"කීයටද භූප දොස්තර ඉන්නේ?"
පුරුදු විදියට භූප දොස්තරව හම්බවෙන මාසේ තුන්වෙනි සතියේ
බ්‍රහස්පතින්දා, ඔහු එක්ක යන්න ලෑස්ති වුණේ මං. මම ඒකට ඉදිරිපත් වුණේ බලෙන් වගේ, භූප
එපා කියද්දිමයි.
"ම්ම්...අටහමාරට කලින් යන්න ඕන" භූප කිව්වේ
මිදුලේ තිබුණ ත්‍රීවීල් එකට නගින ගමන්.
මම වෙලාව බැලුවා. එවෙලේ වෙලාව හතහමාරයි.
"ම්ම්...තව වෙලා තියෙනවා" මමත් ඔහු එක්කම ත්‍රීවීල්
එකට නැග්ගේ, කේතකියි, භූපගේ අම්මයි බලාගෙන ඉද්දි ඉස්තෝප්පුවට වෙලා.
නිතරම ආගිය නිසාදෝ, භූපව බලපු දොස්තර භූප එක්ක ගොඩක්
හිතවත් වෙලයි උන්නේ. ඔහුත් පේරාදෙනියේ කැම්පස් එකේම කෙනෙක් වීමත් ඊට හේතුවක් වෙන්න
ඇති. මම භූප එක්ක කලින් එක පාරක් මෙහෙම බෙහෙත් ගන්න ඇවිත් තිබුණා. ඒ වතාවෙත්, අදත්
දොස්තර හම්බවෙන්න ඔහු ගියේ තනියෙම. මම ඇතුලට එනවට මොකක් හරි හේතුවකට ඔහු කැමති වුණේ
නෑ. එහෙම ඔහු කිව්වා නෙවෙයි, ඔහු ඇගෙව්වා විතරයි.
එදා වැඩිය ලෙඩ්ඩු නොහිටි නිසාදෝ, භූපගේ වාරේ ඉවර වෙලා
භූප එක්කම දොස්තරත් එලියට ආවා මට පෙනුනා. මම හිටියේ ඒ අය උන්නු තැනට ටිකක් දුරින්.
භූප එලියට ආ වග දැක්කම ම නැගිට්ටා. ඒ එක්කම මට පෙනුනා භූප දොස්තරට මොනා හරි කියන්වත්,
දොස්තර හිස හරවලා මම උන්නු පැත්ත බලනවත්. මම අමාරුවෙන් හිනාවක් මුවට නගා ගත්තා. ඊට
පස්සෙ තවත් විනාඩියක් විතර දොස්තර එක්ක කතා කරමින් උන්නු භූප රිපෝර්ට්ස් ටිකත් ආරගෙන
එන්න ආවා.
"මොකෝ අද දොස්තර මහත්තයා එලියටම ආවේ?" භූප
එක්ක එන ගමන් මම ඇහුවා.
"ඔයාව බලන්න" භූප කිව්වේ හිනාවෙලා.
"මාව බලන්න? අනේ මේ... විකාර නොකියා ඉන්න"
"විකාර නෙවෙයි ඇත්ත. දොස්තරට බලන්න ඕන කිව්වා, මේ
දුර්වල වෙච්ච හිත ශක්තිමත් කරගන්න උදව් වෙන, ඒ හදවත පුරාම ඉන්න කෙනා කවුද කියල"
භූප කිව්වේ සැහැල්ලුවෙන් වගේ.
"අනේ...ඔයාට නම් හොඳටම පිස්සු. මොනා කියන්වද මන්දා.
හරි හරි ඒකෙන් කමක් නෑ, මොනාද රිපෝට්ස් බලලා කිව්වේ මේ පාර?"
මම එහෙම ඇහුවම භූප අහක බලාගෙන උත්තර දුන්නේ නොසැලකිල්ලෙන්
වගේ.
"දැන්...ගොඩක් හොඳයි කිව්වා. බෙහෙත් මාරු කලා"
"එතකොට ආයෙම එන්න ඕන නෑ කිව්වද මාසෙන් මාසෙට?"
"ම්ම්" භූප හිස වැනුවේ හෙමින්.
"ඔය ඇත්ත නේද කියන්නේ?" ඔහු මා දිහාවත් නොබැලුව
හන්දා මම ඇහුවා.
"ඇත්ත තමයි ළමයෝ...අන්න අතන ත්‍රීවීල් එකක් තියෙනවා.
එන්න යමු. ලොකු වැස්සකුත් එන්න වගේ යන්නේ"
බොහොම සූක්ෂම විදියට කතාව වෙනස් කරලා භූප මාවත් ඇදගෙන
ආපහු ගෙදර එන්න ආවා. ඔහු කිව්වත් වගේම හැබැයි station එක පහු කරද්දිම වගේ මහා වැස්සක්
ඇදහැලෙන්න ගත්තා.
වැස්ස කොච්චරද කිව්වොත් ත්‍රීවීල් එක ගෙදර අයිනෙම නවත්තලත්,
බැහැලා යන ටිකට මගේ පැත්තක්ම තෙත බරිත වුණා.
"හපොයි, පුදුම වැස්සක්නේ" මට පස්සේ ගෙට දුවගෙන
ආපෞ භූප කිව්වේ ඇඳුම් ගසාදාන ගමන්.
කේතකීයි, අම්මයි ඒ එක්කම වගේ ඉස්තෝප්පුවේ පෙනී හිටියේ
අපි එනකල්ම බලාගෙන උන්නා වගේ.
"ඒකනේ. මම හිතුවා දෙන්නව වැස්සට අහුවෙයි කියල ඒත්"
භූපගේ අම්මා ඔහුගේ අතේ තිබ්බ රිපෝර්ට බෑග් එක අරගන වතුර පිහින ගමන් කිව්වා.
"station එක හරියට එද්දි වැස්ස පටන් ගත්තේ. මේ බහින
ටිකට ඒත් හොඳට තෙමුණා" එහෙම කිව්වේ මම.
"ඔයාට මම ඇඳුමක් දෙන්නම්. එන්නකෝ පිහගන්න"
"අනේ ඕන නෑ. මම දැන් ගෙදර ගිහින් මාරු කරගන්නම්
කේතකී"
"පිස්සුද? ඔය සාය හොඳටම තෙමිලනේ. අනික මේ මහ වැස්සේ
ඔය තරම් දුරක් යත හැකිද? පණ්ඩිතයා නොවී නංගිගෙන් ඇඳුමක් ඉල්ලලා ඇඳගන්න. වැස්ස පෑව්වම
යන්න" එහෙම කිව්වේ පුටුවකට බර වෙලා උන්නු භූප.
"ඔව් දුවේ. වැස්සා පෑව්වම යන්න" භූපගේ අම්මත්
කිව්වා.
ඉතිං අන්තිමට මට වුණේ කේතකීගේ ඇඳුමක් ඇඳගෙන, වැස්ස පායනකල්
එහේ ඉන්න. හැබැයි ඉතිං ඒක ගැන හිතේ අකමැත්තක් තිබ්බේ නෑ සතුටක් මිස.
කේතකීයි අම්මයි, කුස්සියට වෙලා කෑම ලෑස්ති කරන වෙලේ,
තවමත් වහිමින් තිබුණ එලිය දිහා බලාගෙන මමයි, භූපයි උන්නේ සාලේ. කාලෙකට පස්සේ භූප අතේ
වයලීන් එක තියෙනවා දැක්කම මට ලොකු සතුටක් දැනුනා. සමහරවිත ඒ ඔහුට හොඳ වග දොස්තර කියපු
සතුටට වෙන්න ඇති කියල මට හිතුණා.
"හම්මේ...කොච්චර කාලෙකට පස්සෙද ඔයා වයලීන් එක අතේ
තියාගෙන ඉන්නවාවත් දැක්කේ"
ඔහු අසලට වුණ මම කිව්වේ ඒ හන්දා. භූප මට හිනාවක් පාලා
වයලීන් එක අතට අරන් පිහලා, ටික වෙලාවක් තත් හෙම හදලා ඒක නිකට යටින් තියාගෙන ඇස් උස්සලා
මා දිහා බැලුවා.
"මොකක්ද ඔයාට ඕන?" ඔහු ඇහුවා.
"ම්ම්...අනේ මංදා. ගොඩාක් ඒවා තියෙනවා ආස. ම්ම්...එක්කෝ
ඔයාම ඔයා කැමති එකක් ප්ලේ කරන්න. ඔයා දන්නවනේ ඒ ඕන එකකට මං ආසයි කියලා" මම කිව්වා.
භූප හිනාවක් පලා හරි බරි ගැහිලා මොහොතක් කල්පනා කලා.
ඊලඟට ඔහු ඉතාමත්ම ලයාන්විත විදියට වාදනය කරන්න පටන් ගත්තේ වික්ටර් රත්නායක මහත්තයාගේ
'ඔබෙ දෙතොල් පෙති ලිහී' කියන ගීතයේ අනුවාදනය.
හැමදාම වගේ මම ඒ ලස්සන වාදනය අහගෙන උන්නේ, හිතේ මොකදෝ
දුකක් මීදුමක් වගේ පැතිරිලා දෑස් තෙත් කරද්දි. ඒ ගීතයේ 'සසර සැරි සරණ තෙක් ඔබ මගේ ඔබ
මගේ' කියන පද පෙලේ අනුවාදනය ඇහෙද්දි මට ඇත්තටම හීල්ලුනා. භූප උන්නේ ඇස් වහගෙන, ඒ වාදනයටම
සම වැදිලා වගේ. අන්තිමට ගීතය ඉවර වෙලා ඔහු ඇස් අරිද්දි මම ඒ මූණ දිහාමා බලාගෙන උන්නේ
කියාගන්න බැරි හැඟීම් ගොඩකින් ගොලු වෙලා.
භූප මගේ දෑස් වලින් බැල්ම ඉවත් නොකරම වයලීන් එක පැත්තකින්
තියලා, මගේ අතක් අරගෙන හෙමිහිට අල්ලගත්තා. මම දන්නෑ ඇයි මට ඒ තරම් දුකක් දැනුනේ කියලා.
මම බිම බලාගත්තේ කඳුලු වැටෙයි කියලා බයට.
"මා දිහා බලන්න..." භූප හෙමින් කිව්වා. ඒත්
මම ඇස් ඉස්සුවේ නෑ.
"මේ බලන්නකෝ...ඔහොම ඔයා ඇස් වල කඳුලු පුරෝ ගන්නවා
නම් මම කොහොමද ප්ලේ කරන්නේ?" භූප ඇහුවේ මගේ මූණට එබිලා.
ඒ පාර මට ඔහු දිහා බැලුණා. "නෑ...එහෙම හිතන්න එපා.
ඒක ගොඩාක් ලස්සන හන්දයි ඇස් වලට කඳුලු ආවේ. මං ඇඬුවා නෙවෙයි" මම කිව්වා.
භූප පුංචි හිනාවක් පාලා මගේ කම්මුලක් මුදුවට ස්පර්ෂ කලා.
"සිංදුව ඒ තරම් ලස්සනද?" භූප ඇහුවම මම හිස
වැනුවා.
"මම හැටන් ඉන්න කාලේ ඔය සිංදුව ඇහෙන හැම වාරෙකදිම
මට මතක් වුණේ ඔයාව. කාලයක් තිබ්බා රේඩියෝ එකේ හෙම ඒක ගියොත් මම රේඩියෝ එක නිවලා දාන.
ඒක මට ඒ තරම්ම දරාගනන් බැරි විදියේ හැඟීමක් ගෙනාවේ. පුදුමයි නේ, සිංදුවකට ඒ තරම් දෙයක්
කරන්න පුලුවන් කිව්වම?"
"හ්ම්ම්..."
"සසර සැරි සරණ තෙක් ඔබ මගේ..ඔබ මගේ...ඒක හරීම ලස්සන
සිංදුවක් දුලාරා. අපි වෙන වෙලා උන්නු කාලේ අපටම ලියපු එකක් වගේ. සිංදුව අහලා ගිහින්
මම නතර වෙන්නේ බීලා...(භූප ආයෙම හිනා වුණා ). ඒ තරම් ඒක මට දරාගන්න බැරිවුණා.සමහර වෙලාවට
තාමත්..." එහෙම කියලා භූප බිම බලාගත්තා.
"තාමත්...ඇයි?" මම ඇහුවා.
"දන්නෑ...සමහරවිට වෙච්ච දේවල් වල බරපතලකම නිසා වෙන්න
ඇති..." භූප කිව්වේ තාමත් වැහි වහින එලිමහන දිහා බලාගෙන.
"මට තේරෙන්නේ නෑ ඔයා මොනා කියනවද කියලා. වෙච්ච දේවල්
ගැන හිතන්නේ ඇයි තවත්?" මම ඇහුවා.
"ම්ම්...?" මොකක්දෝ කල්පනාවක වගේ උන්නු භූප
මා දිහාට හැරිලා ඇහුවා. මම හිස වැනුවා.
"හිතන්නෑ...ම්ම්. හිතන්න ඕන නෑ. මං දන්නවා. අපි
ලෝකේ දෙකෙලවරේ උන්නත් ඔයා ආදරේ මට වග මම දන්නවා දුලාරා. ඒ වගේම මේ භවයෙදි අපට එකතු
වෙන්න බැරි වුණත් සංසාරේ පුරාවට ඔයා මගේ විතරයි දුලාරා..." ඔහු කිව්වේ මගේ ඇස්
දිහාම බලාගෙන.
"අපට එකතු වෙන්න බැරි වුණොත් කියන්නේ මොකක්ද?"
"නෑ නෑ...මම ඒක එහෙම හිතලා කිව්වා නෙවෙයි...හරි.
දැන් කියන්නකෝ ඊලඟට අහන්න ඕන මොන සිංදුවද?" භූප ආයෙම වයලීන් එක අතට ගන්න ගමන්
ඇහුවේ, අර කතාව එහෙම පිටින්ම අමතක කරලා.
මම ඒකට විරුද්ධ වෙන්න උත්සාහ කරන්න හදපු එක වැලකුණේ මේසේ
උඩ තියලා තිබ්බ මගේ ෆෝන් එක නාද වුණ හන්දා.
අපි දෙන්නගෙම ඇස් යොමු වුණේ ඒ දිහාට.
"අම්මද දන්නේ නෑ" භූප කිව්වා.
ඒත් ෆෝන් එක අතට ගන්නත් කලින්ම screen එකේ රූපේ දැක්කම
මම දැනගත්තා ඒ අම්මා නෙවෙයි කියලා. මගේ හදගැස්ම වැඩි වුණේ ඉබේටම වගේ. මම ෆෝන් එක ඔන්
කරලා කනේ තියාගත්තේ භූප මා දිහා බලාගෙන ඉද්දි.
"හෙලෝ...අනුක්..." මම හෙමින් කිව්වා.
"දුලාරා...හම්මේ, ඔයාගේ කටහඬ අහන්න මම බලං උන්නු
තරමක්..." අනුක් එකපාරටම කිව්වේ එහෙම.
"ඔයා කොහෙද ඉන්නේ? ලංකාවට ආවද?" මම වෙනසක්
නොපෙන්වා ඇහුවා. ඒත් ඇත්තටම නම් අනුක් එක්ක මගේ තිබ්බේ නොමනාපයක්. ඒ ඔහු මට කියන්නෙවත්
නැතිව ගිය හන්දා. ඒත් භූප ඉස්සරහදි අනුක්ට ඒක කියන්න මට ඕන වුණේ නෑ.
"ආවා නේන්නං. පෙරේදා ආවේ" අනුක් කිව්වා.
"ඇත්තද? අපි ගියා දන්නෙත් නෑ. ආවා දන්නෙත් නෑ"
මම කිව්වේ උපහාසෙන්.
"යන්න වුණා වගේම එන්න වුණෙත් හදිසියෙන්...මං දන්නවා
ඒ ගැන ඔයා ඉන්නේ හිත හොඳකින් නෙවෙයි කියලා" අනුක් කිව්වේ පසුතැවිලි ස්වරේකින්.
මම එවෙලේ පත් වුණේ අපහසුතාවයකට. මම භූප දිහා බලද්දි ඔහු
උන්නේ වයලීන් එකේ තත් හද හද මගේ දිහාත් විටින් විට බලමින්.
"අනේ නෑ" මම ඇදලම කිව්වේ මට ඒකේ වගක් නෑ කියන
එක ඔහුට අඟවන්න මට ඕන වුණ හන්දයි.
අනුක් තප්පර කීපෙකට නිහඬ වුණා.
"ම්ම්...එහෙනම් කමක් නෑ. මං හිතුවා..." අනුක් කියද්දිම මම මැදින් පැන්නේ ඒ කතාව තවත් කතා කරන්න මට ඕන නොවුණ හන්දා.
"ඉතිං දැන් ඔය ගෙදරද ඉන්නේ? අක්කලා එහෙම සනීපෙන්ද?"
"අක්කලා සනීපෙන් ඉන්නවා දුලාරා" අනුක් කිව්වා.
"මං මතක් කලා කියන්න ආදරෙන්"
"ම්ම්...කියන්නම් ආයෙම ගෙදර ගියාම. මම දැන් ඉන්නේ
ගෙදර නෙවෙයි"
"හරි"
"ඔයා ගෙදර නේද ඉන්නේ?" ඊලඟට අනුක් ඇහුවා.
"ඔව්. වෙන කොහේ යන්නද. තාම ගෙදර. ඒත් මේ වෙලාවේ
නම් ඉන්නේ භූපලගේ ගෙදර" මම කිව්වේ භූප දිහා බලලා හිනාවක් පාලා.
"ආ...එහෙමද? හරි හරි. දැනගත්තු එකත් හොඳයි"
"ඇයි?"
"you will see. මං තියන්නම්. see you soon"
අනුක් එහෙම කියලා එක පාරටම කෝල් එක කට් කලාම මම පුදුම
වුණා. මට හිතුණා ඔහුගේ හිත රිදුනාවත්දෝ කියලත්. ඒත් ඔහුගේ හිත හදන එක කරන්න මට පුලුවන්
කමක් තිබුණේ නෑ තවත්.
"අනුක් මොකෝ කියන්නේ?" භූප ඇහුවේ මම තවමත්
ෆෝන් එක දිහා බලාගෙන කල්පනා කරමින් ඉද්දි.
"ම්ම්...නෑ මේ නිකං වෙන්න ඇති කෝල් කලේ. එයා රට
ගියානේ දැන් මාස දෙකකට විතර කලින්. පෙරේදලු ආවේ. ඒ හන්දා නිකං ගන්න ඇත්තේ" මම
කිව්වා.
"අනුක් මාර හොඳ කොල්ලෙක්" භූප කිව්වේ වයලීන්
එක පිහින ගමන්.
"ම්ම්"
"ඔයා එයාලගේ ගෙදර කොච්චර කල් හිටියද?" ඊලගට
භූප ඇහුවා.
"අවුරුදු එකහමාරක් වගේ"
"ඔව් නේ. චේතියගේ පැත්තේ කෙනෙක් වෙලත් අනුක් අපට
උදව් කරන්න ඉදිරිපත් වෙච්ච එක මම බලාපොරොත්තු නොවුණ දෙයක්. අනුක් නොවෙන්න සමහරවිට අපි
ආයෙම හම්බවෙන්න ලොකු කාලයක් යන්න වුණත් ඉඩ තිබ්බා, නැද්ද?"
"ම්ම්. "අනුක් හොඳ යාලුවෙක්. යාලුවෝ වෙනුවෙන්
ලෝකේ අන්තෙට වුණත් යන්න ඉදිරිපත් වෙන කෙනෙක්. එයා යාලුවෙක් විදියට මාව ගොඩක් තේරුම්
ගත්තා. චේතිය අයියා කවදාවත් ඒ දෙවල් තේරුම් ගත්තේ නෑ. මම ඔයාට කොච්චර ආදරේ කලාද කියලා,
ඔයා නැතුව මට ජීවිතයක් නෑ කියලා එයා තේතුම් ගත්තා. ඒයා පුලුවන් හැම වෙලේකම අපට උදව්
කලේ ඒ හන්දා...අනුක් මගේ හොඳම යාලුව භූප..." මම චුට්ටක් විතර හැඟීම්බර වෙන්න ඇති
ඒ ටික කියද්දි.
කරමින් උන්නු වැඩේ මග නතර කරලා භූපා මා දිහා බලාගෙන උන්නේ
විමසිල්ලෙන් වගේ. ඊලඟට ඔහු හිස වනලා මම කියපු එකට එකඟ වුණා.
"ඒ සේරටමත් වඩා එදා මාව වෙලාවට ඉස්පිරිතාලෙට ගෙනිච්ච
එකට මම අනුක්ට ගොඩක් ණයගැතියි. එහෙම නොවෙන්න මේ දේවල් කොච්චර වෙනස් වෙන්න ඉඩ තිබ්බද?"
වයලීන් එක ආපහු අසුරණේටම දාලා වහන ගමන් භූප කිව්වා.
"ම්ම්...මට නම් හිතාගන්නවත් බෑ"
භූප ආයෙම මගේ දෑස් වලට එබුණා.
"ඕන දේකට ඔට්ටු කෙල්ලෙක් වෙන්න දුලාරා. ලාමක හිතක්
තියෙන එක හැමවෙලේකම හොඳ නෑ"
"ඔන්න ආයෙම පටන් ගත්තා බණ කියන්න..." මම කිව්වේ
නොමනාපෙන්.
භූපට ඒ පාර හිනාවක් ගියා. එවෙලෙම වගේ ගෙදර කඩුල්ල ඉස්සරහා
කාගෙදෝ වාහනයක් ඇවිත් නැවැත්තුවාම අපි දෙන්නගෙම අවධානේ යොමු වුණේ ඒ දිහාට.
"කවුද ඒ?" භූප හෙමින් නැගිටලා ඉස්තෝප්පුව දිහාට
යද්දි, මමත් ඔහුගේ පස්සෙන් වැටුණා.
ඊලඟ මොහොතේ නවත්තපු වාහනෙන්, අර බද වැස්සේ එලියට බැස්සේ
මූණ පුරා රැවුලක් වවාගත්තු උස මහත කෙනෙක්. දැකලා පුරුදුයි වගේ හැඟීමක් දැනුනත් ඒ කවුද
කියලා මට එක පාරටම හිතාගන්න බැරි වුණා ඒ කෙනා වැස්සෙම කඩුලා ඇරලා වාහනේ ගෙයි මිදුලට
අරන්, වාහනෙන් බහිනකල්ම.
ඕන්න අනුක්ව ගෙනාවා...
ReplyDeleteඅනුක් නැති නිසා මම කතාව කියෙව්වේ ඕනවට එපාවට......එයාට තියෙන්නේ පිරිමි ළමයෙක්ට තියෙන්න ඕන චරිත ලක්ෂණ .... :)
ReplyDeleteදැක්කා නේ නෙතු මමත් කිව්වේ අනුක් නැතුව කතාවම පාළුයි කියලා. කවුරුත් කැමති අනුක්ට. මම හිකන්නේ ඔයත් කැමති අනුක්ට. ඒක නේ අනුක් කතාවේ ඉන්න කොටස් හරිම ආදරණීය විදියට ඹයාටත් ලියවෙන්නේ.
ReplyDelete:) මම කැමති අනුක්ට තමයි.අනුක් කියන්නේ ඕන කෙල්ලෙක් බලාපොරොතු වෙන විදියේ කෙනෙක්.එහෙම අය නැත්තේ නෑ ගොඩක් ඉන්නවා. හිතේ දේවල් තියාගෙන, මුකුත් බලාපොරොත්තු නොවී, අනික් කෙනාගේ සතුට වෙනුවෙන් දේවල් කරන, දේවල් දරාගෙන ඉන්න අය... මට හම්බවෙලා තියෙනවා. ඔයාලට හම්බවෙලා තියෙනවද?
ReplyDelete