Wednesday, September 12, 2012

දහතුන්වන කොටස


මට සිතාගත හැකී වූ එකම දෙය වූයේ ජේඩන් මා සමග බෙහෙවින්ම උරණ වී ඇති බව පමණකි. ඔහුට අමතන්නට උත්සාහ කල අපමණ වාර ගණනත අමතරව, සමාව අයදිමින් යැවූ එකදු කෙටි පණිවිඩයකටවත් ඔහු උත්තර එවා තිබුණේ නැත. අනෙක් මිතුරු, මිතුරියන් මා අතින් වූ මෙම සුලු අතපසු වීම එතරම් ගණන් නොගෙන, මගේ සුබපැතුම් පමා වී වුව පිළිගනිද්දී, මොහු පමණක් මෙසේ මා හා උරණ වීම මහිතට එක් කර තිබුණේ අමනාපය මුසු සංතාපයකි.
සොනාලි සමග ෆේස්බුක් හරහා චැට් කරන අවස්ථාවක මම මගේ අමනාපය හා සිත් තැවුල ලියා යැවීමි.
" he behaves as if I have done a major crime”
" :) I wonder why…”
“what do u mean?”
“isn’t that obvious u silly…he likes u and cares for u. that’s y he got so upset when u hv forgeotten him”
“oh…GET OUT! dnt blabber”
“I am not blabbering. mark my word, one of these days he’s gonna pop the question J
“Sonali…are u mad? jeadan is not a person like that. and he knws me”
“well, just wait and see”
“no…pls dnt say that”
“I was showing u the truth girly…besides jey is a fine guy”
“yeah, so y dnt u hv him”
:) he dsnt want me, he wants u..”
“ OK I am gonna go. u are mking me dizzy”
bye sweet pea, c  ya on Saturday. hp u 2 gonna be ok again”

සොනාලි මහිත අවුල් කලාය. ජේඩන් මෙසේ කරන්නේ ඈ කියූ හේතුව නිසා යැයි සිතන්නට මට උවමණා නොවීනි. ඔහු මා පිළිබඳව දන්නා අයෙකු ලෙස එසේ කරාවියැයි සිතන්නට බැරිය. සොනාලි එසේ කියන්නට ඇත්තේ මා අවුස්සන්නට විය යුතු යැයි කියා මම හිත හදා ගැනීමට යත්න දැරීමි. එහෙත් සිතේ කොනක අලුත් කුකුසක බීජයක් පැන නැගෙමින් තිබිණි. එයට මා කෙසේ මුහුණ දිය යුතු දැයි මා දැන උන්නේ නැත.
ආප්සු ඉන්දියානා බලා යන දා, පවුලේ සමගෙන් සමු ගැනීම, හැමදාම මෙන් සිතත මහා දුකක් හා නෙතු අගට කඳුලු වරුසාවක් එක් කල දෙයක් විය.අක්කා සහ මධුර අයියා ඇමෙරිකාවේම කොහේ හෝ ඉන්නවා යන සිතිවිල්ල සිතට මද සහනයක් වුවද, අම්මා සහ තාත්තා නැවත ලංකාව බලා යන බැවින් ඔවුන්ගෙන් සමු ගැනීම වඩාත්ම දුෂ්කර එකක් විණි. අම්මා කිසිදා අප ඉදිරියේ නාඬන්නී, අද කඳුලු පිරි දෑසින් මා සිප මට සමු දුන්නීය.
"අක්කලා ඉන්නවනේ දෝනි,ඒ නිසා මගේ හිතට බයක් නෑ දැන්. ඔයා පරෙස්සමින් ඉන්න ඕන හරිද? ලොකු නිවාඩුවක් ආවොත් ලංකාවට එන්න බැරිය" තාත්තා මට එසේ කීවේය.
මම හිස වැනීමි.
සීතා නැන්දා හැර අනෙක් සියලු දෙනාම මා ඇරලවන්නගුවන් තොටුපොලට පැමිණියහ. ඔවුන්ගෙන් සමු ගෙන යෑම දුෂ්කර වුවත් මම මෙවෙලේ නාඬා ඉන්නට උත්සාහ කලෙමි.
"ගිහින් කතා කරන්න නංඟා" අක්කා මාගෙ අතකින් අල්වාගෙන කීවාය.
"වෙන මොනවත්ම නොහිතා හොඳඉගෙන ගන්න බලන්න හොඳද? කවුරු මොනා කිව්වත්, ඔයා ඔයාගේ හිත කියන් දේ විතරක් අහන්න" මධුර අයියා මට කීවේය.
අවසන් වතාවටත් අම්මා හා තාත්තාට තුරුල්ව හිඳ මම ගුවන් තොටුපොල තුලට එන්නට ආවේ යලි පසුපස නොබලමිනි. ඒ මට හැඬේවි යැයි සිතුණු බැවිනි. අවසානයේ සියල්ලන්ගේම, ආදරය, උපදෙස් හා සුබ පැතුම් පමණක් රැගෙන මම යලි ඉන්දියානා ප්‍රාන්තය කරා පියාසර කරමින් උන්නෙමි.
නේවාසිකාගාරය එකම ඝෝෂාකාරි ගාලගෝට්ටියක් බවට පත්ව තිබිණි. නිවෙස් වල ගිය සියල්ලන්ම වාගේ මෙදා යලි පැමිණ සිටියෙන්, යහලු යෙහෙලියන් හමු වන, පෙම්වතුන් හමු වන, සතුටින් කෑ ගසන ගැහැණු ළමයන්ගෙන් පොදු කාමරය පිරී පැවතිණි. අපගේ කාමරයද ඊට නොදෙවෙනි ගෝෂාවකින් පිරී පැවතුනේ, අසල්වැසි කාමර වල ඉන්න යෙහෙලියන්ද එහි රැස්ව උන් බැවිනි.
"පූජා මහත් වෙලා.." එසේ කීවේ ලතිකා ය. අපි සියල්ලෝම පූජ දෙස බැලීමු.
"අනේ පිස්සුද මේ දවස් දෙක තුනට?" පූජ උරහිස් හකුලවමින් කීවේ එය කිසිසේත්ම විය හැකි දෙයක් නොවූවා සේ ය.
"නැත්තේ මොකද මහත් වෙලා තමයි" ලතිකා යලි කී විට අපිද හිස වනුවේ සැබවින්ම එවැන්නක් පූජා වෙතින් දිස් වුණ බැවිනි.
පූජා මූණ ඇඹුල් කරගෙන මොන ම්නවදෝ මුණු මුණු ගාණ අතර, සොනාලි මගේ කකුලක් කෙනිත්තුවාය.
"ආයි..මොකද සෝනු?"
සොනාලි ඇස් ලොකු කලේ අනෙක් අයට නෑසෙන්නට කතාකලයුතු බව මට ඉඟි කරමිනි. මේ අතරේ අනෙක් තිදෙනා නජීබා ගෙන ආ මස්කට් පාර්සලයක් ලීහන්නට අවධානය යොදවා උන් බැවින් අපව දුටු බවක් නොපෙනුඉනි.
"මොකෝ?" මම රහසින් මෙන් ඇසුවෙමි.
"ජේ මොකද?"
මම සුසුමක් හෙලා, හිස වැනුවෙමි."වැඩක් නෑ. කොහොමවත් අල්ලගන්න බැරි වුණා"
"ආපෝ...එච්චරම ගණකම්ද?"
"අනේ මන්දා. මම එච්චර හිතන්නෑ ඒ ගැන. එයාම තරහා නිව්නම ඇවිත් කතා කරන්නේ නැතෑ" මම අවසන කීවෙමි.
"ඔන්න මම හූනා කිව්වා වගේ කියන්නම්, ජේ අනිවාඅර්යෙන මේ වාරේ නම් ඔයාගෙන් අහනවා මයි"
"සෝනු...අයෙම එක පාරක් හරි ඔය කතාව කියලා තිබුණොත්...මම ඔයා එක්ක හොඳටම තරහා වෙනවා"
මම සොනලිට රවමින් කීවෙමි.
"මොකක්ද අනේ ඒ කතාව?" මස්කට් බෙදමින් උන් නජීබා අප වෙතට එමින් ඇසුවාය.
"ආ...මේ මොනවත් නෑ, කෝ බලන්න මස්කට්" සොනාලි සීරුවෙන් කතාව වෙනතක හැරෙව්වාය.
මස්කට් සහ වෙනත් ගෙනවිත් තිබුණු දෑ කමින් බොමින් අප සියලු දෙනා නිවාඩු කාලයේ ආගිය තොරතුරු කතා කලෙමු.
"හෝව්, හෝව්...පොඩ්ඩක් ඉන්න. කවුද අනේ මේ පංචලී ලඟ, ඉන්න අනික් කොලුවා. මස්සිනා නෙවෙයි නේද?"
මාගේ පරිගණකයේ වූ බොස්ටන් වලදී ගන්නා ;ද ඡායාරූප සමහරක් නරඹන අතරතුරේදී නයෝමි එකවරම කෑ ගැසුවේ, සුදම් අප සමග එකට හිඳ ගත් ඡායාරූපයක් පෙන්වමිනි.
"හැබෑට කවුද ඒ? අර ඔයාගේ හිතේ ඉන්න කෙනාද?" පූජා විමසුවේ මා මදක් අපහසුතාවයට පත් කරමිනි.
"කවුද කවුද?" සොනාලිද විමසුවාය.
"අයියෝ...මේ අපේ යාලුවෙක් අනේ. බොස්ටන් වල ඉන්න නැන්දලගේ යාලුවෙක්ගේ පුතෙක්. එයා මේ ළමා දොස්තර කෙනෙක්" මම ඔවුන් දෙස නොබලමින් කීවෙමි.
"යාලුවෙක් විතරමද?" ලතිකා ඇද පැද ඇසුවාය.
"ඔව් ඔව්. යාලුවෙක් විතරයි"
"ඇත්තමද?" පූජා ඇසුවාය.
මම කිසිවක් නොකියා ඔවුන්ට රවා අහක බලා ගතිමි.
"හරි හරි, එයා කියනව නම් එහෙමයි කියලා එහෙම තමයි. මේ ළමයට වද නොදී ඉන්නකෝ" අවසන සොනාලි මා වෙනුවෙන් කතා කලාය.
එතකින් එම කතාව නතර වී යලි සියල්ලෝම නිහඬව ඡායාරූප නරඹන්නට වූහ. මම සොනාලිගේ අතක් මිරිකා ඈට ස්තුති කලෙමි.

"අම්මලා ඇත්තටම නම් හිතාගෙන හිටියේ සුදම්ට මාව කතා කරන්න තමයි සෝනු"
සොනාලි සහ මම රාත්‍රියේ නිදන්නට සැරසී ඇඳන් වලට වී කතා කරමින් හිඳියදී මම කීවෙමි. සියල්ලන්ටම කියන්නට නොහැකි සහ මම අකමැති බොහෝ දෑ සොනාලිට පවසන්නට මට හැකියාව තිබිණි. ඒ කුමක්දෝ හේතුවකට මා ඇයව බෙහෙවින් විශ්වාස කල බැවිනි.
"මට හිතුණා" ඈ කීවාය.
"ඒ කොහොමද?" මම මවිතයෙන් ඇසීමි.
"ජේඩන්ව අමතක වුණේ ඒ නිසානෙ. අනික ඒ දවස් වල චැට් කරද්දි ඔයා සුදම් ආව ගිය වගක් මට කිව්වා. එහෙම එන්නේ යන්නේ මොකටද කියලා හිතාගන්න මට බැරිද?" සොනාලි කීවාය.
මම හිනැහුනෙමි. සොනාලිටත් අනෙක් යෙහෙලියන්ටත් දෙයක් සඟවන්නට ලෙහෙසි නැති බව මම නොදැන උන්න නොවේ.
"මටත් පොඩි වැඩක් වුණා. චැට් කරද්දි කියන්න බෑනෙ. ඒ නිසා එනකල්ම ඉන්නවා කියලා හිතුවා" සොනාලි එවර කීවාය. මම එවර නැගිට ඇඳ විට්ටමට හේත්තු වී ඇදෙස බැලුවේ කුතුහලයකිනි.
"ඒ මොකක්ද ඒ?"
"මම ගියාට පස්සේ මට ඩීනෝ කතා කලා"
"මේ අපේ ඩීනෝ?" මම මහත්ම පුදුමයට පත්ව විමසීමි.
"ඉතිං ඔය මට කියන්න දෙනවයැ? අපේ ඩීනෝ තමයි"
"හරි හරි, ඉතිං ඉතිං"
"ඉතිං එයා කතාකලා ඒවා, මේවා ගොඩාක් කිව්වා. මාව දැක්ක දවසෙම එයාට විෂේෂත්වයක් දැනුනලු. මම ලස්සනලු. අහිංසකලු දන්නැද්ද? කොල්ලෝ කෙල්ලන්ගේ හිත් රවට්ටන්න කියන දේවල්...ඔය වගේ නානාප්‍රකාර දේවල් කියලා අන්තිමට කිව්වා එයා මට ආදරෙයි කියලා පංචලී" සොනාලි ගේ හඬේ තිබුණේ වියලි ගතියකි.
"නෑ" මට කියවිනි.
"එහෙම කිව්වා"
"ඉතිං...ඔයා මොකද කිව්වේ?"
මම කාමරයේ වූ මන්දාලෝකය තුලි සොනාලිගේ මුහුණේ හැඟීම් නිරීක්ෂණය කරන්නට අසාර්ථක උත්සාහයක යෙදෙමින් ඇසුවෙමි.
"මම මොනා කියන්නද? මම කොහොමද ඒ වගේ දේකට කැමති වෙන්නේ? එයා Italian, අනික ඉන්නේත් පිස්සෙක් වගේ. ඇහිබැමත් විදලා. ඩිනෝව නිකම් දැක්කත් අපේ පවුලේ අයට කලන්තයක් හැදෙයි" සොනාලි එසේ කියා දුකෙන් මෙන් හිනැහුණාය.
"ගෙදර අය ගැන නෙවෙයි මම අහන්නේ සෝනු. ඔයා ඩීනෝට කැමතිද?"
එවර සොනාලි සුසුමක් හෙලුවාය.
"මම දන්නෑ පංචලී. යාලුවෙක් විදිහට මම එයාට කැමතියි. ඒත් ඔය කියන විදියට කවදාවත් මම එයා දිහා බලලා නෑ. අනික් එක එහෙම බලන්න වැඩකුත් නෑ. ඕවා වෙන දේවල් නෙවෙයි"
"ඔයා ඔහොම කියද්දි මට හිතෙනවා ඔයා ඩීනෝට කැමතියි කියලා හිත යටින්" මම මට සැබවින්ම දැනුන දේ කීවෙමි.
"නෑ පංචලී. එයා කියපු දේවල්, ඒ කහඬ මතක් වෙද්දි හිතට අමුත්තක් දැනෙනවා තමයි, ඒත් ඒ ආදරේ නෙවෙයි. මම එක දන්නවා. මට තියෙන ලොකුම අවුල හෙට එයාට මුහුණ දෙන්නේ කොහොමද කියන එකයි. මෙහෙම දෙයක් වුණාම සේරම වෙනස් වෙනවා. එන්න ඒකට නම් මම ආස නෑ. දන්නෑ මොනා කරන්නද කියලා" ඈ යලි සුසුමක් හෙලුවාය.
"අනේ මන්දා. මොනා කියන්නද කියලා මටත් හිතාගන්න බෑ. ආදර සම්බන්ධයක් පටන් ගන්නවා කියන එක පොඩි පහේ දෙයක් නෙවෙයි. ජීවිතේටම බලපාන දෙයක්. අපි ඉස්කෝලේ යන පොඩි ළමයි නෙවෙයි නේ. ඒ නිසා තීරණ ගන්න ඕන හොඳට හිතලා බලලයි" මම ඈට කීවෙමි.
"හ්ම්...ඒක ඇත්ත. කොහොමටත් ඩීනෝට කැමති වෙන්න මට බෑ පංචලී. අපේ ගෙදර අය ගිනි තියාගනියි. ඒ අය දැනටමත් කවුරුහරි ලෑස්ති කරගෙන ඇති මම නිවාඩුවට ඉන්දියා එනකල්. අයියා මට කිව්වා මේ දවස් වල අම්මලා හොයනවා කියලා" සොනාලි කීවාය.
මට ඈ ගැන දුකක් සිතිණි. කෙතරම් විහිලු තහලු කරමින් උන්නත්, ඈ ඇතුලන්තයෙන් දුක් විඳින තැන්නැත්තියකැයි මට මුල්ම වතාවට සිතුණි.
"ඒත් ඔයා ඩීනෝට ආදරේ නම්, මුලු ලෝකෙම අනික් පැත්තේ හිටියත් ඔයා තෝර ගන්න ඕන එයාව සෝනු. මොකද අපට ආදරේ කරන අය හැමදාම අපට හම්බවෙන්නෑ, අපි ආදරේ කරන අය තරම්"
"හ්ම්...ඒක මට තේරෙනවා. ඒත් ඩීනෝ ගැන එහෙම අදහසක් තාම නම් මගේ හිතේ නැති වග මට සහතිකයි"
සොනාලි අවසන කීවාය.
"එහෙම නම් ඉතින් කමක් නෑ" මම යලි ඇඳේ දිගාවෙමින් කීවෙමි.
"පංචලී..." ඉන් තරමක් වේලාවකට පසු සොනාලි මා අමතද්දී, මට නින්ද යාගෙන එමින් තිබිණි.
"ම්ම්"
"මට හිතෙනවා ජේඩන් ඔයාට කැමතියි කියලා ඇත්තටම"
"ම්ම්...ඇයි?" මම නිදිමතේම ඇසුවෙමි. නිදිමත නිසාවෙන්ම ඈ කීව මට ඇත්තටම තේරුණේ නැත.
"මට නිකමට හිතෙනවා" ඈ කියනු මට ඇසුනේ හීනෙන් මෙනි.
"ම්ම්"

හාත්පස පැතිර තිබූ හිම පලස තවමත් දියවී තිබුණේ නැත. එය පෙර මෙන්ම සියල්ල වසා පැතිර තිබූ අතර, මම යෙහෙලියන්ට මැදිව, හිම ඉවත් කරන ලද මාවත් දිගේ උදෑසන දේශණයට සහභාගී වීමට යමින් උන්නෙමු. එය සමාජවිද්‍යා විෂයක් වූ බැවින් ජේඩන් එහි පැමිණේවි යැයි මම බලාපොරොත්තු වීමි.
"පංචලී" දේශන ශාලාව ඇතුලේදී සොනාලි මා අතින් ඇද, අප හුන් තැනට වම්පස ඉහල කෙලවරේ වූ පුටු පේලියක් දැක්වූවාය. මම එදෙස බලද්දී ජේදන් තව මිතුරු මිතුරියන් කිහිප දෙනෙකු සමග කතා කරමින් ඉනු මම දුටුවෙමි. තරමක කාලයකට පසුව දකින නිසා හෝ, ඔහු මා සමග අමනාප වග දන්නා නිසා හෝ, ඔහු දුටු වනම මගේ හද ගැස්ම වැඩි විණි. ඒ ඇසිල්ලේම වාගේ ඔහු අප හුන් දිශාවට නෙත් හැරවූයෙන් මම ඔහුට අතක් වැනුවෙමි. එහෙත් ඔහු එසැනින්ම මගේ බැල්ම මගහැර ඉවත බලා ගත්තේ මහිත දුකකින් හා සියුම් ලැජ්ජාවකින් පුරවමිනි.
"හොඳටම තරහා වෙලා" සොනාලි හිස වනමින් කීවාය.
"ඒක තමයි" මම අසුනකට බර වෙමින් කීවෙමි.
අප හුන් තැන ඉඩක් නොවූ බැවින් පූජා ඇතුලු අනෙක් යෙහෙලියන් පිරිස අප හුන් ආසන පේලියට පහලින් වූ ආසන පෙලේ අසුන් ගෙන සිටියහ.
"එක ගලකින් කුරුල්ලෝ දෙන්නෙක් මරන්න පුලුවන් ක්‍රමයක් මං දන්නවා" එවර කල්පනා කරමින් උන් සොනාලි මට කීවේ ගුප්ත සිනහවක්ද මුව රඳවාගෙනය.
"ඒ කිව්වේ?"
"යාලු කරගන්නයි, හිතේ තියෙන දේ දැනගන්නයි. එයා අද අපි එක්ක කන්න ඩොලීස් ආවොත් මේක කරතෑකි" සොනාලි කීවාය.
"මොකක් ගැනද ඔය කතාව?" එවර අපට පහලින් උන් පූජා සහ නයෝමි අප වෙතට හැරී විමසුවෝය.
සිදුව ඇති දේ ඔවුන්ට වටින් ගොඩින් කී පසු, ඔවුන් දෙදනාද උන්නේ සොනාලි දරන අදහසේම එල්බගෙන ය.
"ජේ ගෙ හිතේ කහටක් නැත්තම් ඔච්චරම තරහා වෙන්න හේතුවක් නෑ. කෝ අපි තරහා වුණාද? නෑනෙ" පූජා කීවාය.
"ඔයාලට නත්තල් නෑනෙ" එවර මම කීවෙමි.
"හරි හරි. එහෙම තිබුණත් අපි තරහා වෙන්නෑනෙ" පූජා යලි කීවාය.
"ඔයාලා කියන දේ මට නම් පිලිගන්න බෑ. එයාව මම ලගින් ආශ්‍රය කලානෙ. එහෙම දෙයක් තිබ්බා නම් මට දැනෙන්න එපැයි" මම ඔවුන්ගේ අදහස් පිලිගන්නට මැලි වෙමින් කීවෙමි.
"ඔයා ඒක බලෙන්ම නොතකාහැරලා ඉන්න ඇති. ඒකයි" එවර එසේ කීවේ නයෝමි ය.
"පිස්සු" මම හිස වැනීමි.
"ඒ කොහොම වුණත්, ඔයාට ආයෙම ජේඩන් එක්ක මිත්‍ර වෙන්න ඕන නේ?" සොනාලි ඇසුවා ය.
"හ්ම්" මම හිස වැනීමි.
"එහෙනම් මම කියන විදියට කරන්න ඕන. අපි හැමෝම එකතු වුණ වෙලාවක මම ඔයාගෙන් අහනවා සුදම් ගැන. ඔයා පැණි බේරෙන උත්තර දෙන්න ඕන. අපි බලමු ඒකට ජේඩන්ගේ ප්‍රතිචාරේ කොහොමද කියලා. ඒ අනුව තමයි අන්තිම නිගමනේට ඇවිත්, අපේ උපකල්පනය හරි හෝ වැරදියි කියලා ඔප්පු කරන්න වෙන්නේ" සොනාලි පැහැදිලි කලාය. අපි සියල්ලෝම හිස වැනුවේ ගුරුතුමියකට අවනත වන සිසුන් රැලක් පරිද්දෙනි. 
"හැබැයි ඉතිං ඕක කරන්න ගිහින් ජේ තව ටිකක් තරහා වුණොත් තමා වැඩේ" ඉස්සරහට හැරෙමින් පූජා කීවාය.
"පූජා, පොඩ්ඩක් කට වහගෙන ඉන්නකෝ" සොනාලි ඈට තදින් කීවෙන් පූජා ඈට යන්තමින් ගස්සා යලි ඉදිරිපසට හැරුණාය.
මම යන්තම් හැරී ජේඩන් උන් ඉසව්ව දෙස බැලුවෙමි. එහෙත් ඔහු මදෙස බලා උන්නේ නැත. මට සුසුමක් හෙලිනි. නොදන්න හේතුවකට මහිත සියුම්ව කැලඹී තිබෙන වගක් මට වැටහිණි. 


3 comments:

  1. නියමෙට ලියල තියනවා

    ReplyDelete
  2. කම්මැලි ගතියක් දනුනනේ මේ කොටස කියවද්දී

    ReplyDelete