"වේල ඉල්ලාන්දවන්දා...වේල තෙරින්ජවන්දාන්...වීරමාන වේලකාරන්..ඉදු න්‍යායමාන වේලකාරන්...(මේ වැඩ දන්න,වීර වැඩකාරයෙක්, මේ සාධාරණව වැඩකරන වැඩකාරයෙක්)"
ආන්යා රාධාත් එක්ක පෝටිකෝවට වෙලා වේලිච්ච ඇඳුම් වගයක් නවමින් ඉද්දි ගෝපි බයිසිකලේ කොහේදෝ ගිහින් ආවේ සින්දුවක් කියාගෙනමයි. ආන්යා ඒ දිහාව බලද්දි ගෝපි බයිසිකලෙන් බැහැලා ගේ ලඟට ආවා.
"මොකෝ ගෝපි? කෝ අනූ?" ආන්යා අහුවා.
"පොඩි මාතියා අර දොරේලා එක්ක මොකදෝ සෙල්ලම් කරනවා. මම ආවේ කැරම් බෝඩ් එක ගෙනියන්න"
"දොරේලා කිව්වේ?" ආන්යා ආයෙම ඇහුවා.
"අපේ කොලඹ පෙරිය දොරේගේ පුතාලා"
"ආ... අනූ දැන් ඒ අයත් එක්ක සෙට් වෙලාද? අරන් යන්න එහෙනම්" ආන්යා කිව්වා.
"අභි මාතියා නෝනා ගෙන ඇහුවා අද" කැරම් බෝඩ් එක උස්සගෙන එන ගමන් ගෝපි කිව්වාම ආන්යගේ හිත ටිකක් ගැස්සුනා වගේ වුණා.
"මං ගැන, මොනාද?"
"මොනාවත් නෙවෙයි, ඉන්නවද කොහොමද කියලා" ගෝපි ඇඟට පතට නොදැනී කිව්වා.
"එයාට මොකටද මගේ වගක් නේද රාධා?"
"අයියෝ බේබි...නිකමට අහන්න එති. එදා හම්බවුනා කිව්ව නිසා"
"හා හා ඒකෙන් කමක් නෑ. ඉක්මණට එන එකයි ඇත්තේ යන දේවාලෙක ගිහින්" ආන්යා කිව්වේ හිනා වෙලා.
ගෝපි ආයෙම යන්න ගියා. රාධා ආන්යා දිහා බැලුවා.
"බේබිලා කවද්ද ආයෙම නුවර යන්නේ?"
"තව සති දෙකකින් විතර, ඇයි?"
රාධා බිම බලා ගත්තා.
"බේබි ගියාම මට පාලුයි. අම්මා කියනවා දලු නෙලන්න යන්න කියලා නිකම් ඉන්න බැරි නම්"
රාධා එහෙම කිව්වාම ආන්යගේ හිතට ආවේ දුකක්. රාධා වත්තෙම ඉපදිලා වත්තටම සින්න වෙන්න යන එක අපරාදේ කියලා ඈට හිතුණා. වත්තේ උන්නු ගොඩාක් ගෑනු ළමයින්ට වුණේ ඒකම තමයි. කවදාහරි රාධා මේ වත්තෙන් එලියට ඇවිත් හොඳ ජීවිතයක් ගත කරනවා බලන්නයි ආන්යට ඕන වුණේ.
"පිස්සුද? ඔයා එහෙම යන්න එපා. ඔයාට පුලුවන් නේ වෙන මොනවා හරි කරන්න. මහන්න, එලවලු හදන්න, බෑග් අලවන්න වගේ දෙයක් හරි" ආන්යා එක පාරටම කිව්වා.
"අම්මා ඕවට කැමති නෑ බේබි. අප්පාත් එහෙමයි" රාධා කිව්වේ දුකින් වගේ.
"මම අම්මට කතා කරන්නම් කෝ. ඔය බය නොවී ඉන්න. මම අපේ අම්මටත් කියන්නම්" ආන්යා රාධාව අස්වසන්න උත්සාහ කලා.
රාධා ගෙදර ප්‍රශ්ණ නිසා හරි ගෙදර අයගේ නොදැනුවත්කම නිසා හරි ඉගෙන ගෙන තිබුණේ අටේ පංතියට විතරයි. ලියන්න, කියවන්න පුලුවන් වුණත් දලු නෙලනවා ඇරෙන්න වෙන මොකකටවත් ඈව ඇගේ දෙමව්පියෝ කැමති වුණේ නෑ.හෙට අනිද්දට කවුරුහරි කොල්ලෙක් හොයලා බන්දලා දුන්නම ඉවරයි කියලයි සෙල්ලම්ම නිතරම කිව්වේ. ඒත් රාධාට ඕන ඒක නෙවෙයි නිදහසේ, තමන් කැමති දෙයක් කරගෙන, තමන් ආදරේ කරන කෙනෙක් කසාද බැඳලා ජීවත් වෙන්න කියන එක දැනගෙන උන්නේ ආන්යා විතරමද කොහෙද.
"අප්පෝ මෙයාට ගෙදර මතක් වෙලා තියෙන්නේ"
අනුහස් හවස් ජාමේ ගෙදර එද්දි සාලෙට වෙලා හීටරේ ලඟ ගුලි වෙලා උන්නු ආන්යා කිව්වා. දොරට පිටුපාලා උන්නු අම්මාත් හැරිලා බැලුවා.
"ඔයා වගේ ගෙට වෙලා ඉන්න බෑ හලෝ අපට" අනුහස් කිව්වා.
"ගියාට නම් කමක් නෑ. වැඩේ කියන්නේ මේ වැඩක් කර ගන්න කෙනෙක් ගෙදර හරියක නැති එකයි ඕන වෙලාවට" අම්මා කිව්වා.
"හරි හරි අම්මා. හැමදාම යන්නේ නෑනෙ" අනුහස් හිස කස කස කිව්වා.
"ඒක නෙවේ කොහොමද අලුත් දොරේලා දෙන්නා?" ආන්යා සරදම් හිනාවක් මුවේ රඳවගෙන ඇහුවා.
"මොකටද අහන්නේ? දොරේලා හොඳා"
ආන්යා අනුහස්ට ගස්සලා අහක බලාගත්තා.
"විහිලු නෙවේ ලමයෝ ඇත්තටම කියන්නකෝ. කොහොමද දෙන්නා? මම අන්තිමට ඔය ළමයි දැක්කේ පොඩි කාලේ"
අම්මත් ඇහුවා.
"අනේ මාර හොඳයි අම්මා. කියලා වැඩක් නෑ. අපට හොඳට සැලකුවා. ලොක්කා නම් ටිකක් රිසර්ව්ඩ් වගේ උණාට අභි නම් නියම කොල්ලා. සල්ලිකාරයෝ වුණාට කිසිම ආඩම්බරයක් නෑ" අනුහස් කිව්වේ පැහැදීමෙන්.
"එහෙම තමා පුතේ බුද්ධිමත් ළමයි" අම්මා කිව්වෙත් පැහැදීමෙන්මයි.
ආන්යා හීටරේ තැඹිලි පාට කොයිල් එක දිහා බලාගෙන හිනා වුණා.
"මොකෝ මෙයා හිනා වෙන්නේ?" ඒක දැකපු අනුහස් ඇහුවා.
"ඔක්කොම හොඳයි, දිව උලුක් වෙන රාමයණේ එන නම් නැත්තම්"
ඒක අහපු අනුහස්ට බකස් ගාලා හිනා ගියා.
"ඇයි, ඒ ළමයින්ගේ නම් රාම්, ලක්ෂ්මන්ද?එහෙනම් අභි කිව්වේ?" අම්මත් අන්දුන් කුන්දුන් වෙලා.
"මෙයයි මායි දන්න ඉතිහාසෙ. රාමායණේ නෙවෙයි හලෝ, මහාභාරතේ. අභිමන්යු ඉන්නේ ඒකෙනේ. ලොකු එක්කෙනාගෙ-"
ඒත් ලොකු එක්කෙනා ගැන කියන්න අනුහස්ට ඉඩ ලැබුණේ නෑ, ඒ මොහොතේ ගෙදරට ආපු වාහනේක සද්දේ නිසා හැමෝගෙම අවධානේ වෙනස් වුණ හන්දා. තාත්තා ඇවිත්.
දවස ගොඩක් සීතල වුණ හන්දම ඉක්මණට රෑ කෑම කාලා නිදාගන්න ගෙදර හැමෝටම ඕන වුණ නිසා හතහමාර වෙද්දිම ආන්යා, අනික් අය එක්ක කෑම මේසෙට වාඩි වුණා.
"අන්න හොඳයි, අද අම්මා ඉස්සෝ කිරට උයලා" අනුහස් ඉස්සෝ බඳුන ලං කර ගන්න ගමන් කිව්වා. කොහොමත් අනුහස් මුහුදු කෑම වලට ආසයි.
"කන්න කන්න ඔයාටම තමා හැදුවේ" අම්මා කිව්වේ සෙනෙහසින්.
"එක නෙවෙයි තාත්තා...මම මේ කියන්නම කියලා හිටියේ. රාධාට සෙල්ලම්මා දලු කඩන්න යන්න කියනවලු. අනේ තාත්තා ඒකට එපා කියන්නකෝ. රාධා පව් නේ. මට වඩා අවුරුද්දයි නේ වැඩිමල්"
ආන්යා එහෙම කිව්වාම හැමෝගෙම ඇස් ඈ දිහාට යොමු වුණා.
"කවුද දූට කිව්වේ රාධාද?" තාත්තා ඇහුවා.
"හ්ම්" ආන්යා හිස වැනුවා.
"එහෙම කියලත් බෑනෙ. එතකොට දැන් ඉන්න ගෑණු උදවිය අයින් වුණාම දලු කඩන්නේ කවුද? දැන්ම ඉඳන් කවුරුහරි පුරුදු කර ගන්න එපෑ" එහෙම කිව්වේ අම්මා.
"මම නොකිව්වට ඕක දැන් අපට තියෙන ලොකු ප්‍රශ්ණයක්. මේ අලුත් පරම්පරාව කැමති නෑ වත්තේ මේ රස්සාවල් කරන්න" තාත්තා කිව්වා.
"අනේ මන්ද ඒ මොකෝ කියලා. හැම දේම දෙන නිසා වෙන්න ඇති" අම්මා කිව්වේ අමනාපෙන්."ඉපදෙද්දිම වත්තේ රස්සාව තියෙනවා, වැටිලා ඉන්න තැනක් තියෙනවා, බේත්හේත් දෙන්න, පොඩි ලමයි බලා ගන්න පහසුකම් සලස්සලා තියෙන්වා...වෙන මොනවද මිනිහෙක්ට ඕන මං අහන්නේ?" අම්මා තවදුරටත් කිව්වා.
"ඒකනේ" තාත්තත් එකඟ වුණා.
"ඒත් ඒ මිනිස්සුනේ සිතුම් පැතුම් අපට ඕන විදියට හිර කරලා තියා ගන්න අපට අයිතියක් නෑනෙ අම්මා. ඒ අය වහල්ලු නෙවේ නෙ" ආන්යා කිව්වේ ආවේගශීලීව.
"කට, කට...ඔයා කියන ඒවා ඇහුනොත් මේ වත්තේ උන් ස්ට්‍රයික් කරන්නත් පටන් ගනී. ආන්යා ඕන නැති දේවල් වලට ඇඟිලි නොගහා පැත්තකට වෙලා ඉන්න" අම්මා ආන්යට සැර කලා.
"ඔව් ඔව්. ඔයාගේ මේ ඒකාබද්ධ නිදහස් වතු කාන්තා සංගමේ නිසා තාත්තලගෙ හියුමන් රිසෝර්සස් ඩිපාට්මන්ට් එකටයි ප්‍රශ්ණ ඇති වෙන්නේ. රාධාට බැරි නම් නිකා ඉන්න කියලා ඔයා මෙන්න මෙහේ ඉන්න මීනු" අනුහස් කිව්වේ ඇත්තටමද විහිලුවටද කියලා ආන්යට තේරුණේ නෑ.
"ඔව් ඔව්. ඔයා තමන්ට අයිති නැති දේවල් නොකර ඉන්නකෝ" තාත්තත් අන්තිමට කිව්වා.
අනපු බත් කට කන්න පිරිය්ක් නැති වෙච්ච ආන්යා කෑම කන එක නවත්තලා සුසුමක් හෙලලා ලය සැහැල්ලු කර ගත්තා.
"අම්මේ මට තව ඉස්සෝ දෙන්නෙක් දාන්නකෝ"
අනුහස් කියනවා ඈට ඇහුණා.
hmmmmmmmmmmmmm kathawe mone pathate hareyda manda :P hehe keep writing akki :)
ReplyDeleteWish You A Very Happy New Year filled with lots of love and joy akki <3
ReplyDelete