"දුව හවස වැඩක් නැත්තම් එන්නකෝ මගේ ඔෆිස් එක පැත්තේ. මේ මාසේ අන්තිමට දෙන්න තියෙන වැඩක් තියෙනවා මගේ පොත් වල කර ගන්න. අනුහස් වැඩකාරයා වුණාට ඔයාට වගේ පිළිවෙලකට වැඩක් කරන්න මිනිහට බෑ"
තාත්තා උදේ වැඩට යන්න ලෑස්ති වෙලා, ඔෆිස් බෑග් එක අරන් ආපු ආන්යට කිව්වා.
"ඒක නම් හොඳයි, ගෙදරට වෙලා පාලුයි කිය කිය මට වද දිදී ඉන්නවට වඩා" තාත්තා ලඟ උන්නු අම්මත් කිව්වා.
"මම එන්නම් තාත්තා" ආන්යා කිව්වා.
තාත්තා පිට වෙලා ගියාට පස්සේ අම්මා පෝටිකෝවේ තිබ්බ පුටුවකට බර වුණා.
"අනූ අද කීයට ඒවිද මන්දා. ඔය තරම් කුරුල්ලෝ ඉන්නවද මෙහේ හැමදාම බලන්න තරම්?" අම්මා අහනවා.
"ඉන්නේ නම් ටික දෙනයි, ඒත් ඉතින් එක එක ඉරියව්, හැසිරීම්, නාද රටා එහෙම බලන්න කියනවනේ ඔය යන්නේ" ආන්යා කිව්වේ ඈ අනුහස් ගැන දන්න නිසයි.
"ඒකට නම් මට කමක් නෑ. මේ හදිසියකට කඩේ යවා ගන්න ගෝපිවත් නැති එකයි මට තියෙන ප්‍රශ්ණේ. කොහෙද අනූ ආපු දා ඉඳලා වලිගේ වගේ ගෝපි එයා පස්සේ"
අම්මා ආයෙම කිව්වා.
"ඉතිං රාමන්ට කියන්නකෝ" ආන්යා කිව්වා.
"ඊයේ රෑ ඉස්ටෝරුව මුර කරලා ඇවිත් ඒ මිනිහා බුදි. පව් නේ නැගිට්ටවන්න ඕන නෑ කියලා හිතුණා. සෙල්ලම්මටත් ඔය වැඩ බෑ. රාධාවයි, කුට්ටිවයිවත් යවන්න බලන්න ඕන" අම්මා කිව්වා.
"මොනා ගේන්නද අම්මා?"
"ගෙදර සීනි ඉවර වෙලා. ලුණු කුඩු එකකුත් ගේන්න ඕන. මේ දවස් වල වැඩ වැඩි නිසා තාත්තට හැටන් යමු කියන්නත් බෑ හදිසියේ"
"චින්නා මුදලාලිගේ කඩේටද යන්න ඕන?"
ආන්යා ඇහුවේ වත්තෙම කඩයක් දාගෙන උන්නු කන්කානිගේ පුතාගේ කඩේ ගැන.
"ඔව්. එතන සාමාන්‍යයෙන් බඩු තියෙනවනේ"
"අනේ අම්මා මාත් යන්නද?" ආන්යා ඇහුවා.
වැස්ස නැති, හුලඟ සැර, සීතල අඩු මේ වගේ දවස් වල ඇවිදින්න යන්න ආන්යා කවදත් ආසා කලා. අම්මා ආන්යා දිහා බැලුවේ හිනා වෙලා.
"යන්න යන්න. ඔයා ඉතින් අනූට දෙවනි නෑනෙ"
ඉතින් ආන්යයි, රාධායි කඩේ යන්න පිටත් වුණා. කුට්ටිව එක්ක යන්න හදද්දි සෙල්ලම්මා ඒකට අකමැති වුණේ තුන් දෙනෙක් ගමන් යන්න හොඳ නැති බව කියමින්. ඒකේ ඇත්ත නැත්ත ආන්යා දැනං හිටියේ නෑ.
"චින්නාගේ කඩේ මේ වෙලාවට වඩ තියෙනවා බේබි...රස ඒවා" රාධා කිව්වේ දෙන්න මගට බහිද්දි.
"අපි කමු" ආන්යා කිව්වේ ආසාවෙන්.
පාර දිගේ හෙමිහිට පල්ලම් බහිද්දි වංගුවක් ගිය තැන තියෙන්නේ වත්තේ අය නාන තොටක්. තේ වත්ත ඇතුලට පඩි පෙලකින් බැහැලා ගියාම මේ නාන පීල්ල තිබුණා. තාත්තට හොරෙන් ආන්යත් දවසක් දෙකක් රාධා එක්ක මේ පීල්ලට නාන්න ඇවිත් තිබුණා. දෙන්නත් එක්ක හෙමිහිට පල්ලම් බහිද්දි ඈත තියාම ආන්යා දැක්කා එතන බයිසිකලයක් නවත්තගෙන කවුදෝ රෙදි පොට්ටනියක් අදිමින් ඉන්නවා.
"අර කවුද රාධෝ? නාරද මහත්තයාද? ඒත් මේ වෙලාවේ?"
"ම්ම්...අනේ මන්දා. යද්දි පෙනෙයි නේ"
කිව්වත් වගේ ටිකක් ලං වෙද්දියි ආන්යා ඒ කවුද කියලා හරියටම ඇඳින්නේ. අලුත් මැනේජර්. යතුරු පැඩිය උඩ රෙදි ගොනක් තියාගෙන ඔහු මොනවදෝ හොයන්වා. ආන්යට පොඩි හිනාවක් ගියෙත් ඇගේ පයට පොඩි, තද යමක් පෑගුනෙත් එකවිටම වගේ. ඈට බිම බැලුනේ ඉබේටම. පෑගිලා තිබුණේ යතුරු පැදියක යතුරක්. 'එතකොට අර මැනේජර් පණ කඩාගෙන හොයන්නේ මේක වත්ද?' ආන්යා නැවිලා යතුර අතට ගන්න ගමන් හිතුවා.
"බේබි, අර අලුත් සින්න දොරේ නේද?" රාධා ඇහුවේ හෙමින්.
"හ්ම්..යමුකෝ"
ආන්යලා ඔහු අසලට ලංවෙද්දි ඔහු ඔවුන් දිහා බලන්නෙවත් නැතිව තමන්ගේ වැඩේ කරමින්ම හිටියා.'අපි අල්ල ගනී කියලා වෙන්න ඇති නොබලන්නේ' ආන්යා ඔහුට හිතින් අවලාද කිව්වා. යතුර නොදී ඉන්න එක වෙලාවක හිතුණත් එහෙම කරන එක හරි නෑ කියලා ඈට ආයෙම හිතුණා.
"මේ...එක්ස්කියුස් මී.."හිතට ආපු නුරුස්නා ගතිය මැඩගෙන ආන්යා ඔහුව ඇමතුවා.
ඊලඟ මොහෙතේ වුණේ ආන්යා නොහිතපු දෙයක්. ඔහු ආන්යා දිහා එක එල්ලේම බලද්දි දෙන්නගෙම ඇස් නිමේෂයකට එකට පැටලුණා. ඒ නිමේෂය තප්පරෙන් දහයෙන් එකක් තරම් වුණත්, ඔහුගේ බැල්ම තමන්ගේ උණුසුම් හදවත පසාරු කරගෙන, අයිස් දහරාවක් වගේ, හිතේ පතුලටම කිඳා බහිනවා ආන්යට දැනුනා. ඒ ඇස් නිදිබරයි, තද දුඹුරු ඉංගිරියාව සැලෙනවා හෙමිහිට. ඒ හැමදේටම වඩා ඒ ඇස් පුදුමාකාර තරම් දොඩමලුයි..ඊලඟ මොහොතේ දෙන්නම ඉක්මණට අහක බලාගත්තා.
"මේ...මේ යතුර ඔයාගෙද?" ආන්යා ඇහුවේ තතනමින්.
ඔහු යතුර දිහා බැලුවා.
"ඔහ්...අනේ...ඔව් ඔව්. මම මේ එක තමා හොය හොය හිටියේ. තෑන්ක් යු...මේක කොහේ තිබිලද හම්බවුණේ" ඔහු කතා කල ඈ දිහා නොබලම. ආන්යගේ හිත තව ටිකක් සැලුණා.
"අතන පාරේ වැටිලයි තිබුණේ" ආන්යා උත්තර දුන්නා.
"ගොඩක් තෑන්ක්ස්" ඔහු ආයෙම ඈ දිහා බලලා කිව්වේ යතුර අතටගන්න ගමන්.
"යූ ආ වෙල්කම්..." ආන්යා කිව්වා.
ඊට පස්සේ ඇති වුණේ ටිකක් දිග නිහඬතාවයක්.
"අ...අම්...එහෙනම් අපි යන්නම්" ආන්යා ඔහුට කලින් වචන ගැට ගහගත්තා.
"හොඳයි...මමත් මේ ආපහු බංගලාවට යන්න හදන්නේ" ඔහු උන්නෙත් කලබල වෙලා වගේ.
"අපි ගිහින් එන්නම් මැනේජර් මහත්තයා" ආන්යා ඔහුට සමු දීලා එන්න ආවා.
"ආ...මේ..." ඔහු ආයෙම තතනද්දි ආන්යා හැරිලා බැලුවා.
"ඔයාගේ නම?"
"මම ආන්යා..."
"ඕකේ, තෑන්ක්ස් අගේන් ආන්යා. ගිහින් එන්න"
ආන්යා ඔහුට පිටු පාලා එන්න ආවා. අගේ හිත පොඩිත්තක් විතර නොසන්සුන් වෙලාද?
"නියම සින්න දොරේ...දහයට තමා නානවා...මේම ගියොත් වෙඩිකල් වත්තේ ඉන්නවා බොරු..." රාධා පස්ස හැරි හැරී බලමින් හිනා වෙවී කිව්වා.
ආන්යගේ හිතට එක පාරටම ආවේ පොඩි ලෝබකමක්. ආන්යා ආපහු හැරිලා බලද්දි ඔහුත් එවෙලෙම හිස හරවලා ඔවුන් යන දිහා බලා උන්නා. ඇය ආයෙමත් ඉක්මණට ඉස්සරහ බලා ගත්තා.
"පව්...මොනවත් දන්නේ නැති කෙනෙක් වෙන්න ඇති" ආන්යා කිව්වා.
"ම්ම්...අපිව දැකලා උඩ ගියා වගේ වුණා..." රාධා තාමත් හිනා වෙනවා.
"වැඩිය සමාජ ආශ්‍රයක් නැති පාටයි" ආන්යා කිව්වා.
"කෙල්ලොන්ට බයයිද කොහෙද" රාධා කිව්වා. ඒ පාර නම් ආන්යටත් හිනා ගියා.
"අනේ මන්දා රාධෝ"
සින්න දොරේ අන්යට කැමතියි වගේ...!!
ReplyDeleteලස්සන කතාවක් නෙතූ..දිගටම ලියන්න..
awuuuuuuu aluth sinna dore ge as anya ekek patelawila :D dan ithin oke lehagane wenne na :P ikmnate anik kotesath daneeeeeeeeeeee :D take care akki
ReplyDeleteහැමදාම වගේ ලස්සනයි,....
ReplyDelete