Thursday, July 24, 2014

හැත්තෑහයවන කොටස.



ඉස්පිරිතාලව වලින් එන ආවේණික බෙහෙත් ගඳ මට පුංචි කාලේ ඉඳලම දරන්න අමාරු වුණ දෙයක්. අපේ සීයා අන්තිම කාලේ අසනීප වෙලා උන්නු දවස් වල අපට නිතර ඉස්පිරිතාලේ එන්න යන්න වුණා වගේම, සීයා ආපහු ගෙදර නෑවිදින්ම ඉස්පිරිතාලෙදිම ජීවිතෙන් සමු ගත්තු හන්දත්, ඉස්පිරිතාල මගේ හිතේ ඇති කරලා තිබුණේ අඳුරු හැඟීමක්. ඒත් අද තීන්ත ගැලවුණ බංකුවකට වෙලා, පැය ගාණක් ඉස්පිරිතාලේ වාඩි වෙලා උන්නත් මට කිසිම හැඟීමක් දැනුනේ නෑ. හිත තිබුණේ හිරිවැටිලා. මොන මොනාදෝ ෆයිල් වගයක් අරගෙන එහාට මෙහාට දුවපු අනුක්, සුමන්දාස යන එන දිහා බලාගෙන, මං තරමටම බියපත් වෙලා උන්නු නයනත් එක්ක මම ඔහේ ඉස්පිරිතාලේ බංකුව උඩ වාඩි වෙලා උන්නා, අන්තිමේදි කොච්චරදෝ වෙලාවකට පස්සේ අනුක් ඇවිත් මා ලඟින් වාඩි වෙනකල්ම.
මගේ ඇස් තිබුණේ දැවෙමින් වගේ. භූපව ඉස්පිරිතාලෙට අරගෙන එන මුලු වෙලේම අඬනවා ඇරෙන්න වෙන දෙය්ක් කරන්න මට පුලුවන් වුණේ නෑ. හිතේ තිබ්බේ අහේතුක බයක් එක්කම වරදකාරී හැඟීමක්. ඒ...මේ දේ වුණේ මම හන්දා කියන සිතිවිල්ල නිසා. මම අනුක් දිහා බැලුවේ ප්‍රණාර්ථයක් දලවගෙන. ඒ මූණ තිබ්බෙත් ගොඩක් විඩාබර වෙලා. ඔහු මගේ ඇස් මගෑරලා බිම බලාගත්තා.
"මොකද අනුක් දැන් භූපට? සිහිය ආවද?" මම ඇහුවේ වෙව්ලමින් වගේ.
"නෑ. ඩොක්ටර්ස්ලා තාම බලනවා.හදිසි කම්පනයක් කියලා. එහෙම වෙලා හදිසියේ හාට් එක අක්‍රිය වෙලාද මොකක්ද  කියලා. ඒත් හරියටම තාමත් මුකුත් කියන්න බෑ කිව්වා. දැන් තමයි ලොකු ඩොක්ට ආවේ, එයා බැලුවම අපි අහලා බලමු" අනුක් කිව්වා.
"හාට් එක අක්‍රිය වෙලා?!" විදුලියක් වගේ හිතට පිවිසුණේ බයක්, ඊලඟට කියාගන්න බැරි තරම් දුකක්. "මේ හැමදේම වුණේ මම හන්දා" මම ඒක කිව්වේ සියවෙනි වතාවට වෙන්න ඇති.
"දුලාරා...මේක එහෙම දෙයක් නෙවෙයි. දැන්වත් ඔයාටම දොස් කියාගන්න එක නවත්තගන්නකෝ. ඩොක්ටර්ස්ලා කිව්වේ එහෙම වෙන්න පුලුවන් කියලා. එයාලා තාම බලනවනේ. සුමනදාස කියපු විදියට භූප මොකක හරි ලෙඩකට කාලෙක ඉඳන් බෙහෙත් අරන් තියෙනවා. දැන් සුමනදාස ගියා ගෙදර මොනා හරි report තියෙනවා නම් අරගෙන එන්න කියලා. මම මෙතන ඉන්න ඕනනෙ ඩොක්ට මොකද කියන්නේ අහගන්න. අපි බලමු ඒ reports ගෙනාවම"
අනුක් කියද්දි මගේ හිත අහේතුක බයකින් වෙලුණා, මම ඔහු දිහා බලාගෙනම උන්නේ ගල් වෙලා වගේ. අනුක් මා දිහා බැලුවේ යන්තමට වගේ.
"මට බය හිතෙනවා අනුක්"
"ඔයා බය වෙන්න එපා. දැන් අපි ඉස්පිරිතාලෙනේ ඉන්නේ. භූපට කරදරයක් වෙන එකක් නෑ"
අනුක් කිව්වත් ඒ හඬේ වැඩි විශ්වාසයක් තිබ්බේ නෑ කියලා මට දැනුනද, නැත්තම ඒක මම හිතේ මවාගත්තු දෙයක්ද කියන්න මම දන්නේ නෑ. ඒත් හිතේ බය අඩු වුණේ නෑ. මම දන්නෑ අපි තව කොච්චර වෙලා කතාවක් බහක් නැතුව ගොලුවෝ වගේ ඒ බංකුවේ වාඩි වෙලා උන්නද කියලා.
"මහත්තයා...දොස්තර මහත්තයා කතා කරනවා"
අන්තිමේදි සුමනදාස ඇවිත් අනුක්ට දැනුම් දුන්නා. සුමනදාස ආවේ කොයි වෙලේද කියලාවත් මම දැක්කේ නැහැ. අනුක් ඉක්මනින් නැගිටලා වාට්ටුව දිහාට යන්න පිටත් වුණාම මමත් අනුක්ගේ පස්සෙන් වැටුණේ කියන්නේ මොනාද කියලා අහගන්න මටත් ඕන වුණ හන්දා.
වාට්ටුව කොනේ ඩොක්ට වාඩිවෙලා උන්නු තැනට යද්දි මම වාට්ටුව පුරාම බැලුවේ භූප උන්නේ කොයි ඇඳේද කියලා බලන්න. එතකොට මම දැක්කා නර්ස්ලා දෙතුන් දෙනෙක් වට්වෙලා, ආවරණය කරපු ඇඳක්. හිත ලොකු බයකින් ආයෙම වෙලෙද්දි මට තේරුණා භූප ඉන්නේ ඒ ආවරණිත ඇඳේ කියලා.
"වාඩිවෙන්න" මම ආපහු හැරුණේ ඩොක්ටගේ හඬට.
මම වාඩිවෙද්දි මට තේරුණා මගේ දෑත් වෙව්ලන හැටි. අනුක් උන්නෙත් පොඩ්ඩක් සුදුමැලි වෙලා වගේද කියලත් මට හිතුණා. ඒ එක්කම ඩොක්ටගේ මූණේ තිබ්බ පෙනුමෙන් මට පෙනුනෙත් අපි අහන්න යන්නේ ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි කියලා. හිතාගන්න බැරි වුණා ඇයි මට මේ තරම් දේවල් අසුබවාදීවම හිතෙන්නේ කියලා.
"ම්ම්...ඔයාලා මේ ලෙඩාගේ නෑයෝද, කොහොමද?" ඩොක්ට ඇහුවේ අතේ තිබුණේ ෆයිල් එකකුත් පෙරලන ගමන්.
"මේ...නෑ ඩොක්ට අපි එයාගේ යාලුවෝ. එයා වැඩ කරන්නේ මෙහේ හන්දා අපි මේ එයාව හම්බවෙලා යන්න ආපු වෙලාවක තමා මේක වුණේ" අනුක් කිව්වේ මා දිහාත් යන්තමට බලන ගමන්.
"ආ..එහෙමද?"ඩොක්ට ඇහුවේ නලල රැලි කරන ගමන්.
"ඩොක්ට ලෙඩාට තාමත් සිහිය නැත්ද?" මම ඇහුවේ ඩොක්ට තාමත් ඒක අපට  නොකියපු හන්දා.
හදිසියේම මම එහෙම අහපු හන්දා ඩොක්ට මා දිහා බැලුවේ පොඩි මවිතයකින් වගේ.
"මේ ලෙඩාගේ girlfriend ඩොක්ට" අනුක් එහෙම කිව්වේ හෙමින්.
ඒ පාර ඩොක්ට යමක් තේරුම් ගත්තා වගේ යන්තම හිස වැනුවා.
"ආ...තාම නම් සිහිය අවේ නෑ. ඒත් බය වෙන්න දෙයක් නෑ තව ඩොක්ට කෙනෙක් එයා බලනවා. අපි බෙහෙතකුත් දීලා තියෙන්නේ. බය වෙන්න එපා තව ටිකකින්  සිහිය ඒවි" ඩොක්ට මට කිව්වේ කරුණාවන්ත ස්වරයකින්.
මගේ ඇස් ආයෙම කඳුලින් පිරෙද්දි මම බිම බලාගත්තා. ලඟ උන්නු අනුක් මගේ අතක් තදින් අල්ලගත්තේ මාව සනසන්න වගේ.
" මම මේ අහන්න හැදුවේ, සමහරවිට ඔයාට කියන්න පුලුවන් වෙයි මිස්, මෙයා කලින් මොනා හරි දීර්ඝකාලීනව තිබ්බ ලෙඩකට දිගටම බෙහෙත් අරන් තියෙනවද?" ඩොක්ට ඇහුවේ මගෙන්.
මම උඩ ගියා ඔහු එහෙම ඇහුවම මොකද මම දන්න තරමින් එහෙම දෙයක් තිබුණේ නැති හන්දා. ඒත් අපි එකට නො උන්න කාලේ මොනා වුණාද කියන්න කොහොමත් මම දැනගන උන්නේ නෑනෙ.
"මම දන්න තරමින් එහෙම නෑ ඩොක්ට. ඒත් පහුගිය අවුරුදු දෙක ඇතුලත මොනා හරි දේකට එයා බෙහෙත් ගත්තද කියන්න මම දන්නේ නෑ. හැබැයි මම දැක්කා එයා ගාව මොනාදෝ රිපෝර්ට් වගයක්  නම් තියෙනවා. ඒ වුණත් මම ඒ ගැනවත් කිසි දෙයක් දන්නේ නෑ" මම කිව්වා.
"ම්ම්...හරි. මේ report වලින් පේන විදියට නම්, මේ ලෙඩා දැන් අවුරුද්දක ඉඳන් විතර දිගටම බෙහෙත් අරන් තියෙනවා. ඒත් මේ ලෙඩාගේ තත්වේ බලද්දි ඒක මේ ලඟකදි ඇතිවුණ තත්වයක් කියලා හිතන්න අමාරුයි-" ඩොක්ට කිව්වේ ආයෙම හැඟීම් විරහිත මූණක් මවාගන්න ගමන්.
" හැබැයි ඩොක්ට මෙයා පහුගිය කාලේ ගොඩක් ලිකර් පාවිච්චි කරලා තියෙනවා. මම දන්නෑ ඒකේ මොනා හරි බලපෑමක් වුණාද කියලා" අනුක් කිව්වේ මැදින් පැනලා.
"ම්ම්...ඔව්, ඒක අපි ලෙඩාගේ blood චෙක් කරද්දි අපටත් තේරුණා. ඒත් මේක එහෙම එකක් හන්දම ඇතිවුණ දෙයක් නෙවෙයි. ප්‍රශ්ණේ තියෙන්න අපට පේන විදියට සහ මේ පරණ තියෙන වාර්තා වල විදියට මේ ලෙඩාගේ හාට් එකේ. ම්ම්...මේ reports අනුව නම් මේක මේ ලෙඩාට තිබිලා තියෙන්නේ පොඩි කාලේ ඉඳලමයි"
ඩොක්ට එහෙම කියද්දි මගේ හිතේ දහසක් අකුණු පුපුරණවා වගේ මට දැනුනා. මම අනුක්ගේ අත මිරිකගත්තේ එකයි. මම ඩොක්ට දිහා බලාගෙන උන්නේ ඔහු කියපු දේ අදහාගන්න බැරිව.
"ආ...ඩොක්ට දැන් අපි මොනාද කරන්න ඕන?" මගේ මුලු ඔලුවම අවුල් වෙලා තිබුණ හන්දා මට කතාකරගන්නවත් බැරිව ඉද්දි එහෙම ඇහුවේ අනුක්.
"ම්ම්...නෑ, දැනට එහෙම කරන්න කියලා දෙයක් නෑ. ඒත් මම කැමතියි පුලුවන් නම් මේ ලෙඩාගේ විස්තර දන්න කෙනෙක් ගැන කතා කරන්න. ඒ කියන්නේ අම්මා හරි, කවුරු හරි පවුලේ කෙනෙක් එක්ක. ඒත් අම්මලා ඉන්නේ දුර නම් අඩුමගානේ ඉස්සර ගත්තු report මොනව හරි ගෙන්න ගන්න පුලුවන් වුණත් ඇති වෙයි"
ඩොක්ට එහෙම කිව්වම අනුකුයි මමයි මූණෙන් මූණ බලාගත්තා.
"අපි මොනා හරි කරන්න බලන්නම් ඩොක්ට"  අනුක් කිව්වා.
ඩොක්ට හිස වැනුවා. එතකොටම වගේ අපි ලඟට ආවේ නර්ස් කෙනෙක්. ඩොක්ට හිස උස්සලා බැලුවේ ඇස් වල ප්‍රශ්ණාර්ථයක් රඳවගෙන.
"ලෙඩාට සිහිය එනවා ඩොක්ට" නර්ස් එහෙම කිව්වම සැනසුම් සුසුමක් හෙලුණේ අපි දෙන්නට විතරක් නෙවෙයි. ඩොක්ටත් සුසුමක් හෙලුවා.
අපි ආවරණය කරලා තිබුණ ඇඳ දිහාවට ගියා ඉක්මණින්ම. සේලයින් කටුවත් කෙසඟ අතක ගහල තිබුණා. සිහිය ආවා කිව්වට භූප තවමත් උන්නේ ඇස් පියාගෙන. ඇඳ උඩ අසරණ විදිහට වැතිරිලා උන්නු භූප දැක්කම ආයෙම මට ඇඬෙන්න පටන් ගත්තා. මම උන්නේ අනුක්ගේ අතකට වාරු වෙලා. එත්න උන්නු අනික් ඩොක්ට ටිෂූ එකකින් මුහුණ පිස දමමින් උන්නේ ලොකු මහන්සියක් වුණ කෙනෙක් ගාණට.
එතන්ට අපි එක්ක ගිය ඩොකටට අනික් එක්කෙනා ලෙඩේ විස්තරක් ඉංග්‍රීසියෙන් කියනවා මට ඇහුණත්, ඒ පාවිච්චි කරපු වචන ගොඩක් ඒවා මට තේරුණේ නෑ. හාට් එක ගැන, ෂොක් එකක් ගැණ, මොන මොනා හරි බෙහෙතක් ගැනයි මේ කියන්නේ කියලා විතරයි මට තේරුම් ගන්න පුලුවන් වුණේ.
"ලෙඩාව කලබල නොකර එයා එක්ක කතා කරන්න හොඳේ"  භූප හෙමි හෙමින් ඇහිපිය හොලවද්දි එතන උන්නු නර්ස් කෙනෙක් අපට කිව්වා.
අතේ තිබුණ රිපෝර්ට් එක ගැන සාකච්චා කර කර දොස්තරලා දෙන්නා එතනින් ඉවතට ගියේ අන්තිමට මාවයි අනුක්වයි එතන ඉතිරි කරලා.
මම ඇඳ උඩ තිබුණ භූපගේ අතකින් අල්ලගත්තා. භූප හෙමින් ඇස් ඇරලා වටපිට බැලුවා.
"මං...මේ කොහෙද ඉන්නේ?" ඔහු ඇහුවේ රහසින් වගේ.
මම අඬන්නේ නැතිව ඉවසගෙන උන්නේ අමාරුවෙන්.
"බය වෙන්න එපා. දැණ් ඔයා ඉන්නේ හොස්පිටල් එකේ" උත්තර දුන්නේ අනුක්.
භූප ආයෙම වට පිට බැලුවේ ඒ කීව එක තහවුරු කරගන්න වගේ. ඊලඟට ඔහු බැලුවේ මා දිහා. මට ඒ ඇස් දිහා කෙලින් බලන්න පුලුවන් කමක් තිබ්බේ නෑ, මට ඇඬෙයි කියලා බය හිතුණ නිසා.
"දුලාරා..." භූප මට කතා කලා.
මම ඔහුගේ අත හෙමින් පිරිමැද්දේ හිනාවක් මුවට නගාගන්න උත්සාහ කරමින්.
"මම හිතුවා..ඔයා ...ගියා කියලා" භූප කිව්වේ හෙමින්.
"නෑ... "
භූප යන්තමට හිනාවුණා. මමත් හිණාවෙන්න උත්සාහ කලා.
"මා එක්ක තරහා නෑ නේද?" භූප ඊලඟට ඇහුව එහෙම. ඒ දුර්වල හඬ ඇහුණම මගේ හිත දුකින් බරවුණේ ඇසිල්ලකින්.
"නෑ භූප. කවදාවත් නෑ. ඔයා දන්නවනේ මට ඔයා එක්ක තරහා වෙලා ඉන්න බැරි වග"
භූප සුසුමක් හෙලුවා.
"මගේ අර යාලුවා රමල්, එයාට කෝල් එකක් දෙන්න මම නොම්මරේ දෙන්නම්. එයා මෙතන ඇවිත් ඉතිරි ටික බලාගනීවි. ඔයාල මම හන්දා කරදර වෙන්න එපා දුලාරා..." භූප කතා කලේ හති දම දම වගේ.
"එහෙම කියලා කොහොමද? මම කොහේවත් යන්නේ නෑ කාටවත් ඔයාව බලාගන්න දීලා"
මම කිව්වේ උස් හඬින් වෙන්න ඇති, අනුක් මා දිහා බැලුවේ කලබල වෙන්න එපා කියලා දෑස් වලින් කියන ගමන්.
"දුලාරා...එහෙම කරන්න බෑනෙ"
"ඔයා ඒ ගැන හිතන්න එපා භූප. ඔයා හිත කලබල නොකරගෙන ඉන්නකෝ. ඔයා මොනාවත් ගැන හිතන්න එපා භූප. ආයෙමත් අපි වෙන් වෙන්නේ නෑ කවදාවත්. මම ඔයාව දාලා යන්නේ නෑ" මම කීවේ අන්තිමේදි ඔහුගේ ඇස්වලට එබෙන ගමන්.
භූප මා දිහා බලාගෙන උන්නා මොහොතක්.
"මම දන්නෑ ඔයා මට සමාව දෙයිද කියලා දුලාරා. ඔයාට නොකියපු දේවල් ගොඩක් තියෙනවා...මේ වුණ දේවල් වුණත්..."
"ඉතිං ඔය කතා කරලා මහන්සි වෙන්න එපා. දේවල් කියන්න අපි එකට උන්නේ නෑනෙ භූප. ඒත් දැන් අපිට කාලේ තියෙනවා. ඔයා සනීප වෙලා ආවම අපි ඒ හැමදේ ගැනම කතා කරමුකෝ නේද?" මම කිව්වේ භූප හිස අතගාන ගමන්.
භූප ආයෙම මද හිනාවක් පෑවා.
"ඔයා මේ දේවල් කරන්න ඕන නෑ දුලාරා..." ඔහු කිව්වා.
"ආයෙම ඔහොම මුරණ්ඩු කතා කියන්න එපා භූප. ඔයා මොනා කිව්වත් මම ඉන්නවා. මම ඔයාව දාලා යන්නේ නෑ" මම කිව්වේ තරමක් තදින්.
"ඔව් භූප. ඔයා ඒවා ගැන දැන් කල්පනා කරන්න එපා. අපි සේරම බලාගන්නම්. ඔයා සනීපවෙන්නකෝ ඉස්සෙල්ලම. අපිට නුවර ගෙදර ගිහින් වුණත් එන්න පුලුවන් නේ"  අන්තිමේදි අනුක් කතා කරලා එහෙම කිව්වා.
"අපි හැමදේම බලාගන්නම් භූප. ඔයා හිතනවද මම හදිසියේම ඔයාව මේ බලන්න ආවේ පස්සේ වෙන දේවල් ගැන නොහිතා කියලා? අපි ඒ සේරම බලාගන්නම්" භූප ආයෙම මොනවදෝ කියන්න කට හදද්දි මම කිව්වා.
භූප මා දිහා බලාගෙන උන්නේ මම හද හද කියන කතාව ඔහුට තේරුණ ගාණට.
"බොරු කියලා මගේ හිත හදන්න උත්සාහ කරන්න එපා දුලාරා"
"බොරු නෙවෙයි...දැන්වත් මාව විශ්වාස කරන්න භූප" මම කිව්වා.
මොනවදෝ ආයෙම කියන්න උත්සාහ කරපු භූප කහින්න පටන් ගත්තා හදිසියේම. නර්ස් එතනට දුවගෙන ආවේ මම භූපගේ පපුව අතගාන අතරේ.
"මිස්...පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් අහකට වෙන්නකෝ" නර්ස් ඇවිත් භූපව පොඩ්ඩක් කෙලින් කරලා කොට්ටේ හැදුවා.
ඒ අතරේ අපි එක්ක කතා කරපු දොස්තරත් ආයෙම එතනට ආවා.
"වැඩිය කතා කරලා, දඟලලා මහන්සි වෙන්න එපා. පොඩ්ඩක් රෙස්ට් කරන්න. ඔය දෙන්නත් දැන් ගිහින් පස්සේ ලෙඩ්ඩු බලන වෙලාවට එන්න එහෙමනම්" ඩොක්ට භූපට කතා කරලා, අපට එහෙම කිව්වා.
ඔහු ආයෙම කිව්වේ ලොකු අමාරුවක් නැති හන්දා ලඟ කවුරුවත් ඉන්න ඕන නෑ කියලයි. ඒක ඇහුණම භූපගේ වත පොඩ්ඩක් එලිය වැටෙනවා මට පෙනුනා.
මම ආපහු භූප දිහා බැල්වාම, ඩොක්ට දිහා බලාගෙන උන්නු ඔහුත් ඊලඟට බැලුවේ මා දිහා.
"අපි එහෙනම් ගිහින් එන්නද භූප?" මම අහුවේ ඔහුගේ හිස අතගාන ගමන්.
"හ්ම්" ඔහු හෙමින් හිස වැනුවා.
"මම හෙට උදේම එන්නම් ඔයාව බලන්න"
"ඔයා මෙච්චර කරදර වෙන්න ඕන නෑ දුලාරා. මට අමාරුවක් නෑ" භූප කිව්වා.
"මම කිව්වනේ ඔයා ඒවා ගැන හිතන්න ඕන නෑ කියලා"
"චේතියලගේ ගෙදරිඅන් එන්නේ කවද්ද?" ඊලඟට ඔහු ඇහුවේ එහෙම.
මම අහකබලාගත්තා ඒ පාර.
"මට මතක නෑ භූප" මම බොරුවක් කිව්වා.
"දුලාරා...මම නිසා තවත් ප්‍රශ්ණ ඇතිකරගන්න එපා"
භූප එහෙම කිව්වම මම ආයෙම ඔහු දිහා බැලුවේ මේක කොහොම ඔහුට තේරුම් කරන්නද කියලා.
"භූප...අහන්න. ඔයා ඕවා ගැන නොහිතා සනීප වෙන්නකෝ. මට ප්‍රශ්ණයක් වෙන්නේ නෑ. මම කිව්වනේ ඔයාට. ඒ සේරම මම බලාගන්නම් කියලා. මම හෙට එන්නම්. පරෙස්සමින් ඉන්න"
මම එහෙම කියලා ඔහුගේ හිස අතගාලා එතනින් එන්න ආවේ ආයෙම ඔහු මුකුත් කියන්න කලින්.මම වාට්ටුවේ දොර ලඟදි ආපහු හැරිලා බලද්දි මම දැක්කා භූප තවමත් මා දිහා බලාගෙන උන්නු වග. හිතට පිවිසුණේ බරක්. ජීවිතේ අපි නොහිතන දේවල් එක එක වෙලාවට ගෙනැත් අපි ඉස්සරහ අතාරින හැති පුදුමයි කියලා මට හිතුණා. අනාගතේ ගැන අනියත බයක් හිතට පිවිසුණේ ඒ එක්කමයි. ඒත් ඒ ගැන මෙවෙලේ කරන්න පුලුවන් කිසි දෙයක් තිබුණේ නෑ.

No comments:

Post a Comment