Wednesday, July 9, 2014

හැත්තෑතුන්වන කොටස



වාහනේ කොහොම, කොච්චර වෙලාවකින් අනුක් කියපු තැනට ගියාද මට දැනුනේ නෑ. මම උන්නේ වෙනමම ලෝකෙක වගේ. භූපට වෙලා තියෙන දේ ගැන ඇරෙන්න වෙන කිසිදෙයක් ගැන එවෙලේ මට කල්පනා වුණේ නෑ. අනුක් මා දිහා විටින් විට බල බල ආවා මිසක් මොනවත්ම මගෙන් ඇහුවෙත් නෑ; අන්තිමේදි ඔහු වාහනේ නවත්තලා මට කතා කරනකල්ම.
"දුලාරා...එන්න"
මම ඒ කලුවර, සීතල එලිමහනට බහිද්දි ඉස්සරහින් තිබුණේ මීදුමේ ගිලුණ කොලපාට වගේ පොඩි බංගලාවක සිරි ගත්තු නවාතැන්පොලක්. මම ටිකක් පියවි සිහියට ආවේ එවෙලේ. මම අනුක් දිහා බැලුවා. මට මතක් වුණේ ගෙදර. අම්මලා මේ වෙන දේවල් දන්නවා නම් මොනා කරයිද කියලා මට හිතාගන්න බැරි වුණා. ඒ එක්කම හිතේ ඉපදුනේ වරදකාරී හැඟීමක්.
"යං" අනුක් කිව්වා මා දිහා බලලා ආයෙම.
මම මුකුත් නොකියා ඉස්සර වුණා. ඒත් හිත තිබ්බේ ගැහෙමින්. අපි ගියපු ඒ හෝටලේ ලස්සන පුංචි ඉංග්‍රීසි ගෙයක් වගෙයි ඇතුලට ගියාම මට පෙනුනේ. බඩු භාණ්ඩ සැරසිලි සේරම කරලා තිබුනේ ඒ විදියට.අපි ඇතුලට යන වෙලේ කවුරුවත්ම උන්නේ නෑ reception එකේ, ඒත් රේඩියෝ එකක් දාලා තිබුණා සද්දෙට. කවුරුවත්ම නොහිටපු නිසාද මන්දා ඇතුලේ තිබුණේ මොකදෝ පාලුවක් කියලා මට හිතුණා.
"කවුරුත් නෑනේද? මම ඇහුවේ කවුරුමහරි ඉඳීවිද කියලා වටපිට බලමින්.
"ඔයා ඔහොම වාඩි වෙලා ඉන්නකෝ. මම පොඩ්ඩක් බලන්නම්" අනුක් මාව ලොබි එකේ වාඩි කරවලා ඇතුලට ගියා.
මම පුටුවට හේත්තු වුණේ මට ලොකු මහන්සියකුත්, කෙඩෙත්තු ගතියකුත් දැනුන නිසා.  හිතට ආයෙම ආවේ භූප. හැමදේම සිද්ධ වෙලා තියෙන්නේ මොන තරම් නරක විදිහටද කියලා මතක් වෙද්දි මට හිතුණා අපි දෙන්නා පෙම්වතුන් නූනා නම් මේ කිසි දෙයක් වෙන්නේ නෑ නේද කියලා. භූපගේ ජීවිතේ වෙනස් වුණේ, විනාස වුණේ මම හන්දා කියන එක හිතින් අතෑරගන්න මට පුලුවන් වුණේ නෑ. ඒ හැමදේටම වඩා, තවමත් මං ගැන ඒ හිතේ තියෙන ආදරේ ගැන හිතද්දි මගේ හිතේ ඔහු ගැන තිබුණ ආදරේ දස දහස් ගුණයකින් වැඩි වෙලා මට දැනුනා.
"සිතුම් පොබ කල සමන් මල් යායේ...දුහුල් සලු තිර මුවා කල යාමේ..."
මගේ කල්පනා දැහැන බිඳුනේ ඒ ගීතය රේඩියෝ එකේ වාදනය වෙනවා ඇහුණම. හිතේ දුක වැඩි වුණා විතරයි ඒත්. ඒ ගීතය මම, භූප, කේතකී, අපේ පොඩි අයියා, මේ අපි හැමෝම ගොඩක් ආස කරපු එකක්. ඉස්සර ඒ ගීතය බැරි වෙලාවත් රේඩියෝ ඒකේ වාදනය වුණොත් මමයි අයියයි එතනින් නොහෙල්වී ඒක අහගෙන ඉන්නවා මට මතක් වුණා. මොකක්දෝ හේතුවකට අපි ඒ ගීතයට හරි ආස කලා කියලා මට මතක තිබුණා. ඒක, අද, මේ වගේ වෙලාවකම ආයෙම මට අහන්න වුණ හැටි?
"බොලඳ මගේ හිත ඔබ හැර ගිය දවසේ...සලෙල සිතක් ලඟ තනි වූයෙමි අඳුරේ...ඔබ සිහි වී මා හැඬූ තරම්...කුමරුන් නෑ දන්නේ..."
චරිතා ප්‍රියදර්ශණී මහත්මියගේ ගීතවත් හඬ හිත පසාරු කරගෙන යනවා වගෙයි මට දැනුනේ. ඒක හරියට මටම කියපු ගීතයක් වගේ කියලා මට හිතුණා. මට ආයෙම මතක් වුණේ ඉස්සර භූප, අපේ අයියා, මම, කේතකී කෙලිදෙලෙන් උන්නු හැටි. අපි සීරු මාරුවට මොක හරි සෙල්ලමක් කරමින් ඉද්දි, එතනට ඇවිල්ලා පිස්සෝ දෙන්නෙක් වගේ සේරම කඩාකප්පල් කරපු අයියගෙයි, භූපගෙයි මැරකම් සිහි වෙද්දි තවත් දුක හිතුණේ ඒ කාල අපි කොයි තරම් නම් සැහැල්ලුවෙන් සතුටින් උන්නද කියලා හිතද්දි. ඒ දවස්වල ලයාන්විත තාලෙන් වයලීන් වාදනය කරන භූප, සමාධියෙන් වැහුණ ඒ දිගටි ඇස්, කලාතුරකින් හිනාවකින් එලිය වෙන ඒ වත මට මැවිලා පෙනුනා. ඒ දවස්වල කවුරු නම් හිතුවද ඒ එදා උන්නු අහිංසක කොල්ලට අද මෙහෙව් දෙයක් වේවි කියලා. මට හිතාගන්න බැරි වුණා භූපගේ මේ තත්වේ ඔහුගේ ගෙදර අය දන්නවා නම් මොනවා වෙයිද කියලා. මට මේ තරම් උහුලගන්න බැරි නම් භූපගේ අම්මා පපුව පැලිලා මැරෙයි නේද කියලා මට හිතුණා. ඒ හැමදේකටම වග කියන්න තරම් මම පව්කාරියක් වුණ හැටි? අඬන්න ඕන වුණත් තවත් ඇස් වල කඳුලු තිබ්බේ නැහැ. හිතේ හිරවුණ දුක හන්දා මට ඉවසන්න බැරි තරම් අමාරු හිසේ කැක්කුමක් හැදිලා තිබුණේ මේ වෙද්දිත්. මේ සේරම සිතුවිලි ඒ ගතිය වැඩි කලා විතරයි.
"අහිමි ආදරේ කඳුලින් මියෙන පැයේ...පෙරදා හැඬුවා මල් මුවරද පවනේ...නිදි දැහැනින් මා හැඬූ තරම් කුමරිය නෑ දන්නේ..."
ප්‍රියනාත් රත්නායක මහත්තයගේ ලයාන්විත හඬ ඇහෙද්දි මගේ අවධානය ආයෙම යොමු වුණේ ගීතයට. 'අහිමි ආදරේ'.... ඇත්තටම භූපටයි මටයි අන්තිමට ඉතිරිවෙලා තියෙන්නේ අහිමි ආදරයක් විතරමද? මට හිතාගන්න බැරි වුණා. භූපව දැකලා කතා කරලා යන්න හිත හදාගෙන ආවත්, මම ඉස්සරහට කරන්න ඕන මොකක්ද කියලා දැන් නම් මට හිතාගන්න බැරි වුණා. මුලු මනසම තිබුණේ පැටලුණ නූල් බෝලයක් වගේ අවුල් වෙලා. අනුක්වත් මේ පටලැවිල්ලට එකතු කරගන්න වුණ එකත් හිතට බරක් වගෙයි මට දැනුනේ.
ඇතුලට ගිය අනුක් ආපහු ලොබි එකට ආවේ මෙවෙලෙම වගේ. ඔහු එක්ක උන්නේ full suit එකකින් ඇරසුණ හෝටලේ Manager කියලා හිතන්න පුලුවන් කෙනෙක්. අනුක් මට එහෙමම ඉන්න කියලා සංඥා කරලා ඔහු එක්ක reception එකට ගියා.
"දුලාරා...එන්න යමු" අනුක් ලඟට ඇවිත් කතා කරනකල්ම මම උන්නේ කල්පනාවේ ගැලිලා.
මම සුසුමක් හෙලලා නැගිටලා රූකඩයක් වගේ අනුක්ගේ පස්සෙන් ගියේ මොනවත්ම නොහිතා ඉන්න උත්සාහ කරමින්. අපට ඉස්සරහින් ගියේ හෝටලේ පෝටර්වරයෙක්. ඔහු අපට කාමරේ පෙන්නලා යන්න ගියාම අනුක් එක්ක මම කාමරේ දොර ලඟ තනි වුණා. අනුක් දොර ඇරලා මට යන්න ඉඩ දුන්නා.
මම උන්නේ පුදුමාකාර නුහුරු බවකින්, පාලුවකින්, ඒ වගේම මොකක්දෝ අහේතුක බයකින් පෙලෙමින්. ඒ අද වෙනකල් ජීවිතේ කිසිමදාක මේ වගේ දෙයක් කරන්න තියා හිතලවත් නැති නිසා වෙන්න ඇති.
කාමරේ තිබුණේ එකට ලං කරපු ඇඳවල් දෙකකුයි, ලොකු කණ්ණාඩි මේසෙකුයි, ඇඳ ඉස්සරහ මේසයක් මත තියපු පොඩි TV එකකුයි විතරයි. මම නයනා දුන්නු ඇඳුම අත් දෙකින්ම තුරුලු කරගෙන මම කාමරේ මැද හිටගෙන උන්නේ විපිලිසරව.
"උණු වතුර තියෙනවා. ලයිට් එක ඇඳ ලඟ තියෙන මේ ස්විච් එකෙන් දාන්න ඕෆ් කරන්න පුලුවන්. ඔයා එහෙනම් වොෂ් එකක් දාගෙන නිදාගන්න බලන්න දුලාරා"
හැමදේම හරිද කියල බලන්න වගේ කාමරේ පුරා පිරික්සමින් ඇවිදපු අනුක් අන්තිමේදි මගේ ලඟට ඇවිත් කිව්වා. මම ඔහු දිහා බැලුවේ පුදුමෙන්.
"එතකොට ඔයා?"
"ම්ම්...මම....කාර් එකේ නිදියන්නම්" අනුක් කිව්වේ මා දිහා නොබලා.
"කාර් එකේ? මේ සීතලේ? ඇයි ඒ?"
අනුක් ඒ පාර මා දිහා බැලුවේ යන්තමින් වගේ ඇස් යටින්.
"මට මේ කාමරේ ඉන්න බෑනෙ"
"ඉතිං ඇයි අපි තව කාමරයක් නොගන්නේ?" මම ඇහුවා.
අනුක් සුසුමක් හෙලුවා.
"ඇත්තම කිව්වොත් ඒකට මගේ ගාව සල්ලි නෑ දුලාරා...අපි හෙට නුවර යන්නත් ඕන නේ" ඔහු කිව්වම මට ඔහු ගැණ දැනුනේ ලොකු දුකක්.
"අනේ අනුක්.." මට කියවුණා.
"ඒක එච්චර හිතන්න එපා. මට කාර් එකේ ඉතහැකි. ඔයා වොෂ් එකක් දාලා නිදාගන්නකෝ දැන් හොඳ ලමයා වගේ" අනුක් කිව්වා.
මම ඔහු දිහාම බලාගෙන උන්නේ සංතාපෙන්.
"හරිද?" ඔහු ඇහුවේ මගේ මූණට එබිලා.
මම මුකුත්ම නොකියා ඔහු ලඟට ගිහින් ඔහුගේ අතකින් අල්ලගත්තම අනුක් මා දිහා බැලුවේ පුදුමෙන්.
"යන්න එපා" මම කිව්වේ හෙමින්.
අනුක් මගේ අත අතනෑරම මා දිහා බලාගෙන උන්නා මොහොතක්.
"ඉන්න බෑනේ දුලාරා. ඒක හරි නෑනෙ" ඔහු කිව්වා.
"මා එක්ක මෙච්චර දුර එන්න පුලුවන් නම්, හැමදේකදිම මා එක්ක ඉන්න පුලුවන් නම් ඇති ඉන්න බැරි? අපි වැරදි දෙයක් කරන්නේ නෑනෙ. අනික මට කොහොමටවත් බෑ ඔයාට කාර් එකේ නිදාගන්න යන්න දෙන්න බෑ. එහෙමනම් මාවත් එක්ක යන්න. මට මෙතන තනියෙම ඉන්න ඕන නෑ" මම කිව්වේ හිතුවක්කාර විදියට.
"හිතුවක්කාර වෙන්න එපා දුලාරා" අනුක් කිව්වේ ඔහුගේ අත මුදාගන්න ගමන්.
"මට ඉන්න බෑ තනියෙම" මම එකහෙලම කියා හිටියා.
"දුලාරා... විකාර නොකියා මෙන්න මෙහෙම ඉන්න"
"විකාර කියන්නේ ඔයා. අහන්න...අපි නුවර ඉද්දි එක කාමරේ කොයි තරම් දවස්, කොයි තරම් වෙලා කතා කර කර ඉඳලා තියෙනවද? ඉතිං ඒ දවස් වලයි අදයි තියෙන වෙනස මොකක්ද?" මම ඇහුවා.
"ඒක දන්නේ අපි දෙන්නා නේ දුලාරා. හිතන්න බැරි වෙලාවත් ඔයාලගේ ගෙදරට මේ වගක් ආරංචි වුණොත් මොනා වෙයිද කියලා. හොඳ නැත්තේ ඔයාටමයි"
"දැන් ඒවා හිතන්න වෙලාවක් නෙවෙයි අනුක්. දැන් ඔය දෙවල් නෙවෙයි practical දෙයක් ගැනයි හිතන්න ඕන. අපි දෙන්නටම දැන් මහන්සියි, නිදි මතයි. එහෙම තියෙද්දි ඔයාට සීතලේ කාර් එකක නිදියන්න දෙන්න බෑ" මම කිව්වා.
"ඒත්..."
"ඔයා හිතන්නේ විශ්වාසය ගැන නම්, මට මේ ලෝකේ වෙන කාටත් වඩා ඔයාව විශ්වාසයි අනුක්. සත්තයි...මටත් වඩා මට ඔයාව විශ්වාසයි. හැමදාමත් ඔයා හැදුවේ මට හොඳක් කරන්න මිසක්කා, කොයිම වෙලාවකවත් මට නරකක් වෙන දෙයක් ඔයා කරලා නෑ. අද වුණත් ඔයා මේ කරදරෙන් ඉන්නේ මම හන්දා. හරියට නිදාගන්නවත් නැතුව තවත් ඔයාට කරදර වෙන්න දෙන්නේ කොහොමද මම? යන්න එපා අනුක්...ප්ලීස්" මම ආයාචනා කලා.
"ඒ ගැන හිතන්න එපා. එක රැයක් කාර් එකේ නිදාගන්න මට අවුලක් නෑ" අනුක් කිව්වා.
"ඒ වුණාට එහෙම බෑ" මම කිව්වේ ඔහුගේ මූණට එබිලා. මා දිහා බලාගෙන උන්නු ඒ ඇස්වල තිබුණ හැඟීම කියවන්න මට පුලුවන් වුණේ නෑ. "මගේ හිත හරි කලබලයි අනුක්. එහෙම තියෙද්දි මට මේ පාලු කාමරේට වෙලා තට්ට තනියෙම ඉන්නත් බෑ. ඔයා කාර් එකට යනවා නම් මාත් එනවා. එච්චරයි..." මම කිව්වා.
අනුක් සුසුමක් හෙලුවා. "අනේ මන්දා දුලාරා..."
"යන්න එපා ප්ලීස්" මම ආයෙම ආයාචනා කලා.
ඔහු ආයෙම සුසුමක් හෙලලා කරන්නේ මොනාද කියලා වගේ කල්පනා කරමින් ඉද්දි මම උන්නේ ඔහු දිහාම බලාගෙන.
"අනේ මන්දා..." අන්තීමදි ඔහු කිව්වේ ලොකුම සුසුමක් හෙලලා.
"ඒ කිව්වේ ඉන්නවද?" මම ඇහුවා.
ඔහු මා දිහා එක පාරක් බලලා හෙමින් ගිහින් ඇඳෙන් වාඩි වුණා. මට යන්තම් හිනාවක් නැගුණේ එවෙලේ.
"යන්න වොෂ් එකක් දාලා ඇවිත් නිදාගන්න" අනුක් මට කිව්වා.
මම නාන කාමරේට ගිහින් යන්තම් ඇඟපත හෝදගෙන, නයනා දුන්නු ඇඳුමත් ඇඳගෙන එද්දිත් අනුක් උන්නේ ඉස්සෙල්ලා උන්නු ඉරියව්වෙන්ම ඉඳගෙන ලොකු කල්පනාවක. මම අතේ තිබුණ තුවාය පැත්තකින් තියලා ගිහින් ඔහු අසලින්ම වාඩි වුණා.
"මොනාද කල්පනා කරන්නේ?" මම ඇහුවා හෙමින්.
"වෙච්ච දේවල් තමයි" අනුක් කිව්වේ මා දිහා නොබලා.
ඔහුගේ ස්වරයේ තිබ්බේ කෝපයක්ද, කලකිරීමක්ද කියලා මට තේරුණේ නෑ.
"ඔයා ඉන්නේ මා එක්ක තරහින්ද තාමත්?" මම ඇහුවේ ඒකයි.
ඒ පාර ඔහු යන්තම් හිස හරවලා මා දිහා බැලුවා.
"තරහාවෙලා යන්න පුලුවන් නම් මම ගිහින් ගොඩක් වෙලා. එහෙම ක්රන්න බැරි එකයි තියෙන ප්‍රශ්ණේ" ඔහු කිව්වා.
"මං එක්ක තරහා වුණත් මම ඔයා ගැන අහිතක් හිතන්නේ නෑ. ඔයා තරහා ගන්න එක සාධාරණයි. ඔයා පැටලිලා ඉන්නේ ඔයාට කොහෙත්ම අදාල නැති ප්‍රශ්ණෙක. ඒත් ඇත්තටම අනුක්, ඔයා අද නොහිටින්න මම මොනා කරයිද කියලා මමවත් දන්නේ නෑ. හිතේ වේගෙට එන්න ආවට, මෙහෙම දෙයක් වේවි කියලා මම කොහොමවත්ම බලාපොරොත්තු වුණේ. මම හිතුවා භූප හම්බවෙලා හවස් වෙද්දි යන්නත් පුලුවන් වෙයි කියලා ඇත්තමයි" මම හෙමින් කියෝගෙන ගියා.
"අපි හිතන දේවල් එහෙමම වෙනවා නම් මොනා කරන්න බැරිද?" අනුක් කිව්වා.
"ඔයා වොෂ් එකක් දාගන්නේ නැද්ද?" මම ඇහුවේ තවත් ඒ කතාව දිගට ගෙනියන්න මට ඕන වුණේ නැති හන්දා.
"ම්ම්...දාගන්න ඕන. ඔයා නිදාගන්න බලන්නකෝ. හෙටත් කරන්න වැඩ තියෙනවනේ" එහෙම කියලා අනුක් නැගිට්ටා එතනින්.
ඔහු නාන කාමරේට යන්න ගියාම මම ඉඳගෙන උන්නු ඇඳටම නැගලා ගුලි වුණේ හිස කැක්කුම ඇස් පවා රිදෙන තරමට වැඩි වුණ හන්දා. එක දෙයක් ගැනම නොහිතා සිතුවිලි වලට ඔහේ පාවෙන්න ඉඩ හැරියම පොඩ්ඩක් විතර ඒ අමාරුව අඩු වෙනවා මට දැනුනා. මම උත්සාහ කලා නිදාගන්න.  ඒත්  අනුක් එනකලුත් මට නින්ද ගිහින් තිබුණේ නෑ, හිසේ කැක්කුම වැඩි හන්දම.
ඇඳගෙන ආපුවම ආයෙමත් ඇඳගෙන උන්නු ඇනුක් දැක්කම දුක හිතුණා. ඔහු මා දිහා බැලුවෙත් එවෙලෙම.
"නින්ද යන්නේ නැද්ද?" අනුක් ඇහුවා.
"ඉන්න බෑ ඔලුව රිදෙනවා අනුක්" මම කිව්වා.
"ම්ම්...ඇස් දෙකත් රතු වෙලා. ඔලුව නොරිදුනොත් තමයි පුදුමේ අද වුණ දේවල් වල හැටියට. මම බලලා එන්නද පැනඩෝල් තියේද කියලා මෙහේ?"
"එපා ඕන නෑ. නින්ද ගියාම හරියයි. ඔයාත් නිදාගන්න" මම කිව්වේ නලල පිරිමදින ගමන්.
ඊලඟට අනුක්  එහා පැත්තේ ඇඳට නගිනවා මට ඇහුණා. මම ඇස් පියාගෙන අමාරුව විඳදරාගෙන නිදියන්න අසාර්ථක උත්සාහයක යෙදෙද්දි ඔහුගේ සීතල අතක පහස මගේ නලලත දැනුනෙත් එකටම වගේ. මගේ ඇස් ඇරුණේ ඉබේටම.
"ඔයා නිදාගන්න. පොඩ්ඩක් මෙහෙම ඔලුව අතගාද්දි ඕක අඩු වෙයි" ඇඳ විට්ටමට කොට්ටයක් තියාගෙ හේත්තු වෙලා උන්නු ඔහු කිව්වේ දයාබර හඬින්.
ඔහු එහෙම කියලා හෙමි හෙමින් මගේ හිස පිරිමදිද්දි මට මතක් වුණේ අපේ තාත්තව. ඉස්සර ගෙදරදි උණ අරගෙන හරි, වෙන අසනීපයක් නිසා හරි අපි ඇඳට වුණ වෙලාවලට නින්ද යනකල් හිස අතගගා උන්නේ අපේ තාත්තා. ලෙඩක් වුණාම කොහොමටත් අම්මටත් වඩා අපි ගැන වදවුණේ අපේ තාත්තා තමයි. වෙන කිසිමදාක, කිසි කෙනෙක්ගේ සෙනෙහස ලඟදි මට අපේ තාත්තාගේ සෙනෙහස මතක් වෙලා නැහැ. ඒත් පුදුමෙකට අනුක් මට ඒ සෙනෙහස සිහි කලරා දුන්නේ කොහේදෝ තිබුණ කඳුලු කැට කිහිපයක් ආයෙම ඇස් වලට එකතු කරමින්මයි. මම නලල පිරිමදින මුවාවෙන් කඳුලු පිහ ගත්තා අනුක්ට නොපෙනෙන්න.
"ඔලුව රිදෙන්නේ stress එකට වෙන්න ඇති. දේවල් ඕනවට වඩා හිතන්න එපා. අපි හෙට බලමුකෝ මොකද කරන්නේ කියලා" අනුක් කිව්ව්වේ දිගටම මගේ හිස අතගාන ගමන්.
"ඔයා හෙටත් lectures කට් කරගන්නද යන්නේ?" මම ඔහු දිහා බැලුවා.
"හෙට යන්නේ කොහොමද? දැන් මේ ආපු වැඩේ ඉවරයක් කරගන්න එපැයි" අනුක් කිව්වාම මට දැනුනේ වරදකාරී හැඟීමක්.
"අනේ මන්දා අනුක්, මම නිසා ඔයාට හරි කරදරයි" මම කිව්වේ ඇත්තටම.
"ඒක එහෙම වුනත් කරන්න දෙයක් නෑ. මට ඔයාව මෙතන තනියෙම දාලා යන්න බෑනේ. කොහොමත් මම දැක්ක දේවල් අනුව එහෙම කරන්න බෑ" අනුක් කිව්වා.
මම සුසුමක් හෙලුවා.
"මං දන්නෑ අනුක් මේ වෙන්නේ මොනාද කියලා. හිතාගන්න බෑ මොනා කරන්නද කියලත්"
"ඒක අපි හෙට බලමු. දැන් නිදාගන්න" අනුක් කිව්වා.
ඔහු උන්නේ මහන්සියෙන් වග මට තේරුණා. ඒත් ඒ හිත ඇතුලේ ඔහුට වද දෙන සිතිවිලි මම දැනගෙන උන්නේ නෑ. තවත් ඔහුට වද නොදී මම නිදාගන්න උත්සාහ කලා ඒ, ඇඟිලි තුඩු හෙමින් මගේ හිස මත දිවෙද්දි. අනුක් ගැන මගේ හිතේ තිබ්බේ වචනෙන් විස්තර කරන්න බැරි හැඟීමක්. ඒක ආදරයක්ද, සෙනෙහසක් විතරද නැත්තම් මොකක්ද කියන්න මම දන්නේ නෑ. ඒත් ඒක කඩන්න බැරි බැඳීමක් වග විතරක් මට තේරුණා.
මට නින්ද ගියේ කොයි වෙලේද කියලා මට මතකයක් තිබුණේ නෑ. ඒත් හිටි ගමන්ම මට ඇහැරුණාම, ලයිට් එක තිබුණෙත් දාලා. මේ ඉන්නේ කොහේද කියලා මට එක පාරටම මතක් වුණෙත් නැති තරමයි. අනුක්ගේ අත මගේ හිස මත බරට දැණුනා මට. මම හිස හරවලා බලද්දි, ඇඳ විට්ටමට හේත්තු වෙලා උන්නු අනුක්ට එහෙමම නින්ද ගිහින්. ඒ වත දැක්කම හිතේ ඇතිවුණේ පසුතැවිල්ලක් එක්කම දුකක්. ඇයි මම මේ ප්‍රශ්ණෙට ඔහුව මැදි කරගත්තේ කියලා. මම ඔහුගේ අත හෙමින් හිසෙන් අයින් කරලා, නැගිටලා ගිහින් ඔහුවේ නො ඇහැරෙන විදියට ඇඳේ දිගා කරන්න උත්සාහ කලා. ඔහු පොඩ්ඩක් විතර එහාට මෙහාට හැරුණත්, ඇහැරුණේ නෑ. ඔහුගේ හිස උස්සලා කොට්ටෙන් තියන වෙලාවේ මට දැනුනා ඔහුගේ හුරු සුවඳ. මට දැනිලා තිබුණත්, මම මතක තියාගෙන නොතිබුණු ඒ සුවඳ. ආයෙම හිතේ මතු වුණේ ඔහු ගැන තිබ්බ සෙනෙහස. ඔහු මං වෙනුවෙන් ගොඩක් දේවල් කරලා තිබුණා. ගොඩක් දේවල් කැප කරලා තිබුණා. මම කවදාවත් බලාපොරොත්තු නොවුණත්, මගෙන් කිසිම දෙයක් ඔහුට නොලැබුණත් ඔහු ඒ දේවල් කලේ ඇයි කියලා මම දැනගෙන හිටියා. නොදැන හිටිය එකම දේ මේ බැඳීමට මම කරන්න ඕන මොකක්ද කියන එකයි. අනුක්ට දුකක් දෙන්න මට ඕන වුණේ නෑ. ඒත් මම කොහොමද ඔහුට ඕන දේ දෙන්නේ, මම මගේවත් නොවෙන කොට?

1 comment: