Thursday, October 9, 2014

අසූ අටවන කොටස



සති අන්තේ සෙනසුරාදා මම නුවර යන්න පිටත් වුණේ පොඩි අයියා එක්ක. භූප එක්ක ඇතිවුණ කතාබහ සමථයකට පත් වෙලා තිබුණත්, මොකක්දෝ කහටත් ඒ සිද්ධිය හිතේ ඉතිරි කරලා තිබුණා කියලා මට හිතුණා. භූප මට කතා කලත් ඒ වචන වල ඉස්සර තිබ්බ ආදරේ නෑ කියලා මට දැනෙමින් තිබුණා.
"දැන් භූප මොකද කියන්නේ?" විවිධ දේවල් ගැන කතා කරමින් ආපු පොඩි අයියා එහෙම ඇහුවම මට හිතාගන්න බැරි වුණා ඔහු අහන්නේ මේ මොනා ගැනද කියලා.
"මොනා ගැනද අයියේ?"
"ඉස්සරහට කරන්න ඉන්න දේවල් ගැන" අයියා ඇහුවා.
භූප සනීප වෙලා ආවට පස්සේ අයීයා දෙතුන් පාරක් ඔහුව බලන්න ගියත්, ඉස්සර තරම් ලඟින් කතාබහ කරන්න නැතුව ඇති කියලා මට හිතුණා.
"එහෙම විශේෂ දෙයක් කියන්නේ නෑ. එකම දේ අවුරුදු තුනක්වත් යනකල් බඳින්න නම් අදහසක් නෑ අපේ" මම කිව්වා.
"ම්ම්...එහෙමද? එයා හිතාගෙන ඉන්නේ ඔය කරන ෆීල්ඩ් එකේම ඉන්නද දිගටම?"
"ඔව්"
අයියා භූප ගැන වෙන මොනවත් ඇහුවේ නෑ. කෝච්චියේ ආපු අපි උදේ නවය විතර වෙද්දි නුවරින් බැස්සා. අපිව ගෙදර එක්ක යන්න ඇවිත් හිටියේ සිරිදාස සීයා. මම අනුක්ව බලාපොරොත්තු වුණ හන්දදෝ හිතට දැනුනේ පොඩි සංතාපයක්. අපි ගෙදරට එද්දි අක්කලා තුන් දෙනාම උන්නේ මග බලාගෙන. අනුක්ලගේ අප්පච්චිත් ඒ අතරේ උන්නා. ගෙදර දකිද්දි මට දැනුනේ සතුටක්...හරියට අපේ ගෙදර දැක්කා වගේ.
ගෙට අඩිය තිබ්බ ගමන්ම යශෝ අක්කා ඇවිත් මාව වැලඳ ගත්තා. ඊලඟට අනික් දෙන්නා. ඒ අයගේ ග්‍රහණයෙන් මිදිච්ච ගමන්ම මම වට පිට බැලුවේ අනුක් ඉන්නවද කියලා.
"කෝ මල්ලි?" මම වෙනුවට අයියා ඒක ඇහුවා.
"අන්න තාම නිදි. ඊයේ ස්විස් එකේ පාටියකට ගිහිං ආවේ උදේ තුනට" එහෙම කිව්වේ ගෝතමී අක්කා.
"ඔහොම තමයි නේද පුතා. මේ කාලේ නොගන්න ජොලි කොයි කාලේ ගන්නද? අනික ඉතිං හෙට අනිද්දට රස්සාවකට යන්න නේ ඉන්නේ" අනුක්ලගේ අප්පච්චි කිව්වා.
ඒ දෙන්නා කතා කරමින් ඉන්න අතරේ අක්කලා තුන් දෙනා මාව ඇදගෙන ආගිය තොරතුරු කතා කරන්න ආවා මැද සාලෙට. භූප ගැන, ගෙදර ගැන, මම කරපුවා ගැන කියමින් ඉන්න අතරේ අනුක්ගේ තේ මග් එක අරන් එතනින් යන්න ආවේ ලතා අම්මා.
"හප්පේ මේ අපේ පුංචි නෝනා නේ. අනේ දැක්ක කල්. කොහෙද ඉතින් ගියා ගියාමයි මේ පැත්තේ ආවාවත් යැ" ලතා අම්මා කිව්වේ බොහොම ලෙන්ගතුකමින්.
"ආවේ නැතුවට අමතක වුණා නෙවෙයි ලතා අම්මේ" මම කිව්වේ හිනාවක් පාලා.
"අනේ ලතා අම්මේ, ඔන්න ඕක දීලා අර යෝදයව ඇහැරවන්න කෝ. අද වැඩ ගොඩක් තියෙනවා කර ගන්න" මේ අතරේ ගෝතමී අක්කා කිව්වා.
ලතා අම්මා මට එන්නම් කියලා උඩට යද්දි මට ඒ දිහා බැලුණේ නිරායාසයෙන්ම. ලතා අම්මා ආයෙම පහලට එද්දිත් අපි උන්නේ කතා කරමින්.
"නැගිට්ටද?" උත්පලා අක්කා ඇහුවා.
"ඉස්සෙල්ලා නම් ඇහුණෙත් නෑ වගේ උන්නේ. ඔන්න මේ නෝනලා ආවා කියපු ගමන් දනි පනි ගාලා නැගිටගත්තා" ලතා අම්මා හිනා වෙවී කිව්වේ අක්කලාවත් හිනස්සමින්.
"ආ...ඒක හොඳ එලාම් එක එහෙනම්"
"වෙනදට කන ලඟ දවුල් ගැහුවත් ඇහැරෙන්නේ නැති එක්කෙනා මොකද දන්නෑ එහෙම කලේ?" ගෝතමී අක්කා කිව්වේ මා දිහාට ඉඟි පාමින්.
මම වෙනසක් නොපෙන්වා හිනාවෙන්න උත්සාහ කලා.
"එයා එහෙනම් ලෑස්ති වෙයි නේ, අපිත් ලෑස්ති වෙන්නම්. අනේ ලතා අම්මා, අපේ නංඟටයි, දුලිතටයි කෑම අරින්න මේසෙට" උත්පලා අක්කා කිව්වේ යන්න නැගිටින ගමන්.
ඒ පාර එයාලා ලෑස්ති වෙන්න ගිය අතරේ මම ලතා අම්මා එක්ක කුස්සිය දිහාට එන්න ආවා. අයියා නම් තාමත් උන්නේ සාලේ අනුක්ගේ අප්පච්චි එක්ක කතාවක.
"ඉතිං පුංචි නෝනේ...මොනවද තොරතුරු?" ලතා අම්මා ඇහුවේ කුස්සියට යන්න කෑම කාමරේ පඩිපෙල නගින ගමන්.
"විශේෂ දෙයක් නෑ ලතා අම්මේ. වෙනදා වගේ ඉන්නවා"
"රස්සාවක් හෙම බැලුවේ නැතෑ?"
"දාලා තියෙන්නේ"
"අනේ හොඳයි...ඉගෙන ගත්තු දේවල් වලින් පොරොජනේකුත් තියෙන්න ඕන නේ"
ලතා අම්මා කෑම ලෑස්ති කරනකල් මම පුරුද්දට වගේ කුස්සියෙන් එලියට බැස්සේ ඒ පැත්තෙන් පෙනුන කඳු වැටිය බලන්න. ඉස්සර කෙලින්ම හොඳට පෙනුන කඳු වැටිය අද පොඩ්ඩක් විතර මුවා වෙලා තිබුණේ වත්ත පිටිපස්සේ හදලා තිබුණ පුංචි මහෝගනී ගස් පෙල උස ගිහින් තිබ්බ නිසා.
"අනේ මේ ගස් කොච්චර උස ගිහින්ද...තව ටික දවසකින් ගස් ලොකු වුණාම කඳු වැටිය පේන්නෙම නැති වෙයි නේද ලතා අම්මා?"
මම ඇහුවේ එලියට එනවා ඇහුණ ලතා අම්මගෙන් වුණාට, කුස්සියේ දොරෙන් එලියට ඇවිත් මා දිහා බලාගෙන උන්නේ ලතා අම්මා නෙවෙයි, අනුක්.
මගේ වචන උගුරේම හිර වුණා වගේ දැනෙද්දි මට හිනාවෙන්නවත් මතක් වුණේ නැහැ. අපි එහෙමම එකිනෙකා දිහා බලාගෙන මොහොතක් ඉන්න ඇති. ඊලඟට මුලින්ම බිම බලාගත්තේ මම.
"දැන්ද ආවේ?" ඔහු ඇහුවේ මුදු ස්වරේකින්.
"ම්ම්" මම හිස වැනුවා.
"කෝච්චියේද?"
"ඔව්"
"කා එක්කද ආවේ?"
"පොඩි අයියා එක්ක"
මම උත්තර දෙද්දි අනුක් උන්නේ මගේ ලඟටම ඇවිත්. මම ඒ ලඟ තිබ්බ කණුවට වාරු වෙලා අනුක්ට මුවා වුණා.
"එන වගක් මට කිව්වෙවත් නැත්තේ ඇයි?"අනුක් ඇහුවේ කණුවේ අනික් පැත්තෙන් ඇවිත් මගේ දිහාට එබිලා.
මම යන්තම් හිස හරවලා ඔහු දිහා බැලුවා. ඔහු මට දවසක් කිව්වා වගේ, ඒ ඇස්වල තිබ්බේ ගින්දරක්. ඒ ගින්නෙන් හිත පිච්චිලා යනවා දැනුනත් මම අහක බලාගත්තේ නෑ.
"මම හිතුවා දන්නවා ඇති කියලා" මම කිව්වේ ඒ දෑස් වල තිබුණ හැඟීම් නොපෙනුනා වගේ.
"එනවා කියලා දන්නවා, ඒත් අද එනවා කියලා දන්නේ නෑ" අනුක් කිව්වා.
"එහෙමද?" මම ආයෙම අහක බලා ගත්තා.
"ඔයා හොඳින් නේද?" අනුක් ඊලඟට ඇහුවේ එහෙම.
"ඔව්" මම හිස වැනුවා.
"ඔය ඇත්තමද?" ඔහු ඇහුවා.
"ඇයි එහෙම අහන්නේ?"
"ඔයාගේ ඇස්...මලානික වෙලා නිසා" ඔහු කිව්වම මට ආයෙම ඔහු දිහා බැලුණේ නිරායාසයෙන්.
"හැම දේම හොඳින් නේද දුලාරා? භූප එහෙම?"
භූප මතක් කරපු ගමන් හිතේ පිරුණේ දුකක්, ආත්මානුකම්පාවකුත් එක්ක. ඒත් මම ඉවසගෙන හිටියා. මම ඉක්මණින් බිම බලාගත්තේ ඇස් වලට කඳුලු පිරෙන වග සහතික නිසා.
"ඔව්"
මම කිව්වත්, අනුක් පහල පේමන්ට් එකට බැහැලා මගේ ඉස්සරහින් ඇවිත් හිටගත්තා.
"මා දිහා බලන්න..." ඔහු කිව්වා.
පහලට බැහැලත් මට වඩා උස වුණ අනුක් මගේ ලඟට ආවම ඔහුගේ දෑස් තිබ්බේ මගේ දෑස් වලට යන්තම් උඩින්. මම නොබැලුවත් ඔහුගේ බැල්ම මට ස්පර්ෂයක් තරම් තියුණුවට දැනුනා.
"ඔයා ඉන්නේ මා එක්ක තරහින්ද?" අනුක් ඇහුවා.
"නෑ..."
"එහෙනම් ඇයි මේ අහක බලාගෙන?"
ඔහුගේ මුදු බව ඉස්සරහා මගේ හිත දියවෙමින් තිබුණේ. මම ආපහු ඔහු දිහා බලද්දි ඒ වත පෙනුනේ බොඳ වෙලා. අනුක් එක පාරටම පොඩ්ඩක් තිගැස්සුනා වගේ වුණා. ඊලඟට ඒ වතේ ඇඳුනේ දුකක්.
"ඇයි මේ?" අනුක් ඇහුවේ ගොඩාක්  දයාබරව.
මම හිස වැනුවා මුකුත් නෑ කියන්න. ඒ පාර අනුක් කලේ හෙමින් මගේ සුරත අල්ලගත්තු එක. ඒ පාර තිගැස්සුනේ මම. මම අත ඇදගන්න යද්දි ඔහු ග්‍රහණය තද කලා.
"ඔයා මොනාද මේ කරන්නේ? මාව අතාරින්න ප්ලීස්..."
"මොකද වුණේ කියන්න" ඔහු කිව්වා.
"කිව්වනේ මුකුත් නෑ කියලා"
"මට කියන්න බැරි ඇයි?"
අනුක් එහෙම ඇහුවම මම ඔහුගේ දෑස් දිහා කෙලින්ම බැලුවා.
"මෙච්චර දවස් හිටියා වගේ ඔයාට ඉන්න බැරි ඇයි?" මම ඇහුවාම අනුක්ගේ මූණ වෙනස් වුණා.
ඔහු ටිකක් වෙලා මා දිහා බලාගෙන උන්නේ මම ඒ කියපු එක තේරුම් ගන්න වගේ. මම ඒ අතරේ ඔහුගේ ග්‍රහණෙන් මිදුණා.
"ඔයා හිතන්නේ එහෙම ඉන්න එක ලේසියි කියලද?" ඔහු ඊලඟට ඇහුවා.
"මම දන්නෑ අනුක්. මම එහෙම කරලා නෑ"
"මම එහෙම කලේ ඔයාගේ හිතට වද දෙන්න බැරි හන්දා දුලාරා. මට ඉන්න පුලුවන් නිසා නෙවෙයි..."
"ඒකට කමක් නෑ... "
ඔහුගේ වචන වලට හිත සසල වුණත් මම කිව්වේ ඔහු දිහා කෙලින්ම බලලා. මට ඔහුට පෙන්නන්න ඕන වුණේ මම ඒ ගැන හිතන්නේ නෑ කියලා.
"කමක් නැත්තම් කමක් නෑ" අනුක් කිව්වේ මම මුවා වෙලා උන්නු කණුවටම හේත්තු වෙන ගමන්.
"ඒත් මට තේරුම් ගන්න බෑ..." මම කිව්වා.
"මොකක්ද?"
"ඇයි ඔයාට ඉස්සර අනුක් වෙන්න බැරි කියලා. ඔයා...ටිකින් ටික මට මගේ හොඳම යාලුවාව නැති කරන්නේ ඇයි කියලා" මම කිව්වේ උපේක්ෂාවෙන්.
"ඉස්සර අනුක් එයාගේ යාලුවට ආදරේ කලේ නෑ. ඒත් දැන් අනුක් එයාට ආදරෙයි...ඒ ආදරේ හිතේ තියාගෙන ඉස්සර වගේ ඉන්න අනුක් දන්නේ නෑ දුලාරා...ඉස්සර වගේ වෙන්න ගියොත් නවතින්නේ හැමෝගෙම හිත් රිදිලා වග මට දැනෙනවා..."
"ඒත් අනුක් ඔයාට තේරෙන්නේ නැද්ද ඔයාට මම හොයන්නේ ඒ ඉස්සර උන්නු අනුක්ව කියලා?"
"තේරෙන්නේ නෑ. ඔයාගේ ඇස් කියන්නේ ඒ කතාව නෙවෙයි"
මම දිග සුසුමක් හෙලලා අහක බලාගත්ත.
"මට ඒ ගැන කතා කරන්න ඕන නෑ"
"ඔව්. ඔයාට ඒ ගැන කතා කරන්න බෑ. මොකද ඔයා දන්නවා ඇත්ත මොකක්ද කියලා"
"ඒ හන්දා නෙවෙයි අනුක්...මට ඔයා එක්ක වාද කරන්න බෑ. මට මහන්සියි. තර්ක කරන්න මානසිකත්වයක් මට නෑ. ඒකයි" මම කිව්වා.
ඒ පාර ලොකු සුසුමක් හෙලුවේ අනුක්.
"මං ඔයාට වද දෙන්නේ නෑ. ඔය ඇස් මොනා කිව්වත් මම දන්නවා අපට හීන ලෝක වල ජීවත් වෙන්න බැරි වග. අපි අන්තිමේදි පියවි ලෝකෙට එන්නම ඕන" ඔහු ඊලඟට කිව්වා.
හිත අහේතුක දුකකින් බර වුණා.
"මේ හැමදේටම මුල මං...මං මෙහේ නාවා නං අඩු තරමේ ඔයාගේ හිතේ නිදහසවත් රැකිලා"
"ඔව්...සේරටම මුල ඔයා තමයි. ඒත් ඒ ඔයා හිතන විදියට නෙවෙයි. ඔයා මෙහේ නො එන්න මම ආදරේ මේ තරම් තේරුම් ගන්න එකක් නෑ. ආදරේ තියෙන්නේ ලබා ගැනීමම විතරයි කියලා හිතාගෙන මම ඉන්න ඉඩ තිබ්බා. ඒත් ඔයා හන්දා මම තේරුම් ගත්තා දුලාරා ආදරේ උතුම්ම දේ අනික් කෙනාගේ සතුට වෙනුවෙන් තමන්ගේ හැමදේම පරිත්‍යාග කරන්න පුලුවන් වෙන එකයි කියලා. එදා ඒක කලේ ඔයා,භූප. අද ඒක කරන්නේ මම. ඒත්...මට හැමවෙලේකම හිතෙනවා දුලාරා...ඔයා ..." අනුක් කිව්වේ හැඟීම්බරව.
"අපි මේ කතාව නවත්තමු අනුක්..."
ඒ පාර අනුක් මා දිහාට හැරුණම ඒ ඇස් මගෑරලා අහක බලන්න මට පුලුවන් වුණේ නෑ.
"මාව පව්කාරියක් කරන්න එපා අනුක්..." මම මිමිණුවා.
අනුක් දෑස් පියාගත්තා ඒ වචන පෙල ඇහෙද්දිම. මගේ හිත පුපුරන්න තරම් දුකක් මට දැනුනේ ඇයි කියන්න මම දන්නේ නෑ.
"මල්ලී..." ඊලඟට අනපේක්ෂිත විදිහට ඇහුණෙ ගෝතමී අක්කගේ හඬ.
අපි දෙන්නටම දොර දිහා බැලුණේ ඉබේටම. මට පියවි සිහිය ආවේ එවෙලේ වගේ. ඒ අවසරෙන් මම අනුක්ගෙන් මිදිලා වචනයක්වත් නොකියා සාලේ දිහාට දුවලා එන්න ආවා.

No comments:

Post a Comment