උදේ නිල් පාටින්
බැබලි බැබලි තිබුණ අහස,
හවස් වෙද්දි
අලු පාට වලාකුලු පොදියකින් වැහිලා ගිහිල්ලා තිබුණා. ඒ හන්දමදෝ හාත්පසම තිබුණේ
හුලඟකුත් එක්කම තරමක අඳුරු සීතල ගතියක්. ඒ
මම හැමදාම ආස කරපු කාලගුණේ. සෙනෙට් එක ලඟ තිබුණු සිමෙන්ති බංකුවක් උඩ වාඩි වෙලා මම
අවට තිබුණ මාර ගස් ඒ හුලඟින්
ලතාවකට ලෙල
දෙන හැටි මොහොතක් බලාගෙන උන්නා. ඒ මගේ හිතේ පිරෙමින් තිබුණ නොසන්සුන් ගතිය
මග ඇරගන්න. මෙච්චර වෙලා කතාවක් බහක් නැතිව, වැළිමිටින්
දණහිසට බර වෙලා ඈත බලාන උන්නු භූප,
හිස හරවලා මා
දිහා බැලුවා. මට ඔහු දිහා බැලුණේ
ඉබේටම වගේ. ඒ මුණෙත්, ඇස් වලත් තිබුණේ පහන්
හැඟීමක්. මම අතේ තිබුණ ෆෝන් එක දිහාවට ඇස් හැරෙව්වේ, ඒ ඇස් දිහා
බලන්න මට බැරි හන්දා. 'වෙලාව පහයි
කාලයි'
"දුලාරා"
භූප සුපුරුදු දයාබර හඬින් මාව ඇමතුවා. ඒ ලෙක්චර් හෝල් එක ලඟ ඉඳලා ආවට පස්සේ මුල්ම
වතාවට.
"ම්ම්"
"අද, යාලුවෝ ඔයාට වදේ
ගැහුවද?" ඔහු ඇහුවේ
හෙමින්.
"නෑ...එහෙමම
නෑ" මම උත්තර දුන්නේ ඔහු දිහා නොබලම.
"එහෙනම් කමක්
නෑ. සාලිය නම් අද මාව ඉවර කලා. දවසම ඉන්න දුන්නෙම නෑ. හෙට වෙද්දි මුලු ෆැකල්ටියම
දැනගනී...මම..."
කියන්න ගිය දේ
හදිසියේම වගේ නවත්තපු හන්දා, මට ආපහු භූප
දිහා බැලුණා. ඔහුත් මා දිහා බැලුවා.
ඔහුගේ නිදිබර
ඇස් වලින් දෝරේ ගලමින් තිබුණේ ඒ නොකියපු දේ.මම ඒ ඇස් දෙකේ අතරමං වුණා. ඔහු ඒ පාර
කෙලින් වෙලා, මා දිහාට හැරුණේ, කියන්න ගිය දේ නොකියම.
"මොකක්ද?" මම හෙමින් ඇහුවා, උත්තරේ දැන දැනම.
භූප උත්තරයක්
නොදීම මගේ උකුල මත තියාගෙන
උන්නු බෑග් එක උඩ තිබුණ මගේ අතක් මුදුවට අල්ලගත්තේ, මගේ කන්
පෙතියි, කම්ම්මුල් දෙකයි
ක්ෂනයකින් රත් වෙද්දි. මට දැණුනා මගේ
අත වෙව්ලනවා.
"ඔයා මගේ
කියලා...මගේ විතරයි කියලා" භූප එහෙම කිව්වේ ගොඩාක් හැඟීම්බරව.
ඒ වචන මගේ
හිත් පතුලෙම තැන්පත් වුණා වගෙයි මට දැනුනේ. හිතේ පිරුණ හැඟීම් වල බර හන්දම ඇස්
බොඳවුණේ නිමේෂයකින්. ඒ සතුටු කඳුලු. එවෙලේ අපි උන්නු තැන වටේට තව සෙනග කීප දෙනෙක්
ඉන්න ඇති. අහල පහලින් එකා දෙන්නා ඇවිදගෙන යන්නත් ඇති. ඒත් මට එවෙලේ දැනුනේ, අපි දෙන්නා අදිසි පවුරකින් මුලු ලෝකෙන්ම වෙන
වෙලා වගේ.
"ඔයා මගේ
වෙන්නවද දුලාරා?" භූප ඊට පස්සේ
ඇහුවේ රහසින්
වගේ.
මම බොඳ වුණ
ඇස් වලින්ම ඔහු දිහා බලාගෙන උන්නා.
"හැමදාම මේ වගේ ලඟින්
ඉන්න, මගේ ජීවිතේ මා එක්ක
හැමදාකම, හැමදේකදිම ඉන්න...ඔයා මගේ වෙනවද දුලාරා?" භූප ආයෙම ඇහුවා.
"ඔව්..." මම
කිව්වා, ඒ දෑස් සතුටින් එලිය
වැටෙන හැටි බලාගෙන.
"ඔය ඇත්තමයි නේද?"
"ඇත්තමයි"
භූප හිනාවුණා, මගේ අත ආයෙම මිරිකගෙන.
ඒ මගේ ජීවිතේ
මම ගොඩාක්ම සතුටු වුණ දවසක්. හිතේ තිබුණේ ඉගිල්ලෙන්න හිතෙන තරම් ලොකුම ලොකු ප්‍රමෝදයක්.
හිතේ ඒ විදියට සතුට පිරෙද්දි මම තේරුම් ගත්තා මෙච්චර දවස්, මම භූප ගැන හිතුවේ, හෙව්වේ බැලුවේ, සමහර වෙලාවට නොසන්සුන් වුණේ මම ඔහුට ගොඩාක්
ආදරේ නිසා වග. මට ඒක කියාගන්න බැරි වුණත්, භූපට ඒක
දැනෙන්න ඇති වග මට විශ්වාසයි.
"ඇත්තම කිව්වොත්, මම ඔයාට හිතිං ලං වුණේ අපි පුංචි කාලේ ඉඳලා.
ඒක මං හැමදාමත් හිතේම හංගගෙන හිටියා විතරයි...ඔයාට මතකද මන්දා, මමයි, දුලීයි ඒ
ලෙවල් කරන කාලේ, එතකොට ඔයාලා දහයේ
විතර. ඔයාට පන්සල් යන්න මානෙල් මල් ඕන කියලා, ඒව කඩන්න
ගිහින් හින්නි මාමලගේ කුඹුර ලඟ පොඩි වැවේ මාව ගිලෙන්නත් ගියා...මට ඕන වුණා
කොහොමහරි ඒ මල් ටික ඔයාට ගෙනැත් දෙන්න. ඒ ඔයාට මම ආස කරපු හන්දා..." භූප එහෙම
කිව්වාම මම පුදුම වුණා.
"අනේ...මම දන්නෙත්
නෑ"
"දැනගන්න විදියක් නෑනෙ.
අර තරින්දයා ඔයාලට මල් ගෙනැත් දුන්නනේ, මම අමාරුවෙන්
පීනලා ගොඩ එන අතරේ" භූප කිව්වම මට හිනා ගියත්, ඔහු ගැන පුංචි
දුකකුත් දැනුනා එවෙලේ.
"ඔයා ඊටත් වඩ පොඩි දවස් වල, හාවෙක් වගේ
කොණ්ඩ දෙකකුත් බැඳගෙන අපේ ගෙදර එනවා මට මතකයි. ඊට පස්සේ අපේ නංඟිත් එක්ක තොර
තෝංචියක් නැතුව කතා කර කර,
බෝනික්කෝ
නලවනවා...මමයි, දුලියයි ඒ දවස් වල මහ
කඩාකප්පල්කාරි වැඩ කලා තමයි,
ඔයාලගේ
බෝනික්කන්ගේ බෙලි එහෙම ගලව ගලව. ඒත් පස්සේ හිතද්දි මට හිතුණා ඒ හැම කාලෙකදිම ඔයා
ටිකෙන් ටික මගේ හිතට, මගේ ජීවිතේට
ලං වුණා කියලා, වෙච්ච හැම
දේකින්ම..." භූප එහෙම කියලා සුසුමක් හෙලුවා.
"ඊට පස්සේ?" මම ඇහුවේ කතාවක් අහන පොඩි එකෙක් වගේ.
"ඊට
පස්සේ අපි කොලඹට සින්න වුණානෙ,
ඒ ලෙවල්
අන්තිම කාලේ. එතකොට තිබ්බ වැඩයි,
කොලඹ කෙල්ලොයි
හන්දා (භූප කිව්වේ මට ඇහැක් ගහන ගමන්. මම ඇස් පුංචි කරලා ඔහු දිහා බැලුවා), ඒ හැඟීම ටිකක් විතර යටපත් වුණා. කැම්පස්
එද්දි ගොඩක්ම යටපත් වෙලා වගේ තමා තිබුණේ. ඒත් ඊට පස්සේ, ඔයත් මෙහේ ආවා. අපට ආශ්‍රය කරන්න, කතා කරන්න ඉඩ ලැබුණා. ඔයාට තිබුණ කැමැත්ත
හෙමි හෙමිහිට, මටත් හොරාම ආදරයක්
වුණා... එහෙම කියලා ඔහු තව
තප්පරයක් දෙකක් මා දිහාම බලාගෙන උන්නේ මගේ හිත තව තවත් බර වෙද්දි.
“මං ඔයාට
ආදරෙයි දුලාරා...ගොඩාක් ආදරෙයි" භූප ඉන්පස්සේ එහෙම කිව්වේ හෙමිහිට, වචන බර කරලා. මම ඒ ඇස් දිහාම බලාගෙන උන්නා, මොනවත්ම කියාගන්න බැරිව.
"ඔයාට
මෙහෙම ලං වෙන්න කලින් කවදාවත් මට එහෙම කෙල්ලෙක්ගේ ආදරේක අවශ්‍යතාවයක් දැනිලා නෑ. මෙහේ
ආවට පස්සේ වත් මට එහෙම
කෙල්ලෙක් ඕන වුණේ නෑ. මම එහෙම ඒ දේවල් ගැන හිතුවෙත් නෑ. කොටින්ම මම හිතාගෙන හිටියේ
කවදාවත් කසාද බඳින්නෙත් නෑ කියලා. ඔයා දන්නවනේ දුලියා මට කියන දේවල්. ඒත් ඔයා…. ඔයා මහ පුදුමාකාර
විදියට ඒ හිත වෙනස් කලා. ඒ… සමහරවිට… ඔයා හැමදාමත් මගේ හිතේ හිටපු නිසා වෙන්න
ඇති..." භූප එහෙම කිව්වා.
"ඒක මට
ගොඩක්ම දැනුනේ එදා ඔයා අසනීප වෙලා ඇරලන්න ආපු දවසේ, ඔයා මගේ
උරහිසට වාරු වෙලා නිදාගෙන ඉද්දි. මගේ හිත පතුලටම දැනුනා, මට ඔයාව ඕන කියලා...මං ඔයාට ආදරෙයි නේද
කියලා එදා මට හිතුණා. ඒත් ඒ දවස්වල ඒක ඔයාට කියන්න මට ධෛර්යයක් තිබුණේ නෑ"
මට සුසුමක්
හෙලුනේ ඉබේටම. ඒ හැම මොහොතකම මමත් ඔහුට ආදරේ කලා නේද?
ඊට පස්සේ
ගෙවුණ හැම තප්පරේකම මම කල්පනා කලේ,
කොහොමද මම මේක
ඔයාට කියන්නේ කියලා. මම දැනං හිටියේ නෑ ඔයා මොනා කියයිද කියලාවත්. පොඩි බයක්
තිබුණා අකමැති වෙයිදෝ කියලත්. ඒ එක්කම මට හිතුණා බැරි වෙලාවත් ඔයා වෙන කෙනෙක්ට
කැමැත්ත දුන්නොත් කියලාත්..."
භූප එහෙම
කිව්වම මට පුංචි හිනාවක් නැගුනා.
"එහෙම වුණා නං?" මම ඇහුවා.
භූප මගේ දිහා
බැලුවේ දුකකින් වගේ.
"මට ඒක දරා ගන්න බැරි
වෙයි. මං ඒ තරම් ඔයාට ආදරෙයි දුලාරා...ඒ තරම් ආදරෙයි" භූප කිව්වේ හෙමින්, හැඟීම්බරව.
මගේ හිත
හිරිවැටුණා වගෙයි මට එවෙලේ දැනුනේ.
"එහෙම වෙන්න ඉඩක්
තිබුණේ නෑ. කවදාවත් එහෙම වෙන්නෙත් නෑ...සත්තයි..." ඒ සිතල හැන්දෑවේ, අහස පොලව සාක්කි කරගෙන මම ඔහුට පොරොන්දු
වුණා.
අන්තිමේදි අපි
හොස්ටල් එකට එන්න එතනින් නැගිටිද්දි, අඳුරත්
වැටිලා. කාලේ යන හැටි භූප එක්ක ඉද්දි මට නොතේරුණ තරම්. උදේ ආයෙම මුණ ගැහෙනකල් සමු
ගන්නත් හිතේ තිබුණේ ලෝබකමක්.
"අද ඉඳන්, හැමදාටම ඔයා මගේ දුලාරා...මගේ විතරමයි"
රාමනාදන් හෝල්
එකට මාව ඇරලවලා සමු ගන්න මොහොතකට කලින් භූප මට කිව්වේ එහෙම. මම හිටියේ ආයෙමත් ගොලු
වෙලා. ඒත් මම ඔහුට හිනාවක් පෑවා,
ගොඩාක්
ආදරෙන්. තව විනාඩි දෙක තුනක්
අපි දෙන්න එහෙම ඉන්න ඇති.
"රෑ වෙනවනේ...ඔයා ඇතුලට
යන්න එහෙනම්. හෙට උදේට මං එන්නම්..." එහෙම කියලා මගෙන් සමු
ගත්තු භූප, ලයිට් එලියෙන් පෙනෙන
තාක් දුර ආපහු පස්ස හැරි හැරී බල බල යන්න ගියා.
මම හෝල් එක
ඇතුලට ආවේ සතුටකුයි, පුංචි පාලුවකුයි එකවගේ
පිරුණු හිතින්. ඒත් පහුවදාටත්,
ඊට පස්සේ
එලඹෙන හැම දවසක්ටමත් මට අලුත් බලාපොරොත්තුවක් තිබුණා. ඒ මගේ
භූප...අපේ ආදරේ..අපේ අනාගතේ...
කාමරේට ලං
වෙද්දි, මගේ ෆෝන් එකට message
එකක් එන සද්දෙට මම ඒක අතට අරන් බැලුවා.
"කල් බලා
ඇවිත්...තව්තිසා දෙසින්... ගම්දොරේ මගේ පොඩි විමානයේ...
හුන් සරා
සඳත්...අද අගේ නොවේ... නුඹ අරා සිටී
දිවි නිශා තලේ..."
භූප එකේ ලියලා
තිබුණේ එහෙමයි...එදා….
ඒ හවස...අපේ
ආදරේ... කොච්චර නම් සුන්දරද?
I like this story <3
ReplyDeleteලස්සන කතාවක්. ඉක්මනට ඉතිරි කොටස් ටිකත් දාන්න. ගොඩක් සමීප අපි දන්න කියන තැන් මේ කතාවේ තියන නිසා වෙන්න ඇති.
ReplyDeleteItiri kotasa ko ane. Balagena innawa
ReplyDeleteහ්ම් පුරුදු ලස්සන තියෙනවා නෙතූ අක්කේ.ඒත් මගේ ෆේවරිට් කතාව නම් ඉතින් ආර්යන්ගෙයි ආන්යගෙයි කතාව තමයි....))))
ReplyDeleteමේකේ මොනවා හරි වෙනස් දෙයක් කතාව මැදට යන කොට වෙයිද මන්දා!!! කෝම හරි දිගටම ලියමුකෝ ඉතින්!!