ඒ ගෙවුණ
දවස වගේම ඉස්සරහදි මගේ ජීවිතෙත් අමාවක දවසක් වගේ අඳුරින් පිරිලා තියේවි කියලා මට හිතුණා.
තවත් අඬන්න බැරි වෙනකල්ම මම කාමරේටම වෙලා උන්නා විතරයි. ඒත් පුදුමෙකට අම්මාවත්, වෙන
කවුරුවත් කාමරේට ආවේ නෑ. ඒක මට එක අතකට දැනුනේ සැනසීමක් විදිහට. මට කිසි කෙනෙක් එක්ක
කතා කරන්න, හේතු කියන්න, කවුරුවත් ඉස්සරහ අඬන්න ඕන වුණේ නෑ. ඒ ගෙවුණ හැම තප්පරේකම භූපව
මට මතක් වෙවී හිත පුපුරන්න තරම් දුකක් දැනුනා. ඒ වෙලාවට හිතට ආපු ආවේගෙ කොච්චරද කිව්වොත්
මට හිතුණා භූපව හොයාගෙන ඉන්න තැනකට දුවලා යන්න. ඒත් හැමදාම වගේ ඒක හිතටම සීමා වුණ සිතුවිල්ලක්
වුණා විතරයි. මට කවදාවත් අම්මටයි, තාත්තටයි වරදක් කරන්න පුලුවන් කමක් තිබුනේ නෑ.
අනික වෙච්ච
කිසිම දෙයක් ආපහු හරවන්න මට පුලුවන් කමක් තිබුණෙත් නෑ. මොකද භූපට යන්න කිව්වේ මම හන්දා.
මම ආපහු කොට්ටේ බදාගෙන ඇඳේ අනික් පැත්තට හැරුණේ උණු කඳුලු කැට ගොඩක් ආයේම ඇස් වලින්
ගලද්දි.
"දුලාරා..."
තව ටික
වෙලාවකට පස්සේ මගේ ඇඳ අද්දරින් චේතියගේ කට හඬ ඇහුණම මම ගැස්සුණා. ඔහු මටවත් නෑහී ආවේ
කොයි වෙලේද? ඒත් හිතේ ඔහු ගැන තිබුණ අමනාපේ නිසාම මම ඔහු ආපු එක නොදැනුනා වගේ උන්නා.
ඒ පාර මට දැනුනා ඔහු මගේ ඇඳ ඉහත්තාවේ වාඩි වුණ වග. ඒත් මම ඉවසගෙනම උන්නා. ඊලඟ මොහොතේ
ඔහු හෙමිහිට මගේ හිස මතින් අත තිබ්බාම මම තව ටිකක් ගැස්සුනා. මම දනි පනි ගාලා නැගිටලා
ඇඳෙන් වාඩි වුණේ ඔහුගෙන් පුලුවන් තරම් ඈත් වෙලා. චේතිය සුසුමක් හෙලුවා.
"දැන්
ඔය ඇති දුලාරා..." ඔහු හඬ අවදි කලේ එහෙම.
මම අහගෙන
උන්නා විතරයි.
"තවත්
ඔයා ඔය විදියට දුක් ගන්න එකේ තේරුමක් නෑ" ඔහු ආයෙම කිව්වේ මුදු හඬින්.
ඒ කියන්නේ
මම දුක් වෙන වග ඔහු දන්නවා. මට හිතාගන්න බැරි වුණා දැන් මොහොතකට කලින් පරාස්සයෙක් වගේ
ඇවිස්සිලා උන්නු චේතියමද මේ මට නිවුණ හඬින් ඇවිත් කතා කරන්නේ කියලා. ඒත් ඒ නිවුණ බව
මගේ හිතේ ඇති කලේ කලින්ටත් වඩා එපාවීමක්.
"මොනා
වුණත් අන්තිමේදි හරි ඔයා හරිම තීරණේ ගත්තු එක ගැන මට සතුටුයි දුලාරා. ඔයා දන්නෑ ඒක
මට කොච්චර සැනසීමක්ද කියලා...මගේ හිතේ ඔයා ගැන තිබුණ ආදරේ දැන් තවත් වැඩියි. මම කවදාවත්
හිතුවේ නෑ මෙහෙම වෙලාවක් ආවොත් ඔයා මාව තෝර ගනී කියලා. ඒත් ඔයා ඒක කලා. ඒක තමයි අපේ
දෛවය...ඔයා අයිති වෙන්න ඕන මට. දුලාරා....මෙච්චර කල් වෙච්ච දේවල් අපි අමතක කරමු...අපි
හෙට ඉඳන් අලුත් ජීවිතයක් පටන් ගමු?" චේතිය කියාගෙන කියාගෙන ගියා. මම අහගෙන උන්නේ
එතනින් පැනලා දුවන්න බැරි හන්දා.
"පටන්
ගන්න ජීවිතයක් මට තවත් නෑ..." මම නිර්දය විදිහට එහෙම කිව්වා.
"ඔයා
මොනාද මේ කියන්නේ?" ඒපාර චේතිය කලබල වෙලා වගේ.
"කරුණාකරලා
මට මගේ පාඩුවේ ඉන්න දෙන්න දැන්වත්. ඔයාට ඕන දේ මම කලානේ. මට වද දෙන්න එපා මෙහෙම..."
"මම
ඔයාට වදයක්ද?"
"හැමදේම
වෙලා පැයක් දෙකක් වත් යන්න කලින් මෙහෙම ඇවිත් ඔය වගේ දේවල් කියන එක වදයක් නෙවෙයිද?
ඔයාට ඕන දේ මම කලා නේ චේතිය අයියා. ඇයි මට මගේ හිත හදාගන්න කාලයක් නොදෙන්නේ?" මම අහුවා.
චේතිය ඒ
පාර නිහඬව ඉඳලා අන්තිමට ලොකු සුසුමක් හෙලුවා.
"ඔයාට
ඕන තරම් කාලේ ගන්න. ඒත් අපි බඳිනවා කියන එක ඒ නිසා පස්සට දාන්න මම කැමති නෑ. ඒක ඉක්මණින්ම
කරන්න ඕන. ඒ නිසා මගේ පැත්තෙන් ඒ ගැන කරන්න ඕන වැඩ මම කරනවා" චේතිය කිව්වා.
මට දැනුනේ
උදාසීන හැඟීමක්. ඕන මගුලක් වුණාවේ කියලා මට හිතුණා.
"මේ
දේවල් මෙහෙම විසඳිච්ච එක හොඳයි එක අතකට" චේතිය ආයෙම කිව්වා. මම මුකුත් කිව්වේ
නෑ.
"දැන්
ඔය කඳුලු පිහගෙන, කොණ්ඩේ ටිකක් පීරගෙන එලියට එන්න. අම්මයි, තාත්තයි ඉන්නේ ගොඩක් අප්සට්
වෙලා. ඒ අයගේ හිත් රිද්දන්න එපා තවත්"
චේතිය එහෙම
කියාගෙන නැගිට්ටා. මම ඔහු දිහාට හැරුණේ එවෙලේ.
"හිතන්න
එපා මම මේ තීරණේ ගත්තේ ඔයා නිසා කියලා. මම මේ තීරණේ ගත්තේ අම්මලා නිසා. භූප නිසා..."
"ඒක
මම දන්නවා...ඒත් මට ඒක අදාල නෑ. මට ඕන ඔයාව බඳින්න, එච්චරයි. එතනින් එහාට අපි බලමු
මොකද වෙන්නේ කියලා. මම ඔයාට ආදරෙයි දුලාරා...කවදාහරි ඔයත් මට ආදරේ කරයි" චේතිය
කිව්වේ බොහොම සැහැල්ලුවෙන්.
"මැරෙනකල්ම
මම ආදරේ කරන්නේ භූපට විතරයි. ඔයාගේ තර්ජන වලට, තුවක්කු වලට ඒක නවත්තන්න බෑ..."
මම කිව්වේ තරහින්.
චේතිය හිණා
වුණා.
"මට
ඕන දේ මම කොහොමහරි ගන්නවා දුලාරා....මම ඒක ඔප්පු කරලා තියෙනවා. අපි බලමු මොකද වෙන්නේ
කියලා"
චේතිය කාමරෙන්
යන්න ගියේ එහෙම කියාගෙන. මගේ හිත ආයෙම අඳුරු වුණා. මම ආපහු ඇඳේ ඇල වුණේ තවමත් ඇවිලෙන
හිතේ ගින්දරෙන් යුතුවමයි. මේ දුක් කරදර කවදාවත් ඉවර වෙන එකක් නැත්ද?
රෑ කෑම
කන වෙලාව ලං වෙලත් මම එලියට නොගිය නිසා ඊලඟට කාමරේට එබුණේ තාත්තා. වෙනදට එහෙම එන්නේ
අම්මා වුණත් අද තාත්තා ආවේ අද වුණ සිද්ධිය නිසා වෙන්න ඇති.
"දෝණි...දෝණි
ඔයා නිදිද?"
තාත්තගේ
හඬ මගෑරලා ඉන්න මට පුලුවන් වුණේ නෑ. මම හෙමින් ඇඳෙන් නැගිටලා වාඩි වුණේ ඒකයි. ඒත් මම
තාත්තා දිහා බැලුවේ නෑ.
"අන්න
අම්මා කන්න මේසෙට ඇරලා බලාගෙන ඉන්නවා. එන්න යන්න කන්න" ඔහු කිව්වා.
"මට
කන්න බෑ..."
මම එහම
කිව්වම මුකුත්ම නොකියපු තාත්තා හෙමින් කාමරේ ඇතුලට ඇවිත් මගේ අනික් පැත්තෙන් වාඩි වුණා.
"මොකක්ද
දෝණි මේකෙ තේරුම?" තාත්තා ඇහුවා ඊට පස්සේ. මම ඔහු දිහා හොරැහින් බලලා එහෙමම උන්නා
උත්තරයක් නොදීම. තාත්තා සුසුමක් හෙලුවා.
"මේ
මොනවද වෙන්නේ කියලා වෙලාවකට මටම හිතාගන්න බෑ. මේවා කවදාවත් අපේ හත් මුතු පරම්පරාවකවත්
වුණ දේවල් නෙවෙයි. අපි මේ ගමේ ඒ කාලේ ඉඳන්ම නම්බුකාර විදියට ජීවත් වුන උදවිය. දෝණිට
ඒක මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. මේ හැමදේම දැන දැනත් මේ විදිහේ රට්ටු හිසන්නන දේවල්
වෙන්න ඔයා මුල් වෙන්නේ ඇයි කියලයි මට තේරෙන්නේ නැත්තේ. මම දන්නෑ ඔයාලගේ සම්බන්ධෙට අපි
කලින් විරුද්ධ වුණ නිසාද ඔයා මෙහෙම කරන්නේ කියලා"
තාත්තා
කලකිරීමෙන් වගේ එහෙම කියද්දි මගේ හිත හොඳටම රිදුණා.
"තාත්තා
හිතන්නේ මම තාත්තලගෙන් පලි ගන්න හදනවා කියලද?" මම ඇහුවේ හිතට ආපු ආවේගේ නිසා.
තාත්තා
මා දිහා බැලුවා.
"මම
දන්නෑ මොනා හිතන්නද කියලත් මේ දවස් වල වෙන දේවල් බැලුවම"
"තාත්තේ,
මම භූපට ගෙදර එන්න කිව්වේ නෑ. මට භූපව සති ගාණකින් හම්බවුණේවත් නෑ. මම කොහොමවත් දැනගෙන
හිටියේ නෑ එයා මෙහෙම ඒවි කියලා. තාත්තා කැමති නම් ඒක විශ්වාස කරන්න" මම කිව්වේ
නොරිස්සුමින්.
ඒ පාර තාත්තා
මොහොතක් කතා නොකර උන්නා.
"තාත්තලා
හිතුවේ අපි දෙන්නා කතා වෙලා මේක කලා කියල ද?" මම ඒ පාර ඇහුවා.
"මම
එහෙම හිතුවේ නෑ කියලා කියන්නේ නෑ. ඒත් ඔයා එහෙම කරන එකක් නෑ කියලා මගේ හිත කිව්වා"
තාත්තා කිව්වා.
ඉතිං ඒ
පාර මට කියන්න දෙයක් තිබුණේ නෑ.
"ඒ
කොහොම වුණත් මේ දේවල් මෙහෙම විසඳිච්ච එක හොඳයි දෝණි. දැන් ඒ ළමයා දන්නවනේ මේක කෙරෙන්නේ
නෑ කියලා කොහොමවත්ම" තාත්තා ඊට පස්සේ එහෙම කිව්වම ආයෙම මගේ හිත පෑරුණා.
මම සුසුමක්
හෙලුවේ ඇස් වල කඳුලු ආයෙම පිරෙද්දි. මට හිතාගන්න බැරි වුණේ අපේ ගෙදරින් ඇයි මේ තරම්ම
භූපට අකමැති කියලා.
"දැන්
මට තියෙන ප්‍රශ්ණේ ඒක නෙවෙයි දෝණි" මම කල්පනා කරමින් ඉන්න අතරේ තාත්තා කිව්වම
මම ආයෙම ඔහු දිහා බැලුවා.
"ඔයා
චේතියට කිව්වද ඇත්තටම ඔයා එයාව කසාද බඳින්න කැමතියි කියලා?" තාත්තා ඇහුවා.
ඒකට උත්තරයක්
දෙන්න මට වෙලා ගියේ, මම ඇත්තටම එහෙම දෙයක් කිව්වද කියලා මටවත් මතක නැති නිසා. ඒත් මම
දැනගෙන හිටියා එහෙම වචනෙන් කිව්වත් නැතත්, චේතිය කරන කියන දේවල් පිළිගත්තම ඒක ඔහුට
කැමතියි කියන එකට සමාන වග.
"ඔයා
එහෙම කිව්ව්ද?" තාත්තා ආයෙම ඇහුවා.
මට සුසුමක්
හෙලුණේ ඉබේටම.
"මම
හිතන්නේ මම එහෙම කිව්වද කොහෙද...ඒ නැතත් කරන්න වෙන දෙයක් නෑ" මම කිව්වේ කලකිරීමෙන්.
තාත්තා
මා දිහා බලාගෙන උන්නේ පරීක්ෂාවෙන්.
"දෝණි...සමහරවිට
ඔයා හිතනවා ඇති මේ වෙන්නේ වෙන්න පුලුවන් නරකම දේ කියලා. ඒත් කවදා හරි ඔයාට තේරෙයි ඒක
එහෙම නෙවෙයි කියලා. මම හිතුවේ නෑ කවදාවත් මම මේක ඔයාට කියයි කියලා. ඒත් මට අද තේරුණා
චේතිය ඔයාට කොච්චර ආදරේද කියලා. ඒ නිසා මම හිතන්නේ නෑ ඔයා ගත්තේ වැරදි තීරණයක් කියලා"
තාත්තා
එහෙම කිව්වාම මට දැනුනේ ලොකු පුදුමයක්.
"ඒ
ළමයා ඔයා වෙනුවෙන් කරන කියන දේවල් දැක්කම මටම පුදුම හිතුණා. වෙන කෙනෙක් නම් අද වගේ
අච්චර දුරක් ගිහින් ආපහු ඔයාව හොයාගෙන මෙහේ එන්නේ නෑනෙ. අනික ඔයාට ඕන හැමදේම ඒ ළමය
අපටත් වඩා හොයලා බලන්වා. තමන්ගේ ගෙදර driver ව අර පිට ගෙදරක නවත්තලා තියෙනවා ඔයා නිසා.
අද මේ සිද්ධියේදි වුණත් ඒ ළමය ඒ විදියට හැසිරුණේ ඔයාට ආදරේ නිසා දෝණි...මම හිතන්නෑ
ඊටත් වඩා හොඳ කෙනෙක් ඔයාට ලබන්න පුලුවන් කියලා" තාත්තා කියාගෙන ගියා.
මට දැනුනේ
ලොකු දුකක්. ඒ තාත්තත් දැන් ඒ පැත්තේ කියලා මට හිතුණ නිසා. සමහරවිට තාත්තා දැක්ක දේ,
ඔහුට හැඟුන දේ ඇත්ත වෙන්නත් ඇති. ඒත් මම කොහොමද එහෙම හිතන්නේ? මම තාමත් ආදරේ භූපට.
ඒ ආදරේ නිසා සමහරවිට මම අන්ධ වෙලා කියලා කෙනෙක්ට හිතෙන්නත් පුලුවන්. ඒත්...ආදරේ කියන
දේ ඔය මොනා කලත් බලෙන් ලබා ගන්න පුලුවන්ද?
"දෝණි
හොඳ ළමයා වගේ දැන් කන්න එන්න. අම්මගෙත් හිත රිදිලා ඉන්නේ. ඒ නිසා මුරණ්ඩු නොවී එන්න"
මම නිහඬවම
උන්නු නිසාදෝ තාත්තා යන්න නැගිට්ටේ මට එහෙම කියාගෙන.
"පුතේ,
මේ ලෝකේ කිසිම දෙයක් සදාකාලික නෑ. අපි හැඟීම් වලට වහල් වුණාම ඒත් හිතෙන්නේ එහෙම තමා
කියලයි. ඒත් ලෝක දහමට අනුව කිසි දෙයක් හැමදාම තියෙන්නේ නෑ. ආදරෙත් එහෙමයි... දුකත්
එහෙමමමයි... ඒත් කාලය හැම තුවාලයක්ම සනීප කරාවි...”
තාත්තා
අන්තිමට එහෙම කියලා මගේ හිසත් අතගාගෙන යන්න ගියා.ඒත් තාත්තා දැනගෙන උන්නේ නෑ, මගේ හිතේ
භූප ගැන තියෙන ආදරේ අලුත් වෙන හැම වෙලේකම, ඒ දුකත් අලුත් වෙන වග. මගේ ආදරේ වගේම මේ
දුකත් මගෙ සදාකාලික උරුමයක් වග...
රෑ වෙලා,
උදේ වෙලා කාලය ගෙවිලා ගියේ ගේ ඇතුලෙමයි. පහුවදා චේතිය කොලඹ ගියා ආයෙම ඉරිදා හවස මාව
එක්ක යන්න එනවා කියාගෙන. ඔහු ගිය එක හිතට සැනසිල්ලක් වුණත්, මට මගේම ගෙදර දැනෙමින්
තිබුණේ පාලුවක්. දවල් අම්මා එක්ක ගිහින් සෙනුරි අක්කා බලලා ආවට පස්සේ, කරන්න කිසිම
දෙයක් තිබුණේ නෑ. මම උන්නේ මුලු ලෝකෙම එපා වෙලා.
"දෝණි...පහන
තියන්න මල් ටිකක් කඩන්න. මැද ගෙයි කලුවරයි. පාන තියල ලයිට් එක දාන්න" අම්මා කුස්සියේ
ඉඳන් කෑ ගැහුවා.
මම මල්
වට්ටියත් අරන් මිදුලට බහිද්දි තාත්තා උන්නේ කන්තෝරු කාමරේ. කවුදෝ කට්ටියක් එක්ක කතා
කරමින්.
"ෂ්
ෂ්..." පාරට මායිම් වුණ වැට අයිනේ වතු සුද්ද මල් පඳුර ලඟට ගියා විතරයි පාරේ අනික්
පැත්තෙන් ඇහුණ ෂූ නාදෙට මම ගැස්සිලා ගියා. මම පඳුර ඈත් කරලා බලද්දි එතනට එමින් උන්නේ
කුමාරසිරි අයියා, භූපගේ යලුවා. මම හොඳටම පුදුම වුණා.
"ඔයා...මේ...ඔයා
මොකද මෙතන කරන්නේ?" මම ඇහුව වට පිටත් බලන ගමන්.
"මොකද
තමා. ඔයා නිකං හරි එලියට එයි කියලා උදේ ඉඳන් එහෙට පදිනවා, මෙහෙට පදිනවා"
"ඇයි
ඒ? අනේ මොකක් හරි හදිසියක්ද?" මම බය වුණේ භූප ගැන.
"හදිසිද
නම් මම දන්නෑ. ඒත් අර ගස් මෝඩයා භූප, මේක ඔයාට දෙන්න කිව්වා" කුමාරසිරි මට දික්
කලේ හතරට පහට නවපු කොලයක්.
"මේක...මේ...
මොකක්ද? අනේ භූප දැන් කොහෙද ඉන්නේ?" මම ඇහුවේ ඇස් උණුසුම් වෙද්දි.
"මෙහෙම
කිව්වට තරහා වෙන්න එපා නංඟි, ඒත් දැන් ඔයා ඔයාගේ වැඩක් බලාගත්තොත් නේද හොඳ. භූපව එපා
කිව්වානම් ආයෙම එයා ගැන හොයන්නේ අහවල් අලේකටද? මම අද මේ ගමන එන්නේ නෑ, ඒත් උගෙ මූණ
බලාගෙන බෑ කියන්න බැරි නිසයි මම මේ ආවේ"
කුමාරසිරිගේ
හඬේ තිබ්බේ කෝපයක්. ඒත් ඒක සාධාරණයි කියලා මම දැනගෙන උන්නා. මම ඉවසුවේ ඒකයි.
"අනේ
අයියේ පිං අයිතිවෙයි, මට කියන්න භූප හොඳින් නේද?"
"ලියුම
කියෙව්වම තේරෙයි" කුමාරසිරි අයියා එහෙම කියාගෙන බයිසිකලේ හරවගෙන යන්න ගියා, මට
උත්තරයක් නොදීම. මම ලියුම ඉක්මණින් හංගගත්තා. භූප මීට කලින් කවදාවත් මට ලියුම් එවලා
තිබුණේ නෑ. ඒක කියවනකල්ම හිතේ තිබ්බේ නො-ඉවසිල්ලක්. ඒ උවමනාව කොච්චර කිව්වොත් මම හවස
උන්නේ මේ ලොකේ සිහියකින් නෙවෙයි. නිකම් මට දැනුනේ මාව අසනීප වෙන්න එනවා වගේ ඇඟට පණ
නැති ගතියක්. ඒත් ලියුම කියවන්න මට සෑහෙන රෑ
වෙනකල් ඉන්න ඕන වුණා. මොකද අම්මා මගේ පස්සෙන් උන්නු හන්දා.
අන්තිමේදි
මම කියවන්න ලියුම දිගාරිද්දි රෑ එකොලහත් පහු වෙලයි තිබුණේ. මොකද අම්මට නින්ද යනකල්ම
මට ඉන්න ඕන වුණ හන්දා.
මට මතක
නැහැ මම කවදාවත් භූපගේ අකුරු දැකලා තිබ්බද කියලා. ලියුම දිගෑරපු ගමන් මගේ ඇස් නැවතුණේ
අපිලිවෙල දිගටි අකුරු වලින් මට ලියවුණ ආමන්ත්‍රණය.
"මගේම
දුලාරා..."
ඇස් බොඳ
වෙන්න ඇසිල්ලක් වත් ගියේ නැති තරම්.
No comments:
Post a Comment