රාමනාදන් ශාලාවේ අපේ බැච් එකෙන් කොටසක් උන්නේ, ලොකු ශාලව පිටිපස්සේ තියෙන cluster
houses වල. ඒකේ එක house එකක ළමයි 5 දෙනෙක්ට ඉන්න පුලුවන් කාමර දහයක් තිබුණා තට්ටු දෙකක.මමයි මගේ යාලුවෝ තුන් දෙනාටයිත් හම්බවුණේ මේ වගේ කාමරයක්. අපේ කාමරේ තිබුණේ උඩ තට්ටුවේ. අපි හතර දෙන්නාට අමතරව අපේ කාමරේ තව සිංහල medium කරන අපේ බැච් එකේ තමරා කියලා ගෑනු ළමයෙකුත් උන්නා.
භූප කියපු දේවල් ගැන හිත හිත මම කාමරේට යද්දි එතන එකම ගාලගෝට්ටියක්. කාමරේ දොර හායි ගාලා ඇරලා දාලා. ඇතුලේ සෙනග පොදියක්. මේ වෙන්නේ මොකක්ද කියලා මම එක පාරටම හොඳටම කලබල වුණා. මම කාමරේ ලඟට යද්දිම වගේ ඒකේ ඇතුලේ ඉඳලා එලියට ආවේ චතූ. මම ඈ දිහා බැලුවේ මොනවත් හිතාගන්න බැරිව.
"ඔයා කොහේද ගියේ මෙච්චර වෙලා?" චතූ මාව දැකපු ගමන් ඇහුවේ එහෙම.
"ඒක පසේ කියන්නම්. මොකද මේ වෙන්නේ කියන්න...ඔයා ඔය කොහේද යන්නේ?" මම කතා කරද්දිත් ලහි ලහියේ කොහේද යන්න හදන චතූගෙන් මම ඇහුවා.
"නිලීකට gastritis වැඩි වෙලා. හරි අමාරුයි... මම යනවා යෝගට් ගේන්න"
"ඉතිං අමාරු නම් යෝගට් දීලා හරියන්වද? බෙහෙතක් ගන්න එපාද?"
මම ඇහුවේ පඩිපෙල ලඟට ගිහින් උන්නු චතූඋගෙන්.
"බෙහෙත් බීලා ඉන්නේලු..." එහෙම කියාගෙන ඈ පඩිපෙල බැහැගෙන යන්න ගියා. මම කලේ ඉක්මණට කාමරේට වැදුන එක. ඒ වෙද්දි වටේ කාමර හතරේ ළමයි තුන් හතර දෙනෙකුත් එතනට ඇවිත් උන්නා. නිලීක ඇඳේ වකුටු වෙලා අමාරුවෙන් කෙඳිරි ගාමින් උන්නා. මම ගිහින් නිලීකා ලඟින් වාඩි වෙලා ඇගේ හිස අතගෑවා.
"නිලීකා..."
"ම්ම්..." ඈ කෙඳිරි ගාලා යන්තම් ඇස් ඇරලා බැලුවා විතරයි.
එවෙලේ සුදු කිරි එකක් හදාගෙන තාරකාත් එතනට ආවා.
"මේක පොඩ්ඩක් බීලා බලමුද නිලී?" ඈ ඇහුවත් නිලීක බෑ කියලා හිස වැනුවා විතරයි.
"මං නං කියන්නේ health
center යන්න කියලයි" අල්ලපු කාමරේ ලකීෂා කිව්වේ එහෙම.
"අනේ බෑ...දැන් අඩු වෙලා යයි" නිලීකා ආයෙම කෙඳිරි ගෑවා.
"බෙහෙතක් බිව්වද?" මම ඇහුවා.
"Digene බිව්වා..." මට උත්තර දුන්නේ තාරකා.
"මොනා කරන්නද මන්දා. චතූ අන්න අරහේ දිව්වා යෝගට් ගේන්න" මම කිව්වේ ඇත්තටම කරන්න දෙයක් හිතාගන්න බැරිව.
කොහොමහරි චතූ යෝගට් අරන් එද්දි, කාමරේට ඇවිත් උන්නු අනෙක් කාමර වල අය ආපහු තමන්ගේ කාමර වලට ගිහින් උන්නා. නිලීකා අමාරුවෙන් නිදාගෙන ඉද්දි, මායි තාරකායි කලේ දෙපැත්තේ ඇඳන් වලට වෙලා බලාගෙන උන්නු එක. චතූ කාමරේට එද්දි අපි දෙන්නම හිස උස්සලා බැලුවේ එකටම වගේ.
"මෙච්චර වෙලා ඇයි?" චතූ දැකපු ගමන් තාරකා ඇහුවේ එහෙම.
මට නම් දැනුනෙත් නෑ ඒ තරම් වෙලා ගියාද වගවත්.
"මම ගියා මගෙ යාලු medical student කෙනෙක් ඉන්නවා හම්බවෙලා එන්න. එයා දුන්නා මෙන්න මේ omiprasol කියලා එකක්, විස්තරේ කිව්වම" චතූ අතේ තිබුණ බෙහෙත් කාඩ් එකක් පෙන්නලා කිව්වා.
අන්තිමේදි අපි නිලීකව නැගිට්ටවලා වදෙන් පොරෙන් වගේ බෙහෙත් පෙත්තක් ගිල්ලෙව්වා. ඊට පස්සේ ඈ කලේ ආයෙම ඇඳට වැටුණ එක.
"ඇයි දන්නෑ මෙහෙම හදිසියේ අසනීප වුණේ" මම ඉන්න ගමන් එහෙම ඇහුවා.
"ඇයි ඉතිං අර මිරිස් තලි තලි එක්ක ආප්ප ගිල්ලනේ. ඒකයි" එහෙම කිව්වේ තාරකා, නොරිස්සුමෙන් වගේ. "මෙයා දන්නවනේ එහෙම වුණාම ගෑස් වැඩි වෙන වග. කොයිම වෙලේකවත් උදේ හරියට කන්නෑ. අනේ මන්දා ඕන එකක් කරගත්තාවේ. කිව්වා නාහන ගුරු ඉහල ගියත් එකයි, පහල ගියත් එකයි"
තාරකා එහෙම කියද්දි මට හිනා යන්නත් ආවා. කොහොමටත් තාරකා අපි තුන් දෙනාටම වැඩිය අපි ගැන හොයා බලපු වග මම නොදැන උන්නා නෙවෙයි.
"හරි හරි, දැන් ඔය අසනීප කාරයට නොබැන ඉන්නකෝ" මම කිව්වා.
එහෙම කිව්වාම තාරකායි, චතූයි දෙන්නම මා දිහා බැලුවේ එකට. හරියට මම ඉන්න වග දැක්කේ දැන් වගේ.
"හරි හරි. ඒක පැත්තකින් තියමුකෝ. ගෑනු ළමය අද කොහේද මෙච්චර වෙලා යනකල් ගියේ?" මා දිහා ඇස් පුංචි කරලා බලපු චතූ ඇහුවා.
"කොහෙවත් ගියේ නෑ. අපි සෙනෙට් එක පැත්තෙන් ආවේ" මම කිව්වේ ඇගේ ඇස් මගෑරලා.
"ආ...ඉතිං කිලෝමීටර් ගාණක් දුරයැ?" තාරකා ඇහුවා.
"අපි හෙමින් ආවා කතා කර කර" මම කිව්වා.
"ඇත්තටම දුලා ඔය දෙන්නා අතරේ තියෙන්නේ හිතවත්කමක් විතරමද?" මොහොතක් නිහඬව උන්නු චතූ එහෙම ඇහුවාම මම පොඩ්ඩක් විතර සසල වුණා.
"ඒක තමයි...මට පේන විදියට නම්, වැලිකෙලියේ හිතවත් කම පෙම් කෙලියක් වෙන්නද කොහෙද යන්නේ" තාරකා කිව්ව්වේ අතේ තිබුණ සුදු කිරි එක බොන ගමන්.
"එහෙම එකක් නෑ අනේ" මම හෙමින් කිව්වේ වෙන කියන්න දෙයක් නැති හන්දා.
"එහෙනම් කොහොම එකක්ද තියෙන්නේ?" චතූ ඇහුවා.
මම ඈ දිහා බැලුවා. ඇත්තටම මට මගේ හිතේ තියෙන, මට දැනෙන දෙවල් කියන්න කෙනෙක් ඕන නොවුණා නෙවෙයි. මට ඒක ඉස්සර වගේ කේතකීට කියන්න පුලුවන් කමක් තිබ්බේ නෑ.
"මම දන්නෑ චතූ ඒක මොකක්ද කියන්න..." මම කිව්වේ බිම බලාගෙන.
මා දිහා බලාගෙන උන්නු චතූ ඇවිත් මගේ ලඟින් වාඩි වුණා. තාරකා ඉස්සරහ ඇඳෙන් වාඩි වුණා.
"භූප ගැන මම දන්නෑ දුලා. ඒත් හිතන්න බැරි වෙලාවත් එයා කිව්වොත් ඔයාට කැමතියි කියලා, ඔයා මොකද කරන්නේ?" චතූ ඇහුවා.
මම කරන්නේ මොකක්ද කියලා මම සක් සුදක් සේ දැනගෙන හිටියත්, මට ඒක කියාගන්න පුලුවන් වුණේ නෑ. අතේ තිබුණ බෑග් එකෙන් එලියට පැනලා තිබුණ, භූප දීපු පොත මම අතට
ගත්තේ කල්පනාවකින් තොරව. චතූ අහපු දේ ගැන හිත හිත මම පොත් කවරේ තිබුණ රෝස මල දිහා
බලාගෙන හිටියා.
"ඔයා භූපට කැමතියි නේද?" මම උත්තරයක් නොදුන්නම එහෙම ඇහුවේ තාරකා. මම ඈ දිහා යන්තමට බැලුවා.
"ඒක ඔයාට හංගන්න බෑ. භූප දකිද්දි ඔයාගේ ඇස් දිලිසෙනවා. එයා ගැන මතක් කරද්දිත් එහෙමයි. එහෙම නෙවෙයි නම් අද වුණත් ඔයා මෙච්චර වෙලා එයා එක්ක කතා කරන්න යන්නේ නෑනෙ" ඈ ආයෙම කිව්වා.
මම ඒක නැහැයි කියන්න ගියේ නෑ.
"ඒක එහෙමද දුලා?" චතූත් ඇහුවා.
ඒත් මම මුකුත් කිව්වේ නෑ.
"ඉතිං ඒක එහෙම වුණාට කමක් නෑනෙ. ඔයා එයාව දන්නේ පොඩි කාලේ ඉඳලා. එයාගේ පවුලේ අය ඔයාව දන්නවා. එයා ඔයාගේ අයියගෙ යාලුවෙක්. ගමේ දන්න කියන කට්ටියක්. තව වෙන මොනාද ඕන හා?" තාරකා කිව්වා. ඈ කියන්නේ ඇත්ත.
"ඔව්. ගෙදරින් නම් කවදාවත් ඔයාට ප්‍රශ්ණයක් වෙන එකක් නෑ" චතූත් කිව්වා.
"අපි අතරේ තාම එහෙම දෙයක් නෑ චතූ" මම එහෙම කිව්වේ අන්තිමට. "මං දන්නෑ භූප මම ගැන මොනා හිතනවද කියලා...මට එයා කියන කරන දේවල් වලින් ඒක තේරුම් ගන්න අමාරුයි" මම කිව්වේ පොත ඇඳ උඩින් තියන ගමන්.
"එහෙමද?"
"මම නම් හිතන්නේ කොයිම වෙලේක හරි එයා ඔයාගෙන් අහනවාමයි. ෂුවර්" එහෙම කිව්වේ තාරකා.
"ඇහුවොත් ඔයා මොකද කියන්නේ?" චතූ ඇහුවා.
"මං දන්නෑ චතූ...ඒක මට දැන්ම හිතන්න බෑ"
"කොණ්ඩෙයි, රැවුලයි කපලා එන්න කියන්න"
ඒ හඬට අපි තුන් දෙනාම පොඩ්ඩක් ගැස්සුනා. බැලින්නං කෙඳිරි ගගා හරි අපේ කතාව නිලීකා අහගෙනයි ඉඳලා තියෙන්නේ.
"ආ...ඕප දූප අහද්දි මොන tritis එකක් වත් නෑ" තාරකා කිව්වා.
නිලීකා යන්තම් හිනා වුණා.
"අර කරල බිව්වට පස්සේ අඩුයි වගේ. තෑන්ක්ස් චතූ"
එවෙලේ අපි තුන් දෙනාටම දැනෙන්න ඇත්තේ එකම සතුටක් වෙන්න ඇති. ඒ නිලීකට හොඳ වේගෙන එන හන්දා.
"ඇති යන්තම්...මදෑ ඔයින් ගියා" සුසුමක් හෙලලා නැගිටින ගමන් චතූ එහෙම කිව්වා.
"යමු යමු මොනා හරි උයන්න"
උයන්න කරන්නයි, රෙදි හෝදන්නයි, වලං හෝදන්නයි වගේ වැඩ
ගොඩක් තිබුණ හන්දා භූප මට දීපු කියවන්න මට වෙලාවක් ලැබුණේ නැහැ. අන්තිමේදි ඇඟ
සෝදගෙන ඇඳට එද්දි, රෑ නවහමාරත් වෙලා. ඒත්
මම ඇවිත් බලද්දි පොත ඇඳ උඩ තිබුණේ නෑ. මගේ හිත පොඩ්ඩක් විතර සැලුණා.ඒත් ඊලඟ මොහොතේ
මම දැක්කා ඒක නිලීකගේ අතේ තියෙනවා. ඒක ඈ අරගෙන කියවන්න.
"දැන්
ඔයාට හොඳද නිලී?" එක පාරටම පොත ඉල්ලන්න
බැරි හන්දා මම එහෙම ඇහුවේ ඇගේ ඇඳේ එහා පැත්තේ තිබුණ මගේ ඇඳේ වාඩි වෙන ගමන්.
"ආ...අනේ
ඔව්. දැන් සෑහෙන අඩුයි. දුලා මේ...මම මේ පොත ගත්තා ඔයාගේ ඇඳ උඩ තිබිලා. හරි අමුතු
කතාවක් නේ. කොහෙන්ද හම්බවුණේ?"
නිලීකා ඇහුවා.
"ම්ම්...මට...භූප
දුන්නේ" මම පුලුවන් තරම් හෙමින් කිව්වේ අනික් දෙන්නට ඇහේවි කියලා. නැත්තං
මෙතන මට ඉන්න දෙන එකක් නෑ.
"භූප?"
"හ්ම්..."
මම කිව්වේ පොත දිහා නො ඉවසිල්ලෙන් බලන ගමන්.
"ඕ...එහෙමද? ඔයා මේක ඉක්මණට දෙන්න ඕනද?" නිලීකා ඇහුවා. මගේ හිත හුලං ගිය බැලුමක් වගේ
වුණා.'නිලීකට ඒක කියවන්න ඕන
වෙලා'
"ම්ම්...එහෙම
කිව්වේ නම් නෑ දවසක්..." මම හිතේ තියෙන නොසතුට නොපෙන්වා ඉන්න උත්සාහ කරමින්
කිව්වා.
"ම්ම්...කමක්
නෑ. ඔයාට කියවන්න නේ දෙන්න ඇත්තේ. පොඩ්ඩක් ඉන්න මම අන්තිම පිටුව බලලා
දෙන්නම්" නිලීක එහෙම කිව්වාම මට සැනසුම් සුසුමක් හෙලුණා.
"අයියෝ එතකොට
කතාවේ කිසි ගතියක් නැති වෙනවා. මම නම් කවදාවත් පොතේ අන්තිම මුලින් කියවන්නේ
නෑ" එහෙම කිව්වේ නිදාගන්න ඇඳ හදමින් උන්නු චතූ.
"ඒ ඔයානේ. මට
නම් කුතුහලේ වැඩි වුණාම බැලෙනවා...අයියෝ, මේක අලුත් පොතක් නම් නෙවෙයිද කොහෙද"
එහෙම කියපු නිලීක හිනා වුණා. අපි ඈ දිහා බැලුවේ තරමක පුදුමයෙන්.
"මොකෝ?"
"මේ පොර මේක
හයිලයිට් කරලත් එක්ක...හරියට ටෙක්ස්ට් බුක් එකක් වගේ...ආ...මේ මොකක්ද මේ?" නිලීකා එක පාරටම පොත
මූණ ලඟට ලං කරලා කිව්වා.
"මොකක්ද?" මගෙත් කුතුහලය බලවත්
වුණා.
සද්ද්යක්
නැතිව පොතේ මොනවද කියවපු නිලීක මගේ දිහා බැලුවේ ඇස් ලොකු කරගෙන.
"මොකක්ද අනේ?" චතූත් එතනට ආවා.
ලොකු වරදක්
කලා වගේ මා දිහා බලාගෙන නිලීකා පොත මට දික් කලා. මම ඒක අතට ගත්තේ මොනවත් හිතාගන්න
බැරුව. ලඟට ආපු චතූයි, තාරකායිත් මගේ
හිසට උඩින් පොතට එබුණා. මගේ ඇස්
එකපාරටම යොමු වුණේ පොතේ අන්තිම පිටුවට කලින් පිටුවේ, මැද හරියේ
තිබුන වාක්‍ය පෙලක් දිහාට.මම දකින් දේ හරියටම තේරුම් ගන්න මට ටික වෙලාවක් ගියා. මම
මොහොතක් ඒ වචන පෙල දිහා බලාගෙන උන්නේ ගල් වෙලා වගේ.
'ඉස්තරම්ම
ලොවිච්චි සහිත කොටු ගවුම් කොටයකින් සැරසී, කොණ්ඩා කරලක් පිට දිගේ වක් කරගෙන, පුංචි කැත කෙල්ලක්ව
සිටි අවධියේදීත් මම ඔයාට ආදරය කලෙමි...තවමත් මම ආදරය කරමි'
පොතේ ඒ වචන
පෙල කහ පාටින් highlight කරලා තිබුණා...මට දැනුනේ මගේ හිත මොහොතකට නැවතුනා වගේ
හැඟීමක්.
ඒ වචන පෙලම මම
තව දහ වතාවක්, විසි
වතාවක්...නෑ ඊටත් වැඩි වතාවක් කියවන්න ඇති.
"හත්
ඉලව්වයි...මේ මොකක්ද බොලේ මේකෙ තේරුම" අනික් අයත් එතන ඉන්න වග මට මතක් වුණේ
තාරකාගේ ඒ හඬට.
එවෙලේ නම් මට
මහා ලැජ්ජාවකුත් දැනෙන්න වුණා. ඒත් මට හෙලවෙන්නවත් බැරි තරමට මම අන්ද මන්ද වෙලයි
උන්නේ.
"තේරුම තමා ඔය
පැහැදිලිව හයිලයිට් කරලා තියෙන්නේ" චතූ කිව්වේ හිනාවකුත් එක්ක.
"ඔන්න...මම
කිව්වේ නැද්ද? කියලා කට ගන්න
හම්බවුණේ නෑ" තාරකා එහෙම කිව්වේ ලොකු දිනුමක් ලැබුවා වගේ.
"අනේ මේ...නිකං
පිස්සු නොකියා ඉන්න. කවුද දන්නේ මේක එයාම කලාද නැත්තම්, වෙන කවුරු හරි කලින්ම
කරපු එකක්ද කියලා" එහෙම කිව්වේ නිලීකා.
"අනේ...මෙයා
පිස්සු කතා කරනවා. මේක අලුත්ම පොතක්. පේන්නැද්ද? භූපම තමා ඕක කරන්න ඇත්තේ" ඒ තාරකා.
කට්ටියම මෙහෙම
තර්ක කර කර උන්නත්, ඒක කලේ භූප වග
මම නිසැකවම දැනගෙන උන්නා. 'එහෙනම් පොතේ අන්තිමට යද්දි තේරේවි කිව්වේ මේකයි...ඒත්
ඒකෙ තේරුම භූප....මට....ආදරෙයි...කියන එකද?'
“නැත්තම් වෙන
මොකක්ද? ඒ වචන වල
පැහැදිලි තේරුම ඒක තමයි"
පහුවදා උදේ
මගේ යෙහෙලියන්ට තිබුණ ලොකුම විවාදාත්මක කාරණාවත් ඒකයි. තාරකා නම් කිව්වෙම භූප
අදහස් කරන්නේ ඒකමයි කියලා. චතූ උන්නේ දෙපැත්තට වැනෙමින්. නිලීකා නම් කිව්වේ ඒක
එහෙම නොවෙන්න තියෙන ඉඩ වැඩියි කියලා.
"ඔයා මොකද
හිතන්නේ දුලා?" ඊයේ රෑ නින්ද
යනකලුත් විවිධ මත පල කරමින් උන්නු මේ තුන් දෙනා මගෙන් ඇහුවා. මම පත් වුණේ
අපහසුතාවයකට.
"මම
දන්නෑ...මට...මේ මොනවත් හිතාගන්න බෑ" මම කිව්වේ බෑග් එකට ෆයිල් ටික දාන ගමන්.
"ඒ වුණාට භූප
එක්ක නිතරම වගේ ඉන්න කොට ඔයාට එහෙම දෙයක් දැනිලා නැද්ද? එයා ඔයාට ට්‍රයි කියලා
හෙම?"
තාරකා ඇහුවා.
"මං
දන්නෑ..." මම කිව්වා.
"දැන් ඔය ළමයට
වද නොදී ඉමුද? එහෙම දෙයක්
තියෙනවා නම්, පොතකින්
නොකියා කටිනුත් මේ මනුස්සයා කියන්න එපැයි. අපි බලමුකෝ
එහෙම කියාවිද කියලා" චතූ අන්තිමට එහෙම කිව්වා.
පොත දැකපු
වෙලේ ඳලා මමත් කල්පනා කලේ ඇයි භූප මට මුකුත්ම නොකියා එහෙම දෙයක් කලේ කියලා. ඇත්තටම
ඔහු මම ගැන එහෙම හිතනවා නම් ඇයි මට ඒක නොකිව්වේ? එහෙම හිතද්දි
හිත තව තවත් නොසන්සුන් වුණා විතරයි.
"දුලාරා...අර..."
උදේ පරක්කු
වෙලා ඇහැරුණ හන්දා අපි උයන්නෙත් නැතුවම බැහැලා හොස්ටල් එකෙන් එලියට එද්දි, චතූ මගේ අතක් අල්ලගෙන
එක පාරටම නැවතුණේ common room එකෙ දොරටුව පෙන්නලා. එතන උන්නු කෙනා දැකලා මාත් එක්කම
මගේ හිතත් නැවතුනා වගෙයි මට දැනුනේ. ඒ එක්කම මොකදෝ නුහුරු හැඟීමක් හිත වෙලාගත්තේ
හද ගැස්ම හොඳටෝම වැඩි වෙද්දි. අතේ තිබ්බ පොතකුත් රෝල් කරගෙන දොර ලඟ සාලිය එක්ක
උන්නේ භූප. අපි දකින්වත් එක්කම භූප අපිවත් දැක්කා. සාලිය ඔහුට හිනාවක් පාලා මොනවදෝ
කියනවා මට පෙනුනා.
" "ම්...ම්...වැඩේ
හරි වගේ..."
තාරකා කට
අස්සෙන් එහෙම තාලෙකට කිව්වේ රහසින්. නිලීකා නම් කට ඇරගෙන බලාගෙන උන්නා විතරයි.
චතූ මාව ඇදගෙන
වගේ හෝල් එකට එද්දි, භූපත් සාලිය
එක්ක හෙමින් අපි ලඟට ආවා. ඔහු අද වෙනදට වඩා පිලිවෙලයි කියලා ඇස් කොනකින් බලපු මට
හිතුණා.
"ගුඩ් මෝනිං
ළමයි" සාලිය හිනාවෙලා එහෙම කිව්වේ අපි සේරටම.
"ගුඩ්
මෝනිං...අද මොකද උදේ පාන්දර මේ පැත්තේ. ඊයේ මුර කලේ ඔය දෙන්නද?" එහෙම ඇහුව තාරකා.
"වැඩේ හරි
ගියොත් ඉතිං මුර සේවය තමා දිගටම කරන්න වෙන්නේ. මං කිව්වේ මේ මට නෙවෙයි...මූට"
සාලිය කිව්වා.
මේ අතරේ
මුකුත්ම නොකියා භූප මා දිහා බලාගෙන උන්නා. චතූ හෙමිහිට මගේ අත මිරිකුවා.
"දුලාරා..." භූපගේ
හඬ ඇහෙද්දි මගේ හිත උණුසුම් වුණේ ඔහු ගැන දැනුන මොකදෝ වෙනස්ම හැඟීමකුත් එක්ක.
"ආ...අපි හෙමින් යන්නම්
දුලා...ඔයා භූප එක්ක එන්නකෝ..." හදිසියෙන් වගේ එහෙම කියපු තාරකා, නිලීකාවයි, චතූවයි ඇදගෙන
මාව එතන තනි කරලා ඉස්සර වුණා. සාලියත් භූපට හිනාවක් පාලා ඒ අය එක්ක ඒක්තු වුණා. මම
උන්නේ පුදුමකාර තරම් නොසන්සුන් වෙලා.
"යමුද?" භූප ඇහුවා.
ඒ පාර මම ඔහු
දිහා නොබලම හොස්ටල් එකෙන් එලියට බැස්සා.
"ඔයා පොත කියෙව්වා
එහෙනං?" භූප ඇහුවේ හෙමින්.
මම උත්තරයක්
දුන්නේ නෑ. මට වචනවත් මතක් නොවුණ තරම්.
"මම ඔයාට ඊයේ රෑ ගොඩ
පාරක් කෝල් කරන හැදුවා...ඇයි ඔයා answer නොකලේ? මම කරපු දේට ඔයාට තරහා ගියාද?"
භූප එහෙම ඇහුවාම මම ඔහු දිහා බැලුවේ පුදුමෙන්. ඊට පස්සේ
මම බෑග් එකේ සාක්කුවට අත දාලා බැලුවේ ෆෝන් එක තියේද කියලා. ඊයේ තිබුණ කලබලේ හන්දා
මට ඒක්ත් අමතක වුණ හැටි. මම ඒක අතට අරන් බලද්දි, missed calls දහයක්! ගෙදරින්
දෙපාරක් කතා කරලා. ඉතිරි අට පාරම කතා කරලා තියෙන්නේ භූප...මට සුසුමක් හෙලුණා. ඒ
එක්කම දැනුනේ පොඩි දුකක්.
"මං දැක්කේ නෑ..."
මම ඔහු දිහා නොබලම කිව්වා.
භූප මා දිහා
බැලුවා. ඒ ඇස් වල තිබුණේ මොකක්දෝ දුකක්.
"මං කියන්නේ බොරුවක්
නෙවෙයි..." මම කිව්වේ ඔහුගේ බැල්ම තේරුම් ගත්තු නිසා.
ඒ පාර ඔහුගේ
මූණේ ඇඳුනේ පුංචි හිනාවක්. මම අහක බලා ගත්තා, ඒ ඇස් වල
බැල්ම මට දරන්න බැරි තරම්.
"මට ඊයේ ඔයාට කතා කරන්න
ඕන වුණා.." අපි රජ තල් ගස් පෙල ලඟින් පාරට අවතීර්න වෙද්දි භූප කිව්වා. චතූලා
ඈත යන හැටි ඉස්සරහ බලපු මට පෙනුණා. අපි කවදත් කැම්පස් එකට හොස්ටල් එකේ ඉඳල පයින්
තමයි ගියේ.
"මම දන්නවා ඔයා ගිය
ගමන් පොත කියවන වග. ඔයා හිතයි මම ඇයි එහෙම කලේ කියලා...ඇයි එහෙම පොතක තියෙන දේකින්
ඔයාට මගේ හිතේ තියෙන දේවල් කියන්න හැදුවේ කියලා..." භූප එහෙම කියද්දි මම ඔහු
දිහා යන්තම් බැලුවා.
"එකක්, ඒ වචන මට කියන්න ඕන දේ ඒ විදියටම කියන
නිසා...අනික...ඔයාගේ ඇස් ඉස්සරහදි හැමදාමත් මගේ හිත ගොලුවෙන නිසා... හැමදාමත්.
ඉස්සරත්...දැනුත්...සමහරවිට කවදාවත් ඔයාට දැනිලාවත් නැතිව ඇති, මම ඔයා ගැන කොච්චර හිතනවද කියලා..."
මම සුසුමක්
හෙලුවේ හිතට දැනෙමින් තිබුණ බර අඩු කරගන්න.
"ඒ හැමදේම කියන්න මට
ගොඩාක් කල් යාවි දුලාරා...ඒත් මට ඊට කලින් කියන්න, ඔයා මා එක්ක
තරහින්ද ඉන්නේ කියලා. මම කලේ නොහොබිනා වැඩක්ද? ඒකද ඔයා කතා
නොකර ඉන්නේ?"
භූප එහෙම
ඇහුවාම, මගේ හිත විසිරුණා. මම
ඔහු දිහා බැලුවේ බොඳ වුණු ඇස් වලින්.
"කවදාවත් නෑ..."
මම මිමිණුවා.
භූප එතනම
නැවතුණා, මා දිහා බලාඅගෙනම.
මමත් නැවතුණා. අපි එවෙලේ සත්චන්ද්‍ර වල පහු කලා විතරයි.
"ඇත්තමද?" ඔහු ඇහුවේ හෙමින්.
මම හිස
වැනුවා. "ඔව්"
භූප ඇස්
පියාගත්තේ ලොකු සුසුමක් හෙලන ගමන්. හරියට හිත සැහැල්ලු කරගන්න වගේ.
"ලෙක්චර්ස් ඉවර
වෙලා...මාව හම්බවෙනවද? මේ අඩි දෙක තුනට
කියන්න බැරි ගොඩක් දේවල් තව තියෙනවා" භූප ඉන්පස්සේ මගෙන් ඇහුවේ ආයෙම යන්න
පටන් ගන්න ගමන්.
මම ඔහුට
යන්තම් හිනාවක් පෑවා. ඔහු ඒකෙ අරුත තේරුම් ගන්න ඇති. ඊට පස්සේ පොලොන්නරුව ලඟට
යනකල්ම අපි අතරේ කතාවක් වුණේ නෑ.
උදේට කන්න
කැන්ටිමට යන්න බලාගෙන, පඩිපෙලෙන් පහල අනෙක්
කොනේ නිලීකලා නතර වෙලා උන්නා.
"මේ බලන්න..." භූප
එහෙම කිව්වාම මම ඔහු දිහා බැලුණා. අපි ආපහු උන්නේ නතර වෙලා, පොලොන්නරුව මැදින් දිවෙන පටු පාර මැද. ඔහුගේ
නිදිබර දෑස් මගේ දෑස් වල පැටලිලා නතර වුණා. ඒ ඇස් වල පිරිලා තිබුණේ ලොකු සෙනෙහසක්.
"අපි හවස නිදහසේ කතා කරමු, ආයෙම...මම lecture හෝල් එක ලඟට එන්නම් පහට විතර. "
භූප බොහොමත්ම
දයාබරව එහෙම කියද්දි, මගේ හිතේ පිරුනෙත් ඔහු
ගැන ලොකුම ලොකු සෙනෙහසක්. කවදාවක් කිසිම කෙනෙක් ගැන දැනිලා නැති විදිහේ හැඟීමක්. ඒක
මට කියාගන්න බැරි වුණත්,
ඔහු ඒක තේරුම්
ගන්න ඇති.
No comments:
Post a Comment