Monday, September 17, 2012

පහලොස්වන කොටස



"මම හිතුවා ඔයා මෙච්චර වෙලා ඩීනෝ එක්ක කතා කර කර හිටියද කියලා. මන්ජීත් මට කිව්වා ඔයා එයා එක්ක එලියට යනවා දැක්කා කියලා"
රෑ කෑමෙන් අනතුරුව සොනාලිට සියලු විස්තරය පවසා අහවර වූ පසු ඈ එසේ කීවාය.
"ඔයා මොකද හිතන්නේ ඉතින්?"
"කවුද ඩීනෝ ගැනද?" සොනාලි ඇසුවාය.
"ජේඩන් ගැන"
"අම්...හිතන්න දෙයක් නෑ ඇත්තටම පංචලී. එයා ඔයාට ගොඩක් කැමතියි. ඒකෙ දෙකක් නෑ. ඒත් ඇත්තම කිව්වොත්, ආදරෙයි, කැමැත්තයි කියන්නේ දෙකක්. එයා ඔයාට ආදරේද කියන්න තරම් නම් මට හේතු නෑ. ඒත් ආදරෙයි වෙන්නත් පුලුවන්" සොනාලි කීවේ මසිතේ වූ බර තවත් වැඩිකරලමිනි.
"මම මොකද කරන්න ඕන සෝනු?" මම අසරණව ඇගෙන් ඇසුවෙමි.
"ඔයා ජේඩන්ට කැමතිද?" ඈ ඇසුවාය.
"කැමතියි ඒත් යාලුවෙක් විදියට විතරයි. වෙන විදියකට එයා ගැන හිතන්න මට බෑ"
"ඇත්තමද?"
"සත්තකයි"
සොනාලි මදෙස මොහොඅතක් බලාගෙන් ඖන්නේ එය නිසැකව පැහැදිලි කරගන්නට මෙනි. ඉන්පසුව ඈ බිම බලාගෙන හිස වනන්නට වූවාය.
"මං හිතන්නේ ඔයා ඒක එයාට කියන්න වේවි"
"මම කොහොමද එක පාරටම හේතුවක් නැතිව එහෙම කියන්නේ?"
"ඔයා දාසයවෙනිදට ඒක කියන්න. එදා තමයි හොඳම දවස මට හිතෙන විදියට. මනුස්සයා එදාට නම් අනිවාර්යෙන්ම වචනේ දාන එක සහතිකයි" සොනාලි කීවාය.
"ආයෙම මා එක්ක තරහා වේවිද?"
"කියන්න බෑ. ඒත් එයා තේරුම් ගනීවි නේ ඔයා එහෙම සම්බන්ධෙකට කැමති නෑ කියලා නේද?"
"ඔව්. මම එහෙම කරනවා"අවසන මම දැඩිව කීවෙමි."තරහා වුණත්, ආයෙම කාලෙකදි කතා කරාවි නේ"
"අන්න එහෙම හොඳයි" සොනාලි ඇඳෙන් බසිමින් කීවාය.
"ඒක පැත්තක දාමුකෝ, ඔයා මොකද ඩීනෝ ගැන හිතන්නේ?"
මම හිස පීරන්නට පනාව අතට ගෙන උන් සොනාලිගෙන් ඇසීමි. ඈ ඉදිරිපස තිබූ කණ්ණාඩිය තුලින් මදෙස බැලුවාය.
"මොනවත් හිතන්නෑ" ඇගේ වතේ වූයේ මට කියවාගත නොහුණු හැඟීමකි.
"ඩීනෝ පව්. එයා ලේසියෙන් අතාරින එකක් නම් නෑ" මම මදහසක් පා කීවෙමි.
"ඉතිං එහෙනම් අල්ලගෙන හිටපුවාවෙ. තව අවුරුදු දෙකකින් අපි ආයෙම ගම් රටවල් වලට ගියාම ඕවා සේරම අමතක වේවි. අනික මූදේ ඉන්නේ එක මාලුවෙක්යැ" ඈ හිස පීරමින් කීවාය.
"ඔයා පේන්වට වඩා නපුරුයි සෝනු" මම විහිලුවට කීවෙමි.
"නෑ පංචලී. ඔයාට ජේඩන්ගේ යාලුකම වටිනවා වගේ, මටත් ඩීනෝගෙ යාලුකමයි වටින්නේ. නොවෙන දේවල් කරන්න ගිහින් අන්තිමට හිත් වේදනාවල් ඉතුරු කරගන්න මම ආසත් නෑ"
"මට තේරෙනවා සෝනු... එක අතක්ට බැලුවාම අපි දෙන්නගෙම තත්වේ ටිකක් එක වගේ. බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා නේද? ම්ම්...නිදිමතකුත් එනවා. මම නිදාගන්නද?"
"හා, හා. මම දැන්ම නිදන්නේ නෑ. ගෙදරට ලියුමක් ලියන්න තියෙනවා"
සොනාලි හිස පීරන දෙස බලාගෙනම මම දෑස පියාගතිමි. සවස ජේඩන් හා ගෙවුණු විනාඩි කීපය මට යලි සිහි විය. එහෙත් සංකේත් තරම් වත් ඔහුව මට විශ්වාස කරන්නට නොහැකි වග මම දැන උන්නෙමි. ඒ මා ඔහු ගැන නොදන්නා නිසාම නොවේ. අපේ සමාජ වල ඇති පරතරයද නිසාවෙනි. එන දේකට මුහුණ දෙනවා ඇරෙන්නට, සැලසුම් කරමින් කිසිවක් කරන්නට බැරි වග මට වැටහී තිබිණි. මා කරන්නට සිතුවේද එයයි.
අප මහත් බලාපොරොත්තුවෙන් උන් තිස් එක්වෙනිදා රාත්‍රිය අවසානයේදී උදා වී තිබිණි. එය එසේ වුවද එදින සවස දේශණ අවසන් වන විට අපේ සියලු උද්‍යෝගය පහව ගොස් තිබිණි.
"ඔයාලා අද රෑට මොනවා කලත් මට කමක් නෑ. හෙට දේශණයට එද්දි පහුගිය සති වල කරපු පාඩම් හතරෙන් දෙන ක්විස් එකට ලෑස්ති වෙලා එන්න"
මානව චර්යා පිළිබඳව අපට උගන්වන මහාචාර්යවරිය වූ රේමන්ඩ් මහත්මිය එසේ පැවසූ විට ශාලාව තුල සියුම් මුණු මුණුවක් හා සූවක් පැතිර ගියේය. සූ ගෑ අය අතර මම ද වූයෙමි. මහාචාර්යවරිය එවැන්නක් සිදු නොවූවාසේ ශාලාවෙන් පිටව ගිය අතර අපගේ සියලු බලාපොරොත්තු බිඳ වැටුනාක් වැනි හැඟීමක් අපට දැනුනි.
"මදෑ..හෙට එලිවෙනකල් නටන්න හිටිය. දැන් ඉතිං පණ දාගෙන පාඩම් කරන්නයි වෙන්නේ" පූජා කලකිරුණු ස්වරයෙන් කීවාය.
"ඒක නේන්නම්. චැප්ටර්ස් හතර පිටු සීයක් විතර. අනේ මන්දා හෙට නෙවෙයි ලබන සතිය වෙද්දි වත් කිය්වගන්න පුලුවන් වේවිද කියලා, තියෙන වැඩත් එක්ක බැලුවාම" නයෝමිද කීවාය.
"බ්‍රයන්ට කියන්නත් බෑ, එයාට තරහා යයි මම එන්නෑ කිව්වොත්" ලතිකා මට කීවාය.
"කරන්න දෙයක් නෑ නයිට් එකටත් ගිහින්, කොහොමහරි පාඩමත් කරගන්න බලමු" සොනාලි හැමදාම මෙන්ම සුබවාදි වෙන්නට උත්සාහ කරමින් කීවාය.
"මට නම් නයිට් එකට යන්න ආසාවක් නෑ. ඒ නිසා මම මේ චානස් එක අරගෙන පාඩම් කරන්න බලනවා. බැරිම නම් නිදා ගන්නවා" මම එසේ කී විට අනෙක් සියල්ලෝ මදෙස බැලුවේ මම මහා අශෝභන දෙයක් පැවසුවාක් මෙනි.
"ඔයා...මට විශ්වාස කරන්නත් බෑ, ඔයාට එහෙම කියන්න පුලුවන් කියලා" සොනාලි දෑත් දෙපසට විහිදුවා, ඇස් කරකවමින් ඇගේ නොරිස්සුම මා වෙත පල කලාය.
"ඇත්තමයි"
"ඔච්චරම බෝරිං වෙන්න එපා අනේ"
"ඊට පස්සේ අපට තමා බෝරිං වෙන්නේ ජේඩන් හම්බවෙලා එක එක එව්වා අහද්දි" නයෝමි එසේ කී විට මම ඈට රැව්වෙමි.
"මම ඔයාලට යන්න එපා කිව්වා වගේනෙ මට දොස් කියන්නේ. මට කම්මැලියි, ඇත්තටම" මම කීවෙමි.
එහෙත් එය සම්පූර්ණම සත්‍ය නොවීය. දෙසැම්බර් තිස් එක් වෙනිදා වූ කලී මට එදවස මහත්ම වූ වැදගත් දිනයක් ද වූ බැවිනි. ජනවාරි පළමුවැනිදා ඔහුගේ උපන්දිනයයි. මා ඔහුගේ පෙම්වතිය වූ දා පටන්ම කාටත් කලින් නව වසර උදා වන රාත්‍රී දොලහේ කණිසම වදිද්දීම මුලින්ම ඔහුට සුබ පැතූවේ මා ය. මේ එසේ කරන්නට බැරි පළමුවැනි වතාව විය. එය මසිතට එක් කලේ මහත්ම වූ සංතාපයකි.. අද වද්දි ඔහු මා අසල නැති වීම මේ දින කිහිපයේ එතරම් නොදැනුනත්, මෙදින විශේෂයෙන් මට ඔහු නැති අඩුව දැනෙමින් තිබිණි. සිත වඩාත් රිදුම් දුන්නේ ඔහුට නම් මාව නිකමටවත් මතක් නොවෙනු ඇති වග මා දැන උන් බැවිනි. ඔහුට කිසිදාකවත් දින මතක තිබුණේ නැත. එහෙත් අප පිලිබඳව වූ ඉතා සරල මතකයක පවා දින අදටත් මගේ මතකයේ තිබිණි. ඒ මා එතරම්ම ඔහුට ආදරය කල නිසාවෙනි.
"පංචලී කෝල්..."
සොනාලි කෑ ගසන තුරුම ඇඳ මත හිඳගෙන අතීතයේ යලි ගැලී උන් මට මාගේ දුරකථනය නාද වන හඬ ඇසුනේ නැත. මා එය අතට ගෙන බලද්දි, ඇමතුම ජේඩන්ගෙන් විය.
"හායි ජේඩන්, කොහොමද?" මම ඇසුවෙමි.
"අහන්න...ඇත්තද මේ ඔයාලා අද පාටි එකට එන්නෙ නෑ කියන්නේ?" ඔහු ඇසුවේ හති දමමින් මෙනි.
ඔහුගේ හඬට අමතරව සුලං හමන හඬක් වැන්නක් ද මට ඇසුනෙන් ඔහු ඉන්නේ එලිමහනක විය යුතු බව මට නිගමනය කල හැකි වුණි.
"අනික් අය නම් ඒවි. මමයි එන්නේ නැත්තේ. හෙට ක්විස් එකක් ජේඩන්. පොත අතින්වත් අල්ලලා නෑ. මට කොහොමත් ඒ විශය ටිකක් අමාරුයි" මම ඔහුට කීවෙමි.
"මොනවා? අනේ ඔයාට පිස්සුද? මේවගේ පාටියක් අතෑරලා පාඩම් කරන්න. වෙන වැඩක් නම් කමක් නෑ, ඒත් පාඩම් කරන්න? අනේ පිස්සු නොකර එන්න ලමයෝ" ඔහු කීවේය.
"මට බෑ ජේඩන්. මම ආසත් නෑ, අනික නිදි මරලා ගිහින් හෙට වැඩ කරන්නත් බෑනෙ. ඔයාලා විනෝද වෙන්නකෝ"
මම එසේ කියද්දී මා අසලින් ගිය සොනාලි මට රවා, ගස්සාගෙන යන්නට ගියේ ඇගේ නොරිස්සුම පෙන්වන්නටය.
"කරුණාකරලා, එහෙම කියන්න එපා. එන්න බලන්නකෝ. ඒක හරිම විනෝදජනකයි, ඔයා දන්නෑ. ඔන්න ඔයා එන්නැත්තම් මාත් එන්නෑ"
"මෝඩ කතා කියන්න එපා ජේඩන්. මං නාවට ලස්සන කෙල්ලෝ ඕන තරම් ඒවි අද ඔයාට තනි රකින්න. ඔන්න ලඟින් තියා ගන්න කෙනෙක් හොයා ගන්නත් බැරි වෙන එකක් නෑ" මම එසේ කියා හිනැහුනෙමි.
"ඔයා මේ මලවිකාර කියනවා. ඇත්තටම කියන්න, ඔයා එන්නේ නැද්ද?"
"අනේ...පාඩම් කරන්න ඕන නේ"
ජේඩන්ගේ සුසුමක හඬ මට ඇසුණි.
"මොනා කරන්නද එහෙනම්, බලෙන් උස්සගෙන එන්නයැ. කමක් නෑ. මම තියන්නම්. බායි"
"බායි ජේඩන්, තරහා වෙන්න එපා" එහෙත් මා එසේ කියද්දීම වාගේ ඔහු අනෙක් පසින් ඇමතුම විසන්ධි කලේය.
රෑ කෑමෙන් පසු මගේ අනෙක් යෙහෙලියෝ ගණිත අංශයේ පැවැත්වෙන උත්සවයට යන්නට සූදානම් වූහ. මම ඔවුන් දෙස බලා උන්නේ උපේක්ෂාවෙනි.
"හිත වෙනස් වුනේ නැද්ද?" සොනාලි සියවෙනි වතාවටදෝ එසේ ඇසුවාය.
"නෑ සුදෝ ඔයාලා යන්න. විනෝදවෙලා එන්න. මම ගැන කරදර වෙන්න එපා"
"අනේ මන්දා ඔයා නම්...මම යනවා එහෙනම්. එනකල් බලා ඉන්න එපා. ඔයා නිදා ගන්න"
"හරි සෝනු...සතුටු වෙලා එන්න"
සොනාලි ගිය පසු මට කාමරය තුල දැනුනේ පාලුවකි. මම ජනේලය අසලට ගොස් එලිමහනේ නියොන් එලියේන් ආලෝකමත් වූ මාවත දෙස බැලුවෙමි. උත්සවයට සහභාගී වන උදවිය එකා දෙන්නා මාවත දිගේ ඇදෙනු මට පෙනුනි. සැබවින්ම මසිතේ යන්නට උවමනාවක් තිබුණේම නැත. ජනේලය ලඟින් මෑත්ව මම මේසය අසලින් වාඩි වී, මේසය යට වූ හා සෙරෙප්පු දේකේ කකුල් ඔබා ගතිමි. රාත්‍රිය සීතල විය. එහෙත් මා පාඩම් කලයුතුව තිබිණි.
"ට්‍රීං"
මම ගැස්සි ඇහැරුණේ මේසය මත වූ ඔරලෝසුවේ එලාම් නාදයටයි. ම නිදිබර දෑස් විවර කර බලද්දී වෙලාව රෑ එකොලහයි පනස් හය  ලෙස සටහන්ව තිබිණි. ඒ මා විසින්ම තබන්නට යෙදුනු එලාම් එකක් විය. රාත්‍රී දොලහ වද්දි ඇහැරී සිටින්නට මට උවමනා වූ බැවිනි. මට එසැනින් සිහි වූයේ සංකේත්ව විය. මම ලැප්ටොප් පරිගණකය දිගහැර එහි වූ සන්කේත්ගේ ඡායාරූප පෙලක් අරමුණකින් තොරව නරඹන්නට වීමි. ඒ මාස ගණනාවකට පසු මා එසේ කල මුල්ම වතාව විය. මා නෙත් වලට කඳුලු පිරුණේ ඇසිල්ලකිනි.
"ඇයි සංකේත් අපට එකට ඉන්න බැරි වුණේ?" ඔහු හිනැහී ඉන්නා එක ඡායාරූපයක් දෙස බලා මම විමසීමි.
ඔහු එහි හැඳ උන්නේ මා වඩාත් ආෂා කල ඔහුගේ මෙරූන් පැහැ කපු කමිසය විය. ඒ මා ඔහු වෙනුවෙන් මිලදී ගත් තෑග්ගක් විණි. මගේ දෑස් යලි යලි කඳුලින් බොඳ වද්දී රෑ දොලහේ කණිසම වදිනු මට ඈතින් ඇසිණි. එවෙලේම වාගේ පත්තුවන මල්වෙඩි හඬින් වටපිටාව ගිගුම් දෙන්නට විය. විදුලි කොටන්නක්  මෙන් ඒ එලි ජනේලයෙන් එපිට එලි කරමින් යලි නිවී ගියේය.
"හැපි බර්ත්ඩේ සංකේත්" මම පරිගනකයේ වූ රුව වෙත මිමිණුවෙමි.
පෙර බොහෝ වසරවල මෙන්ම මෙවරද මුලින්ම සංකේත්ට සුබ පතන්නට ඇත්තේ මා ය. එහෙත් එය ඔහු දන්නේ නැත. ඔහුට දැනෙනුද නැත. මම නාසය සූරා කඳුලු පිස දමා ගතිමි. එවෙලේම වාගේ කාමරයේ දොරට යමෙකු තට්ටු කරන හඬක් මට ඇසුණි. නේවාසිකාගාරයේ ඉතිරිව උන් පිරිස එකිනෙකාට සුබ පතාගන්නවා විය යුතු යැයි මම සිතුවෙමි. හනිකට දෑස් පිසදමාගෙන මම දොර වෙත දිව ගොස් දොර විවෘත කලෙමි.
"සුබ අලුත් අවුරුද්දක් වේවා පංචලී"
එහි උන්නේ මා බලාපොරොත්තු වූ කිසිවෙකු නොවීය. වෙනකක් තබා සොනාලි හෝ, වෙනත් ගැහැණු ළමයෙකුද නොවීය. සිනාමුසුව සිටගෙන මාවෙත ඩේසි  මලක් හා කාඩ් පතක් දිගු කරගෙන එහි උන්නේ ජේඩන්ය.
"ජේඩන්...ඔයා මෙහේ?" මම පුදුමයට පත්ව විමසීමි.
"මම කිව්වේ, සුබ අලුත් අවුරුද්දක් වේවා කියලයි" ඔහු කීවේය.
"ඔයාටත් එසේම වේවා ජේඩන්. ගොඩක් ස්තුතියි. ඒත් මට කියන්න ඔයා කොහොමද මෙහාට ආවේ කියලා"
ඔහු ගැහැණු නේවාසිකාගාරයට ආවේ කෙසේද යන්න මට සිතාගත නොහැකි විය. එය කල නොහැක්කක් යැයි මම සිතාගෙන උන්නෙමි.
"ඔයාලා එන විදියටම තමයි. ඉස්සරහ දොරෙන් ඇතුල් වුනා, රෙජිස්ටරිය බැලුවා. කාමරේ හොයා ගත්තා. ආවා"
"ඒත් මේක ගැහැණු හොස්ටල් එක නේ"
"ඉතිං?"
"පිරිමි ළමයින්ට එන්න පුලුවන්ද?"
"අපොයි පුලුවනි. එහෙම එපා කියලා නීති මෙහේ නෑ, අවිනීතව හැසිරෙන්නේ නැති වේවි කියලා උපකල්පනය කරලා. ඒ කොහොම වුණත් එන්න පුලුවන්. ආ...ඉතින් මම ඇතුලට එන්නද?" ඔහු අන්තිමේදි ඇසුවේය.
"ආ...ඔව්. කමක් නෑ...ඉක්මණට යනවනේ ඔයා. එන්න" මම අපහසුවෙන් යුතුව ඔහුට කාමරය තුලට ඇරයුම් කර, කෝකටත් කියා දොර අඩවන් කර තැබුවෙමි.
"ලස්සනයි...කොහොමත් කෙල්ලන්ගේ කාමර ලස්සනයි නේ" ජේඩන් වටපිට බලමින් කීවේය.
"ඒ කියන්නේ කලිනුත් ගිහින් තියෙනවා?"
"අපොයි ඔව්. ගොඩක්" ඔහු ඇඟට පතට නොදැනී කීවේය.
"වාඩි වෙන්න" මම ඔහුට කාමරයේ වූ සෝෆා පුටුව දක්වමින් කීවෙමි.
ඔහු ඇඟලා උන් උඩු කබාය ගලවා අතට ගෙන එහි වාඩි වූයේය. මම මේසය අසල වූ පුටුවෙන් නැවත වාඩි  ගතිමි.
"ඔයා පාඩම් කර කරද හිටියේ?" ඔහු මාගේ මේසය දෙස බලමින් ඇසුවේය.
"ඔව්. ඒත් මට නින්ද ගියා ටිකකින්" මම හිනැහී කීවෙමි.
"අහන්නත් දෙයක්යැ ඒක නම්" ඔහුද හිනැහෙමින් කීවේය.
"ඔයාට බොන්න දෙයක් හදන්නද?" මම එවර නැගී සිටිමින් ඇසුවෙමි.
"කරදරයක් නැත්තම්, මම කැමතියි උණු මොනා හරි බොන්න"
"තේ?"
"කමක් නෑ, කිරි නැතිව හැබැයි. ස්තුතියි"
මම ඔහුට තේ කෝප්පයක් ගෙන ඒමට කාමරය කොනේ වූ පුංචි පෑන්ට්‍රිය වෙතට ගියෙමි.
"අනෙක් යාලුවෝ සේරම ගියාද පාටියට?" ඔහු මගෙන් ඇසුවේය.
"හ්ම්...ගියා ගියා. මම විතරයි නැවතුනේ" ඔහු නොපෙනුනද මම කීවෙමි.
"මල් වෙඩි ලස්සනට තිබුණා" ඔහු යලි කීවේය.
"ඇත්තද?"
මා එසේ අසමින් තේ කෝප්පයද රැගෙන නැවත කාමරයට යද්දි ජේඩන් උන්නේ මගේ මේසය අසල ය. මම උන් තැනම නැවතුනේ ඉබේටමය. ඔහුගේ නෙත් යොමුව තිබුණේ දිගහැර තිබූ මාග ලැප්ටොප් තිරය වෙත බව මම දුටිමි. එවෙලේ මාව දුටු ජේඩන් යන්තම් හිස වනා යලි ඔහුගේ පුටුවට ගියේය. මම කිසිවක් නොකියා ඔහු අතට තේ කෝප්පය දී ඇඳෙන් වාඩි ගතිමි.
"මම මේසේ උඩ තියෙන ඔයාගේ ෆැමිලි ෆොටෝ එකයි බැලුවේ" මා නොවිමසාම ඔහු මට කීවේය.
මම කිසිවක් නොකියා හිස වැනුවෙමි. ඔහු සෙමෙන් තේ උගුරක් දෙකක් පානය කලේය.
"එතකොට...ලැප්ටොප් එකේ ඉන්න කෙනාද අර...එක්කෙනා?" මොහොතක නිහැඬියාව බිඳහෙලමින් ජේඩන් එසේ විමසද්දී මම බිම බලාගතිමි.
"හ්ම්"
"මට හිතුණා...හැමදාම ඔය ෆොටෝ බලනවද ඔයා? හිත, හිතලම රිද්දගන්නවද එහෙම කරලා?" ඔහු මදෙස තියුණු ලෙස බලා ඇසුවේය.
"නෑ" මම කීවේ හිත යලිත් සන්තාපයකින් වෙලෙද්දීය.
ඉසරෝම දිනවලදී යම් දුකක් සිතට දැනී තිබෙන විටක, අම්මා හෝ තාත්තා පැමිණ එය විමසද්දී තවත් හැඬෙන හැටි මට සිහි විණි. ඒ ඔව්න්ගේ දයාබර බව නිසාය. ඔවුන් මා ගැන සිතන බව මා දන්න නිසාය. මෙවෙලේද ජේඩන් මගේ දුක විමසද්දී මගේ දෑස් නිතැතින්ම කඳුලු පිරුවේ ඔහුගේ දයාබර බව නිසාවද?
"එහෙනං?" ඔහු සෙමෙන් ඇසුවේය.
"අද එයාගේ උපන්දිනේ" මට කියැවිණි.
ජේඩන් හමුවේ මෙසේ මසිත දියව යන්නේ මන්දැයි මා දැන උන්නේ නැත. එහෙත් මසිතට යම් සහනයක් ඇවැසි විය. කාට හෝ සියල්ල කියා හිත සැහැල්ලු කරගන්නට මට උවමනා විය. කවුරුන්හෝ මට අනුම්කම්පා කරන්නට මට ඇවැසි විය. තනිවම විඳවීම මට දැරිය නොහැකි තරම් වී තිබිණි.
"ඔහ්..." ජේඩන් එසේ මිමිණුවා පමණි. මම තවදුරටත් බිම බලාගෙන උන්නෙමි.
"පංචලී...මේ බලන්න" ඊලඟමොහොතේ ඔහු ඇඳ අසල මට ලංව සිටගෙන උන්නේය.
මම හිස නො උස්සාම උන්නෙමි. එවර ඔහු මා අසලින් වාඩි ගත්තේය.
"ඔයා අද නාවේ ඒකයි එහෙනම්?" ඔහු මගෙන් ඇසුවා නොවේ. ඔහුටම කියා ගත්තා පමණි.
"මට කණගාටුයි පංචලී ඔයා ගැන. මම හිත රිද්දුවා නම් සමාවෙන්න" ඔහු කීවේය.
එවර මම හිස උස්සා ඔහු දෙස බැලුවෙමි. ඒ දෑස්, කඳුලු පටලයකින් වැසුණු මා දෑස් හමු විය. ඒ දෑස් වල වූයේ අනුකම්පාවක්දෝ කියා මට සිතුණි.
"නෑ" මම එසේ පවසා යලි බිමට නෙත් යොමා ගතිමි.
ජේඩන් කිසිවක්ම නොකියා මාගේ උරහිස වටා අතක් දමා මා ඔහු වෙත තුරුලු කර ගත්තේ, බොහෝ විට මාගේ පියා කරන පරිද්දෙනි. ඉන්පසු ඔහු මගේ හිස ඔහුගේ උරහිසට හේත්තු කරගත්තේය.තාත්තා සිහි වූ නිසාදෝ මගේ කඳුලු අලුත් විණි.
"කරුණාකරලා පංචලී...ඔය අතීතෙට යන්න දෙන්න. තවත් අල්ලගෙන ඉන්න එපා. ඔයාගේ හිත රිද්දන්න දෙන්න එපා. ඇයි  ඔයා ඔහොම ඔයාට ආදරේ නොකරන කෙනෙක් වෙනුවෙන් වැලපෙන්නේ?" ඔහු සෙමෙන් මහිස අතගාමින් කීවේ ලෙන්ගතුවය.
මම කිසිවක් නොකියා දෑස් පිසින්නට වීමි.
"නාඬා ඉන්න කරුනාකරලා. මම ආස නෑ ඔයා අඬනවට"
මම පිටි අල්ලෙන් යලි කඳුලු පිසදා ගතිමි.
"ඔය පිංතූර සේරම මකලා දාන්න පංචලී. අතීතෙට යන්න දෙන්න. ඔයා ඔහොම කරන් එකෙන් වෙන්නේ ඔයා ඔයාවම වහගන්න එකයි අඳුරෙන්, දුකෙන්. එලියක් අරගෙන කාට හරි එන්න ඉඩ දෙන්න පංචලී"
ඔහු මට කීවේ එපමණකි. ඉන්පසු මගේ කඳුලු වියලෙනකල්ම අප අතර කතාවක් වූයේ නැත. අප හුන් ඉරියව්වෙන්ම කොතෙක් වේල උන්නාදැයි මට නිනව්වක් නොතිබිණි. අවසානයේ මම ඔහුගෙන් මිදී නැගී සිටියෙමි.
"කොහෙද යන්නේ?" එවර ඔහු ඇසීය.
"කොහෙවත් නෑ. ඒත්...ඔයා දැන් යන්න ජේඩන්. සොනාලිලත් දැන් එනවා ඇති"
ජේඩන් නැගිට මවෙත ඇවිද ආවේය. මම ඔහු දෙස බැලීමි.
"ඔව්. මම යන්නම්. ඔයා දැන් නිදාගන්න. ගොඩක් රෑ වෙලා. ඒත් පංචලී යන්න කලින් මට ඔයාට දෙයක් කියන්න ඕන" ඔහු කීවේය.
"කියන්න"
"ඔයා ගැන ගොඩක් හොයන් බලන කෙනෙක් විදියට මම ඔයාගෙන් දෙයක් ඉල්ලනවා"
"මොකක්ද ජේඩන්?"
"ඔයාගේ හිත රිදෙන දේවලින් ඈත් වෙලා එලියට එන්න කියලා" ඔහු එසේ කී විට මම හිනැහෙන්නට උත්සාහ කලෙමි.
"බලමු"
"බලමු නෙවෙයි...මට පොරොන්දු වෙන්න්න" ඔහු මා වතට එබී කීවේ දයාබරවය.
මසිතේ කුමක්දෝ පෙරලියක් වෙමින් තිබෙනු මට දැනෙන්නට විය. ඔහුට ලං නොවෙන්නැයි මහිතේ එක පැත්තක් මට කෑ ගසා කියන්නට විය. එහෙත් ඔහු තුල වූ කුමක්දෝ ආකර්ශණයකට මා ඇදී යනු මට දැනුනි.
"ඒත් ඇයි?" මම ඇසුවෙමි.
"මොකද කිව්වොත්, ඔයා සතුටින් ඉන්න ඕන කියලා මම හිතන නිසයි"
ඔහු එසේ කී විට මම ඔහුට පිටුපා අනෙක් පස බලා ගතිමි.
"ඔයා දැන් යන්න. අපි වෙන වෙලාවක මේ ගැන කතාකරමු. කරුණාකරලා ජේඩන්"
"හරි...ඔයා නිදා ගන්න එහෙනම්" ඔහු එපමණක් කීවේය.
මම ඔහුට දොර විවෘත කර දුනිමි. දොරෙන් එපිට එකම ගාලගෝට්ටියක් විය. ජේඩන් කියූ ලෙසම ගැහැණු පිරිමි සියල්ලෝම, කෑකොස්සන් ගසමින්, හිනැහෙමින්, කමින් සහ බොමින් කොරිඩෝර් වල එහා මෙහා දුවනු පෙනුනි.
"උදේ වෙනකල්ම මෙහෙම තමයි මෙහේ" ජේඩන් යන්නට එලියට බැස මට කීවේය. මම හිනැහුනෙමි.
"දාසය හම්බවෙන්න මම බලාගෙන ඉන්නවා" ඔහු යලි බැරෑරුම් පෙනුමක් ආරූඨ කරගනිමින් මට කීවේය.
මම හිස වැනුවා මිස කිසිවක් නොකීමි.
"ගිහින් එන්නම්, හොඳට නිදාගන්න බලන්න. හොඳට ක්විස් එකත් ලියන්න"
"ස්තුතියි ජෙඩන්...පරෙස්සමින් යන්න"
ඔහු මදෙස මොහොතක් බලා හිඳ, යන්තම් අතක් ඔසොවා ආචාර කොට යන්නට ගියේය. ඔහු අද මා සිප සමු දුන්නේ නැත. එහෙත් යන්නට පෙර මදෙස බැලූ ඒ දෙනෙතේ පුදුමාකාර වූ හැඟීම් ගොන්නක් විය. එය සිප ගැනීමකට වඩා මා සසල කරවන්නට සමත්ව තිබිණි. මම සුසුමක් හෙලා ලය සැහැල්ලු කරගන්නට උත්සාහ කලෙමි. 



2 comments:

  1. ගොඩ දවසක් තිස්සේ විශේෂ මොනවා හරි ලියන්න හිතුවත් තාමත් මොකුත් මතක් වුනේ නෑ නෙතූ..
    දිගටම මේ වගේ ලස්සනට ලියන්න කියන්න විතරයි මතක්වෙන්නෙ..

    ReplyDelete
  2. අප්පේ, දැන් නම් ඊලග කොටස දාන්න හොදටම කල් ගියා වැඩී නෙ නන්ගි :(

    ReplyDelete