හැමදාම වගේ, ගමේ හැමෝගෙම මහන්සියෙන් සහ ශ්‍රද්ධාවෙන් සිද්ධ කරන ගමේ පිංකම ඉරිදා දවල් වෙද්දි අවසාන වුණා. වැඩි කලබලයක් නැතුව සේරම හොඳින් සිද්ධ වුණ හන්දා ලොකු හාමුදුරුවොත් උන්නේ සතුටින්.
දවසක් නිදි මරලා හන්දා අපට පොඩි මහන්සියක් දැනුනත්, හිතේ තිබුණ පහන් හැඟීමයි, ශ්‍රද්ධාවයි හන්දා ඒක අපට නොදැනුන තරම්. තාත්තලා ලොකු හාමුදුරුවෝ එක්ක කතාකරමින් ඉන්දැද්දි, පොඩි හාමුදුරුවෝ අතින් පිරිත් නූල් බැඳගත්තු අම්මලයි, මමයි, කේතකීයි පන්සලේ මලුවට ආවා. ඒ වෙලාවෙත් පන්සලේ සෑහෙන තරම් සෙනගක් උන්නා.
"ඔයා අද හවස කැම්පස් යනවද දුලා?" කේතකී මගෙන් ඇහුවේ ඒ අතරේ.
ඒකට උත්තරයක් දෙන්න කලින් මට අම්මා දිහා බැලුණා. අම්මා දන්නවා ඒ මම බැලුවේ අද ගෙදර ඉඳලා හෙට යන්නද අහන්න වග. අම්මට යන්තම් හිනාවක් ගියේ ඒ නිසා වෙන්න ඇති.
"හෙට යනවා නම් උදෙන් යන්න එපායැ. ඔයා කැමති විදියක් කරන්නකෝ" අම්මා ඊට පස්සේ කිව්වා.
"එහෙනම් හෙට යන්න දුලා. අද මහන්සිත් එක්කනේ" කේතකී කිව්වා.
කේතකී එහෙම කියද්දි මගේ ඇස් දෙක නැවතිලා තිබුණේ ඈත උන්නු පොඩි අයියයි එයාගේ යාලුවෝ කට්ටියයි උන්නු තැන. භූපගේ බූසි කොණ්ඩෙත් එතන මට පෙනුනා.
"ඒක තමයි...එහෙමවත් කරනවා. අයියා අද යනවලුද?" මම කේතකීගෙන් ඇහුවේ ආයෙම ඈ දිහා බලමින්.
"ම්ම්...අනේ මන්දා. එහෙම යන කතාවක් නම් කිව්වේ නෑ. ඒත් ඉතිං එයාගේ වැඩ දන්නේ නැද්ද? ඕන නම් රෑ ජාමේ හරි යාවි" කේතකී එහෙම කිව්වා.
ඔහොම අපි කතාකරමින් ඉන්දැද්දි, පොඩි අයියයි භූපයි ඇතුලු යාලුවෝ කට්ටියම හෙමි හෙමින් ඇවිදගෙන අපි ඉන්න තැනට ආවා. මගේ හිත හීනියට නොසන්සුන් වීගෙන එන වග මට දැනුනේ මට ඉස්සරහින්ම වගේ හිටගත්තු භූප හන්දා. මම ඔහු දිහා නොබලා ඉන්න උත්සාහ කලා.
"අම්මලා දැන්ම යනවද?" එහෙම ඇහුවේ පොඩි අයියා.
"යන්නත් ඕන පුතේ. ගෙදරත් අස් පස් කරන්න එහෙම එපෑ. මෙතන අපට කරන්න තිබුණ වැඩ නම් සෑහෙන ඉවරයි. පුතාලා තව අස් කරන වැඩ වලට ඉන්නවනේ නේද?" අම්මා ඇහුවා.
"ඔව් අම්මා. ඒ ටිකත් කරලම එන්න ඕන"
"දුලාරා අද කැම්පස් යනවද?" ඒ අතරේ මගෙන් එහෙම ඇහුවේ භූප.
"ම්හු" මම හිස වැනුවා. "හෙට උදේ තමා යන්න ඉන්නේ" මම කිව්වා.
"එහෙමද?" භූප කිව්වාම මම හිස උස්සලා ඔහු දිහා බැලුවා. ඒත් ඔහු ඊට වඩා දෙයක් කිව්වේ නෑ. ඒ ඇස් වල තිබුණේ මොකක්දෝ අමුතු හැඟීමක් කියලා මට හිතුණා. ඒත් ඒක කියවගන්න කලින් භූප අහක බලා ගත්තා. එතන හිටපු අනෙක් අය කතා බහේ යෙදිලා උන්නු හන්දා අපේ දෑස් වල කතාව දකින්න නැතිව ඇති. මට හීන් සුසුමක් හෙලුනේ ඉබේටම.
අයියලා තව දුරටත් පංසලේ නැවතුන හන්දා, මමයි, අම්මයි, සෙනුරි අක්කයි ආපහු ගෙදර එන්න ආවා. කේතකීයි, අම්මයිත් ගෙදර යන්න ගියා. හිතේ තිබුණ නොසන්සුන් කම දැන් දැන් මොකදෝ පාලු හැඟීමකට පෙරලෙමිනුයි තිබුණේ. 'මට මොනා වීගෙන එනවද?'
"දුලාරා...ඒයි...මොකෝ අනේ මේ?"
lecture hall එකේ පුටුවකට බර වෙලා නිදි කිරමින් උන්නු මම එක පාරටම ගැස්සිලා ගියේ තාරකාගේ හඬට. ඒ අතරේ මට ඈතින් ඇහුණා අපට උගන්වමින් උන්නු මහාචාර්යවරියගේ ඒකාකාරි හඬත්.
"මැඩම් දැක්කොත් එලියට තමයි යන්න වෙන්නෙ" තාරකා ආයෙම හෙමින් මට කිව්වා. ටිකක් විතර පරක්කු වෙලා ආපු හන්දා මායි තාරකායි අද උන්නේ පස්සෙම පේලියක. චතූලා නම් ඉස්සරහ උන්නා.
"නිදි මතයි අනේ...දවස් දෙකක් පංසලේ පිංකම නේ" මම හෙමින් කිව්වේ තාරකාගේ නෝට් එකට එබෙන ගමන්. ‘sociology of culture’ ඒකේ උඩින්ම ලියලා තිබුණා.
"මට නම් මේවා වෙලාවක්ට greek වගේ අනේ"මම කිව්වේ තාරකා ලියලා තිබුණ මොන මොනවදෝ එහෙම්මම කොපි කරගන්න ගමන්.
"greek නොවී තියේයැ, ආපු වෙලේ ඉඳලම නිදාගෙන
හිටියම" තාරකා කිව්වේ මා දිහා ඇස් කොනකින් බලලා. මට හිනා ගියා ඒ කියපු
විදියට. නෝට් එකේ ඒ කොටස ලියලා ඉවර වෙලා මම ආයෙම කලේ නිදි කිරන එකම තමයි.
"දන්නවද, මේ සතියේ film festival එකක් තියෙනවලු" අපි lecture
එක ඉවර වෙලා හවස තේ එකක් බොන්න යන ගමනෙදි චතූ කිව්වා.
"ඇත්තට? කවුද කිව්වේ? කොහෙද ඕක තියෙන්නේ?" තාරකා ඇහුවේ උනන්දුවෙන්.
"කිව්වේ නෑ, අර notice දාලා තිබුණේ බෝඩ් වල. තියෙන්නේ නම් AT එකේ වෙන්න ඕන. වෙන තැනක් නෑනෙ" චතූ උත්තර දුන්නා.
අපි ආවට පස්සෙම පැවැත්වෙන පලවෙනි film
festival එක මේක. ඒ නිස ඒ ආරංචිය අපිව සෑහෙන කුතුහලයටත්, උද්යෝගයටත් පත් කලා.
කැන්ටිමට යනකල් අපි කතා කලේ ඒ ගැන. අපි යද්දි කැන්ටිමේ සෑහෙන සෙනගක් උන්නා. ඒ අස්සේ කෑම, තේ ගන්නත් ලොකු පෝලිමක්.
"අම්මේ මෙතන නම් අද තේ බොන්න වෙන්නෑ. යමුද වුස් එකටවත්?" වට පිට බලලා එහෙම කිව්වේ නිලීකා. අපි ඒකට එකඟ වුණේ එක පයින්.ඒ පාර අපි ගාට ගාට ආයෙම වුස් කැන්ටිම පැත්තට යන්න ඇදුනා.
ඒ යන අතරමග, Geology Department එක ලඟ තියෙන ලොකු මාර ගහ යටදි අපට භූපයි, එයාගෙ අතිජාත යාලුවෝ දෙන්නයි මුණගැහුණේ අහම්බෙන් වගේ. භූප උන්නේ බෑග් එකකුත් කරේ දාගෙන. අපිව දැක්ක ගම තුන් දෙනාගෙම මූණු වල ඇඳුනේ හිනාවක්.
"ආ...මේ නංගිලා කොහේද යන්නේ?" එහෙම ඇහුවේ සාලිය අයියා.
"ගෙම්බා එකේ සෙනග. අපි වුස් එකට යන්වා තේ එකක් බොන්න" උත්තර දුන්නේ තාරකා.
"ආ..ඒක හොඳයි. අපිත් මේ ඒ පැත්තට තමා යන්නේ. යමු යමු" සාලිය අයියා එහෙම කියාගෙනම අපි එක්ක එකතු වුණා.
"අද හවස lectures
නැද්ද?" එහෙම අහගෙන භූප මගේ ලඟට ආවා. නිරායාසයෙන්ම වගේ අපේ පිරිසේ අන්තිමට එකතු වුණ අපි දෙන්න හෙමි හෙමින් වුස් එක දිහාවට ඇදුනේ කතා කරන ගමන්මයි.
"අද lectures තියෙන්නේ හතර වෙනකල් විතරයි" මම කිව්වා.
"ඔයා උදේද ආවේ?" ඊට පස්සේ භූප ඇහුවා.
"ඔව්. පහයි ගානෙ අවා. තාම නිදි මතයි" මම එහෙම කිව්වාම භූපට හිනා ගියා.
"මමත් මේ දැන් ටිකකට කලින් ආවේ. උදේ එන්න හිටියේ. ඒත් නින්ද ගියා දන්නෙම නැතුව. අම්මටත් නින්ද ගිහින්. පව්. දවස් දෙකම මහන්සි වෙලානෙ"
"එකකොට අද දවසම lectures
නෑ නේද?" මම ඇහුවේ ඇස් ලොකු කරලා.
"සීයට අසූව තිබ්බම මදෑ" භූප එහෙම කියල බෑග් එක අනෙක් කරට මාරු කර ගත්තා.
අපි වුස් එක
ඇතුලට යද්දි, සාලිය තේ
පෝලිමට එකතු වෙලයි උන්නේ. භූපගේ අනෙක් යාලුවා වුණ සුබෝධත් එතනම හිටගෙන උන්නා.
"මම අරන්
එන්නම්. ඔයාලා වාඩි වෙන්න" ඔහු එහෙම කිව්වේ නිලීකලට.
"ඔක්කෝම ගේත
හැකිද?"
නිලීකා ඇහුවා.
"පුලුවන්
වෙයි...මචෝ ආප්ප ගන්නද?" සාලිය එහෙම ඇහුවේ භූපගෙන්.
"ඕන
දෙයක්"
භූප එහෙම
කිව්වා. ඊට පස්සේ අපි දෙන්නත් අනික් අය එක්කම ගිහින් කෙලවරේ ලී මේසයක් ලඟින් වාඩි
වුණා. එවෙලෙම වගේ තේයි, ආපායි අරගෙන භූපගේ යාලුවෝ දෙන්නත් එතනට ආවා.
"හම්මෝ...මොකක්ද
අනේ ඒ සුවඳ?" ඒ අය දෙපාරකට
තේ ගෙනැත්, මෙසේ අසලින්
වාඩි වුණ ගමන්, එහෙම ඇහුවේ
චතූ.
"ඔව්මයි...මොනාද
ඒ?"
නිලීකත්
ඇහුවා.
"මොනාද ඉතිං
ජීවන සුවඳ තමා" එහෙම කිව්වේ ආප්පයක් අරගෙන කන්න පටන් ගත්තු සාලිය අයියා.
"වැඩේ කියන්නේ, ජීවන සුවඳ මදිවට ලා
සිගරට් ගඳකුත් එන එකනේ" කවදත් කට වැඩි තාරකා එහෙම කිව්වා. බොන්න ගිය තේ එක
සුබෝධ අයියා පැත්තකට කලේ කහිමින්. සාලිය අයියා තාරකා දිහා බැලුවේ කන එකත් අමතක
වෙලා වගේ.
මම සාලියයි, සුබෝධගෙයි මූණු දිහා
බැලුවේ පුදුමෙන්. භූප නම් හිනාවක් නගාගෙන අහක බලාගෙනයි උන්නේ.
"සිගරට්? පිස්සුද? අපි සිගරට් තියා
දුංකොලයක්වත් දැකලා නෑ. මේ ලඟ පාත කවුරු හරි වෙන්න ඇති" ඒ පාර සාලිය අයියා
ඇඟට පතට නොදැනී කිව්වා.
"අනේ
මන්දා...එහෙනම් අපි ගාවින්ද දන්නෑ එන්නේ" තාරකා ආයෙම කිව්වා.
"හරි
හරි...දැන් ඔය තේරුමක් නැති සුවඳවල් ඉව කර කර නො ඉඳ ඔය තේ එක බිව්වානම් මොකෝ"
සුබෝධ අයියා එහෙම කිව්වා.
තේ බොන අතරේ
විවිධාකාර දේවල් කතා කරමින් උන්නු අපි, අනිතිමට පැය බාගෙකට විතර පස්සේ එතනින්
නැගිට්ටේ හවස් වීගෙන එන හන්දයි.
"දුලාරා..."
අනික් පිරිසට ඉස්සර වෙන්න ඇරලා භූප මට කතා කලා.
"ඇයි?"
"පොඩ්ඩක්
ඉන්නවද?" ඔහු එහෙම
ඇහුවාම, මම ආපහු
ඉස්සරහ බැලුවේ අපි එනකල් නැවතිලා උන්නු කට්ටිය දිහා.
"අපි
එන්නම්...උඹලා පලයල්ලා" භූප ඒ පාර කෑ ගහලා එහෙම කිව්වා. මගේ මොහොතක් බලා
උන්නු චතූ ආයෙම යන්න පටන් ගත්තේ, තාරකාට මොනවදෝ කියන ගමන්.
බෑග් එක ඇද ඇද
පරක්කු වෙමින් උන්නු භූප, හිටගෙන උන්නු මා ලඟට ආවේ බෑග් එකෙන් අතට ගත්තු පොතකුත්
එක්ක.
"යමු" ඊට
පස්සේ ඔහු කිව්වා. මගේ හිත අස්සේ ගිනි උදුනක් පත්තු කරලා වගේ හැඟීමකුයි එවෙලේ මට
දැනෙමින් තිබුණේ.
"මට පහුගිය
දවස් ටිකේ කතා කරන්න ඕන වුණත් වෙලාවක් තිබුණේ නෑ, වෙන වැඩ ගොඩක් තිබ්බ හන්දා" භූප කතාව
පටන් ගත්තේ එහෙම. මම අහගෙන උන්නා.
"ම්ම්...තේරෙන්නෑ
දුලාරා, කොහෙන් පටන්
අරගෙන කොහෙන ඉවර කරන්නද කියලා හිතේ තියෙන දේවල්..." භූප කිව්වේ මම
බලාපොරොත්තු නොවුණු දෙයක්.භූප එහෙම කිව්වාම, හිතේ පත්තු වුණ ගින්දර හිස මුදුනට ආවා වගේ
මට දැනුනා.
" ඒ...මො...මො..නාද?" මම ඇහුවේ වෙව්ලන
හඬින්.
භූප මා දිහා
බැලුවා යන්තමින් හිස හරවලා.
"ඔයා ඉන්නේ බය
වෙලා"
"නෑ"
"මට ඒක තේරෙනවා
ඔයාගේ කට හඬින්" භූප කිව්වේ හෙමින්.
මම ඔහු දිහා
බැලුවේ මුකුත්ම කියා ගන්න බැරිව ගොලු වෙලා. ඔහු එක්ක කතා කරන්න මට ඕන වුණා.ඒත් මම
මොනවද කියන්නේ?
"පොඩ්ඩක්
පොලොන්නරුවේ නැවතිලා අපි කතා කරමුද?" භූප ඊට පස්සේ ඇහුවේ, මගේ ඇස් මගෑරලා.
"හ්ම්" මම
කිව්වේ එච්චරයි.
ඊට පස්සේ අපි
දෙන්නා අනෙක් පිරිසෙන් වෙන් වෙලා පුස්තකාලෙයි, සෙනෙට් එකයි පැත්තෙන් පොලොන්නරුව දිහාට එන්න
ආවා. එවෙලේ මගේ හිත තිබුණේ භූප ඇරෙන්න අනෙක් හැම දෙයින්ම හිස් වෙලා වගේ. මගේ හිත
තිබුණේ වේගයෙන් ගැහෙමින්. භූප මොනවද මට කියන්න හදන්නේ?
"ඉඳගන්න
දුලාරා"
පොලොන්නරුවේ
පාර දිහායින් මෑත් වුණ ගල් කණුවක් උඩ තමන්ගේ බෑග් එක තියන ගමන් භූප මට කිව්වා.
මමත් මගේ බෑග් එක අතට අරන් කණුව උඩින් වාඩි වුණා. භූප මට පොඩ්ඩක් එහායින් වාඩි
වුණා.
"දුලාරා ඇට
මැස්සා පොත කියවලා තියෙනවද?"
මොහොතක නිහැඬියාව
බිඳ දමමින් භූප මුලින්ම ඇහුවේ
එහෙම. මම පොඩ්ඩක් විතර පුදුම වුණා ආයෙම සැරයක්.
"ඇට මැස්සා?"
"ඔව්...සුගතපාල
ද සිල්වා ශූරීන්ගේ"
"ම්හු...නෑ"
"කියවලා නෑ?" භූප ඇහුවේ ඒක වෙන්න
බැරි දෙයක් වගේ.
"නෑ"
"එහෙමද? කියවන්න ආසද?" භූප ඊලඟට ඇහුවා.
"ම්ම්...අනේ
මන්දා. ඒක හොඳ පොතක්ද?"
"ඉස්තරම්ම
පොතක්. මම කියවලා තියෙන ගොඩක්ම ලස්සන
පොතක්.සමහර වෙලාවට සමහර සිද්ධි අපේ ජීවිතේටම සම්බන්ධයි වගේ කියලා හිතෙන එකක්"
භූප කිව්වේ හැඟීම්බරව වගේ.
"එහෙමද?"
"හ්ම්...මේක
කියවන්න" මා දිහා බලාගෙනම ඔහු, කලින් බෑග්
එකෙන් එලියට ගත්තු පොත මා දිහාට පෑවා.
ඒක කොල පාට
ලොකු පොතක්. ඉස්සරහ පිටුවේ තිබුණේ රතු
මලකුයි, පරණ කාලේ
තුවක්කුවකුයි අල්ලගෙන
ඉන්න අතක
රූපයක්.. මම පොත අතට
අරන් භූප දිහා බැලුවා.ඔහු උන්නේ ඉස්සරහ බලාගෙන.
"ඕකේ ඉස්සෙල්ලම
කොටස් දෙක තුන සමහරවිට ඔයාට boring වෙයි. ඒත් කල්පනාවෙන් කියවන්න. ඔය හැම කොටසක්ම
පස්සේ වෙන සමහර දේවල් තේරුම් ගන්න ඔයාට ඕන වේවි" ඔහු මට කිව්වා.
"ඇයි ඔයා ඉතිං
මට මේක දෙන්නේ?" මම ඊට පස්සේ ඇහුවා.
භූප මා දිහාට
හැරුණා ආයෙම.
"ඒක ගොඩක්
ලස්සන පොතක්
නිසා. මට හිතුණා
ඒකට ඔයා
ආස වෙයි
කියලා ඒකයි" භූප එහෙම කිව්වාම
මම ආයෙම
පොත දිහා
බැලුවා.
"හරි...බලමුකෝ කියවලා" මම කිව්වා.
භූප හිනා
වුණා.
මම තාමත්
කල්පනා කරමින්
හිටියේ ඇයි
භූපට මෙහෙම
කතා කරන්න
ඕන වුණේ
කියලා. අපි මෙතන
වාඩි වුණේ
පොතක් හුවමාරු
කර ගන්නද?
"ම්ම්...අපි යමුද
එහෙනම්" පැත්තක්
බලාගෙන කල්පනා
කරමින් උන්නු
භූපගෙන් මම
ඇහුවා තවත්
තප්පර කීපෙකට
පස්සේ.
"ආ...ම්ම්, ඔයාට පරක්කු
වෙනවද?" භූප
මගෙන් ඇහුවා.
මම ඔහු
දිහා බැලුවේ
මොනවත් තේරුම්
ගන්න බැරිව. අපි මොනවත්ම කතා
නොකරනවා නම්
මෙහෙම ඉන්න
එකේ තේරුම
මොකක්ද කියලා
මට හිතුණ
නිසයි මම
එහෙම ඇහුවේ
ඔහුගෙන්.
"අනේ සොරි
දුලාරා...මම ඔයාවත්
එක්ක ඇවිත්
මුකුත් නොකියා
කල්පනා කර
කර ඉන්න
එකට. මගේ හිත
හරි කලබලයි. ඒකයි" භූප ඒ
පාර කිව්වේ
සමාව අයදින
බැල්මක් හෙලන
ගමන්.
"ඔයාට ගෙදර මොකක්
හරි ප්‍රශ්ණයක්ද?" මම ඇහුවා.
"නෑ...එහෙම දෙයක්
නෙවෙයි" භූප
හිස වැනුවා.
"එහෙනං?"
භූප මොහොතක්
මා දිහා
බලාගෙන ඉඳලා
ආයෙම අහක
බලා ගත්තේ
මට උත්තරයක්
නොදී.
"කෙල්ලෙක් ගැන
මොකක් හරි
ද?" මම ඒ පාර ඇහුවා.
භූප හිස
යන්තම් හරවලා
මා දිහාට
හෙලුවේ හිත
විනිවිද යන
බැල්මක්. ඊට පස්සේ
අහක බලාගත්තේ
මම.
"මොකද එහෙම
ඇහුවේ?" භූප
ඇහුවා.
"නෑ...මං නිකමට
ඇහුවේ. ගෙදර ප්‍රශ්ණෙකුත්
නෙවෙයි නම්, ඊලඟට වෙන්න පුලුවන්
දේ ඒකනෙ" මම පණ්ඩිත වාක්‍යයක්
දැම්මා.
"ඔයයි, අපේ නංඟියි
නම් තකට
තක දුලාරා" භූප එහෙම කිව්වේ
සැහැල්ලු හඬින්.
"ඒ මොකෝ?"
"අපේ නංඟිත්
පනින්නෙම ඔය
නිගමනේට තමයි"
"ඉතිං ඒක
වැරදිද?"
මම එහෙම
ඇහුවාම භූප
එක පාරටම
උත්තරයක් දුන්නේ
නෑ.
"අපි යමු" ඊට පස්සේ භූප
කිව්වේ එහෙම. මම ඔහු දිහා
බැලුවේ පුදුමෙන්. ඒත් මා දිහා
නොබලම ඔහු
නැගිටලා බෑග්
එක කරේ
එල්ලගත්තා.
"මහන්සියි සෑහෙන්න" ඔහු කිව්වා ඊට
පස්සේ.
මමත් උන්නු
තැනින් නැගිටලා
ඔහු එක්කම
ආපහු පාරට
එන්න ආවා.
ඒ එන
අතරේ අපි
වැඩිපුර කතා
නොකලත්, භූප සැරෙන්
සැරේ මා
දිහා ඇස්
කොනින් බලනවා
මම දැක්කා. මගේ හිත තිබුනේ
තවමත් අමුතු
වෙලා. හරියට ලොකු, සීතල අයිස් කුට්ටියක්
හිත උඩින්
තියලා වගේ.ඒ මදිවට අහන දේකට භූප උත්තර දෙන්නෙත් නෑ.
"දුලාරා..." හිල්ඩා
ශාලාවට ලං
වෙද්දි භූප
මාව ඇමතුවේ
දයාබර හඬින්.
"ම්ම්?"
"මම එන්නද
ඔයාව හොස්ටල්
එක ලඟට
ඇරලන්න?"
භූප එහෙම
ඇහුවාම හිතේ
තිබුණ ගැස්ම
තව වඩි
වුණා වගෙයි
මට තේරුණේ. ඒ ඇයි කියලා
අහන්න ඕන
වුණත්, ඒ වෙනුවට
මම කලේ 'හා' කියලා හිස
වනපු එක. අපි
උන්නු තැන
ඉඳලා රාමනාදන්
ශාලාවට තිබුණේ
එක වංගුවක
දුර විතරයි.
"ඔයා දන්නවද, අපි පොඩි කාලේ
ඉඳලම දැන
අඳුනගෙන හිටියා
වුණත්, අද, ඒ කියන්නේ
දැන්, මට ඔයාව
දැනෙන්නේ අලුතෙන්ම
අඳුනගත්තු කෙනෙක්
වගේ" භූප
හිටි ගමන්
එහෙම කිව්වා.
"ඇයි ඒ?" මම ඇහුවේ පුදුමෙන්.
"අනේ මන්දා. කියන්න තේරෙන්නේ නෑ. සමහරවිට මීට කලින්
අපි මේ
වගේ කතා
කරලා, ආශ්‍රය කරලා
නැති හන්දා
වෙන්න ඇති" භූප කිව්වා.
"අනේ මංදා" මම කිව්වා.
"සමහරවිට මම
ඔයා ගැන
හිතන විදිහ
වෙනස් නිසා
වෙන්නත් ඇති" භූප ආපහු කිව්වේ
හෙමින්.
මට ඔහු
දිහා බැලුණේ
ඉබේටම.
"මට තේරෙන්නෙ
නෑ භූප
ඔයා කියන
දේ" මම කිව්වා.
භූප ඒකට
මොන්වත්ම කිව්වේ
නෑ. ලොකු සුසුමක්
හෙලුවා විතරයි. ඒ වෙද්දි අපි
නාදන් එකේ
රජ තල්
ගස් පේලිය
ලඟටත් ඇවිත්.
"ඒ ගැන වැඩිය හිතන්න එපා. හරි...එහෙනම් මම යන්නද?" භූප
එතන නතර
වෙලා ඇහුවා. හිතන්න එපා කිව්වට නොහිතා ඉන්නේ කොහොමද කියලා මම දැනගෙන උන්නේ නෑ.
"හා" මම හිස වැනුවා. ඒත් ඔහුගෙන්
සමු ගන්න බැරි මොකක්දෝහැඟීමක් හිතේ හෙමිහිට වෙලෙමින් තිබුණා.
"හරි...ගුඩ් නයිට්
දුලාරා"
"ගුඩ් නයිට්
භූප"
මට පුංචි
හිනාවක් පාපු
ඔහු ආපහු
හැරෙද්දි මමත්
හැරුණේ හෝල්
එකට යන්න. ඒත් ඊට කලින්...
"දුලාරා..." භූප
ආයෙම මට
කතා කලා.
මම හැරිලා
බැලුවා.
"කෙල්ලෙක් නිසාද
කියලා ඇහුවා
නේද? ඒකට උත්තරේ
ඔය මම දීපු
පොතේ අන්තිමට
යද්දි හම්බවෙයි" එහෙම කියලා ඔහු
ආපහු හැරිලා
යන්න ගියා.
මම එතන තව මොහොතක් උන්නේ ඔහු කියපු දේ හිතාගන්න බැරිව. ඊට පස්සේ මම හෙමි හෙමින් හොස්ටල් එක දිහාට ඇවිදගෙන ආවේ, බෑග් එකෙන් ඔහු දීපු පොතත් අතට ගන්න ගමන්. ඒත් කලුවර නිසා මට ඒක කියවන්න පුලුවන් වුණේ නෑ. කාමරේට ගිහින් කියවන්න හිතාගෙන මම ඒක ආයෙම බෑග් එකට දා ගත්තා. ඒත් එක කියවනකල් හිත තිබුණේ නො ඉවසිලිමත් වෙලා. මම ආපහු හැරිලා බැලුවත් කලුවර හන්දා මට පාර පෙනුනේ නෑ. භූප හෙමි හෙමිහිට ඇවිදගෙන යනවා ඇති කියලා මට හිතුණා. එවෙලේ හිත මොන තරම් නොසන්සුන් වෙලා තිබුණත්, හිතේ තිබුණ එකම එක දෙයක් මට පැහැදිලිවම දැනුනා. ඒ මම භූපට හිතිං ගොඩාක් ලං වෙලා වග. ඒක ආදරේද කියන්න එවෙලේ මම දැනගෙන හිටියේ නෑ...
පොත් ගුලේ යාලුවන්ට සුබ උදෑසනක්...
ReplyDeleteඅදහසක් දාන්න තරම් වෙලාවක් අද තමයි යාන්තම් ලැබුණේ. නැත්නම් මේ පැත්තේ එන්නේ හදිසියෙන් පෝස්ට් එක දාන්න විතරමයි.
අලුතෙන්ව් පොත් ගුලට එකතු වුණ හැමෝවම සාදරෙන් පිළිගන්නවා... ඔයාලටයි, ඒ වගේම හැමදාම මගේ කතා එක්ක එකතු වුණ පරණ යාලුවො සේරටමයි ගොඩක් ස්තුතියි මේ කතාව ලියන්න මට දිරි දීම ගැන...
එහෙනම් හැමදාම ඇවිත් යන්න එන්න හොඳේ...
ඔයාලා හැමෝටම සුබ සතියක් වේවා!!!
කතාව ලස්සනට ගළාගෙන යනවා.. අපි ආසාවෙන් බලනවා... කතාවක් එන්න පමා වුණාම පාළුවකුත් දැනෙනවා...
ReplyDeleteතරූ... දිනූ... යමුනා...
Thank you තරූ...දිනූ... යමුනා...
Deleteහැමදාම පොත් ගුලට එනවටයි, ඔයාලගේ වටින අදහස් වලටයි
අදත් මොකුත් නොකියා යන්න හිතුවත් නෙතූත් අදහසක් දාලා නිසා මමත් කොමෙන්ටුවක් දාන්න හිතුවා..
ReplyDeleteස්තුතියි නෙතූ මේ කතාව ඉක්මනට දානවට..දැන් ඔයාගේ ලිවීමේ ශෛලිය ගොඩක් දියුණු වෙලා..පළවෙනි කතාවේ ඉඳන්ම දිගටම කියවන නිසා ඒ වෙනස ගොඩක් දැනෙනවා..සුභ පැතුම නෙතූ..
දිගටම ලියන්න..
ගොඩාරියක් ස්තුතියි රූ...මම හිතන්නේ ඔයාලා හන්දයි මගේ හැකියාවන් දියුණු කරගන්න ලැබුණේ කියලා...ඔයලගේ අදහස් සහ දිරි ගැන්වීම් හන්දා...
Deleteපොත් ගුලේ සෙනග ඉන්න තාක් කල් මම හැමදාම ලියාවි මගෙ හිතේ... ;)
Oyatath suba udasanak,
ReplyDeleteMan hamadama awith kathawa baluwa. Eth comment karanna Bari una. Godak lassanai kathawa. Eth man thamath asai Apoorwa ge kathawa ta. Eka man 8weni paratath kiyewwa.
Comment karanna athapasu unath man hamadam kathawa kiyawanawa;)
කොහොමද කුමාරි අක්කේ? අදහස් වලට ස්තුතියි...
Deleteඔයා වගේම මමත් තාම ගොඩක් ආස අපූර්වගෙයි මෙත්මගෙයි කතාවට. ඊලඟට මේ කතාවට...අට පාරක් කියෙව්වා කිව්වම පුදුමත් හිතුණා.
හැමදාම මේ පැත්තේ එන්න හොඳේ?
හිකි හිකි වැඩේ හරි වගේ නේ එහෙනම්
ReplyDelete:v එකත් ජයසිරි මංගලම් කිවුවලු :p ^_^
ජයසිරි මංගලම්...ජයසිරි මංගලම්...
Deleteවෙනදා වගේම ලස්සනයි. බලා ඉන්නවා දිගටම කියවන්න
ReplyDeleteස්තුතියි අසේල... යශෝදරා කතාව කියෙව්වද? එයා මොකද කියන්නේ කියලා මට කියන්න ඕන හොඳේ?
Delete