සොනාලි මුව
අයාගෙන, වචනයක්වත්
නොකියා මදෙස බලාගෙන උන්නාය. ඇය එසේ හැසිරේවි යන වග මම දැන උන්නෙන් එය මා කලබල කලේ
නැත. තවත් සිටගෙන හිඳුනු නොහැකි වගක් හැඟී මම ගොස් මගේ යහන කෙලවර වාඩි වුණෙමි.
"මම දන්නෑ මොනා
කියන්නද කියලා පංචලී...මම කවදාවත් හිතුවේ නෑ වෙන්න ඇත්තේ එහෙම දෙයක් කියලා"
තවත් මද වේලාවකට පසු සොනාලි හඬ අවදි කරමින් කීවාය.
මට මදසිනාවක්
නැගිනි. ඒ සතුටකට නොව මේ මොහොතේ ඇති තත්වය නිසාය. ඇතැම්විට මටම උපහාසයටය.
"අපි අවුරුදු
තුනක් ආදරේ කරලයි බැන්දේ..." මම කතාව ඇරඹීමි.
සොනාලි උන්
තැනින් නැගිට මා අසලට විත් වාඩි වූයේ, මගේ හඬ හරියටම අසාගැනීමට වැන්න.
"මුලින්ම එයා
ඇවිත් අපේ ගෙදරින් කැමැත්ත ඇහුවා. ඒ වෙද්දි එයාට හරියටම ජොබ් එකක් තිබ්බෙත් නෑ.
තාත්තගෙ බිස්නස් එකේම පොඩි වැඩක් තමා කලේ. ඒ නිසා අපේගෙදරින් එහෙමට කැමති වුණෙත්
නෑ. අක්කා නම් කොහොමත් කැමති වුණේ නෑ. සමහරවිට සංකේත්ගේ ඇත්තම ගතිය එයාට ඉවෙන් වගේ
තේරුණාද මම දන්නෑ" මම හැල්මේ කියවීමි.
"ඊට පස්සේ?"
"ඊට පස්සේ අපි
බැන්දා, අවුරුදු එකහමාරකට
විතර කලින්. ප්‍රශ්ණ තිබුණා වුණත් මට සංකේත් නැතිව ඉන්න බැරි වුණා. මං එයාට ඒ තරම්
ආදරේ කලා සෝනු"
"අවුරුදු
එකහමාරක් කියන්නේ, හරි...පොඩි
කාලයක් නේ"
සොනාලි
විපිලිසරව මෙන් විමසුවාය.
"ඔව්...ඒත්
අවුරුදු පහක් විතර තේරුම් ගන්න බැරි වුණ මනුස්සයාගේ ඇත්ත ප්‍රතිරූපේ මම ඒ අවුරුද්ද
ඇතුලේදි දැක්කා" මම කීවේ සියල්ල යලි මතක් වී ඇදුම් කන සිතේ වේදනාව අමතක
කරන්නට යත්න දරමිනි.
"මොකද වුණේ?"
"බැන්දට පස්සේ
සංකේත් වෙනස් වුණා. ඉස්සර වගේ මට ආදරේ කලේ නෑ. එච්චරම හොයලා බැලුවෙත් නෑ. කොටින්ම
සෝනු මාස හයක්විතර යද්දි අපි වෙන වෙනම නිදා ගන්න තරමට දුරස් වෙලයි උන්නේ. සංකේත්ට
මාව එපා වෙලා ගිහින් තිබුණා. ඊට පස්සෙයි මම දැනගත්තේ එයා අපි බඳින්නත් ටික කාලෙකට
කලින් ඉඳන් වෙන ගෑනු කෙනෙක් එක්ක සම්බන්ධකමක් පවත්වනවා කියලා...මට ජීවිතේ එපා වුණා
සෝනු. මම එක පාරක් නිදි පෙති බීලා මැරෙන්නම හිතුවා. ඒත්, ඒකටත් මට හයියක් තිබුණේ නෑ. මම හිටියේ ඒ
තරම්ම මානසිකව වැටිලා. අක්කලා අම්මලා නොවෙන්න මම සමහරවිට අද නො ඉන්නත් ඉඩ
තිබුණා" එය පවසද්දී මගේ දෑස් වලට කඳුලු පිරූයේ නිතැතිනි.සංකේත් අපගේ ආදරය
පාවාදී තිබුණේය.
සොනාලි
හීල්ලුවාය. එහෙත් ඈ කිසිත් නොකීවාය. මා සනසන්නට හෝ උත්සාහ නොකලාය. එයට මා
ස්තුතිවන්ත වීමි. මට කිසිවෙකු අනුකම්පා කරන්නට ඇවැසි නොවිණි. එය මා තවත් දුර්වල
කලා මිස ජීවත් වන්නට දිරි ගන්නට මට ඉඩ
නොදුන්නේය.
"මගේ සංකේත් මට
නැති වුණා. එයා හරීම ඉක්මණට වෙනස් වුණා. එයාගේ ගෙදර අයත් හිටියේ එයාගේ පැත්තේ. මම
හුරතලේට හැදුනා මිසක කිසි වැඩක් දන්නෑ, මනුස්සයට සලකන්න දන්නෑ, වගේ කතා කිය කිය ඒ අයත් මාව තව තව තැලුවා.
මම දන්නෑ සෝනු එහෙම වුණේ කොහොමද කියලා. සංකේත් මට එහෙම කරාවි කියලා මං හීනෙකින්වත්
හිතලා තිබුණේ නෑ. මම එයාට මගේ පණටත් වඩා ආදරේ කලා සෝනු..." අන්තිමේදී මගේ
කඳුලු පිට පැන්නේය.
සොනාලි ඇඳ මත
තිබූ මගේ සීතල අත මිරිකාගත්තාය.
"එපා...තවත්
අඬන්න එපා..." ඈ සෙමෙන් කීවාය. මම කඳුලු පිසදා ගතිමි.
"බැඳලා මාස
අටකට පස්සේ මම ආයෙම ගෙදර ගියා සෝනු. මට තවත් සංකේත් එක්ක ඉන්න පුලුවන් වුණේ නෑ.
එයා මට කිව්වා, තවත් එයා මට
ආදරේ නෑ කියලා. මං කොච්චර ඇඬුවද? ඒත් එයාගේ හිත උණු වුණේ නෑ. එයා මට කිව්වා අපි
කැමැත්තෙන් වෙන් වෙමු කියලා. මගේ මුලු ලෝකෙම කඩා වැටුණා වගේ මට දැනුනේ. ඒත් මට ඇති
වෙලා තිබුණා සෝනු. දුක් විඳලා මට ඇති වෙලයි තිබුණේ. ඊට පස්සේ මම දික්කසාද වෙන්න
කැමති වුණා. ගෙදරිනුත් ඒකට ගොඩක් බල කලා මට. ජීවිතේ පටන් ගත්තා විතරයි, මම ඇදගෙන වැටුණා.මගේ
මුලු ආත්මෙම ඒකෙන් කැලැල් වුණා වගේ. මගේ විශ්වාසේ කොච්චර පලුදු වුණාද කිව්වොත්,
ආයෙම කිසිම පිරිමියෙක්
විශ්වාස කරන්න මට පුලුවන් වුණේ නෑ"
සොනාලි
සුසුමක් හෙලුවාය. ඈත් හඬනවාද කියා මට සැක සිතුණමුදු ඇගේ මුහුණ දෙස බලන්නට මට
නොහැකි විය.
"ඊට පස්සේ මොකද
වුණේ?" සොනාලි රහසින්
මෙන් ඇසුවාය.
"දික්කසාද නඩුව
අහන කාලේ තමයි මට මේක හම්බවුණේ. මේ මම විශ්ව විද්‍යාලෙන් අයින් වෙච්ච දවස් වලම
ඉල්ලපු එකක්. ඒ අතරතුරේ අවශ්‍ය අනික් විභාග හෙමත් කරලයි තිබුණේ. අපි දෙන්නම එන්නයි
මුලින් අපි හිතාගෙන හිටියේ. ඊට පස්සේ මම මෙහේ ආවා. මට හිතුණා එතකොටවත් හිත හදාගන්න
ලේසිවේවි කියලා. මොකද අපි දෙන්න ඇවිදපු, එකට හිටපු තැන් දකිද්දි හිත පෑරෙනවා වැඩි
හන්දා" මම කතාව නතර කොට හුස්මක් ඉහලට
ගත්මි.
"නඩුව මොකද
වුණේ"
"මම ගියේ එක
පාරයි. මට යන්න පුලුවන් කමක් තිබ්බේ නෑ. එතන අහන දේවල් දරන්න හරි අමාරුයි. මම
කිව්වා සංකේත්ට මම ආයෙම එන්නෑ. දික්කසාදෙ ගන්න කියලා. නඩුවේ තීන්දුව හම්බවුණේ මම
මෙහේ ආවටත් පස්සේ. අනිතිමේදි අපි දික්කසාද වුණා සෝනු. බැඳලා අවුරුද්දක් යද්දිත්
අපි වෙන් වෙලා. හිතන්න මම මොනතරම් කාලකණ්ණි ගෑණියෙක්ද කියලා"
හිතේ වූ පීඩන ඉවසනු බැරි තැන මම දෝතේ මුහුණ
හංගාගෙන හඬන්නට වීමි. සොනාලි මාගේ පිට අතගාමින් මා සනසන්නට උත්සාහ කලාය. එහෙත් මගේ
හැඬුම නතර වන්නට මද වෙලාවක් ගතවිණි. සොනාලි වරින් වර මොන මොනවාදෝ කීවත්, මට ඒවා නෑසුන තරම්
විය.
"ඔයාට තේරෙන්වද
මගේ හිත කොච්චර තැලිලද කියලා? මට බෑ සෝනු ආයෙම කාවවත් එහෙම විශ්වාස කරන්න. මම
හරි බයයි ඒ දුකට. මට ආයෙම උහුලන්න පුලුවන් වෙන එකක් නෑ. මම තාමත් විඳවනවා කලින්
සිද්ධිය හන්දා. මට ජේඩන් ගැන හිතන්න බැරි ඒකයි. අපේ සමාජ දෙක ගොඩක් වෙනස්. එයාට
බැරි වේවි මම බලාපොරොත්තු වෙන කෙනා වෙන්න. මං වෙනුවෙන්, මා එක්ක ජීවිත කාලෙම ඉන්න.මෙහේ සම්බන්ධතා
එහෙම නෑනෙ. ඒවා හරි අස්ථිරයි. මට තවත් එහෙම දේකට සම්බන්ධ වෙන්න බෑ සෝනු"
"මට තේරෙනවා
පංචලී" සොනාලි කීවාය.
"ඒත් ඔයා
හිතන්වා ඇති, එහෙමනම් ඇයි
මම ජේඩන් එක්ක දුරදිග යන දෙයක් කලේ කියලා. ඒක හිතලා කරපු දෙයක් නෙවෙයි. ජේඩන් ගැන
මගේ හිතේ තියෙන පැහැදීම, එයා මං
වෙනුවෙන් මහන්සි වෙන හැටි වගේ දේවල් හන්දා එක මොහොතක වෙච්ච හැඟීම වල පිපිරීමක්
විතරයි. ඒක ආදරේ නෙවෙයි...ඒක මහා වැරැද්දක්. ඒත් දැන් ඒකට කරන්න දෙයක් නෑ" මම
කීවෙමි.
සොනාලි මදෙස
නොබලාම කල්පනාකාරී වී උන්නාය.
"ජේඩන් ඔයාට
ආදරෙයි" ඈ හිටිවනම එසේ කීවෙන් මම මදක් අන්ද මන්ද වීමි.
"මට ඒක විශ්වාස
නෑ"
"මිනිස්සු
හැමෝම එක වගේ නෑ පංචලී" ඈ කීවිට මම ඈදෙස බැලීමි.
"මම කියපු සේරම
අහගෙන ඉඳලත් ඔයා කොහොමද සෝනු මට ඔහොම කියන්නේ?" මම ඇසීමි.
"ආදරේ නිසා ඇති
වුණ තුවාල සනීප කරන්න පුලුවනුත් ආදරෙන්ම විතරයි. මගේ හිතට දැනෙනවා පංචලී, ජේඩන් ඔයාට ගොඩක් ආදරේ
වග. ඇයි ඔයා ඉඩ නොදෙන්නේ එයාට එයාගේ ආදරෙන් ඔයාව සුවපත් කරන්න?"
"ඒක කරන්න බෑ.
මම ජේඩන්ට ආදරේ නෑ"
"ඔන්න ඕකයි
ඔයාට වරදින තැන. තමන් ආදරේ කරන කෙනෙක් නෙවෙයි, තමන්ට ආදරේ කරන කෙනෙක් හොයාගන්න ඕන"
"ඔයා හොඳටම
ජේඩන්ගේ පැත්තේ" මම කීවෙමි.
"සමහරවිට වෙන්න
ඇති පංචලී. මට කැමතියි ඔයා සතුටින් ඉන්නවට. අපි හැමෝම කැමතියි. මට විශ්වාසයි ජේඩන්
ඔයාව සතුටින් තියාවි"
"ඔයා කොහොමද
එහෙම කියන්නේ?"
"ජේඩන් ඔයාට
ආදරේ කරන වග මම ගොඩක් ඉස්සර ඉඳලම දන්න නිසා"
"ගොඩක් ඉස්සර?"
"හ්ම්...ඔයාලා
හම්බවුණ මුල් දවස් වලම වගේ"
මම මවිතව ඈ
දෙස බැලීමි.
"ඔයා මොනාද මේ
කියන්නේ?"
"මං කියන්නේ
ඇත්ත. එයා ඔයාට ආදරේකරන්න ගත්තේ ගොඩක් කල් ඉඳන්. ඒයාට ඕන නම් එහෙම නොකර ඉන්න
තිබුණා. ඕන තරම් ගෑණු ළමයි මෙහේ ඉන්නවනේ. ඒත් එයාට ඕන වුණේ එයාව. එදත්, අදත්"
සොනාලි කීව
අසා සිත මදක් සැලුනද මම හිස වැනීමි.
"මට හිතන්න බෑ
ඒක එහෙමයි කියලා. ඒක එහෙමම වුණත් මට හිත හදාගන්න බෑ සෝනු තාමත්" මම කීවෙමි.
"ජේඩන් ඉන්නේ
තුශ්නිම්භූත වෙලා. අඩුගාණෙ ඔයා අකමැති ඇයි කියන එක එයා දැනගන්න ඕන නැද්ද?"
"ඔයා ඇයි
ජේඩන්ට ඔය තරම් අනුකම්පා කරන්නේ?" මම ඇසූ විට සොනාලි වහා හැරී මදෙසට තියුණු බැල්මක්
හෙලුවාය.
"අනුකම්පා
කරන්නෙද? එයා ආදරේ වග
මම දන්න නිසා. ඔයා නිකමට හරි ආයෙම එලියට ඒවි කියලා මේ දැන් ටිකක් වෙලා වෙනකල්ම එයා
සීතලේ අර එලියේ හිටගෙන බලාගෙන උන්නු නිසා"
"මොකක්?"
"ඔව්, මම ගියේ එයාට කතා කරලා
එන්න" සොනාලි එවර සෙමෙන් කීවාය.
මගේ සිත යලි
බිඳ වැටිණි. ජේඩන් එසේ කරාවි කියා මා සිතුවේ නැත.
"සෝනු...අහන්න,
ඔයාට පුලුවන් නේද මගේ
තත්වේ ගැන එයාට කියන්න? කියන්න මම ගැන
තවත් හිතන්න එපා කියලා" මම සොනාලි වෙත හැරී කීවෙමි.
"මට බෑ පංචලී.
මට සමාවෙන්න ඒත් මට ඒක කරන්න බෑ. ඒක කරන්න ඕන ඔයා මිස වෙන කවුරුවත් නෙවෙයි"
සොනාලි තදින්ම කියා සිටියාය.
"මට උදව් කරන්න
සෝනු" මම ආයාචනා කලෙමි.
"මම ඕන දෙයක්
කරනවා. ඒත් මේක කරන්න ඕන ඔයා. එයාට කියන්න ඇයි කියලා. ඊටපස්සේ වෙන් වෙනවා හරි ඕන
එකක් කර ගන්න පුලුවන්"
"මං දන්නෑ සෝනු,
මම තව හිතන්න ඕන"
මම අන්තිමේදී කීවෙමි.
"ඔව්, හිතන්න. ඒත් පරණ දේවල්
ගැන නෙවෙයි. ඔයාට ඕන දේකට මම ඉන්නවා පංචලී. ඒ වගේමයි අනෙක් අයත්. ඒක අමතක කරන්න
එපා. ඔයාට ජීවිතේ සේරම නැති වෙලා නෑ. තේරුණාද? අදින් පස්සේ ඒවා ගැන සිතීම තහනම්...අමතක
කරන්න නෙවෙයි, ඒත් මතක්
නොකරවත් ඉන්න පුලුවන් නම්..ඒකයි හොඳම"
නින්දට යෑමට
පෙරාතුව මා වැලඳගෙන සොනාලි එසේ කීවාය. සියල්ල ඈට කියූ නිසාදෝ සිතේ මද සහනයක් විය.
මම ඇඳට වැටී නෙත් පියා ගතිමි. සිතට එන විවිධ සිතුවිලි මගහරිමින් මම නිදාගන්නට
උත්සාහ කලෙමි. එහෙත් ජේඩන්
මතක් වීම මට වලකාගත නොහැකි විය. ඔහු හිතේ කොටසක්ම වී උන්නා සේ දැඩිව මහිතේ
සැරිසරන්නට වූයේය.
'මම ඔයාට ආදරෙයි
පංචලී...' ඔහු එසේ කියූ අයුරු මට
නිරන්තරයෙන් සිහි වූයේ හදවතම පිලිස්සී යන්නාක් බඳු හැඟීමක් අවසානයේ ඉතිරි කරලමිනි.
ඔහු මට ආදරය කරන බව විශ්වාස කරන්නට මගේ හදවතට උවමනා විය. එහෙත් මගේ බුද්ධිය එයට මට
ඉඩක් නොදුන් අතර අවසානයේ සෑම විටකම සිදු වන්නාක් මෙන්ම, මහිත ජේඩන් වෙත හැරී නතර විණි.
ඇත්තටම තාමත් ඔක්කොම කියවන්න බැරි වුනා. මම බුක්මාක් එක්ක දාගත්තා ඇවිත් කියවන්න..
ReplyDelete