බොහොම ඉක්මණින් ගෙවීගෙන යමින් තිබ්බ කාලෙත් එක්ක
තවත් නැවතිලා හිත
හිත ඉන්න තරම්
ඉඩක් මට තිබුණේ නෑ.
ඒ ගතවුණා කාලෙත් එක්කම ගොඩක් දේවල් තීරණය වුණෙත් සිද්ධ වුණෙත් හරිම
වේගෙන්. හෙමින් වුණත් භූප
ටිකින් ටික ආයෙම
වැඩක් කරන්න පුලුවන් තත්වෙකට සුවපත් වෙද්දි, චේතිය අයියගේ ඇවිත් ගිහින් මාස
දෙක තුනකට විතර
පස්සේ අපේ පොඩි
අයියගෙයි, ගෝතමී අක්කගෙයි මංගල
ගමනටත් දින තීන්දු වුණා,
ඒ ඊලඟ අවුරුද්දේ ජනවාරි මාසෙට. ඒ
වෙද්දි අයියලා දෙන්නම මා
එක්ක ආයෙම කතා
කරන්න පටන් අරගෙන තිබුණා. මේ
අතරේ අපේ convocation එකත්
ඉවර වුණා. ඒත්
ඒ වෙද්දි අප්පච්චිත් එක්ක මොකක්දෝ වැඩකට රට
ගිහින් උන්නු අනුක්ට ඒකට
එන්න වුණේ නෑ.
ඒ හන්දම අපි
අන්තිමට භූප ගෙදර
එක්ක එන දා
දැක්කට පස්සේ ආයෙමත් මට
අනුක්ව දකින්න ලැබුණේ නෑ.
හිතේ කොනක ඒ
ගැන දුකක් නොතිබ්බා නෙවෙයි. ඒ
අතරේ මමත් රස්සාවල් දෙක
තුනකට ඉල්ලුම් කලේ
මෙච්චර ඉගෙන ගෙන
ගෙදරට වෙලා ඉන්න
ඕන නැති හන්දා. ඉතිං
ආයෙමත් හැමදේම සාමාන්‍ය
තත්වෙට හෙමි හෙමින් පත්
වෙමින් තිබුණා. ඒ
නිසාම හිතේ තිබ්බෙත් සැනසීමක්.
"දුලාරා...මුලු
සතියෙම වැඩ කරලා
හරි මහන්සියි. අපි
යමුද චුට්ටක් අපේ
වෙල පැත්තට ඇවිදලා එන්න?"
දවසක් භූපව
හම්බවෙන්න මම එයාලගේ ගෙදරට ගිය
වෙලේක භූප එහෙම
ඇහුවා.
තවමත් මම
ඔහුගේ ගෙදර ආවා
මිසක, ඔහු අපේ
ගෙදර එක පාරක් වත්
ආවේ නෑ. මොකද
අපේ අම්මා තවමත් අපේ
සම්බන්ධෙට කැමති කියලා අඟවලාවත් නොතිබ්බ හන්දා. ඒත්
මම භූප බලන්න යනවට
අම්මා මුකුත් කිව්වේ නැහැ.
කේතකීට කියාගෙනම අපි
දෙන්න එලියට බැහැලා හෙමි
හෙමින් වෙල පැත්තට ඇවිදගෙන ආවා.
ඉර බැහැගෙන යමින් තිබ්බ ඒ
හැන්දෑවේ වෙල දිහාවෙන් හමාගෙන ආවේ
සනීපදායක හුලඟක්. අපි
එකිනෙකාට ගෑවෙන නොගෑවෙන තරම්
දුරින් ඇවිදගෙන යද්දි හිත
පිරිලා තිබ්බේ ලොකු
තෘප්තිමත් හැඟීමකින්.
"ගොඩක් මහසි
වෙන්න එපා භූප.
තාමත් ඔයාට හොඳටම සනීප
නෑනෙ" මම කිව්වා.
හුලඟේ සැලෙන කෙහෙරැලි අතරින් මා
දිහා බලපු භූප
හිනාවුණා.
"මට දැන්
සනීපයි ළමයෝ. අනික
කැමති දෙයක් කරද්දි මහන්සියක් දැනෙන්නේ නෑ"
"සනීප කොහෙද? මේ
පාරත් echo එක
බලලා ඩොක්ට කිව්වේ දිගටම පරෙස්සම් වෙන්න වෙයි
කියලනේ" මම කිව්වා.
භූප
ආයෙම හිනාවුණේ ඈත
බලාගෙන.
"හ්ම්...මැරෙන්න වෙලාව ආවම
ලෙඩක් තිබ්බත් නැතත් මැරෙනවා දුලාරා. ඒක
අපට නවත්තන්න බෑනෙ.
එහෙමයි කියලා අපට
කරන්න තියෙන වැඩ
නොකර ඉන්න බෑනෙ"
"ඔයා ඉතිං
කොයිවෙලේ බැලුවත් ඔය
වගේ අව කැපෙන කතාමයි කියන්නේ. එහෙම
කියලා හරියන්නේ නෑ.
ඩොක්ට කියපු දේ
අහන්න ඕන භූප.
විහින් ලෙඩ වැඩි
කරගන්න ඕන නෑනෙ"
මම කිව්වේ නොරිස්සුමින්.
"හරි හරි...මම එහෙම
මහන්සි වෙන්නේ නෑ"
ඔහු
නොසැලකිල්ලෙන් වගේ කියද්දි මම
නැවතිලා ඔහුගේ අතකින් අල්ලලා නවත්තාත්තා. ඔහු
මා දිහා බැලුවේ කුතුහලේකින්.
"ඔයා මට
ආදරේ නැද්ද භූප?"
"දැන් ඇයි
මේ හදිසියේ එහෙම
අහන්නේ?"
"මං අහපු
එකට උත්තර දෙන්නකෝ"
"ඒක අහන්නත් දෙයක්ද? ඔයා
දන්නවනේ මම ඔයාට
ගොඩක් ආදරෙයි කියලා" භූප
කිව්වේ දයාබරව.
"එහෙනම් අනේ
කියන දේ අහලා
පරෙස්සම් වෙන්න භූප.
හාට් එකේ ලෙඩ
එහෙම සුලු පටු
ඒවා නෙවෙයි නේ.
මට බයයි භූප...ඔයාගේ ලෙඩේ
වැඩි වෙලා ආයෙම
ඉස්පිරිතාලෙක නැවතිලා දුක්
විඳින්න වේවි කියලා. මට
ඇත්තටම බයයි"
මම
ඔහුට කියද්දි යාන්තමින් මගේ
දෑස් තෙත් වීගෙන ආවා.
භූප මා දිහා
බලාගෙන උන්නේ ආදරෙන්. ඒ
ඇස් වල තිබ්බේ දුකක්ද මන්දා ඒත්...
"හරි. මම
පරෙස්ස්ම වෙන්නම්කෝ තවත්
එහෙනම්. ඔයා බය
වෙන්න එපා. හැමදේම හොඳින් සිද්ධ වෙයි.
දැන් යං"
භූප
මොහොතක් එහෙමම ඉඳලා
කිව්වා. ඔහු එක්ක
ඕවිට දිහාට ඇවිදගෙන යද්දි මට
හිතුණා ඔහු කිව්වේ කියන්න හිතාගෙන උන්නු දේ
නෙවෙයි කියලා. ඒ
ඇස්වල තිබුණේ වෙනම
කතාවක් කියලා මට
හිතුණා. ඒ හිත
මට එවෙලේ නොපෙනුනත්, ඒ
හිත මට එවෙලේ දැනුනා නේද
කියලා පස්සේ මට
හිතුණා.
"මේ දවස්වල ඔය
කරන වැඩේ මොකක්ද භූප?"
ඕවිටේ වාඩි වෙලා
කිරිවැදීගෙන එන ගොයම
දිහා බලාගෙන මම
ඇහුවා.
"අපි මැගසින් එකකට
මනමාලියන්ගේ ෆොටෝ වගයක් ගන්නවා" භූප
කිව්වේ මගේ අසලින්ම වාඩි
වෙන ගමන්.
"ම්ම්...එහෙනම් ඔයාට
ලස්සන කෙල්ලෝ ගොඩාක් බලන්න හම්බවෙනවා ඇත්
නේ?" මම ඇහුවේ පුංචි ඉරිසියාවකින්.
"ම්ම්...හම්බවෙනවා හම්බවෙනවා. ඉතිං
මොකෝ?" භූප ඇහුවේ විහිලුවට වගේ.
"මොකද කියන්නේ? බැරි
වෙලාවත් කොල්ලගේ හිත
යන කෙනෙක් හිටියොත් මේ
ගමේ පෙම්වතීට මොකද
වෙන්නේ?" මම ඇහුවා.
භූප
මා දිහා බලුවේ හිනාවෙවී.
" ගමේ පෙම්වතී දන්නේ නැද්ද එහෙම
එක එක්කෙනාට දෙන්න හිත්
එයාගේ පෙම්වතාට නෑ
කියලා. ඒ හිත
කාලෙකට කලින්ම දීලා
ඉවරයි නේ"
භූප
එහෙම කිව්වම මට
ඔහු ගැන දැනුනේ ලොකු
ආදරයක්. මම ඔහුගේ උරහිසට වාරු
වුණා. ඔහු ඉස්සර වගේම
කම්මුල මගේ හිසට
හේත්තු කරගත්තා. අපි
එහෙමම ටික වෙලාවක් ඔහේ
උන්නා, වෙලෙන් එන
සුලඟ වැදි වැදී,
සුලඟේ නටන බණ්ඩි ගොයම
දිහා බලාගෙන.
"භූප..." ඊලඟට මුලින්ම කතා
කලේ මම.
"ම්ම්"
"අපි බඳිමුද?" ඒ
මම ඇහුවේ ටික
දවසක ඉඳන් හිතේ
කරකි කැරකි තිබ්බ දෙයක්.
පොඩි
අයියත් බැන්දට පස්සේ ආයෙම
අම්මලට මගේ වග
මතක් වෙනවා කියලා මම
දැනගෙන හිටියා. කෝකටත් දැන්මම අම්මලාට මේ
වග භූපගේ පැත්තෙන් කියවගන්න මට
ඕනකමක් තිබුණා.
"බඳිමු? මේ
හදිසියේ ඇයි එහෙම
හිතුණේ?"
"හදිසියේ නෙවෙයි භූප.
දැන් අයියා බැන්දම ආයේම
හැමෝගෙම අවධානේ එන්නේ මගේ
පැත්තට. ඔයා ඒක
දන්නවනේ"
"එහෙමද, නැත්තම මම
මේ මැගසින් එකේ
කෙල්ලෙක්ව අල්ලගයි කියලා බයේද?"
භූප ඇහුවේ හිනාවක් පාලා.
උරහිසින් හිස
අහක් කරගත්තු මම
ඔහුව පැත්තකට තල්ලු කලා.
"අනේ යන්න
භූප. ඔයාට හැමදේම විහිලු"
"අනේ අනේ
කෝ ඉතිං තරහා
ගන්න එපා..." භූප කිව්වේ මගේ
අතකින් අල්ලගන්න උත්සාහ කරමින්.
මම
ඔහුට රවලා එතනින් නැගිටලා ඉස්සරහ තිබ්බ පොඩි
කුඹුක් ගහ ලඟට
ගියා. භූපත් ඒ
එක්කම වගේ එතනට
ආවා.
"තරහද?" භූප ඇහුවේ ආදරෙන්.
මම
ඔහු දිහාට හැරුණේ තරහටම කඳුලු පිරුණ ඇස්
එක්ක. ඒ පාර
ඒ මූණේ තිබ්බ මද
හිනාවත් වියැකුණා.
"මං විහිලුවක් නේ
කලේ..." ඔහු කිව්වේ පසුතැවිල්ලෙන් වගේ.
මම
මුකුත් කිව්වේ නෑ,
බිම බලාගත්තා මිස.
"දුලාරා..." භූප මගේ
අතක් හෙමින් අල්ලගන්න ගමන්
කතා කල.
ඒත්
මම ඔහු දිහා
නොබලම උන්නා.
"එන්නකෝ අපි
වාඩි වෙලා කතා
කරමු" භූප කිව්වේ ඇල
අයිනෙන් ආපහු වාඩි
වෙන ගමන්. මම
ඔහු අසලට වුණා
ආයෙම.
"අපට බඳින්න පුලුවන් දුලාරා. ඔයාව
මගේ කරගෙන මගේ
ලඟින් තියාගන්න මම
ආස තරම් ඔයා
දන්නෑ. ඒත්...ඒක
එහෙම ආවට ගියාට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි නේ.
ඔයාට තාම වයස
විසි හතරයි. මට
විසි හතයි. මම
යන්තම් ජොබ් එකක්
කරන්න පටන් ගත්තා විතරයි. ඒ
අස්සේ මේ ලෙඩක් හන්දා ඒකත්
හරියට කරගන්න කල්
ගියා. මාව තේරුම් ගන්නකෝ මගේ
මැණික. මෙහෙම ආඩතාඩෙට ජොබ්
එකක් කර කර
මට ඔයාව බඳින්න බෑ.
මම තව ටිකක
මේ ජොබ් එකේ
ඉහලට යන්න ඕන.
පවුලක් නඩත්තු කරනවා කියන්නේ ලොකු
වගකීමක්. ඒ වගකීම ගන්න
ආර්ථිකෙත් හොඳට හදාගෙන ඉන්න
ඕන. මට ඔයාට
දුකක් දෙන්න බෑ
මැණික. ඒ නිසා
මට තව ටිකක් කල්
දෙන්නකෝ මේ ෆීල්ඩ් එකේ
තැනකට එන්න. මේක
හොඳ ෆීල්ඩ් එකක්.
ඒත් මුල් කාලේ
ඒකට ලොකු කැපවීමක් කරන්න ඕන.
හොඳ තැනක් හදාගන්න නම්
එහෙම කරන්නම ඕන.
අනික
බැන්දා, නොබැන්දා කියලා නෑ.
අපි හැමදාම එකට
ඉන්නවනේ. ඔයාගෙන් දුරස් වෙන්නෑ මම
කවදාවත්. වෙන කෙනෙක්ට ගෙනියන්න දෙන්නෙත් නෑ
ආයෙම...මාව විශ්වාස කරන්න දුලාරා. මට
තව අවුරුදු තුනක් දෙන්න"
භූප
කිව්වේ ආයාචනාත්මකව වගේ.
මම ඔහු දිහා
බැලුවා.
"අවුරුදු තුනක් ගිහිනුත් ඔයාට
ඕන තැනට එන්න
බැරි වෙලාවත් ඉඩ
නොලැබුණොත්?" මම ඇහුවා.
"එහෙම වෙන්නේ නෑ.
බැරි වෙලාවත් එහෙම
වුණොත්, මම ජීවත් වෙලා
හිටියොත් අනිවාර්යෙන්ම තුන්වෙනි අවුරුද්ද ඉවර
වෙන දවසේ අපි
බඳිනවා..." භූප කිව්වේ හිනාවක් පාලා.
"භූප..." මම කිව්වේ නොරිස්සුමින්.
"විහිලු නෙවෙයි. මං
ඉල්ලන්නේ අවුරුදු තුනයි. ඊට
පස්සේ මම ඔයා
කියන ඕන දෙයක් කරනවා" භූප
කිව්වේ මගේ අත
මිරිකගෙන.
මම
ඒ දෑස් දිහා
බැලුවා. මූණේ හිනාවක් තිබ්බට ඒ
සතුට ඇස් වල
තිබ්බේ නෑ. හිතට
මොකක්දෝ අවිනිශ්චිත බවක්
දැනුනත් මම ඒ
සිතිවිල්ල යටපත් කරගත්තා. මම
ආයෙම භූපගේ උරහිසට හේත්තු වුණේ
බරවුණ හිතක් එක්ක.
ඊට
පස්සේ අපි ආයෙම
ඒ ගැන කතා
කලේ නෑ. ගෙදර
විස්තර, අනං මනං
කතා කර කර
උන්නා මිස. අපි
ආපහු ගෙදර එන්න
ආවේ බටහිර අහස
තැඹිලි පාටින් පාට
කරගෙන ඉර වෙල
ඉහත්තාවේ රතු පාටින් දිලි
දිලී තියෙද්දි. භූප
විහිලු කලා වුණත් මම
දැනගෙන උන්නා ඔහු
මට කොච්චර ආදරේද වග.
ඔහු එක්ක උන්නු හැම
මොහොතකම රැස් වලල්ලක් වගේ
ඒ ආදරේ විහිදෙනවා වගේ
මට දැනුනා. ඒ
ආදරේ මගේ ලේ
මස්, ඇට නහර
දක්වාම මට දැනුනා. මං
ඒ ආදරේට කොච්චර නම්
ලෝබ වුණාද?
*****
"නැන්නා...දෙන්න..."
ලොකු
අයියගේ පැංචි මගේ
පස්සෙන් වැටිලා උන්නේ මගේ
අතේ තිබ්බ මල්
පීරිසිය හන්දා. බුදුන් වඳින
වෙලාවට මල් පීරිසිය තියන්න එයාගේ අතට
අපි දෙන්න ඕන.
ඉතිං මම ඈව
වඩාගෙන පීරිසියේ එක
පැත්තක් ඈට අල්ලගන්න දුන්නා.
ගොඩ
වෙලාවට සෙනුරි අක්කත් එක්ක
පැටියා අපේ ගෙදර
හවසට එන්න පුරුදු වෙලයි උන්නේ. අපිත් ඒකට
කොච්චර පුරුදු වෙලා
උන්නද කිව්වොත්, සෙනුරි අක්කට එන්න
බැරි වුණොත් මම
හරි අම්මා හරි
ගිහින් කෙලි පැංචිව එක්කගෙන ආවා.
"හරි පැටියෝ දැන්
සාදු කියන්න..." මල් පීරිසිය ආසනේ
උඩින් තියලා මම
කිව්වා.
"චාදු..." පැංචි දෑත්
එකතු කරලා කිව්වේ හුරතල් විදියට.
"හා...දෙන්නා එක්ක
වැඳලා ඉවරද?" මේ අතරේ
තාත්තත් ආවා සාලෙට.
මගේ
අතේ උන්නු චූටි
දෝණි තාත්තගේ අතට
පැන්නා. කොහොමත් තාත්තා තමයි
අපේ ගෙදර ඈ
වැඩියෙන්ම ආදරේ කරපු
කෙනා.
"මම පන්සිල් අරන්
එන්නම් තාත්තේ. පොඩ්ඩක් බබාව
තියාගන්න"
තාත්තත ඈව
බලාගන්න දීලා මම
පන්සිල් ගන්න ආවා.
හැමදාකම වගේ පන්සිල් අරන්
ඉවර වෙලා මම
ප්රර්ථනා කලේ
භූපගේ ලෙඩේ ඉක්මණින් හොඳ
වෙන්න කියලා.
"දෝණි...කෝ
අනේ මේ ළමයා?
අන්න අරහෙ ෆෝන්
එක කෑ ගහනවා දැන්
ගොඩ වෙලා"
පන්සිල් අරගෙන ඉවර
වුණා විතරයි අම්මා සාලෙට ආවේ
එහෙම කියාගෙන.
මම
ෆෝන් එක කුස්සියේ අමතක
කරලා ඇවිත්. දුවගෙන ගිහින් බලද්දි ෆෝන්
එකේ තිබ්බේ කේතකීගේ නොම්මරේ. මම
ආපහු ඈට ගත්තේ හිතේ
දෙගිඩියාවෙන්.
"හෙලෝ...හෙලෝ
කේතකී...ඔයා මට
කතා කලාද?"
"ආ...දුලා.
අනේ ඔව්. ඔහොම
ඉන්න පොඩ්ඩක්...ඉන්නකෝ මම
එලියට එනකල්" කේතකී කිව්වේ රහසින් වගේ.
මම
බැලුවා ඒ මොකද
ඈ එහෙම කිව්වේ කියලා. හිතේ
දෙගිඩියාව තවත් වැඩි
වුණා.
"හෙලෝ..දුලා..."
"ඔව් කේතකී කියන්න"
"මම මේ
එලියට ආවා දුලා
අයියා ඉන්න හන්දා සාලේ"
"ඒ මොකෝ?"
"අනේ දුලා
මේ අයියා එක්ක
බෑ. එයා අමාරුවක් දැනුනත් කියන්නේ නෑ
අපට. දැන් අද
දවල් ඉඳන් නිදි.
වඩට ගියෙත් නෑ.
මම ඇහුවා ඇයි
කියලා. එතකොට කිව්වා අද
නිවාඩුවක් ගත්තා කියලා"
"මට කිව්වෙවත් නෑනෙ"
මම කිව්වේ මොකක්දෝ බයකින් හිත
වෙල්ද්දි.
"ඒකනේ කියන්නේ. පස්සේ අම්මා ඇහුවා ඇයි
මේ දවාලේ නිදි
කියලා. ඒත් මුකුත් කිව්වේ නෑ.
දැන් මේ හවස
පුබුදු අයියා ආවම
ඒ පාර ත්රීවීල් එකක්
අරන් ඔන්න එයා
එක්ක ගියා අර
ටවුමේ නර්සින් හෝම්
එකට. මම හිතන්නේ ආයෙම
අමාරුවක් දැනිලද කොහෙද දුලාරා. ඔයාට
කියන්නත් එපා කිව්වා. ඒත්
නොකියා කොහොමද? ඒකයි
මම මේ කෝල්
කලේ"
කේතකී කිව්වම මට
දාඩියකුත් දැම්මා. ඒ
එක්කම හිතේ තිබ්බ බය
දෙගුණ වුණා.
"බෙහෙත් අරන්
ආවට පස්සේ මොකද?"
මම ඇහුවේ වෙවලන හඬින්.
"අනේ මංදා...ආං පුටුවට වෙලා
වැතිරිලා ඉන්නවා. අම්මා මොනාදෝ තෙලකුත් ගෑවා
පපුවේ"
"දැන් අමාරුවක් නෑ
වගේද?"
"දන්නෑ දුලා.
මොනවත් කියන මනුස්සයෙක් නෙවෙයි නේ"
කේතකී එහෙම
කිව්වම මට භූපව
බලන්න යන්න්ම ඕන
වුණා. මම ෆෝන්
එක තියලා තාත්තා හොයාගෙන දිව්වේ ඒකයි.සිද්ධිය කිව්වම තාත්තා ඉක්මණට මාවත් දාගෙන තාත්තගේ පරණ
චැලියේ භූපලගේ ගෙදරට එන්න
ආවා. මම ගෙට
ගියේ දුවගෙන වගේ.
ඒ වෙද්දි භූප
දෑසත් අඩවන් කරගෙන සාලේ
ලොකු සැටියට වෙලා
ඉන්නවා.
"භූප..." මම ඔහු
අසලට ගිහින් හිසට
අත තියලා කතා
කලා.
ඔහු
ඇස් ඇරියේ ගැස්සිලා වගේ.
ඊලඟට ඔහු නැගිටලා සටියේ වාඩි
වුණේ ටිකක් අමාරුවෙන් වගේ.
"දුලාරා...ඔයා
මේ වෙලාවෙ මොකෝ?"
"මං...මේ...නිකම් බලලා
යන්න ආවේ" මම ගොත
ගගහා වගේ එහෙම
කියද්දි භූප රවලා
වගේ බැලුවේ පැත්තක උන්නු කේතකී දිහාව. ඈ
උන්නේ බිම බලාගෙන.
"තමුසෙටත් කට
පියාගෙන ඉන්න බෑ
නේද නංඟි?" භූප ඇහුවේ අපේ
තාත්තා එතනට ඇවිදගෙන ආපු
වෙලේ.
තාත්තා උන්නේ කේතකීලගේ අම්මයි, තාත්තයි එක්ක
කතාවක.
"මොකෝ පුතා
මේ ආයෙම අසනීප වුණා
කියන්නේ?" තාත්තා ඇහුවම මගේ
බොරුවත් අහුවුණා.
"අනේ නෑ
මාමේ. මේක මේ
එහෙම අමාරුවක් නෙවෙයි. පහුඉය දවස්
වල දිගටම ෆෝටෝ
ගන්න එකනේ කලේ.
ඉතිං පොඩ්ඩක් ඇඟට
අමාරු වුණේ මහන්සිය නිසා. නැතුව මේ
අර අසනීපේ නෙවෙයි" භූප
කිව්වේ හිනාවෙලා.
මම
ඔහු දිහාම බලාගෙන උන්නා. මට
හිතුණා ඔහු කිව්වෙත් බොරුවක් කියලා.
"දිගටම බෙහෙත් ගත්තා නේ
නේද?" තාත්තා ඇහුවා.
"ඔව් ඔව්.
තාමත් ඒවා බොනවා මාමේ"
"ම්ම්"
ඊලගට
අපි දෙන්නට පොඩ්ඩක් කතා
කරගන්න දීලා තාත්තලා මැද
සාලෙට ගියා. කේතකීත් පේන්න උන්නේ නෑ.
"ඇත්තටම මොකද
වුණේ භූප?"
"මුකුත් නෑ
දුලාරා. පොඩ්ඩක් ඇඟට
අමාරුවක් වගේ දැනුනා එච්චරයි"
"ඔය ඇත්තමද? ඩොක්ට මොකද
කිව්වේ?"
"මුකුත් කිව්වේ නෑ.
පහුගිය ටිකේ මහන්සි වුණ
හන්දා වෙන්න ඇති
කිව්වා. දීලා තියෙන බෙහෙත් දිගටම ගන්න
කිව්වා. දැන් Clinic date එකත්
ලඟයි නේ. ඒකට
ගියාම කියයි නේ
මොකක් හරි අවුලක් නම්"
භූප කිව්වේ මගේ
දිහා නොබලා.
මම
ඔහු දිහා බලාගෙන උන්නා ටික
වෙලාවක්.
"ඔයාට මාව
ෂුවර් නෑ නේද?"
භූප ඇහුවේ හිනා
වෙලා.
"එහෙමෙ දෙයක් නෙවෙයි භූප.
අපි හැමෝම ඔයා
ගැන බය වෙනවනේ. මොනා
හරි අමාරුවක් නම්
හංගගෙන ඉන්න එපා"
"මට එහෙම
අමාරුවක් නෑ රත්තරං" භූප
කිව්වේ හෙමින් මගේ
අතක් ස්පර්ෂ කරලා.
මම
දිග සුසුමක් හෙලුවා.
"කේතකී කතා
කරාම මම හොඳටම බය
වුණා භූප" මම කිව්වා.
"මං ඒ
මෝඩිට කිව්වා ඔයාට
කියන්න එපා කියලා"
"මට නොකියා එයා
කාට කියන්නද?"
"ම්ම්...ඒකත්
ඇත්ත" භූප හිස
වැනුවා.
"පිස්සු හටන.
ආයේ හෙම ඔලුව
රිදුනත් මට කියන්න ඕන
හරිද?" මම කිව්වේ තරවටු විලාසෙන්.
"ඕ කේ
මැඩම්" භූප කිව්වේ මට
ඇද කරන ගමන්.
නොපෙන්නුවට එවෙලේ මගේ
හිත තිබ්බේ ගොඩක් චංචල
වෙලා. මට හිතුණෙම භූප
කියන්නේ ඇත්ත නෙවෙයි කියලා. ඒ,
භූප මම ගැන,
ගෙදර අය ගැන
තමන් ගැනට වඩා
ගොඩක් හිතන වග
මම දන්න හන්දා. ඒත්
ඇත්තටම මම හිතනවට වඩා
මහා හුඟක් භූප
අපි ගැන හිතලා තිබුණා.
ආයෙම
දවසක අපි තනියෙම හම්බවුණ වෙලාවක මම
ඒ දේ තවත්
තේරුම් ගත්තා. කේතකී ගෙයි
පිටිපස්සේ ගහේ රඹුටන් වගයක් කඩනවා බල
බල අපි කතා
කරමින් උන්නේ ඊට
මෙහා අඹගහයට තිබ්බ බංකුවේ වාඩි
වෙලා.
"දුලාරා..."
"ම්ම්"
"ඔයා දන්නවද අපේ ජීවිතවල වෙච්ච සමහර
දේවල් හන්දා මම
ඉගෙන ගත්තු දෙයක් තිබ්බා"
"මොකක්ද ඒ?"
"ඕනම දෙයක් ගැන
ඕනවට වඩා බලාපොරොත්තු තියාගන්න එක නරකයි කියලා. එහෙම
වුණාම අපි ගොඩක් දුර්වල වෙනවා ඒ
දේ නැති වුණොත්. අපේ
ජීවිත අවුල් වෙනවා"
"ඔයා ඔය
කියන්නේ අපේ affair එක
කැඩුණ එක ගැනද?"
මම ඇහුවා.
"ඒකත් එකක්
තමයි. ඒ ඇරුණම තව
දේවල් තියෙනවනේ"
"ඉතිං ඔයා
මොකක්ද කියන්න හදන්නේ?" මම
ඇහුවේ හිස උස්සලා.
භූප
මා දිහාට හැරිලා මගේ
දෑස් දිහා බලාගෙන උන්නේ උපේක්ෂාවෙන් වගේ.
"මං කියන්නේ ඕනම
දෙයක් ගැන ගොඩක් බලාපොරොත්තු තියාගන්න නරකයි කියලා"
"මොකක්ද ඒ
කතාවේ තේරුම?"
"ඇයි ඔයා
මේ හිටපු ගමන්
මේ වගේ දේවල් කියන්නේ?" මම
ඇහුවේ නැගීගෙන ආපු
මොකක්දෝ නුහුරු අසහනකාරී හැඟීමක් හිත
පෙලද්දි.
"එහෙම විශේෂ හේතුවක් නිසා
නෙවෙයි...නිකං. පහුගිය කාලේ
වෙච්ච දේවල් ගැන
හිතද්දි මට එහෙම
හිතුණා. වෙලාවකට අපි
දේවල් ගොඩාක් හිතට
ලං කරගන්නවා. ආදරේ,
දෙමව්පියෝ, සහෝදරයෝ, යාලුවෝ, රස්සාව...ඊට
පස්සේ ඒ දේවල් වල
පොඩි හරි වෙනසක් වුණාම ලොකුවට හිත
රිදෙනවා. පහුගිය කාලේ
අපි දෙන්නටම වුණේ
ඒකනේ නේද?"
මම
අහගෙන උන්නේ අහක
බලාගෙන. ඔහු මොනාට මේ
දේවල් කියන්වද කියලා තාමත් මට
තේරුණේ නෑ.
"ඉතිං දැන්
ප්රශ්ණයක් නෑනෙ
භූප. දැන් මොනාටද ආයෙම
ඕවා ගැන හිතන්නේ?"
මම
එහෙම ඇහුවම භූප
යන්තමට හිනාවෙලා මා
දිහා බැලුවා.
"ඉඳහිට හරි
අපි ජීවිතේ යථාර්ථය ගැන,
අනියත බව ගැන,
දේවල් වල වෙනස්වන සුලු
බව ගැන මෙනෙහි කරන්න ඕන
හන්දා" ඔහු ඊලඟට
කිව්වා.
"ඒ පාර
ඔයා හදන්නේ මහණ
වෙන්නවත් යන්නද?" මම ඒ
නොරිස්සුම්සහගත කතාව වෙන
පැත්තකට හරවන්න ඕන
නිසා විහිලුවට ඇහුවා.
"මහණ වෙන්නේ කොහොමද ඔයා
ඉද්දි?" භූප ඇහුවේ දයාබරව.
"එහෙනම් දැන්
කිව්වේ මොකක්ද මේ
වෙනස් වෙන සුලු
බව, ගොඩක් බලාපොරොත්තු තියාගන්න හොඳ
නැති බව අරක
මේක මෙනෙහි කරන්න ඕන
හෙම කියලා? මෙනෙහි කරලා
මදි නේ මිදීමේ මාර්ගෙකුත් ඕන
නැද්ද?"
මම
ඇහුවම භූපගේ හිනාව පුලුල් වුණා.
අනේ ඒත් ඒ
ඇස්වල ඒ හිනාව නොතිබ්බ හැටි
හැමවෙලේකම මට පෙනුනා.
"තියෙන්න ඕන.
මම ඒ මග
යන්න උත්සාහ කරනවා"
"මාව දාලා?"
මම ඇහුවා.
භූප
ආයෙම මා දිහා
බැලුවම ඒ ඇස්වල තිබ්බේ මගේ
හුස්ම හිරකරවන තරම්
දුකක්. මගේ හිත
මොකක්දෝ වෙලා යනවා
වගේ මට දැනුනා. ඊලඟට
භූප මට උත්තරයක් දුන්නේ අහක
බලාගෙන.
"ඇත්තම කිව්වොත් මම
යන හැම තැනකටම ඔයාව
මට අරගෙන යන්න
බෑ නේද දුලාරා? හිතන්න අපි
නාකි වෙනකල්ම එකට
උන්නත් අපට අන්තිමේදි යන්න
වෙන්නේ වෙන වෙනම
නේ"
ආදරේ
තියෙන බොලඳ කමින් මිදිලා භූප
ඇත්ත ඇති හැටියෙන්ම කතා
කරන්න පටන් අරගෙන තිබීම මගේ
හිතට එක කලේ
තවත් බරක්. ඔහු
කිව්වේ ඇත්ත වුණත් මට
දැන් ඒවා අහන්න මානසිකත්වයක් තිබුණේ නෑ.
"මම දන්නෑ ඔයාට
මොනා වෙලාද කියලා. ජීවිතේ යථාර්ථයයි, ඔය
ධර්මතා ගැනයි තේරුම් ගන්න
තරම් මට මානසිකත්වයක් නෑ
භූප. අනේ දෙයියන්ගේ නාමෙට ඔහොම
කතා කියලා මාව
මෙහෙම බය කරන්න එපා.
ඔයා දන්නෑ ඒක
කොච්චර අමාරුද කියලා. මම
දන්නේ මෙච්චරයි. ජීවත් වෙලා
ඉන්න තරම් කල්
මට ඔයා එක්ක
ඉන්න ඕන. මට
කලින් ඔයාට මොනා
හරි වුණොත්
වුණොත් මාව
නිකම්ම මැරෙයි භූප...සත්තයි එහෙම
වෙයි. මං ඔයාට
ඒ තරම්ම ගොඩක් ආදරෙයි" මම
කිව්වේ ඇස් වල
කඳුලු පුරෝගෙන.
භූප
එක අතකින් කිටි
කිටියේ මාව තුරුලු කරගත්තේ ආයෙම
වචනයක්වත් නොකියා. ඒ
හිතේ තිබුණ දුක්
ගින්දර මට පෙනුනේ නෑ.
ඔහු හිතින්, ගතින් දෙකින්ම විඳවපු තරම්
මම දැනගෙන උන්නේ නෑ.
ඒත් කියාගන්න බැරි
මොකක්දෝ දුකක්, ලතැවිල්ලක්, පාලුවක් වගේ
හැඟීමක් එදා ඉඳන්ම මහේ
හිතේ හොල්මන් කරන්න පටන්
ගෙන තිබුණා. මම
දැනගෙන හිටියේ නෑ
ජීවිතේ කියන සාගරේ කොයි
තරම් චණ්ඩ කුණාටු තව
ඉතිරි වෙලා තිබුණද කියලා.
යමු යමු ගලාගෙන ඉදිරියට නොනැවතී...
ReplyDeleteභූපට මෙහෙම වෙන එක නම් දුකයි.. කොයි තරම් වැරදි අඩුපාඩු තිබුණත් භූපගේ චරිතෙට මම ගොඩක් ආදරේ කළා.ඒත් හිතේ එක පැත්තකින් අනුක් ගැනත් කැමැත්තක් තියෙනවා..
ReplyDeleteමැදින් පැන්නට sorry .. අවරුදු 2කින් ගානකින් බ්ලොග් කියවනවත් බැරි උනා . අක්කි තාම ලියන එක ගැන සතුටුයි . පුළුවන් වෙලාවක කතා ටික ඔක්කොම කියවනවා මම .
ReplyDelete