"එහෙනං
මම ගිහිං එන්නද භූප..."
භූපව ගම්පහ
නවත්තලා එන්න ලෑස්ති වෙද්දි ඔහු අසලට ගිහින් මම ඇහුවම ඒ මූණේ ඇඳුනේ මොකක්දෝ දුකක්.
ඇඳ ලඟ මෙච්චර වෙලා උන්නු සූරි මාමයි, තාත්තයි හෙමින් එලියට යන්න ගියේ අපට කතා කරන්න
ඉඩ දීලා වගේ.
භූප කැනියුලා
එක ගහලා තිබ්බ අතින්ම මගේ අතක් අල්ලගත්තා මුදුවට, ඉස්සර වගේ. මට දැනුන හැඟීම විස්තරකරන්න
මට බෑ එවෙලේ.
"
ඔයා නොහිටින්න මට අද මොනා වෙලා තියෙයිද?" ඔහු කිව්වේ හෙමින්.
"මොනවත්
වෙන්නෑ...මම නාවා නම් ඔයාට මේක වෙන්නේ නෑනෙ"
"කියන්න
බෑනෙ, කවුද දන්නේ?
"හ්ම්...දැන්
ඒවා කතා කරන්න ඕන නෑ. ඉක්මණට සනීප වෙලා ගෙදර යන්නයි දැන් ඕන"
භූප මගේ
අත මිරිකගත්තා.
"ගෙදර
එන්න මට ඉවසුමක් නෑ... දැන් පුලුවන් නම් දැන් එනවා"
"ඉස්සෙල්ලා
සනීප වෙන්නකෝ"
මම එහෙම
කිව්වම භූප සතුටින් දිලිසෙන ඇස් වලින් මා දිහා බලාගෙන උන්නා.
"මම
ආපහු එද්දි, සේරම අලුත් වෙලා තියේවි නේද දුලාරා?"
"සේරම
නෙවෙයි භූප"
"ඒ
කිව්වේ?"
"මම
ඇරෙන්න අනික් සේරම...තාමත් මම ඔයාගේ පරණ දුලාරාමයි. ඒක වෙනස් වුණෙත් නෑ, වෙන්නෙත් නෑ"
මම කිව්වා.
"පණ්ඩිත
ආච්චි..." භූප කිව්වේ ආදරෙන්.
මම හිනාවුණා
ආයෙම.
"ආයෙ
කවදාවත් යන්න දෙන්නෑ මම...මොන දේ වුණත් තියාගන්නවා තද කරලා අල්ලගෙන. කාටවත් දෙන්න බෑ
ඔයාව මට. මගේ මුලු ජීවිතේම ඔයා දුලාරා. ඔයාගෙන් ඈත් වෙලා ඉන්න ඉන්න, මම තේරුම් ගත්තේ
ඒක..."
මම ඔහුගේ
අත දෝතින්ම අල්ලගත්තා.
"කවදාවත්
දාලා යන්න දෙන්නෙත් නෑ...මේ ආවා වගේ හොයාගෙන එනවා මමත්"
මම කිව්වම
භූපගේ වත හිනාවකින් එලිය වුණා.
"මම
ඔයාට ගොඩාක් ආදරෙයි දුලාරා..."
ඒ වචන ටික
මම නිදහස් හිතකින් ඇහුවේ කොච්චර කාලෙකට පස්සෙද?
ඉතිං ආයෙමත් ජීවිතේට දුකක් එන එකක් නෑ කියලා එවෙලේ මට හිතුණා. මම භූපගේ හිස
අතගාලා එතනින් එන්න ආවේ ආයෙම හෙට එනවා කියන පොරොන්දුව පිට. ඒත් ඒ එද්දි මගෙ හිතේ මොකක්දෝ
අවිනිශ්චිතභාවයක් තිබ්බේ ඇයි කියන්න මම දන්නේ නෑ. මම වෙනස් වෙලා නෑ කිව්වට මට තේරුණා
ඇත්තටම අද වෙද්දි මම ඇතුලාන්තයෙන් කොච්චර වෙනස් වෙලාද කියලා. තවමත් මම දැනගෙන උන්නේ
නෑ මේ වෙච්ච වෙනස්කම්වලට අපේ ගෙදරින් මොනවගේ ප්‍රතිචාරයක් දක්වයිද කියලා. හිතේ ඒ ගැනත්
තිබ්බේ චකිතයක්. හැමදේම හරි ගිහින් භූපට අපේ ගෙදරින් කැමති වුණත් එතනින් එහාට මොනවා
වෙයිද කියන අවිනිශ්චිතබව මගේ හිතේ මීදුමක් වගේ පාවෙමින් තිබුණා මොකක්දෝ අහේතුවකට.
"දෝණි"
පොඩි අයියා කේතකීලව හන්දියෙන් බස්සලා අපේ ගේ පැත්තට වාහනේ හරවද්දි තාත්තා මට කතා කලේ
මම තවමත් කල්පනාවක ගිලිලා ඉන්න අතරෙදි.
"තාත්තා"
"දැන්,
අම්මා ගෙදර ඇත්තේ හොඳටම කේන්තියෙන්. ඒකේ කිසි වරදක් මම දකින්නේ නෑ ඔයා කරපු දේ බරපතලකම
ගැන හිතනකොට. ඒ මොනා වුණත් දැන් ඒ දේවල් වෙලා ඉවරනේ. දැන් කරන්න දෙයක් නෑ. අම්මා මොනා
කිව්වත් ඔයා ඉවසගෙන ඉන්න ඕන හරිද?" තාතා කිව්වේ මා දිහාට හැරිලා.
දැනටමත්
අවුල් වෙලා තිබ්බ හිත තව ටික අවුල් වුණත්, මම මොනවත්ම ප්‍රතිචාරයක් දැක්වුවෙ නෑ.
"මොනා
කියන්නද? හැමදේම වුණේ මෙයා හන්දනේ...මම දන්නෑ මම දැන් ගෝතමීලට කොහොම මූණ දෙන්නද කියලා.
මගේ ඔලුව අවුල් වෙලා ඉන්නේ මේ හිටියට" පොඩි අයියා කිව්වේ තරහින්මයි.
"ගෝතමී
මොලේ නැති ළමයෙක් නෙවෙයිනේ. අනික නංඟි කියනවා නම් ඒ ගෙදරදි කිසිම වැරදි දෙයක් වුණේ
නෑ කියලා, ඔයා මොනා කිව්වත් මම ඒක විශ්වාස කරන්වා" තාත්තා කිව්වේ මාව පුදුමයට
පත් කරමින්.
"තාත්තා
මොනාද මේ කියන්නේ? තාත්තා හදන්නේ පනින රිලවුන්ට ඉනිමං බඳින්නනේ"
"මේ
හැමදේටම අපිත් වගකියන්න ඕන පුතේ. ඒක අපට නෑ කියන්න බෑ. නංඟි බෑ කියද්දි චේතියව බඳින්න
බල කලේ අපි. මේ හැමදේම වැරදුනේ අන්න එතනින්"
තාත්තා
කියනවා මම අහගෙන උන්නේ තවමත් පුදුමෙන්මයි. ඒත් එක්කම හිතට පොඩි සහනයක් දැනුනේ මොනා
වුණත් තාත්තා මගේ පැත්තට ඉන්නවා කියන එක මට සහතික වුණ හන්දා.
කොහොමින්
හරි තාත්තගෙයි, පොඩි අයියගෙයි තර්ක විතර්ක මැද ගේ ලඟට වාහනේ ලං වෙද්දි මගෙ හදගැස්ම
ආයෙම වැඩිවුණා. වාහන්නේ මිදුලට දාද්දිම ගේ ඇතුලේ ඉඳන් ඉස්තෝප්පුවට දුවගෙන ආවේ අම්මා. අම්මා එදා මම යන දවසේ ඇඳගෙන උන්නු
ඇඳුමම ඇඳගෙන, ඇදිලා ගිහිලා වගෙත් පෙනුන කොට මට දැනුනේ මහා දුකක්. මම කාර් එකෙන් බැස්සේ
ඇස් වල කඳුලු පුරෝගෙන.
අම්මා මාව
දැකලා ඉද්ද ගැහුවා වගේ නැවතුණත් මම ඈ ලඟට හෙමින් හෙමින් ගියා.
"අම්මේ..."
මම හෙමින් කිව්වා.
අම්මා මට
ගස්සලා අහකබලාගත්තත් ඒ ඇස්වල කඳුලු තිබ්බ වග මට පෙනුණා.
"අනේ
මට සමාවෙන්න අම්මේ" මම ඈ ලඟට තව අඩියක් තිබ්බා.
"සමාවෙන්න
පුලුවන් දෙයක්ද කලේ?" ඒ පාර මා දිහාට හැරුණ අම්මා ඇහුවේ නපුරු විදියට.
"මම
වරදක් කලේ නෑ අම්මා" මම කිව්වේ හැඬුම්බරව.
"නෑ
නෑ. වරද කලේ අපි. ලොකුම වරද තමා එකම කෙල්ල කියලා ඉල්ලන ඉල්ලන හැමදේම දීලා හදපු එක.
ඕනවටත් වඩා විශ්වාස කරපු එක" අම්මා කිව්වා.
"දූලගේ
අම්ම...පොඩ්ඩක් සන්සුන් වෙන්නකෝ. ඉස්සල්ලා වෙච්ච දේවල් පොඩ්ඩක් අහලා පස්සේ හිතන්නකෝ
මේ ළමයට තවත් බනින්න ඕනද කියලා" තාත්තා කිව්වේ, අම්මව ලඟ තිබ්බ පුටුවෙන් වාඩි
කරවන ගමන්. මම උන්නේ තාමත් ඉස්තෝප්පුවේ හිටගෙන.
ඊලඟට තාත්තා
අපිව හැටන් වලදි හම්බවුණ තැන ඉඳලා වෙච්ච දේවල් (අනුක් මට ආදරෙයි කියපු එක ඇරෙන්න) අම්මටයි,
ගෙදර ඇතුලේ ඉඳලා එලියට ආපු ලොකු අයියටයි, සෙනුරි අක්කටයිත් පැහැදිලි කලා. හැමෝම සාවධානව
අහගෙන උන්නත් කතාව ඉවර වෙද්දි කිසි කෙනෙක්ගේ මූණු වල කිසිම හැඟීමක් තිබුනේ නෑ.
"ඉතිං
ඒ ළමයට දැන් මොකදලුද?" එහෙම ඇහුවේ අම්මා.
"තාම
මොකද කියලා හොයාගෙන නෑ" තාත්තා කිව්වා.
මේ අතරේ
ගෝතමී අක්කගෙන් කෝල් එකත් ඇවිත් පැත්තකට ගියපු පොඩි අයියත් ආපහු අපි උන්නු තැනට ආවා.
මායි, තාත්තයි දෙන්නම ඔහු දිහා බැලුවේ බලාපොරොත්තුසහගතව.
"ගෝතමීලා
මොනවත් දන්නේ නෑ. තාම අනුක් ගෙදර ගිහිනුත් නෑ" අයියා එහෙම කිව්වා.
මගේ හිත
එක පාරටම සැලුණා අනුක්ගේ නම ඇහුණම.'තාම ගිහින් නෑ? කොහේ ගිහින්ද?' මගේ හිත මගෙන්ම ප්‍රශ්ණ
කරද්දි, අනුක්ට කෝල් එකක් දීගන්නවත් විදියක් නැති හන්දා මම තවත් අපහසුවට පත්වෙලයි උන්නේ.
"එතකොට
දැන් චේතිය කෝ?" එහෙම ඇහුවේ ලොකු අයියා.
"අනේ
මන්දා අයියේ මම කෝල් කරන්න උත්සාහ කරා සෑහෙන්න. ෆෝන් එක ඕෆ් කරලා"
ලොකු අයියගේ
මූණේ තිබ්බේ මම කවදාවත් දැකලා තිබ්බේ නැති විදිහේ අඳුරු පෙනුමක්.
"මම
දන්නෑ අපේ පවුලට මොන නස්පැත්තියක් වෙන්න යනවද කියලා. දැන් අපි අර මිනිස්සුන්ට මූණ දෙන්නේ
කොහොමද? ඇයි දුලාරා දෙයක් කරන්න කලින් ඒවා ගැන නොහිතුවේ? ඔයා හොඳටම දන්නවා නේද මේ සිද්ධිය
හන්දා පොඩි අයියගේ ජීවිතෙත් අවුල් වෙන වග?"
ලොකු අයියා
එහෙම අහුවම මට මොනවත්ම කියාගන්න බැරි වුණේ, අයියා කවදාවත්ම මට තරහින් කතා කරපු කෙනෙක්
නොවෙන හන්දා.
"මට
කාගෙවත් ජීවිත අවුල් කරන්න ඕන වුණේ නෑ අයියේ. මට ඕන වුණේ මම හන්දා අවුල් වුණ ජීවිතයක්
හදන්න අවස්ථාවක් ගන්න විතරයි. භූපට මේ හැමදේම වුණේ මම හන්දා. භූප අද ඉන්න තත්වෙට වග
කියන්න ඕනත් මම...මම ගියේ භූපව බලලා එන්න මිස එයා එක්ක පැනලා යන්න නෙවෙයි. ඒත් ගියාම
වුණේ අපි නොහිතපු දෙයක්..." මම කිව්වේ බිම බලාගෙන.
"ඔයා
හිතන්නේ අපි ඒක විශ්වාස කරයි කියලද?" ලොකු අයියා ඇහුවා.
"විශ්වාස
කලත් නොකලත් දැන් ඒකෙ වෙනසක් නෑනෙ. දැන් වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි. අපි දෙන්නම
කරපු වරදකට වන්දි ගෙවන්නේ අද භූප..." මම එහෙම කියද්දි මගේ හඬ වේගවත් වෙන්න ඇති.
ඒ පාර හැමෝම
මොහොතකට නිශ්ෂබ්ද වුණා.
"ආදරේ
කරන එක වරදක් නෙවෙයි" මම පුදුමෙන් හිස උස්සලා බැලුවේ ඒ හඬ ආවේ කොහෙන්ද කියලා.
ලොකු අයියා පුදුමෙන් වගේ බලාගෙන උන්නේ සෙනුරි අක්කා දිහා.
"වරද
ආදරේ කරන එක නෙවෙයි, නොගැලපෙන දේවල් කරන එකයි" එහෙම කිව්වේ අම්මා.
"නොගැලපෙනවා
කියලා හිතනන්න හේතු තිබුණේ නෑ අම්මා. මම හිතලා ආදරේ කලා නෙවෙයි, ඒක ඉබේම ඇතිවුණා. ඒකට
මම මොනා කරන්නද? අනික භූප කොහොමටවත් නරක කෙනෙක් නෙවෙයි...එයා අහිංසකයි. එයාට අද මේක
වුණෙත් ඒකයි. එයාගේ හිත ගොඩක් සංවේදී හන්දා. ඒ බිඳුණ ආදරේ අමතක කරන්න එයාට හිත හදාගන්න
බැරි හන්දා" මම කියාගෙන ගියේ හිතේ තිබ්බ වේදනාවටමයි.
"දෝණි...දැන්
ඇති. ඕක නවත්තලා ගැන ගිහිං ඇඟ සෝදගෙන නිදාගන්න. දැන් ඕවා නෙවෙයි නේ කතා කරන්න ඕන. ඉස්සරහට
කරන්නේ මොකක්ද කියලයි" එහෙම කිව්වේ තාත්තා.
"ඉස්සරහට?"
අම්මා තාත්තා දිහා බැලුවා. "ඔයා හිතනවද ආයෙම චේතිය පුතා කැමති වෙයි කියලා මෙයාව
බඳින්න?" අම්මා ඇහුවා.
"මම
කාවවත් බඳින්නේ නෑ" මම කිව්වේ හිතුවක්කාර විදියට.
"මොකක්?"
අම්මා මා දිහාට හැරුණා.
"කොහොමවත්
චේතියව බඳින්නේ නෑ" මම කිව්වා.
"එතකොට
ඔයා හිතාගෙන ඉන්නේ භූපව බඳින්නද?" එහෙම ඇහුවේ ලොකු අයියා.
"මට
බඳින්න ඕන නෑ" මම කිව්වා.
අම්මා මා
දිහා බලාගෙන උන්නේ තරහා ගිය තරමට කතා කරගන්න බැරුව වගේ.
"හරිනේ...අම්මා
අහගත්තා නේද? ඔන්න, උඩ තියාගෙන හැදුවට ඕකතමයි මෙයා කලගුණ සලකන විදිහ. දැන් අම්මලට සන්තෝෂද?"
පොඩි අයියා ඇහුවේ අවඥාවෙන් වගේ.
"මම
දැන් එක පාරක් කිව්වානේ. මේ ඔව්වා කතා කරන වෙලාවක් නෙවෙයිනේ. මොනාද මේ කියවන්නේ. මෙන්න
මේ ළමයට පොඩ්ඩක් විවේක ගන්න දෙන්න. අරහේ අර ළමයා ලෙඩේවත් හොයාගන්න බැරිව ඉස්පිරිතාලෙක
වැටිලා ඉන්නවා. මෙයාලා මෙහේ මගුල් ගැන කතා කරනවා. මොන අසික්කිත වැඩක්ද මේ? දෝණිට කසාද
බඳින්න බැරි නම් නොබැඳ ඉඳපුවාවෙ. ඒක කවුරුවත් ප්‍රශ්ණයක් කරගන්න ඕන නෑ. දැන් මේ කතා
ඇති. මේ හැමදේම වුණේ හැමෝටම ඕන දේවල් මුදුන්පත් කරගන්න ගියායින් තමා. ඒක මගෙත් වරද.
දෝණි ඔයා දැන් යන්න ගෙට. මේ ගැන තවත් කරා කරන්න ඕන නෑ" තාත්ත මට විධානය කලා.
"ඔය
බුරුල දිවිල්ල හන්දා තමා මේ ළමයා මේ තරම් හිතුවක්කාර වුණේ. ගේ ඇතුලට ගියාට ප්‍රශ්ණ
විසඳෙන්නේ නෑ. දැන් අපේ නෑයොයි, අහල පහල උනුයි අපට අනික් පැත්තෙනුත් හිනාවෙයි. අනේ
හැබෑටම මහත්තයට මේවා ගැන තැකීමක් නැති හැටි?" අම්මා දොස් කිව්වෙ තාත්තට.
"අනික්
මිනිස්සු ඔනෑ එකක් කියපුවාවේ. අපේ ඇඟේ ඇලෙන්නේ නෑ නෙව. දෝණිට මම ගෙට යන්න නේද කිව්වේ?"
ඒ පාර තාත්තා සැර වුණා.
මම ගෙට
එන්න ආවේ තාත්තයි, අම්මයි උස් හඬින් තව මොන මොනාදෝ කියවන අතරේ.
කාමරේට
ඇවිත් දොර වහගත්තු මම දිග සුසුමක් හෙලුවේ හිතට දැනෙමින් තිබුණ නොසන්සුන්කම, ලතැවිල්ල
නැති වේවි කියලා. කොහොම වුණත් මගේ හිතේ තිබ්බ දේ මම කිව්ව හන්දා හිතේ පොඩි සැහැල්ලුවක්
මට නොදැනුනා නෙවෙයි. ඒත් වෙනදා ගෙදරදි දැනෙන සතුට, නිදහස අද මට දැනුනේ නෑ. මුලින්ම
අනුක්ලගේ ගෙදර නවතින්න ගිය දා දැනුනා වගේ නිහුරු බවක්, මොකක්දෝ අපහසුතාවයක් අද මට ගෙදරදි
දැනෙමින් තිබුණා. ඒ සමහරවිට ගෙදර හැමෝම මා එක්ක අමනාපෙන් උන්නු හන්දා වෙන්න ඇති. ඊලඟට
දොර ලොක් කරපු මම මුලින්ම කලේ බෑග් එකෙන් ෆෝන් එක අතට අරන් අනුක්ගේ නොම්මරේ ඔබපු එක.
"හෙලෝ...හෙලෝ
දුලාරා..." ටිකකින් අනුක්ගේ හඬ එහා පැත්තෙන් ඇහුණා.
"අනුක්.."
"ඔයාලා
ගෙදර ආවද? භූපව ඉස්පිරිතාලේ නැවැත්තුවද?" අනුක් ඇහුවා. ඔහුගේ හඬ එක්කම පසුබිමින්
ඇහුණ ඝෝෂාව හන්දා මට හිතුණේ ඔහු ඉන්නේ එලියේ කියලා.
"ඔව්.
භූපව නවත්තලා අපි මේ දැන් ආවා විතරයි. ඔයා කොහෙද ඉන්නේ අනුක්? තාම ගෙදර නොගියේ ඇයි?"
"ම්ම්...මම
මේ දැන් ගේ ලඟ ඉන්නේ" අනුක් කිව්වා.
"ඔයා
කොහේද මෙච්චර වෙලා ගියේ?"
"ම්ම්...කොහේවත්
නෑ. හෙමි හෙමින් ආවා"
"මෙච්චර
වෙලා?"
"මං
ගැන එච්චර වද වෙන්න එපා දුලාරා"
"වද
නොවී? ඔයා මට උදව් කරන්න ඇවිත් ආගිය අතක් නෑ කියලා ඇහුවම මම කලබල වෙන්නේ නැද්ද අනුක්?"
"කවුද
කිව්වේ දැන් මම ආගිය අතක් නෑ කියලා?
"අයියා
ඔයාලගේ ගෙදරට කෝල් කරලා"
"ම්ම්...
එහෙමද?" අනුක් සුසුමක් හෙලුවා.
මමත් සුසුමක්
හෙලුවා, ඒත් මුකුත් ආයෙම කිව්වේ නෑ.
"අහන්න...ඉතිං
මං එක්ක ඔහොම තරහා ගන්න එපා. මම මේ ඇත්තටම ගේ ලඟ ඉන්නේ" අනුක් කිව්වා.
"හ්ම්"
මම තවමත් මුකුත් කිව්වේ නෑ.
"දුලාරා..."
"ඇයි?"
අනුක් කතා
කරන්න වෙලා ගත්තා.
"මම...වාහනේ
මග නවත්තගෙන ගොඩක් වෙලා කල්පනා කර කර හිටියා වෙච්ච දෙවල් ගැන. වෙන කොහේවත් ගියා නෙවෙයි"
"ම්ම්"
"මම
දන්නෑ මොනා කරන්නද කියලා"
"ඇයි
එහෙම කියන්නේ?"
"ඔයා
නැතුව නුවර, ගෙදර විතරක් නෙවෙයි මගේ ජීවිතෙත් පාලු වෙලා වගේ දුලාරා..." අනුක්
හෙමින් එහෙම කිව්වම මගේ හිත සලිත වෙලා යනවා මට දැනුනා.
"එහෙම
කියන්න එපා අනුක්" මම කිව්වේ දෑස් තෙත් වෙද්දි.
"මට
තේරෙන්නේ නෑ දුලාරා..."
"අපි
වෙන් වෙලා නෑනෙ අනුක්, තාමත් අපි හොඳ යාලුවෝ"
"ඔයා
හිතනවද ආයෙම අපට යාලුවෝ වෙන්න පුලුවන් කියලා?"
"මොකක්ද
ඒ කතාවේ තේරුම?"
"ඔයාගේ
ගෙදරින් ආයෙම කවදාවත් අපට කතා කරන්න, මුණගැහෙන්න ඉඩ දෙන එකක් නෑ"
"ඒත්
එහෙම වුණත්, අපි ජීවිත කාලෙම හම්බ නොවුණත්, මගේ හිතේ ඔයා ගැන තියෙන හැඟීම වෙනස් වෙන්නේ
නෑ. අපිට කොහොමහරි කතා කරන්න පුලුවන්"
අනුක් ආයෙම
සුසුමක් හෙලුවා.
"ඔයා
ඔහොම කතා කරද්දි ඔයා මගේ නෙවෙයි කියලා මට අමතක වෙනවා"
"එපා
අනුක්...ඒ ගැන විතරක් හිතන්න එපා. මට ඔය කියන විදිහේ දේවල් ගැන හිතන්නවත් බෑ. ඔයා ඒක
දන්නවා"
"මට
ඒ ගැන නොහිතා ඉන්න බෑ"
"ඔයා
පරෙස්සමින් ගෙදරට යන්න. ගිහින් මට message එකක් දාන්න. අපි පස්සේ කතා කරමු" මම
කිව්වා.
"මාව
අමතක කරන්නේ නෑ නේද?" අනුක් ඇහුවා.
"කවදාවත්
නෑ අනුක්"
"දුලාරා..."
"දැන්
යන්න අනුක්"
"එක
දෙයක් කියන්නද?"
"මොකක්ද?"
"කවදාහරි
ජීවිතේ මොනම වෙලාවක හරි ඔයාට මාව ඕන වුණොත්, මතක තියාගන්න මම ඔයාට ඉන්නවා. ඒ ඕන වෙලාවක
මට කතා කරන්න අමතක කරන්න එපා"
"ආය්ම
කවදාවත් අපි හම්බවෙන්නෑ වගේ කතා කරන්න එපා අනුක්" මම කිව්වේ ඇත්තම මට ලොකු දුකක්
දැන්මේන් තිබුණ හන්දා.
අනුක් මොහොතකට
නිහඬ වුණා."ඔයාට තේරෙන්නේ නෑ දුලාරා මට එන්න ඕන තරමක්. මට පුලුවන් නම් මේ දැන්
මම එනවා. ඒත් මට බෑ තියෙන ප්‍රශ්ණ මදිවට ඔයාට තවත් ප්‍රශ්ණ ඇති කරන්න" ඔහු ඊට
පස්සේ කිව්වේ වේදනාවෙන් වගේ.
"මම
දන්නෑ අනුක්. මට මේ හැමදේම එපාවෙලා ඉන්නේ. අඩු ගාණේ මගේ දුක කියන්න මට දැන් ඔයත් නෑ"
"මොකද
වෙලා තියෙන්නේ කියන්න?" අනුක් ඒ පාර ඇහුවේ කලබලෙන් වගේ.
මම ගෙදරට
ආවට පස්සේ වුණ දේවල්, මට දැනෙමින් තිබ්බ නොසන්සුන්කම, පාලුව, දුක ගැන කියාගෙන කියාගෙන
ගියා. හිතේ තෙරපි තෙරපි මාව ලොකු පීඩාවකට පත් කරමින් තිබුණ මේ සිතිවිලි සේරම ලැබුණ
අවසරෙන් ඉවුරු කඩාගෙන එලියට ගලමින් තිබුණා. මගේ දුක් අඳෝනාව ඉවර වෙද්දි ආයෙමත් අනුක්
උන්නේ නිශ්ෂබ්ද වෙලා.
"දුලාරා...කොච්චර
අමාරු වුණත් සමහර දේවල් අපට ඉවසන්නම වෙනවා. අම්මලා ඔය තරහින් ඇත්තේ ඔයා කාටවත් නොකියා
දවස් දෙකක්ම ගෙදරින් පිට ගිහින් උන්නු නිසා වෙන්න ඇති වැඩියක්ම. ඔයා දැක්කනේ මට කොච්චර
තරහා ගියාද කියලා ඔයා ඔය වැඩේ කලාම. ඔයා පිලිගන්න ඕන ඒක වරදක් වග. ඒත් ඔයා ගියපු අරමුණ
නරක එකක් නෙවෙයි. අන්න ඒ නිසා මම ඔයාට සමාව දුන්නා. ඒ වගේ අම්මලා එක වෙලාවක තේරුම්
ගනීවි ඔයා ගැන. ඒක අද හෙට වෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා ඒත්. දන් මේ සිද්ධිය වුණා
විතරනේ. කල් යයි, ඒත් තේරුම් ගනියි. ඒ නිසා ඉවසගෙන ඉන්න බලන්න" ඊලඟට ඔහු කිව්වේ
මහා පරිණත විලාසෙකින්.
"හ්ම්"
"පුලුවන්
ඕන වෙලාවක මට කතා කරන්න දුලාරා...ලඟ ඉන්න බැරි වුණත් අහගෙන ඉන්න මම ඉන්නවා ඔයාට. දුකින්
ඉන්න එපා දුලාරා...හැම දෙයක්ම හරි යයි. ඔයාට ආයෙමත් භූපව නැති වෙන එකක් නෑ" අනුක්
කිව්වා.
"හ්ම්ම්...අනුක්..."
"ඔව්
දුලාරා..."
"කරපු
හැම උදව්වකටම, විඳපු හැම කරදරයකටම ඔයාට ගොඩක් පිං අනුක්"
"එහෙම
කියන්න එපා, මේ දේවල් කලේ පිං තකාගෙන නෙවෙයි...ඇයි කියලා ඔයා දන්නවා" අනුක් ආයෙමත්
එන්නේ කතා කරන්න මට අපහසු වුණේ දේටමයි. මම උත්සාහ කලා ඒ කතාව වෙනස් කරන්න.
"දැන්
ඔයා ගෙදරට යන්න අනුක්. අපි ආයෙම පස්සේ කතා කරමු. ඔයාලගේ ගෙදර දැන් මොන තත්වයක් ඇත්ද
දන්නේ නෑ"
"ඔයා
බයවෙන්න එපා. ඒ සේරම මම බලාගන්නම්"
"මට
බය හිතෙන්නේ මේ සේරම හන්දා අපේ අයියගෙයි, ගෝතමී අක්කගෙයි අතරේ ප්‍රශ්ණයක් ඇති වෙයි
කියලා" මම කිව්වා.
"එහෙම
වෙනවනම් ඉතිං ඒක ඒ ගොල්ලන්ගේ ප්‍රශ්ණයක් නේ දුලාරා. ඒ දෙන්නට දෙන්නා ආදරේ නම්, විශ්වාසවන්ත
නම් අපේ ප්‍රශ්ණ ඒවට වැඩක් නෑනෙ. ඒක මම බලාගන්නම් ඔයා ඒවා හිතන්න එපා"
"මං
දන්නෑ අනුක්"
"මාව
විශ්වාස නැද්ද?"
"විශ්වාසයි
ඒත්..."
"මම
ඔයාට ප්‍රශ්ණයක් වෙන්න ඉඩ තියන්නේ නෑ, මම තැන නොතැන නොබලා කියපු දෙයක් හන්දා...බය වෙන්න
එපා"
"ඔයා
ඒක කියපු එක ගැන නෙවෙයි මම කියන්නේ"
"
ඒත් මේ සේරම වුනේ ඒ නිසානෙ"
"මං
දන්නෑ..."
"ඔය
ඉතිං, ඔයා ආයෙම depress වෙනවා..."
"නෑ...නෑ.
ඔයා දැන් ගෙදරට යන්න අනුක්. පෙරේදා ඉඳන් ඇඳගත්තු ඇඳුම් පිටිනේ ඔය ඉන්නෙත්" මම එහෙම කිව්වම අනුක්ට හිනා ගියා.
"හරි
හරි..."
"එහෙනම් මම තියන්නද?"
"
තියන්න කලින් එක දෙයක් කියන්න
ඕන මට" අනුක් කිව්වේ හෙමින්.
"කියන්න"
"ආයෙම
කවදාවත් මම මේක ඔයාට කියන එකක් නෑ අදින් පස්සේ"
"කියන්න
ඉතිං…"
"
ම්ම්...මම ඔයාට ආදරෙයි...මහා ගොඩක් ආදරෙයි දුලාරා. මගේ හිතට දරාගන්න බැරි තරම් ආදරෙයි...හැමදාම
ඒ ආදරේ මේ හිතේ තියේවි. එහෙම නොකර ඉන්න මම දන්නේ නෑ. Please මං ගැන වරදවා හිතන්න එපා.
"
මම මුකුත්ම
කිව්වේ නෑ. ඇස් වලට කඳුලු අහේතුකවම උනද්දි මුනිවත රැක්කා මිස.
"තියන්නම්
දුලාරා ඔයාට බුදු සරණයි"
No comments:
Post a Comment