ඇඳුම් මහන්න ගියපු ගමන පිස්සුවක් වගේ මට දැනුනේ.
වෙඩින් එකේ සියලූම දේවල් උත්පලා අක්කලා බාර දීලා තිබ්බේ එකම තැනකට. ඉතිං ඇඳුම් මහන
එකත් කලේ ඒ වෙඩින් ප්ලෑනර්ස්ලමයි. ඇඳුම් මහන තැන හිටියේ අමුතුම තාලේ කොල්ලෙක්. මම
බයේ හිටියේ මිනුම් ගන්නත් එයාම ඉඳීවිදෝ කියලා. වෙලාවට ලස්සන පොඩි ගෑණු ලමයි
දෙන්නෙක් මිනුම ගන්න තැන ඉන්නවා දැක්කමයි මගේ හිත හොඳ වුණේ.
"මේකනේ අනුක්..." ඉෂාන් හෙවත් අර කලින් කියපු කොල්ලා අනික්ගේ අතට තට්ටු
දදා ලොකු කතාවක.
මම ඒ පැත්ත බලද්දි අනුක් උන්නේ මගේ දිහා බලාගෙන.
මමයන්තම් හිනාවක් පලා අහක බලාගත්තේ ඉෂානුත් මා දිහා බලපු නිසා.
"මේ...අනුක්ගේ ගර්ල් ද?"
ඉෂාන් අහනවා මට ඇහුණා.මම ඒ පැත්තට කන් දීගෙන
උන්නේ අනුක් මොනාද කියන්නේ අහන්න.
"ඇයි ඉෂාන් එහෙම ඇහුවේ?"
"ඇයි වදේ...ආව වෙලේ ඉඳලා ඔයා වැඩිපුරම කලේ එයා දිහා බලාගෙන ඉන්න එකනේ"
ඉෂාන් කිව්වම මට හිනායන්නත් ආවා. මට ඇහුණා අනුක්
හිනාවෙන සද්දෙත්.
"ම්ම්...මේන් බලන්නකෝ වැඩක්. හිනාවෙන්න දෙයක් කිව්වද මම?" ඉෂාන් ඇහුවේ නෝක්කාඩු තාලෙන්.
“නෑ නෑ.ඉෂාන්ටත් හිතෙන දේවල් කියලා මට හිනා
ගියේ" අනුක් කිව්වේ මා දිහාත් බලමින්.
"ඒ කියන්නේ ගර්ල් නෙවෙයි?"
"නෑ...එයා මගේ යාලුවා"
"ආ...එහෙමත් වෙන්න පුලුවන්ද අනේ?"
ඒ පාර ඒ දෙන්නට මාතෘකාවක් වෙන්න ඕන නැති හන්දා මම
ගෝතමී අක්කාගේ මිනුම් ගන්න තැනට ආවා. පස්සේ අනුකෙගන්ම තමයි මට දැනගන්න ලැබුණේ
ඉෂාන් කියන්නේ මෙහේ ප්‍රධාන dresser කියලා.
"මධුකටත් මාර ගෝලයෝ ටිකක් තමා ඉන්නේ, hair කරන බාගයක්ම කෙල්ලන්ටත් වඩා හපන් කොල්ලෝ"
ආපහු එන ගමනෙදි ගෝතමී අක්කා කිව්වේ හිනාවෙවී.
"කොහොමත් ඔය තැන්වලට හරියන්නෙත් එහෙම අය තමා" ඒ කිව්වේ යශෝ අක්කා.
"මොනා ගැනද ඔයාලා මේ කියන්නේ?
මට නම් එහෙම වෙනසක් පෙනුනේ නෑ. මොකෝ කෙල්ලන්ට
අන්දනවා කියලා කෙල්ලොම එතන ඉන්න ඕනද? සාස්තරේ දනවා නම් gender බලන්න ඕන නෑනෙ.
අනික ඔය ගෑණු කොච්චර කෑගැහුවත්,
මේ ලොකේ හොඳම dressersලා කවුද? පිරිමි. හොඳම කුක්ලා කවුද?
පිරිමි.නැද්ද දුලිත අයියා? මෙයාලා මේ ඉරිසියාවේ"
එහෙම කිව්වේ අනුක්.
අපේ පොඩි අයියත් ඒකට හූමිටි තියන්න ගිහින් ගෝතමී
අක්කාගේ කෙනිත්තුම් පාරක් ලබා ගත්තා.
"ඒ වුණාට ඒ අයව මට නම් අල්ලන්නේ නෑ" ගෝතමී අක්කා ඊට පස්සේ කිව්වා.
"අක්කේ...නිකං එකදාස් නවසිය බර ගණන් වල හිටපු, හැට පැන්න හණමිටි අදහස් තියෙන ආච්චි කෙනෙක් වගේ
කතා කරන්න එපා. ඒක ඒ මිනිස්සු හිතලා කරන දෙයක් නෙවෙයි. ඒක ජාන වලින්ම එන දෙයක්.
හෝමෝන වල බලපෑමෙන් වෙන දෙයක්. එහෙම අය දිහා වපර ඇහෙන් බලන්න එපා අක්කේ පව්. ඒ
මිනිස්සුන්ටත් තියන්නේ අපට වගේම හැඟීම් දැනීම්ම තමයි" අනුක් කිව්වාම මාගේ
හිතත් සසල වුණා.
"ආ... මෙයාට මේ මොනා වෙලාද?"
ගෝතමී අක්කා කිව්වේ අහංකාර ලීලාවෙන්.
"අනේ දෙන්නම දැන් ඕක නවත්තගන්නවද? බලන්න දුලිත මේ දෙන්නාගේ වැඩේම පොර කුකුල්ලු වගේ පැටලෙන එක හැම
තිස්සෙම" අන්තිමේදි උත්පලා අක්කා මැදිහත් වෙලා දෙන්නගේ වාදේ නතර කලා.
කොහොමහරි අපි ගෙදර එද්දි දවල් දෙකත් පහුවෙලා
තිබුණා. ආපු ගමන්ම කෑම කාලා යශෝ අක්කයි, උත්පලා අක්කයි
කාමරේට වැදුනේ මහන්සියි කියලා. අපේ පොඩි අයියයි, ගෝතමී අක්කයි උන්නේ
ඉස්සරහ මිදුලේ වාඩි වෙලා බර කතාවක. අනුක්ලගේ අප්පච්චි නම් අපි එන්නත් කලින්ම
යාලුවෝ වගයක් හම්බවෙන්න ගිහින් තිබුණා. ඉතිං සාලේ ඉතිරි වෙලා හිටියේ මම විතරයි
අනුක් පේන්න උන්නෙත් නැති නිසා.
ටීවී එක දාගෙන ඒකේ ගිය නම නොදන්න සිංහල චිත්‍රපටීයක්
දිහා බලාගෙන මමත් උන්නේ නිදිබර වෙලා. භූපට කෝල් එකක්වත් ගන්න ඕන කියලා හිතලා මම
ෆෝන් එක අතට ගද්දි කොහේදෝ ඉඳන් ආපු අනුක් මට ඉස්සරහ තිබුණ පුටුවෙන් වාඩි වුණේ ටීවී
එක දිහා බලාගෙන හරියට මාව දැක්කෙවත් නෑ වගේ. මම ඔහුව නොතකා භූපගේ නොම්මරේ එබුවා.
ඒත් භූපගේ ෆෝන් එක ඕෆ් කරලා. මම ආපහු ෆෝන් එක ආපහු ටීපෝව උඩින් තිබ්බේ සුසුමක්
හෙලලා. අනුක් මා දිහා යන්තමට හැරිලා බැලුවා. මම ආයෙම ටීවී එක දිහාට හැරුණා.
"මොකක්ද මේ ෆිල්ම් එක?"
අනුක් ඇහුවේ එක පාරටම.
"අනේ මන්දා...මමත් බලද්දි බාගයක් ගිහින්"
"හොඳ එකක්ද?" ඊලඟට ඔහු ඇහුවා.
"දන්නෑ"
"එහෙනම් බලන්නේ?"
"ඔය මම දාද්දි තිබුණ එක. මම වෙනස් කලේ නෑ" මම කිව්වා.
"ම්ම්. මම වෙනස් කරනවා එහෙනම්. ඒක නෙවෙයි කෝ අයියලා?" චැනල් එක වෙනස් කරන ගමන් ඔහු ඇහුවා.
"එලියේ ගාඩ්න් එකේද කොහෙද"
"ආ. එයාලගේ වෙඩින් ප්ලෑන් කරනවා වෙන්න ඇති" අනුක් හිනා වුණා.
"ම්ම්. ඒකත් ලේසි නෑ. මගේ නම් ඔලුවත් කකියනවා අද ඇවිදිල්ල නිසා" මම
කිව්වේ පරණ පුරුදු විලාසෙන්.
"ඔව්. මටත් එපා වුණා. මෙයිට හොඳයි පැනලා ගියා නම්. කිසි කරදරයක් නෑ"
"ආ...හරි ෂෝක්. ඔයාගේ හිතේ ඇති එහෙම කරන්න නේ?"
අනුක් මා දිහා බැලුවේ යන්තමට හිනාවෙලා.
"හිතේ නම් කොච්චර දේවල් තියනවද කරන්න"
ඔහු එහෙම කිව්වම මම ආපහු ටීවී එක දිහාට හැරුණා.
"ඒකෙන් වැඩක් නෑ. කවද්ද දැන් ඔයාලගේ වෙඩින් එක ගන්නේ?" අනුක් ඇහුවේ මොනවත්ම වුණේ නැති ගාණට.
"තාම හිතලා නෑ"
"ඇයි?"
"තව කල් තියෙනවනේ" මම කිව්වේ අනුක් දිහා නොබලා. භූප මතක් කලත් හිත මේ
තරම් රිදෙන්නේ ඇයි කියලා මම දන්නේ නෑ.
මම අනුක්ගෙන් මූණ හංගගන්න උත්සාහ කලේ ඔහු මගේ මේ
වෙනස දකින වග මම දන්න නිසා.
"ම්ම්. දැන් භූපට හොඳටම සනීපයි නේද?" අනුක් ඊලඟට ඇහුවා.
"අනේ මන්දා. බෙහෙත් බොනවා,
ක්ලිනික් යනවා. ටෙස්ට් කරනවා. ඉවරයක් නෑ" මම
සුසුමක් හෙලුවා.
"ඒත් එයා වැඩට යනවනේ? හොඳ නැත්තම් වැඩට යන්න බෑනෙ"
"ම්ම්. මාත් එහෙම හිතනවා. ඒත් භූප දැන් දැන් හරි හිතුවක්කාරයි. කියන දේ
අහන්නේ නෑ" මට කියවුණා.
ඒ පාර අනුක් මා දිහා බැලුවේ විමසිල්ලෙන්.
"කියන දේ අහන්නෑ? ඒ කිව්වේ?" අනුක් ඇහුවා.
"මං කිව්වේ මේ, වැඩ කරන්න ගියාම වෙන කිසි දෙයක් ගැන එයාට ගානක් නෑ. බෙහෙත් බොන එක ගැනවත්, වෙන මොනා
ගැනවත්"
"ඒකද ඔය ආව වෙලේ ඉඳලා මූඩ් ගහලා ඉන්නේ?" අනුක් ඇහුවා.
"මම මූඩ් ගහලා නෑ" මම කිව්වා.
"නැත්තේ මොකද? ඔයා හිතන්නේ මම අන්ධයෙක් කියලද? මම ඔයා ගැන දන්නවා දුලාරා. ඔයාගේ පොඩි වෙනසක්
වුණත් තාම මට දැනෙනවා" ඔහු කිව්වා.
මම මුකුත් නොකියා බිම බලාගෙන උන්නේ ඒ දයාබරත්වය
ඉස්සරහදි මට ඇඬෙන්න ඉඩ තිබ්බ නිසා.
ඒ පාර අනුක් මගේ ලඟ තිබ්බ bean bag එකෙන් ඇවිත් වාඩි වුණා.
"දුලාරා...අහන්න. මොකක් හරි ප්‍රශ්ණයක් තියෙනවා නම් මට කියන්න ප්ලීස්. ඔයාට
මට කියන්න බැරි දෙයක් නෑනෙ" අනුක් කිව්වේ ගොඩාක් දයාබරව.
මම ඒත් මුනිවත රැක්කේ දුක හිත හිර කරද්දි. එක
පැත්තකින් මට ඒ ගැන අනුක්ට කියන්න ඕන වුණේ නෑ. එහෙම වුණත් ඒක කියන්න මාව තේරුම්
ගන්න වෙන කෙනෙක් මට උන්නෙත් නෑ. අනුක් නිහඬවම මගේ උත්තරේ බලාපොරොත්තුවෙන් ඉද්දි මම
හිටියේ හිතත් එක්ක තර්ක කර කර.
"අනික්වා සේරම අමතක කරන්න. මම ඔයාගේ යාලුවෙක් කියලා විතරක් හිතලා මොකද වුණේ
කියලා මට කියන්න දුලාරා. ඔයා ඔහොම හිතින් විඳවන එක මට බලං ඉන්න අමාරුයි"
අනුක් එහෙම කිව්වම මම ඔහු දිහා බැලුවා. ඔහු උන්නේ බැරෑරුම් විදියට මා දිහා බලාගෙන.
"භූප...වෙනස් වෙලා අනුක්..." මම තවත් තප්පර කීපෙකට පස්සේ කිව්වා.
"වෙනස් වෙලා? ඒ කියන්නේ... මොන
විදියටද?"
අනුක් ඇහුවා.
මම වෙච්ච දේවල් එකින් එක අනුක් ඉස්සරහ කියාගෙන
කියාගෙන ගියේ, හිතේ තිබුණ මහාමෙරක් වගේ බර හන්දමයි. ඒ ගෙවුණ විනාඩි
කීපෙට මගේ ඇස් කීපාරක්නම් කඳුලින් බර වෙන්න ඇත්ද? හැමදේම ඇහුවට පස්සේ
අනුක් උන්නේ කල්පනාබර වෙලා.
"මගේ ඔලුව අවුල් වෙලා අනුක්. මම හැමදේම කලේ ආපහු
එයා ලඟට ලං වෙන්න. එයා එක්ක එකතු වෙන්න. එහෙම වෙද්දි එයා මෙහෙම් මගෙන් ඈත් වෙන්න
හදන එක මට දරාගන්න බෑ..." මම කිව්වේ ඇස් අගින් බේරුණ කඳුලක් පිහින ගමන්.
"මම නම් හිතන්නේ එයාට වැඩ වැඩි හන්දා වෙන්න ඇති
කියලා දුලාරා. එයා...ඔයාගෙන් ඈත් වෙන්න හදනවා කියලා මම හිතන්නේ නෑ. එහෙම කරන්න
හේතුවක් නෑනෙ" අනුක් කිව්වේ මුදු හඬින්.
"මම දන්නෑ අනුක්. එයා...මේ...වැඩ කරන්නේ ලස්සන
ගෑණු ළමයි එක්ක. සමහරවිට ඒ කෙනෙක්ට හිත ගිහින්ද දන්නේ නෑනෙ..." මම කිව්වා
බොලඳ කතාවක් වුණත්, ඒක මගේ හිතට වද දිදී තිබ්බ දෙයක්.
"මොන පිස්සු කතාවක්ද ඒ? ඒක නම් කොහොමටවත් වෙන්න බෑ. එහෙමනම් ඒක කලින් වෙන්න එපැයි. මොකද භූප අද ඊයෙ ඉඳන් කරන රස්සාවක් නෙවෙයි නෙ. අනික කොච්චර කවුරු හිටියත් ඔයා වගේ කෙල්ලෙක් අමතක
කරන්න පුලුවන්ද? ඔයා...ඔයා එහෙම ලේසියෙන් හොයාගන්න පුලුවන් විදියේ
කෙල්ලෙක් නෙවෙයි දුලාරා..."
මම අනුක් දිහා බැලුවා.
"ඒ ඔයා හිතන විදිය අනුක්...භූප එහෙම හිතනවද කියලා
අපි දන්නේ නෑනෙ"
මම එහෙම කියද්දි අනුක් මා දිහා බලාගෙන උන්නේ
හැඟීම්බර ඇස්වලින්.
"ඔයා හිතන්නේ මමයි භූපයි ඔයා ගැන හිතන්නේ
දෙවිදියකට කියලද?"
මම ඉක්මණින් අහක බලාගත්තා.
"මම දන්නෑ"
"දුලාරා...මේ අහන්න"
අනුක් කිව්වේ මගේ දෝතම ඔහුගේ උණුසුම් දෝතට
මැදිකරගන්න ගමන්. මම ආපහු ඔහුගේ ඇස් වලට එබුණා.
"මොකක්ද?"
මම ඇහුවේ ඔහු මුකුත් නොකියා මගේ ඇස් දිහා බලාගෙන
මුනිවත රැක්ක හන්දා. ඔහු ආපහු කතා කලේ අපේ දෑත් දිහා බලාගෙන.
"අනවශ්‍ය දේවල් හිතලා නිකං හිතට දුක් ගන්න එපා. ඔය
busy ගතිය අඩු වෙද්දි එයාගේ විදිය හරි යයි"
"ම්ම්"
"ඔයාට මොනාම හරි දෙයක් කියන්න ඕන කියලා හිතුණොත්
මට කතා කරන්න දුලාරා. මම හිතාගෙන ඉන්න දේවල් ගැන ඔයා හිතන්න ඕන නෑ. ඒවා මගේ හිතේම
තිබුණාවේ. ඒ කිසිම දෙයක් ඔයාටවත්, භූපටවත් බලපාන්න මම ඉඩ තියන්නේ නෑ. I promise.
So..please don’t keep things to you ok.."
අනුක් කිව්වේ ගොඩක්ම දයාබරව. මම හිස වැනුවේ
ආයෙමත් හිත දුකින් බරවුණ හන්දා.
ඊට පස්සේ අපට ආයෙම තනියෙම කතා කරන්න වෙලාවක්
ලැබුණේ නෑ. පහුවදා අපි ආයෙම ගෙදර එන්න පිටත් වෙද්දි අනුක් මට සමු දුන්නේ බලාපොරොත්තු
නොවුණු විදියට මගේ කම්මුලක් ඉඹලා,
කවුරුවත් දකින්න කලින් කෑම මේසේ ලඟදි. අනුක් ගැන
හිතේ තිබ්බේ දුකක්. ඔහුගේ සතුට වෙනුවෙන් මොනා හරි කරන්න මට ඕන වුණත්, ඔහු හොයන සතුට මට
දෙන්න බෑ කියන එක අපි දෙන්නම දැනගෙන හිටියා.
No comments:
Post a Comment