Tuesday, May 20, 2014

හැට එක්වන කොටස



පහුගිය  දවස් වල වුණ දේවල් වලින් පස්සේ මම උත්සාහ කලේ පුලුවන් තරම් අනුක් එක්ක ඉස්සර වගේ සාමාන්‍ය විදියට ඉන්න. මගේ ප්‍රශ්ණ අරවා මේවා එයාට කියාන ගියපු එක ඒ දේවල් වෙන්න ලොකු හේතුවක් වෙන්න ඇති කියලා මට හිතුණා. ඒ එක්කම අපි දෙන්න ගොඩාක් සමීප වෙන්නත් ඒක හේතු වුණ වග මම දැනගෙන උන්නා. සත්තකින්ම මේ වෙන දේවල් ගැන හිතේ තිබ්බේ බයක්. ඒ නිසාමයි මම තීරණය කලේ අනුක් එක්ක ටික දුරින් ආශ්‍රය කරන්න ඕන කියලා. ඒ එක්කම ඔහු ගොඩාක් හොඳ කෙනෙක් හන්දා ඔහුගේ හිත නොරිදෙන විදියට ඒක කරන්නත් මට ඕන වුණා.
කාමරේට වෙලා project එකට අදාල පොතක් කියව කියව ඉන්න ගමන් මම විටින් විට කල්පනා කලේ ඒ ගැන. මට තේරුණේ නෑ අනුක් ගැන මගේ හිතේ තියෙන හැඟීම මොකක්ද කියලාවත් වෙලාවකට. ඔහුව මගාරින එක අමාරු වෙද්දි, ඔහු එක්ක කතා නොකර ඉන්න එකත් ලේසි නැති වෙද්දි මම මගෙන්ම අහගත්තා මොකක්ද මේකේ තේරුම කියලා. ජීවිතේ තිබ්බටත් වඩා සංකීර්ණ වෙලාදෝ කියලා එහෙම වෙලාවට මට හිතුණා.
"දුලාරා..." එවෙලෙම වගේ දොර ලඟින් අනුක්ගේ කට හඬ ඇහුණම මම උඩ ගියා. ඒ මම හිත හිත උන්නෙත් ඔහු ගැනම නිසා.
"එන්න අනුක්"
අනුක් කාමරේ ඇතුලට නෑවිදින් දොරෙන් විතරක් යන්තම් එබුණා.
"මොකද කරන්නේ, වැඩද?"
"හ්ම්...වෙන මොනා කරන්නද? මේ literature review එක ලියනවා අනේ. එන්න ඇතුලට" මම වෙනසක් නොපෙන්වා ඉන්න උත්සාහ කරමින් කිව්වා.
"කමක් නැද්ද?"
"ඇයි එහෙම අහන්නේ? වෙනදට එන්නේ, අද මොකෝ" මම කිව්වේ විහිලුවෙන් වගේ. මට ඕන වුණේ හැමදේම සාමාන්‍යයි කියලා ඔහුට පෙන්නන්න.
"දැන් වෙනදා වගේ නෙවෙයිනේ" ඔහු කිව්වාම මම ඔහු දිහා බැලුවා.
"මොකක්ද ඔයා මේ කියන්න හදන්නේ?"
"ඔයා වෙනස් වෙලා දුලාරා..." අනුක් කිව්වා.
"මං?"
"ඔව්. ඔයා ඉස්සර වගේ නෙවෙයි. ගොඩක් වෙනස් වෙලා"
"එහෙම දෙයක් නෑ අනුක්. ඇයි එහෙම හිතන්නේ?"
"එහෙම හිතන්නේ එහෙම තමයි නිසා. ඔයා උදේට මා එක්ක දැන් යන්න එන්නෙත් කලාතුරකින්. ගෙදරදිත් කතාකරන්නේ අඩුවෙන්. ඇයි එහෙම කරන්නේ?" අනුක් ඇහුවම මගේ හිත ගැස්සුනා. මම කරන දේවල් ඔහුට මේ තරම් දැනිලද?
"මම කිව්වනේ අනුක්. මේ දවස් වල ලෙක්චර්ස් එච්චරම නෑ. Project  වැඩ නේ තියෙන්නේ. ඉතිං ඒ නිසා මට වැඩ වැඩියි. ඔයාට එහෙම දැනෙනවා ඇත්තේ ඒකයි"
"ඔයා හිතන්නේ මම බබෙක් කියලද? මට ඔයා කරන දේවල් තේරෙන්නේ නෑ කියලද?" අනුක් ඇහුවම මම අහක බලාගත්තා.
"ඔයාට ඕන එකක් හිතාගන්න අනුක්" මගේ හඬේ නොරිස්සුමකුත් තියෙන්න ඇති.
අනුක් ඒ පාර මුකුත් නොකියා ටික වෙලාවක් උන්නා. මම ඔහු දිහා නොබලා අහක බලාගෙනම උන්නා.
"මගේ හිත රිද්දන්න එපා දුලාරා..."
ඊට පස්සේ අනුක් හෙමින් එහෙම කිව්වම මට දැනුනේ මගේ මුලු හිතම කඩා වැටුණා වගේ හැඟීමක්. මම ඔහු දිහා බලද්දි මගේ ඇස් තිබුණේ බොඳ වෙලා.
"ඔයා මොනාද මේ කියන්නේ?"
අනුක් කාමරේට ආවෙ එවෙලේ. ඔහු ඇවිත් මේසේ ලඟ තිබුණ අනෙක් පුටුවෙන් වාඩි වුණා.
"ඇයි මේ?" අනුක් ඇහුවේ මුදු හඬකින්.
ඒ බැල්ම දරාගන්න බැරිව මට බිම බැලුණා.
"ඔයාගේ හිත රිද්දන්න හිතුවේ නෑ මම"
මම හෙමින් කිව්වම අනුක් මොන්වත්ම කිව්වේ නෑ. ඒත් ඔහු හුස්ම ගන්න හඬ මට ලඟින්ම වගේ දැනුනා. මගේ හිතේ තිබ්බ සේරම හැඟිම් තිබුණේ පිටාර ගලමින්. මම ඇඬුම්බර වුණේ ඒකයි.
"ඔයා දන්නෑ මම ඔයා ගැන හිතන විදිහ...ඔයා මගේ හොඳම යාලුවා අනුක්...මගේ දුකේදි, සතුටෙදි, ඔයා මගේ ලඟින්ම හිටියා අපි යාලුවෝ වුණා දා ඉඳලම. මට ඒවා අමතක නෑ. මට අමතක කරන්නත් බෑ..." මම කියාගෙන ගිහින් නැවතුණා මොහොතකට හුස්ම ගන්න.
"ඇයි දැන් මේ දේවල් කියන්නේ?" අනුක් ඇහුවේ දයාබරව.
"ඔයාට මාව තේරුම් ගන්න..."
"කියන්න..." ඒ පාර ඔහු කිව්වා.
"ඒ යාලුකම මට හැමදාකම තියාගන්න ඕන අනුක්"
"ඉතිං එහෙම වෙන්නෑ කියලා මම කිව්වද?"
"නැහැ, ඒත් ඔයා මාව තේරුම් අරගෙන තියෙන විදිහ වැරදියි කියලයි මම කියන්න යන්නේ. මට ඔයාගේ හිත රිද්දන්න ඕන නෑ. එහෙම හිත රිදෙන තරම් දුරට මාව හිතට ලං කරගන්න හදන්න එපා අනුක්"
"ඕකද ඔයාට කියන්න ඕන?" ඒ පාර අනුක් නොසන්සුන් වුණා.
මම ඔහු  දිහා බැලුවේ හිතේ උපන්න පුංචි බයකින්.
"අනුක්..."
"ඒකද ඔයා මාව මගාරින්නේ?"
"අනේ නෑ අනුක් මම..."
"නෑ කියන්න එපා. ඔයා මාව මගාරිනවා තමයි. ඔයා හිතන්න එපා ඒක මට නොතේරෙනවා කියලා. ඔයා හිතාගෙන ඉන්නේ මම මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හදන මහ නරක මිනිහෙක් කියලද? මම ඔයාට උදව් කලේ ඔයාගෙන් වෙන දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. මම ඒක කලේ ඔයා දුකින් ඉන්නවා බලන්න මම ආස නැති නිසා. සමහර වෙලාවට මම අනෙක් හැමෝගැනටමත් වඩා ඔයා ගැන හිතපු නිසා...ඔයාට උදව් ඕන කියලා මට හිතුණ නිසා. එහෙම නැතුව වෙන දෙයක් නිසා නෙවෙයි"
අනුක් එහෙම කියාගෙන යද්දි මගේ හිත හොඳටම රිදුනා. ඒ එක්කම මට දැනුනේ ලැජ්ජාවක්, දුකක්. අනුක් මේ දේවල් මේ තරම් වැරදියට තේරුම් ගනීවි කියලා මම බලාපොරොත්තු වුණේ නෑ.
"මම එහෙම දෙයක් කිව්වද?"
"එහෙනම් මොකක්ද ඔය කියන කතාවේ තේරුම?" අනුක් කිව්වේ කෑ ගහලා වගේ.
"අනේ අනුක් පිං සිද්ධ වෙයි කෑ ගහන්න එපා, කවුරුහරි ආවොත් මොනා හිතයිද?"
අනුක් ඒ පාර පුටුවත් දඩස් ගාලා ඇද දාලා යන්න නැගිට්ටා. මම උන්නේ හොඳටම හිත රිදිලා. මගේ ඇස් වලට ආයෙම කඳුලු පිරුණා.
"අනේ මම ඔයාට වරදක් කිව්වා නෙවෙයි අනුක්. ඇයි ඔහොම හිතන්නේ?" මම බැගෑපත් වුණා. අනුක් තරහා වෙයි කියලා මගේ හිතේ තිබ්බේ බයක්. මම දැනගෙන හිටියා එහෙම වුණොත් ඒක මට දරාගන්න අමාරු වෙන වග.
"මම වෙන මොනාද හිතන්නේ, ඔයා මට සලකන විදියට?"
අනුක් ඇහුවේ යන්න ගිය ගමන දොර ලඟ නවත්තලා ආපහු මා දිහාට හැරිලා.
ඔහුව දැක්කම හිතේ ඇතිවුණ අහේතුක දුකට ඇස්වල කඳුලු කම්මුල් දිගේ රෝල් වුණේ ඇසිල්ලකින්. මට ඇත්තටම හිතුණා දුවලා ගිහින් ඔහුට තුරුලු වෙලා අඬන්න. ඒ සමහරවිට මගේ ජීවිතේ මට මේ තරම් දයාබර වුණ එකම පිටස්තර පිරිමියා ඔහු හන්දද,නැත්තම් ඔහු ගැන මගේ හිතේ තිබුණ නමක් දෙන්න බැරි හැඟීම නිසාද කියන්න මම දන්නේ නැහැ. ඒ මොනා වුණත්, ඔහුගෙම අයියා කෙනෙක් වුණ චේතියට මාව තීන්දු වෙලා ඉවරයි කියන එකත් අමාරුවෙන් හරි මතක්කරගන්න මට සිද්ධ වෙලා තිබුණා. තවත් අනුක්ගේ හිතේ තේරුමක් නැති බලාපොරොත්තු ඇති කරන්න මට කොහොමටවත් පුලුවන් වුණේ නෑ. තවත් අනුක්ගේ හිතේ තේරුමක් නැති බලාපොරොත්තු ඇති කරන්න මට කොහොමටවත් පුලුවන් වුණේ නෑ.
"කමක් නෑ, ඔයා කැමති දෙයක් හිතාගන්න" මම අන්තිමේදි කඳුලු පිහිමින් කිව්වා.
"එච්චරද කියන්න තියෙන්නේ?" අනුක් ඇහුවා.
"ඔව්"
"මම කැමති දෙයක් හිතාගත්තට ඔයාට කමක් නැද්ද?" අනුක් ආයෙම ඇහුවා.
මම අනුක් දිහා බැලුවේ ඇත්තටම හිතේ උපන්න ලොකු දුකකින්.
"මම ඇහුව දේට උත්තර දෙන්න දුලාරා..."
"කියන දේ තේරුම් ගන්න බැරි නම් මට තවත් කියන්න දෙයක් නෑ අනුක්" මම කිව්වේ හිත උපන්න නොරිස්සුම හන්දා.
"ඔයා මහ නපුරියක් දුලාරා "
අනුක් එහෙම කිව්වම මගේ හිත හීල්ලුවා. ඊට පස්සේ ඔහු යන්න ගියේ ආයෙම මුකුත්ම නොකියා. අනුක් එක්ක තරහා වෙන්න මට ඕන වුණේ නෑ. ඇස් වල කඳුලු ඉවසගෙන ඒත් මම හිටියේ මම අනුක් ගැන  හිතන නිසා. කවදාහරි දවසක මං නිසා ඔහුට දුකක් වෙනවට මම අකමැති නිසා.
අන්තිමේදි සේරම වැඩ පැත්තක දාලා මම ගිහින් ඇඳේ වැතිරුණේ හිතේ මහා දුකක් පෙරලි කරද්දි. මගේ මතකෙට නිතැතින්ම ආවේ භූප. භූප මගේ මුල්ම ආදරේ...ජීවිත කාලෙකට ඇති වෙන්න දුකක් උරුම කරපු, හැමෝගෙම ඇස් වල කඳුලු උල්පත් මවපු මගේ මුල්ම ආදරේ. ඒ ආදරේ මොනම විදියකින් වත් කැලැල් කරගන්න මට ඕන වුණේ නෑ. තාමත් මම ආදරේ කරන්නේ ඔහුටමයි කියලා මම දැනගෙන උන්නා. ඒත් ඒ අතරේ අහම්බයක් වගේ ජීව්තේට ආපු අනුක්...මල් වැස්සක් වගේ හිත සතුටින් පුරවපු, කඳුලු පිහපු, ආපහු හිනාවෙන්න මට කියා දීපු අනුක්...අනුක්ගේ මහාමෙරක් වගේ සෙනෙහස...ඒ සෙනෙහසත් අන්තිමේදි හිතට එකතු කරලා තිබුණේ බරක් විතරමයි. මට දුක හිතුණේ සත්තකින්ම මං ගැන නෙවෙයි, අනුක් ගැනමයි. ඔහුව සනසන්න  ඕන වුණත් මට ඒක කරන්න පුලුවන් කමක් තිබ්බේ නෑ. එහෙම කරලා ඒ හිතටත් ජීවිත කාලෙක දුකක් උරුම කරන්න මට ඕන වුණේ නෑ. මම උන්නේ හිත හදාගෙන ගොඩක් දුරට. චේතිය කියන්නේ මගේ උරුමේ නම්, ඒ ගැන මට තවත් කරන්න දෙයක් තිබුණේ නෑ. හැමෝටම වගේ අම්මලාටත් දුකක් දෙන්න මට පුලුවන් කමක් තිබ්බේ නෑ.  කරන්න තිබුණේ හිත හදාගන්න එක විතරමයි. හිත ගලක් කරගෙන, හැමදේම ඉවසගෙන ඉන්න ඉගෙන ගන්න එක විතරමයි. අමාරුවෙන් වුණත් අන්තිමේදි මම කරන්න හිතාගත්තෙත් එකමයි.

1 comment:

  1. ආදරේ හැටි තේරුම් යාවි අද්දැකිම් ලැබෙනවිට. එතකල්ලා මේ මිරිගුව පස්සේ යන්න වෙනවා පුරුද්දට වගේ.

    ReplyDelete