Friday, May 23, 2014

හැටදෙවන කොටස



"හා...මෙන්න මෙයා ඇවිල්ලා...එන්න එන්න සුබ ආරංචියක් තියෙනවා කියන්න"
සිකුරාදා දවල් දෙකට විතර මම library ගිහින් ඇවිත් ගෙට ගොඩ වෙද්දිම ගෝතමී අක්කා කෑ ගැහුවේ මගේ අතකින් ගේ ඇතුලට ඇදලා ගන්න ගමන්. මම අන්ද මන්ද වෙලා ගියා හදිසියේම වුණ දේ නිසා.
"මොකක්ද මොකක්ද වෙලා තියෙන්නේ?"
මම ඇහුවේ ගේ ඇතුලේ හිනා වෙමින් උන්නු උත්පලා අක්කා දිහාත් බලන ගමන්.
"congratulations.. ඕන්න ඔයා නැන්දා කෙනෙක් වෙලා" ගෝතමී අක්කා එහෙම කිව්වාම ඒ දේ තේරුම් ගන්න මට ටික වෙලාවක් ගියා.
"හානේ...කවුද කිව්වේ? අපේ අම්මා කෝල් කලාද අක්කේ?"
"හ්ම්... අම්මයි, දුලිතයි දෙන්නම කෝල් කලා. යන්න යන්න ගිහින් දැන්ම අම්මට කතා කරන්න" ගෝතමී අක්කා මාව ෆෝන් එක තිබ්බ දිහාට තල්ලු කලා.
අම්මට කතා කරද්දි ඈ උන්නේ ඉහේ මලක් පිපිලා වගේ. අම්මගේ වචන වල තිබුණේ ලොකු සතුටත්.
"කෙලි පැංචි සුදුම සුදුයි, ගොඩක්ම ලොකු පුතාගේ මූණුවර තමා තියෙන්නේ" අම්මා කිව්වේ ආඩම්බරෙන්.
සෙනුරි අක්කට බබා හම්බෙන්න දීලා තිබුණ දවස් පහු වෙන එක ගැන පහුගිය සතියෙම අම්මා උන්නේ බය වෙලා. අන්තිමේදි දීල තිබුණ දවසට දවස් පහකට පස්සේ තමා බබා ලැබිලා තිබුණේ.
"අක්කට අමාරු වුණාද අම්මා?" මම ඇහුවෙත් ඒකයි.
"ඔව්, ටිකක් විතර අමාරු වුණා. එහෙම තමා පලවෙනි ළමයා නෙ" අම්මා කිව්වා.
"තාත්තා මොකෝ කියන්නේ? අයියටත් හරි සතුටු ඇති නේද අම්මා"
"හ්ම්...දෙන්නම ඉන්නේ ඉහේ මලක් පිපුණ ගාණට. තාත්තා නම් එදා රෑ නිදාගත්තෙත් නෑ සතුටට"
මට හිනාවක් නැගුණේ ඉබේටම. කාලෙකට පස්සේ මෙහෙම හිත සතුටු වෙන දෙයක් අහන්න ලැබෙන එකත් කොච්චර දෙයක්ද?
"මම මේ සති අන්තෙ එන්නම් අම්මා. කෙල්ල දකින්න ආසයි"
"හා හොඳයි එහෙනම් දෝණි. ඔයාට පාඩම් වැඩ කරගෙන ඉන්නවා නේද? කරදරයක් නෑනෙ? චේතිය පුතාට කියලා එයා එක්ක එන්න එහෙනම්"
අම්මා කතාව ඉවර කලේ එහෙම කියලා. එවෙලේ මට චේතියව මතක් කරගන්න ඕන වුණේ නෑ. හිතේ තිබ්බ සතුට එහෙමම තව ගොඩ වෙලාවක් තියාගන්න මට ඕන වුණා. මම දැන් නැන්දා කෙනෙක්! ඊලඟට මගේ තිබ්බ ලොකුම බලාපොරොත්තුව ඉක්මණින්ම ගෙදර යන එක.
ගෙදර ගියොත් ඒක එක අතකින් හිතට සහනයක් වෙයි කියලත් මට හිතුණේ, දැන් දැන් නුවර විසිල්ල මට ගොඩාක් දුරට එපා වෙලා තිබුණ හන්දා. ඒකට අනුක් මා එක්ක තරහා වුණ එකත් ලොකු හේතුවක් වෙන්න ඇති. වෙනදා අනුක්ලගේ ගෙදරදි නොදැනුන හුදෙකලාවක් මට දැනෙන්න පටන් අරන් තිබුණා. අනුක් මා එක්ක කොච්චර තරහා වෙලාද කිව්වොත්, ඔහු මගේ මූණට මූණ කොයිම වෙලේකවත් මුණ ගැහුණේ නෑ. වෙන එකක් තියා කෑම මේසෙදිවත් මගේ මූණවත් බැලුවේ නැහැ. ඒ හැම වෙලේකම මගේ හිත රිදුනත් මම ඒක ඉවසන්න පුරුදු වෙන්න උත්සාහ කලා. කොහොමටත් අනුක්ගේ සහාය නැතිව හිත හදාගන්න මමම උත්සාහ කරන්න ඕන වග මම දැනගෙන උන්නු නිසා. ඒකට චේතිය ගැන මගේ යටි හිතේ තිබුණ බයකුත් හේතු වුණා වෙන්න පුලුවන්. ඉතිං දේවල් එහෙම වෙද්දි, එදා හවස මල් කඩ කඩ වත්තේ උන්නු මාව නොදැක්කා වගේ කැම්පස් ඉඳලා එන ගමන් උන්නු අනුක් යන්න යද්දි මට ඒකේ වෙනසක් දැනුනේ නෑ.
"නංගි මල් කැඩුවද?"
කල්පනාබරව වතුසුද්ද ගහ ලඟ උන්නු මම ආපහු ගේ දිහාට හැරුණේ යශෝ අක්කගේ හඬට.
"ඔව් අක්කේ" මම උත්තර දෙද්දි ඈ මගේ ලඟටම ඇවිත්.
"සුබ ආරංචියක් අහන්න ලැබුණා, ඔයා දැන් නැන්දා කෙනෙක්ලු නේ?" යශෝ අක්කා කිව්වේ හිනාවෙලා.
"ඔව්...අපේ අයියලට දුවෙක් හම්බවුණානෙ"
"හ්ම්... ගෝතමී කිව්වා මට. එයත් උඩ පැන පැන ඉන්නවා. දැන් එයත් පුංචි කෙනෙක් කියලා"
යශෝ අක්කා කිව්වාමයි මට ඒක මතක් වුණේ. පොඩි අයියා කාලෙකින් නාපු නිසා ඇත්තටම මග හිතේ ඒ දෙන්නා ගැන සිතුවිලි යටපත් වෙලයි තිබුණේ. මම දැනගෙන උන්නා පොඩි අයියා තාමත් උන්නේ මා එක්ක හිත හොඳකින් නොවෙන වග. ඒත් දැන් ඒ දුකත් ඔහේ විඳගෙන ඉන්න මම පුරුදු වෙලයි උන්නේ.
"ඉතිං මොනාද ඔය හිතන්නේ?" යශෝ අක්කා ඇහුවම මම හිනා වුණා.
"මුකුත් නෑ, ගෙදර යන්න ඕන කියලයි කල්පනා කලේ"
"ඒක හොඳයි, පැටියව බලලා එන්න. ආ...මට කියන්න අමතක වුණා. අද චේතිය ඒවි රෑ කෑමට. මට උදේ ෂොප් එකට ගිය වෙලේ හම්බුණා"
"ආ.." මම හිස වැනුවේ නොසතුටින්.
"ඒක නෙවෙයි නංඟි, මම මේ අහන්නම හිටියේ, අපේ මල්ලි ඔයා එක්ක මොකක් හරි අවුලකින්ද ඉන්නේ?" යශෝ අක්කා එහෙම ඇහුවම මම එක පාරටම උඩ ගියා.
"අ..ම්...ඇයි අක්කා එහෙම අහන්නේ?"
"නෑ. මම බලාගෙන දැන් දවස් කීපෙක ඉඳලා ඔය දෙන්න එකට යන්නෙත් නෑ, ගෙදරදි කතා බහකුත් නෑ. ඒකයි"
"නෑ...එහෙම දෙයක් නෑ අක්කේ. මම මේ දවස් වල උදේම යන්න ඕන නෑ කැම්පස්. ඉතිං ඒ නිසා අනුක් එක්ක යැවෙන්නේ නෑ"
මම කියද්දි යශෝ අක්කා මා දිහා බලාගෙන උන්නේ මට ඇහුම්කන් නොදී වගේ. මම බිම බලාගත්තේ කියන බොරු අහුවෙයි කියලා.
"ඔය ඇත්තමද?" ඊට පස්සේ ඈ ඇහුවම මම ඇගේ මූණ දිහා බැලුවේ උත්තරයක් නොදී. යශෝ අක්කා ඒ පාර සුසුමක් හෙලලා වෙනතක් බලාගෙන කතා කලා ආයෙම.
"අනේ මන්දා...මොකක් නිසා හරි, මල්ලි ඉන්නේ අප්සට් එකේ. හිතාගන්න බෑ ඇයි කියලා" යශෝ අක්ක කියද්දි මගේ කන් පෙති රත් වුණේ ඒකට හේතුව මම වග මගේ හිත දන්න නිසා.
"අ..මේ...අනුක් අක්කට මොනා හරි කිව්වද?" මම මුක්ත් නොදන්න විදියට ඇහුවා.
"ම්ම් නෑ. එහෙම මොනවත් කිව්වේ නෑ. ඒ වුණාට එයා ඉන්න විදියට මට තේරෙනවා මොනා හරි දෙයක් තියෙනවා කියලා. ඔයාට එහෙම එකක් තේරුණේ නැද්ද?" ඈ මගෙන් ඇහුවම මම හිස වැනුවා අමාරුවෙන්.
"මම දන්නවා ඔයයි, මල්ලියි ගොඩක් යාලුයි කියලා. ඒත් මං ඔයාගෙන් දෙයක් අහන්න ඔයා මට ඇත්තම කියනවද?"
"මොකක්ද අක්කේ?" මම ඇහුවේ ගැහෙන හිතින්.
"අපේ මල්ලිට කෙල්ලෙක් ඉන්නවද?" අක්කා එහෙම ඇහුවම මගේ හිතට පොඩි සහනයක් දැණුනා.
"අනේ මම නම් හරියටම දන්නේ නෑ අක්කේ. දන්න තරමින් නම් එහෙම එකක් නෑ" මම කිව්වා.
"ඔය ඇත්තම නේද කියන්නේ?" අක්කා මා දිහා සුපරීක්ෂාකාරීව බලමින් ඇහුවා.
"මම මොකටද බොරු කියන්නේ?"
අක්කා ආයෙම සුසුමක් හෙලලා අහක බලාඅත්තා.
 "මල්ලි ගොඩක් සංවේදී කෙනෙක්. මම ඔයාට කියලා තියෙනවනේ අම්මා නැති වුණාට පස්සේ එයා උන්නේ ගොඩක් තනි වෙලා වගේ කියලා. සමහර වෙලාවට එයාගේ හිතට දැනෙන තනිකම මකන්න අපට බැරුව ඇති. ගොඩ වෙලාවට අපි තුන් දෙනාම එක එක වැඩ. අප්පච්චිත් ගෙදර එන්නේ ඉඳ හිට. එහෙම වෙද්දි මට හිතුණා මල්ලි සමහරවිට ඒ අපෙන් නොලැබෙන ආදරේ පිට කෙනෙක්ගෙන් හොයන්න උත්සාහ ගනීදෝ කියලා"
යශෝ අක්කා කියාදි අනුක් ගැන උපන්න අලුත්ම දුකකින් හිත වෙලෙනවා මට දැනුනා. ඒ මම හිතනවට වඩා අනුක් තනි වුණ කෙනෙක්දෝ කියලා මට හිතුණ නිසා වෙන්න ඇති.
"මම හිතන්නෑ අනුක්ගේ හිත ඒ තරම්ම දුර්වලයි කියලා. මට කවදාවත් එහෙම දෙයක් තේරිලා නෑ" මම කිව්වේ බිම බලාගෙන.
"මං දන්නෑ ඔයා දන්නවද කියලා, ඒත් කාලෙකට කලින් එයාගේ යාලුවෝ ඒහිලු කර කර හිටියා, මේ පේෂණීද කවුද කියලා කෙල්ලෙක් ගැන"
"පේෂලී..."
"ඔයා දන්නවද?"
"ම්ම්. ඒත් එයා මේ දන්න කෙනෙක් විතරයි. මම දන්න විදියට අනුක්ගේ එයා එක්ක වෙන සම්බන්ධයක් නෑ"
මම මේ තරම් අනුක්ව සුද්ද කරන්න උත්සාහ කලේ මොකද මන්දා.
"නෑ එහෙම සම්බන්ධයක් ඇති කරගන්න එකේ වරදක් නෑ. ඒත් ඒ මොනා නිසා හරි එයා දුකින් ඉන්න ඕන නෑ. ඒකයි මම කියන්නේ"
"මට තේරෙනවා"
යශෝ අක්කා කියද්දි මම හිස වැනුවේ කල්පනාබරව. මට වරදකාරී හැඟීමක් නොදැනුනා නෙවෙයි. ඒ අනුක් එහෙම ඉන්නේ මම නිසා හන්දා. ඒත් මට ඒ ගැන කරන්න දෙයක් තිබුණේ නෑ.
"අනේ මන්දා, මට නම් මේ ප්‍රශ්ණ ගැන හිතලම එපා වෙලා. සල්ලි, වතුපිටි සේරම තිබුණත් මොකටද හිතේ සහනයක් නැත්තම්?" යශෝ අක්කා කිව්වේ කලකිරීමෙන් වගේ.
"ම්ම්...මොකක් හරි ප්‍රශ්ණයක්ද අක්කේ?" මම ඇහුවේ පොඩ්ඩක් හිතලා මතලා.
ඒ පාර යශෝ අක්කා මා දිහා බලලා හිණා වුණා.
"ප්‍රශ්ණ නැත්තේ කාටද නංඟියෝ. අනේ මන්දා...මේ අක්කගේ කසාදේ කල් යනවා එහෙන්. අප්පච්චි එන්න එන්නම ගෙදරින් දුරස් වෙලා. එයා එහාට වෙලා ඉන්නවා. ගෙදර වැඩ, වතුපිටි වල ආදායම්, මේ සේරම බලන්න වෙලා තියෙන්නේ අපට. අක්කා ඒ නිසා බඳින්නත් දැන් අදි මදි කරන්වා. ඒ නිසා ගෝතමීගේ කටයුත්තක් පස්සට යනවා. ඒකට ගෝතමීගෙත් හිත හොඳ නෑ. ඔයාලගේ අම්මලා වුණත් බලනවා ඇති නේ, මොකක් හරි පිලිවෙලක් වෙන්න මේක කතා කරගන්න ඕන නේද කියලා. මගේ නම් ඔලුවත් අවුල් වෙනවා වෙලාවකට මේවා හිතද්දි"
අක්කට මොනා කියන්නද කියලා මට තේරුණේ නෑ. මට සුසුමක් හෙලුණේ ඉබේටම.
"අපේ ප්‍රශ්ණ තියෙද්දෙන්කෝ. ඔයාගේ ප්‍රශ්ණත් තාම ඉවරයක් නෑනෙ නේද?"
ඈ එහෙම ඇහුවම මම හිණාවුණේ අඬන්න බැරි කමට. ඒ පාර ඈ ආයෙම කතාව පටන් ගත්තා.
"ඔයා චේතියට අකමැති වග මම දන්නවා නංඟි. භූප මේ පාර ඔයාලගේ ගෙදර ආපු විත්තියත් මට චේතිය කිව්වා. ඒ හැම දෙයක්ම නිසා ඔයා ඉන්නේ ගොඩක් මානසිකව වැටිලා කියලත් මම දන්නවා. ඒ අස්සේ ඉගෙනීමෙ වැඩයි, චේතියගේ කරදරයි. ඒ හැම දෙයක්ම නිසා ඔයා කොච්චර pressure වෙලාද කියන එක මට හිතාගන්න පුලුවන්. "
ඒ වචන ආයෙම මට භූපව මතක් කලා. ඇස් උණුසුම් වෙද්දි මම නාඬා උන්නේ අමාරුවෙන්.
"ඒවා ඉවර වෙන ප්‍රශ්ණ නෙවෙයි"
යශෝ අක්කා මා දිහා බැලුවේ දුකකින් වගේ.
"මං දෙයක් අහන්නද?" ඊට පස්සේ ඈ ඇහුවා.
"අහන්න"
"ඔයා තාමත් භූපට ආදරේද?"
භූපගේ නම ඇහෙද්දි මගේ ඇස් පියවුනා. හිතේ එක තැනක විදුලියක් වගේ වේදනාවක් ඇතිවෙලා මුලු හිතේම පැතිරෙන්වා මට දැනුනා.
"මම මැරෙනකල්ම භූපට ආදරෙයි" මම කිව්වේ හෙමින්.
"චේතිය ඒක දන්නවද?"
"හැමෝටම වඩා හොඳට"
"චේතිය ඔයාට ගොඩාක් ආදරෙයි, ඔයා ආදරේ නැති වග දැන දැනත් එයා ඔයාවම මැරි කරන්න හිතන්නේ ඒ හන්දා" යශෝ අක්කා කිව්වා.
ඒ පාර මට ඈ ගැන දැනුනේ නොරිස්සුමක්.
"එයා මාව මැරි කරන්න හදන්නේ මට ආදරේ නිසා නෙවෙයි. එයා ආත්මාර්ථකාමී නිසා. ආදරේ නම් මෙහෙම මට දුක් දෙන්නේ කොහොමද?"
"ආදරේ ආත්මාර්ථකාමීයි තමයි. ඒත් ආදරේ ආදරේමයි"
"හැම කෙනාගෙම ආදරේ එහෙම නෑ. ආත්මාර්ථකාමී වුණා නම් භූපට තිබුණා ඕන දෙයක් කියලා මාව අරන් යන්න. මට තිබුණා එයා එක්ක යන්න, අම්මලට ඕන දෙයක් කරාන්න කියලා. ඒත්, භූප හැමවෙලේකම හිතුවේ අනික් අය ගැන. මං ගැනටත් වඩා. ඉතිං ඒ ආත්මාර්ථකාමී කමද?" මම ඇහුවම යශෝ අක්කා මොහොතකට ගොලු වුණා.
"සමහර වෙලාවට අපි අකමැති දෙයක් අපට කරන්න වෙද්දි අපි හිතනවා ඒ වෙන්නේ, වෙන්න පුලුවන් නරකම දේ කියලා. ඒත් ඒක හැම වෙලේකම එහෙම වෙන්නේ නෑ"
යශෝ අක්කා කවදාවත් චේතියට වරදක් කිව්වේ නෑ, කොහොමත් ඒ එයාලගෙම කෙනෙක් නිසා. මට එයා එක්ක තර්ක කරන්න ඕන වුණේ නෑ.
"මම දන්නෑ අක්කේ. වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි. මම හිතන්නේ ඒක මගේ උරුමේ වෙන්න ඇති"
"උරුමේ, කරුමේ කියලා දේවල් බාරගන්න ඕන නැ"
"ඒක ඇත්ත. ඒත් මම හිත හදාගෙන ඉන්නේ ගොඩක් දුරට. මට අම්මලගේ හිත් රිද්දන්න බෑ අක්කේ. අනාගතේ ගැන මට ලොකු බලාපොරොත්තු නෑ" මම කිව්වේ උදාසීන විදියට.

"මට ඔයා ගැන දුකයි නංඟි. අපේ මල්ලිත් ඔයා ගැන හරියට දුක් වෙනවා." යශෝ අක්කා එහෙම කිව්වම මම ගැස්සුනා.

"ඒත්...මේ ප්‍රශ්ණෙදි අපට පැත්තක් ගන්න බෑ. ඒක ඔයා දන්නවනේ"

"මම දන්නවා අක්කේ. මම එහෙම බලාපොරොත්තු වෙන්නෙත් නෑ. මං කිව්වනේ මම හිත හදාගෙන ඉන්නේ කියලා"

"හ්ම්" අක්කා කිව්වේ මා දිහා දයාන්විත බැල්මක් හෙලලා.

"ඔය ගැන කතා කරලා වැඩක් නෑ. කොච්චර කතා කලත් ඔච්චරයි...අපි යමු ඇතුලට. මදුරුවොත් කනවා"

ඒ අප්‍රසන්න මාතෘකාවෙන් මිදෙන්න මට ඕන වුණ නිසා මම කිව්වේ ගේ ඇතුලට එන ගමන්. මම එහෙම කිව්වත් හිත තිබුණේ පෑරිලා. ඒ භූප ගැන මතකය ආයෙම අලුත් වුණ නිසා. මල් පූජා කරන වෙලෙත් මම කල්පනා කලේ භූප දැන් කෝහේ ඇතිද, මොනා කරන්වා ඇතිද කියලා. මම දැනගෙන උන්නා ඔහු තාමත් මට ආදරේ ඇති කියලා. ඒත් ඔහු හිතාගෙන ඇති මම චේතියට කැමති වෙලා ඔහුව අමතක කලා කියලා. ඒත් තාමත් මම ආද්‍රේ තරම් ඔහු දන්නවා නම්? මම පහන ගන්න මෑත් වෙද්දි ඇස් තිබුණේ කඳුලින් බර වෙලා. ඒත් පහ තිබ්බ තැන තිබුණේ නෑ. ඒ වෙනුවට ඒක තිබුණේ එවෙලේ මගේ අසලින් හිටගෙන උන්නු අනුක්ගේ අතේ. එක පාරටම මම තිගැස්සුන තරමයි. ඔහුගේ මූණේ තිබ්බෙත් වේදනාවක සේයාවක්. මම තප්පරයක් දෙකක් ඔහු දිහා බලාගෙන ඉන්න ඇති. මගේ දැහැන බිඳුණේ ඔහු පහන මා වෙත පෑවම.

"පාන තියන්න" ඔහු කිව්වේ රහසින් වගේ.

මම පහන ඔහු අතින් අරන් ඒක බුදු කුටිය ඇතුලෙන් තියලා වැන්දා. ඉන්පස්සේ එකිනෙකා එක්ක වචනයක්වත් කතා නොකර අපි දෙන්නම පන්සිල් ගත්තා.

"දුලාරා..."

පන්සිල් අරගෙන ඉවර වෙලා මම එතනින් එන්න යද්දි අනුක් මට කතා කලා හෙමින්. මං නැවතුණා.

"මට කතා කරන්න ඕන" ඔහු කියද්දි මම උන්නෙ ඔහුට පිතිපස්ස හරවලා.

"මම එපා කිව්වේ නෑ" මම කිව්වා.

"කවද්ද ඔය ඇස් වල කඳුලු ඉවර වෙන්නේ?" අනුක් ඇහුවාම මගේ හිත සසල වුණා පුදුමාකාර තරම්.

"කවදාවත් ඉවර වෙන එකක් නෑ" මම කිව්වා.

"මට ඔය ඇස් වල කඳුලු බලන්න බෑ" අනුක් කිව්වම හිත තවත් සසල වුණා. මම තාමත් උන්නේ ඔහුට පස්ස හරවලා.

"ඒක ඔයාගේ හිතට බරක් කරගන්න ඕන නෑ. මේ කඳුලු ඔයා හන්දා නෙවෙයි" මම හෙමින් කිව්වා.

"ඔයා මගේ හිතට බරක් නෙවෙයි"

"අපි මේ කතාව නවත්තමු අනුක්" මම කිව්වෙ බැරිම තැන.

"ඔයාට ඕන තරහා වෙලා ඉන්නද?"

අනුක් ඇහුවම මම ඔහු  දිහාට හැරුණා. අපි උන්නේ ගොඩක් ලඟින්.

"ඔයාට හිතෙන්නේ කොහොමද?" මම ඇහුවේ ඔහුගේ දෑස් දිහා කෙලින්ම බලලා.

"ඔයාට මා එක්ක තරහා වෙලා ඉන්න බෑ කියලා" අනුක් කිව්වේ තවත් ලං වෙන ගමන්.

"එහෙනම් අහන්නේ ඇයි?"

මම කිව්වම, අනුක්ගේ දෑස් වල පිරුණේ මට දරන්න බැරි තරම් සෙනෙහස් හැගීමක්.

අපි එහෙමම ඉන්න අතරේ මට ඇහුණා වාහනයක් ගෙදර පෝටිකෝවට එන සද්දේ. අපි දෙන්නටම සාලේ දිහා බැලුණේ ඉබේටම.

"චේතිය වෙන්න ඇති" මම කිව්වා.

"අපි පස්සේ කතා කරමු"

එහෙම කියපු අනුක් එතනින් යන්න ගියේ සාලේ දිහාවට නෙවෙයි. මම දිග සුසුමක් හෙලලා ලය සැහැල්ලු කරගත්තේ, මේ දැන් සාලෙට ආපු චේතියව පිලිගන්න යන්න.

No comments:

Post a Comment