු සුසුමක් හෙලලා ආයෙම අහක බලාගත්තා. ඒත් ආන්යා ඔහු දිහා බලාගත්වනම හිටියා.
"මට තේරෙන්නේ නෑ"
"මේකනේ, අපේ වැඩ ගොඩක් තියෙන්නේ කොළඹ. අපි ඉගෙන ගන්නේ එහේ. ෆැමිලි ඉන්නේ එහේ. ඒකයි"
ඔහු කිව්වේ එන්න එන්න ගනකම් වෙවී පැතිරෙන මිදුම දිහා බලාගෙන.
"පුතේ යමු..." තාත්තා කතා කරනකල්ම ආන්යා ඔහු එන වගත් දැක්කේ නෑ.ඔහුගේ හඬට ආර්යනුත් හැරිලා බැලුවා.
"අප්පච්චියේ ආර්යන් තාමත් මෙතනද? අභි ආවේ නෑ?"
ඔහුව දැකපු ආන්යාගේ තාත්තා ඇහුවේ එලියට බහින ගමන්.
"දැන් ඒවි. ඔයාලා යන්න මිස්ට වීරප්පෙරුම"
"කමක් නැද්ද? නැත්තම් මම ගිහින් දාන්නම් නාරදගේ දිහාවට"
"එපා එපා. අභි දැන් ඒවි නේ. ඔයාලා යන්න. නෝ වොරීස්"
ආන්යා තාත්තා පස්සෙන් එලියට එද්දි ඔවුන්ට වෙන් වුණ වාහනේ දොරකඩට ආවා. නගින්න කලින් ආන්යා හැරිලා ආර්යන් දිහා බලද්දි ඔහු උන්නෙත් ඈ දිහා බලාගෙනමයි.
"ගිහින් එන්නම්"
"ඕ කේ" ඔහු හිස වැනුවා.
"ආ...අමතක කරන්න එපා අනිද්දට එහෙම නම් තුන් දෙනාම එන්න ඕන. වයිෆ් සතියක ඉඳන් කෑම හදාගෙන ඉන්නේ" වාහනේට නැගපු තාත්තා ආයෙම හැරිලා ආර්යන්ට කිව්වා.
"ආ...හරි හරි. අපි එනවා" ආර්යන් හිනා වෙලා කිව්වා. හිනාවේ අන්තිම හරිය නතර වුණේ ආන්යා ලඟ. හිතට ආයෙමත් කිඳා බහින්න ගත්තු හැඟීම බර හඟිමින් ආන්යා හෙමිහිට ඔහුට අතක් වැනුවේ පුරුද්දට වගේ. ආර්යන් අත වැනුවේ නෑ, ඒ වෙනුවට බිම බලාගත්තා විතරයි. ඔහු මහා පුදුම චරිතයක් කියලා ගෙදර එන අතරේ ආන්යා කල්පනා කලා.
I am really very very very sorry about the delay in posting. This year is a busy one. Flooded with work and research and other chaos.
ReplyDeletepls do not get angry or frustrated....I am trying my best to post as soon as possible...
have a nice time friendz!
අයියෝ නෙතූ..පරක්කු වෙනකොට හිතුවා ඔයාට කරදරයක්වත්ද කියලා..ඉගෙනීමෙ වැඩත් හොඳට කරගෙන පුළුවන් වෙලාවල්වලට පොත්ගුලත් අප්ඩේට් කරන්න හොඳේ..
ReplyDeleteapi thareha nathooooooooooooooooooo :D do you studies well akki,, ade kathawath lassanay :)
ReplyDelete