ඉස්කෝලේ
නොගියා වුණත්, ගෙදර වැඩයි
තාත්තට උදව් කරන ඒවයි ගත්තාම, උදේ ඉඳන් හවස්
වෙනකල්ම කරන්න වැඩ ගොඩක් මට තිබුණා. කැම්පස් ගියාට පස්සේ කුස්සියක් දකින්න වත්
හම්බ නොවෙයි කියලා හිතාගෙන වගේ අපේ අම්මා, මාව නොවරදවාම උයන්නත් සම්බන්ධ කර ගත්තා.
අම්මා කිව්වේ ගෙදර ඉන්න කාලේ උයන පිහ න දේවල් ඉගෙන ගන්න ඕන කියලයි. හැබැයීතිං ඒක ඒ
තරම්ම නරක දෙක් වුණෙත් නෑ. එක එක විදිහට කෑම උයන එකත් වෙලාවකට හරි හොඳ විනෝදාංශයක්
කියලත් මට වෙලාවකට හිතුණා.
"දෝනී...මෙන්නෙ
මේ පත්තරේ දාලා තියෙනවා, application පිට කරලා කියලා..."
මම කුස්සියට
වෙලා පොල් සම්බෝලයක් අනමින් ඉන්න වෙලේ ඉස්තෝප්පුවේ ඉඳලා කතා කරපු තාත්තා කිව්වා.
ඒක ඇහිලා කලබල
වුණ මම සම්බෝලය පැත්තක තියලා ඉස්තෝප්පුවට දිව්වා.
"මොකක්ද තාත්තේ?
කොහෙද තියෙනවා කියන්නේ?"
"මේ දාලා
තියෙන්නේ, application තියෙන කඩ.
ආ...ඔව් මේ තියෙන්නේ. සමනල පොත් හල. මේ කියන්නේ අර බස් ස්ටෑන්ඩ් එක පිටිපස්සේ
තියෙන ලොකු පොත් සාප්පුව නේද?"
තාත්තා පත්තරේ
තිබුණ ලිස්ත් එක පරීක්ෂා කරන ගමන් කිව්වා.
"ඔව්
ඔව්."
"මේ...මම දැන්
ටවුමට යනවා. මං අරන් එන්නම්" මේ අතරේ ඉස්තෝප්පුවට වෙලා අපේ කතාව අහගෙන උන්නු
පොඩි අයියා කිව්වා.
ආයෙම උද්‍යෝගයකින්
පිරෙන්න පටන් ගෙන තිබුණා. විශ්ව විද්‍යාලෙට යන දවස එන්න එන්නම ලං වෙන්න පටන්
අරනුයි තිබුණේ.
"මේ මේ...ඕක
වරද්දන්නේ නැතිව පුරවන්න. නැත්තම් ආයෙම මට ටවුමට පදින්න වෙනවා"
සරසවි අයදුම්
පත පුරවන්න පෑනක් අතට අරගෙන කල්පනා කරමින් උන්නු මගෙ ලඟට ආපු පොඩි අයියා කිව්වා.
"හරි හරි. ඔයා
ඉන්නකෝ. මම ඒක කරන්නම්"
"බ්ලොක්
කැපිටල්...හරියට බලලා ලියනවා මෝඩි……… එක්කෝ දෙනවා මම පුරවන්න"
මම ඒක පුරවන
කල් බලාගෙන ඉන්න ඉවසිල්ලක් නොවූ තැන අයියා ඒක අරගෙන පුරවන්න පටන් ගත්තා. අයියගේ අකුරු ගැහැණු ළමයෙකුගේ වගේ බෝල, පිලිවෙල ඒවා හන්දා
මමත් කරබාගෙන එයාටම ඒක පුරවන්න දීල්ල හිටියා.
"මේ ඒක නෙවෙයි,
දැන් ඔයා ගියාම මට තමා
පාඩු. හදිසියකට ටොක්කක් වත් අනින්න කෙනෙක් නැති වෙනවනේ" අයදුම්පත පුරවන
අතරතුර අයියා මට කිව්වා.
"අනේ ඔව්.
මෙයාගේ ටොකු කාලම දැන මගේ ඔලුවේ permanent ගැටයක් ඇවිත් තියෙන්නේ" මම කිව්වේ නෝක්කාඩුවෙන්.
"අතගලා බලන්න
අං ද දන්නෑනෙ"
"ඉස්සෙල්ල
ඔයාගේ බලමු. මගේ එනවා නම් ඔයාගෙත් එන්න එපැයි"
"හා...හා...කයිවාරුව
නවත්තලා අයි ඩී නම්බර් එක කියනවා"
කොහොමහරි
අන්තිමේදි පොඩි අයියා එයාගේ මුතු කැට වගේ අත් අකුරින් පිලිවෙලකට අයදුම්පත පුරවලා
තිබුණා. එයාටම කියලා ඒක තැපැල් කරාට පස්සේ මට තිබුණේ බලාපොරොත්තුවෙන් ඉන්න විතරයි.
"මම ආයෙම
ක්ලාස් යන්න පටන් ගත්තා"
එක හවසක අම්මා
එක්ක කේතකීලගේ නිවෙසට ගොස් උන් වෙලාවක කේතකී මට කිව්වා.
"ඇති
යාන්තම් මොලේ
පෑදුනා. මම හිතුවා මෙලහකට කොහේ හරි ජොබ් එකකට යන්න සෙට් වෙනවා වත්ද කියලා" මම
කිව්වාම කේතකී හිනා වුණා.
"අම්මලා කැමති
නෑ ඒකට. අයියත් කමති නෑ"
"ඒකනේ මම
කිව්වේ..." මම එහෙම කිව්වේ ගිටාර් එකක තත් ටික අදිනවා වගේ ආපු සද්දයක් හන්ද
වට පිටත් බලමිනුයි.
එදා
සෙනසුරාදාවක් වුණු හන්දා භූප ත් හිටියේ ගෙදර. ඔහු අපිත් එක්ක ආපු පොඩි අයියත් එක්ක
එකතු වෙලා ගිටාරයක තත් හද හද, කන් කාරවන
විදිහේ තේරුම නොමැති පද වාදනය කර කර ඉස්තෝප්පුවේ කෙලවරක ඉන්නවා වට පිට බලපු මට
පෙනුනා. අපි දෙන්නා හිටියේ ඊට මෙහායින් අම්මලා දීපු රටකජු වගයක් සුද්ද කර කර. ඒ
පන්සලේ දානෙකට අම්මලා හදන අලුවා වගේකට.
"අනේ
අයියා....ඕක නවත්තන්නකෝ. කනත් රිදෙනවා. මේ අය හරි එකක ගහන්නෙත් නෑ" බැරිම තැන
කේතකී කෑ ගැහුවා.
"ඈ....එම්බා
ලලනාවනි, අමිහිරිද මේ
වෙණ, ඇසුහුද මෙයිට
වැඩි වෙණ, නැතහොත් නැත
නුවණ, කියව නොසතුටු
වන්ට කාරණ...." එවෙලේ අපි උන්නු තැනට ආපු භූප එහෙම ඇහුවේ නාට්‍යාකාරයෙන් වගේ.
දණ්ඩක් වගේ උස,
කලු, කෙට්ටු සිරුරක් තිබ්බ
ඔහු, බාච්චුවක් වගේ
කොට කලිසමකින් විතරක් සැරසිලා අපි අසල හිටගෙන ඉද්දි, නිරුවත් උඩු කයත්, උරහිසට වැටුණ හිසකේයි, මූණ පුරා තිබුණ
රැවුලයි හන්දා මට පෙනුනේ ගෝත්‍රික සාමාජිකයෙක් වගේ. මම කට කොනකට සිනාවක් නගාගෙන
ඔහු කියපු කවියට ගැලපෙන අනික් කවිය කිව්වා.
"නෑ...නෑ...
ඇදුරු තුටු තොවෙතියි,නො සිතප සිප්
නොදනිතියි,උනුමු වෙණ
සදතියි,නොදත්තමු ගායනා
කරතියි..."
මම එහෙම
කිව්වම ගිටාර් එකෙන්ම මූණ වහගෙන භූප
පිටවෙලා යද්දි, මායි කේතකීයි
ඔහුට හූ කිව්වා.
"හරි හරි. අපි
ගහලා පෙන්නන්නම්කෝ" භූපව බේරගන්න වගේ පොඩි අයියා එහෙම කිව්වා.
"ගහයි පොලවේ
නම්" මම කිව්වා. ඒ පාර මම කියපු එක නෑහුණා වගේ ආයෙම මේ දෙන්නා මුණු මුණු ගගා
ගිටාර් එක ගහන්න පටන් ගත්තා.
රටකජු ඇට
කිහිපයක් අල්ලට අරගෙන එක එක කකා කල්පනාබරව වගේ අයියලා දිහා බලාගෙන උන්නු කේතකී මා
දිහාට හැරුණා.
"මම මේ බැලුවේ
දුලා, රැවුලයි,
කොණ්ඩෙයි වැව්වාම අපේ
අයියා කලින්ට වඩා හැඩයි නේද?"
"හ්ම්....නැතුවට
හොඳයි. ඔක්කොමත් හරි අර පිටිපස්සේ කුරුලු පෙඳක් වගේ බැඳගෙන ඉන්න කොණ්ඩේ තමා
වැඩේ" මම භූප දෙස නොබලම කිව්වා.
"අනේ...මම
කිව්වේ ඇත්තටම"
ඇය කිව්වේ
ඇත්තද බලන්න මම භූප දිහාට හැරෙද්දිම වගේ භූපත් එක පාරටම අපි දිහාට හැරුණා. ඔහුගේ
දෙනෙත් ඉස්සෙල්ලම නැවතුණේ මං අසල. නිදිබර පෙනුමක් තිබුණ ඒ ඇස් දෙක අසලදි දැනුන
මොකක්දෝ ගැස්මක් හන්දා මට ඉක්මණටම අහක බැලුණා. ආයෙම හොරෙන් වගෙ මම බලද්දි, භූප හිටියේ ආයෙමත් අපට පිටු පාලා.
ඒ මොහොත මට
ඉක්මනට අමතක වුණත්, ඒ ඇස් එක්ක දුර ගමන්ක්
යන්න තියෙන වග දැනිලදෝ නොසන්සුන් වුණු හිතේ ගැස්ම අඩු වෙන්න තව වෙලාවක් යන්න ඇති.
"ඔයා
ඇප්ලිකේෂන් දැම්මද දුලාරා"
හවස තේ බොන
අතරතුරේ අප අසල හිටපු භූප ඇහුවා.
"ම්ම්" මම
හිස වැනුවා.
"ඉස්සෙල්ලා
ඉල්ලුවේ?"
"පේරාදෙණිය"
මම කිව්වා.
"තේරුණොත්,
රැග් වෙනවද, අල වෙනවද?"
ඔහු ඇහුවේ හිනාවක්කුත්
එක්ක.
"රැග් වෙන්නෑ
මම නම්" මම කිව්වේ කට ඇද කරලා.
රැග් එක මොන
වගේද කියලා මටයි කේතකීටයි ඔහු ටික ටික කියලා තිබ්බ හන්දා මට නම් කොහෙත්ම රැග්
වෙන්න ඕන වුණේ නෑ.
"අපේ ජුන්නෝ
අන්න දත කට මැදගෙන ඉන්නවා නවකයෝ පිලිගන්න. රැග් වෙන්නත් ඕන. නැත්තම් වැඩක්
නෑ" භූප එහෙම කිව්වා.
"ඔයා රැග්
වෙද්දි ඔහොම කිව්වේ නෑනෙ" එහෙම කිව්වේ කේතකී.
"ඒක එතකොට
තේරෙන්නේ නෑ. දැනුයි තේරෙන්න. අනික කෙල්ලොන්ට ලොකු දෙයක් නෑ"
"ඔය රැග් එක මහ
පලක් නැති දෙයක්නේ බං" අපේ කතාවට ඇහුම්කන් දෙමින් හිටපු පොඩි අයියා කිව්වා.
"එහෙමමම කියන්න
බෑ බං. ඒකෙනුත් ගතයුත්තක් තියෙනවා. පදනමක් නැති දෙයක් නම් මෙච්චර කල් තියෙන්නේ
නෑනෙ"
"ඒක තියෙන්නේ
පලක් තියෙන නිසා නෙවෙයි, අනික් එවුන්ට
රිද්දලා සතුටු වෙන primitive ගතිගුණේ මිනිස්සු තුල තාම තියෙන හන්දයි"
"උඹගෙ බයෝලොජි
මම දන්නෑ. මට නම් රැග් එකෙ ලොකු අවුලක් නෑ"
"බලපං අඩු ගාණේ
උඹ රැග් කරන්න ගිහින් කෙල්ලෙක් වත් දාගත්තද. මම අහන්නේඅඩුම ගාණෙ ඒකවත් කරගෙන නෑනෙ
උඹ"
පොඩි අයියා
එහෙම කිව්වාම, කේතකියි මමයි
භූප දිහා බලලා හිනා වුණා.
"රැග් කරන්නේ
කෙල්ලෙක් දා ගන්න නෙවෙයි නේ. අනික උඹ දන්නවනේ ඔය සබ්ජෙක්ට් එක ගැන මගේ උනන්දුවක්
නෑ කීයලා"
"ඇත්තට ඇයි බං
උඹට ඔය තරම් කෙල්ලෝ ඇලජික්?"
"ඇලජික්
නෙවෙයි. ඕවා කරදර වැඩ නේ බං. එක්ක යන්න, එක්ක එන්න, හවසට හම්බෙන්න, මාසෙකට සැරයක් එන මොකක් හරි දිනේකට තෑගි
දෙන්න...හාපෝ, ඕන නෑ"
භූප එහෙම
කිව්වාම පොඩි අයියා හිස දෙපසට වන වන හිටියේ 'අනේ මූ නම්' කියන්නා වගේ.
"ඒක කොහොම
වුනත්, රැග් එක
මුලුමනින්ම නරක දෙයක් නෙවෙයි උඹ හිතනවා වගේ. අනික ඒක මේ කෙල්ලෝ දා ගන්න කරන දේකුත්
නෙවෙයි" භූප තමන්ගේ මතය ආපහු තහවුරු
කලේ එහෙම කියමින්.
"උඹ ඔය කොහොම
කිව්වත්..." පොඩි අයියත් අතාරින්න ලෑස්තිම නෑ.
සුසුමක් හෙලපු
කේතකි එතනින් නැගිට්ටේ මාවත් ඇදගෙනමයි.
"ආ...හරි. අද
රෑ වෙනකල් මේ විවාද තරඟේ තියෙයි. අපි යමු අනේ යන්න"
අපි දෙන්න
නැගිටලා ආපහු කුස්සිය දිහාවට එන්න ආවා. ඒ තරේ මගේ හිතේ වැඩ කලේ රැග් එක ගැන භූප
කියපු දේවල්. මට රැග් වෙන්න වුණොත් ඒකට කොහොම මූණ දෙන්නද කියලා මම දැනගෙන හිටියේ
නෑ. ඒ අතරේ අයියලා දෙන්නා තාමත් උන්නේ තර්ක කරමින්.
"අනේ උඹ දන්න
බම්බුව" කුස්සියට හැරෙද්දි, පොඩි අයියා එහෙම කියනවා මට යන්තමට ඇහුණා.
නියමයි සහෝදරි...ඒ සිද්ධි රූප රාමු සේ මැවෙනවා දෑස ඉදිරියේ.
ReplyDeleteඅක්ෂර වැරදිත් හදාගන්න බලන්න. එය තවත් ආලෝකයක් වේවි ඔබේ නිර්මාණ ගමනට.
ඔබගේ අදහස් වලට ගොඩක් ස්තුතියි සහෝදරයා...හිතනවා දිගටම පොත් ගුලට ඒවි කියලා, පොත් ගුල තව ලස්සන කරගන්න මේ වගේ අදහසුත් එක්කම...
Deleteපිටරට ඉන්න අපිට සිංහල නවකතාවක් කියවල දැනෙන වින්දනය දන්නේ එක විදින යම තමයි..... සුබ පතනවා දිගටම ලියන්න වෙලාවක් ලැබුනොත් මැලේසියාව පැත්තෙත් එන්න
ReplyDeletehttp://onemalaysiasinhala.blogspot.com/
සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි යාලු...පොත් ගුලට ඔබව සාදරෙන් පිළි ගන්නවා...බ්ලොග් එක පැත්තේ ඇවිත් ගියා.තව කියවන්න ආයෙම වෙලාවක එන්නම් ඉඩ ලැබුණු ගමන්ම
Deleteදිගටම ලියමු අක්කේ...වෙනදා වාගේම අපූරුයි..
ReplyDeleteඔයාටත් ස්තුතියි වර්ෂා නගේ...හැමදාම වගේ මගේ කතා එක්ක එකතු වෙලා ඉන්නවට... :)
Delete