Thursday, January 1, 2015

අනූපස්වන කොටස

"ඉතිං ඒ ලමයා නුවරට එන වෙලේ ගෙදරට ආවා නම් මොකෝ?"
පහුවදා භූප එන වග අම්මට කිව්ව වෙලේ අම්මා ඇහුවේ එහෙම.
"නුවරට ඇවිත් එයා මා එක්කම ගෙදර ඒවි නේ අම්මා" මම කිව්වා.
අම්මා දෙතොල් තදකරලා පියාගෙන ආපහු ඇඳුම් අස් කරන්න යෙදුනේ හිතේ අපැහැදීමෙන් වග මට තේරුණා.
"දැන් මේ ළමයා කවද්ද අපේ ගෙදර එන්නේ මේ කාරණේ කතා කර ගන්න?"
මමත් කරබාගෙන ඇඳුම් බෑග් එක අහුරමින් ඉද්දි ආයෙම අම්මා ඇහුවා.
"මම දන්නෑ අම්මේ...අනික ආවා කියලා දැන්ම කසාද බඳින්න ද?"
"එන්නේ කසාද බඳින්න නෙවෙයි, මේ තැන තැන හම්බවෙන එකට මම කැමති නෑ ගෙවල් වලින් මොකවත් කතා නොකර තියෙද්දි. කතා කරලා අහවර ඕන කාලයක් හිටියට අපේ කමක් නෑ" අම්මා කිව්වා.
"මං භූපට කියන්නම්" මම කිව්වේ හිතේ උපන්න නොරිස්සුම පිටට නොපෙන්වා.
"කියලා කරගන්න ඕන දේවල් නෙවෙයි මෙව්වා ඒ ළමයා හිතලා කරන්න ඕන දේවල්" අම්මා ඇනුම්පදයක් කියාගෙන කාමරෙන් එලියට යන්න ගියා.
ඒ පාර රෙදි අහුරන එක පැත්තක දාලා මම ඔහේ ඇඳේ ඉඳගෙන කල්පනා කලේ අම්මා කවදාක භූපට මුලු හිතින්ම කැමැත්ත දේවිද කියලා.
"හවස් නොවී ගෙදර එන්න බලන්න හොඳද? අදත් මෙහේම ඉන්න ලෑස්ති වෙන්න එපා"
අම්මා මට කිව්වේ අම්මලව කෝච්චියට නග්ගන්න අනුක් එක්ක මමත් යන වෙලේ. එහෙමම නුවරින් බැහැලා භූප හම්බෙන්න යන්න හිතාගෙනයි මමත් එමින් උන්නේ.
"හා"
"භූප ගෙදරට ඇරලවාවි නේ?" එහෙම ඇහුවේ තාත්තා.
"ඔව් තාත්තේ"
"කොහොමත් මම හවස කොලඹ එනවනේ අන්කල් දුලිත අයියත් එක්ක. එතකල් දුලාරලා නුවර හිටියොත් මම දෙන්නව මගට ගෙනැත් දාන්නම්" අපේ කතාව අහගෙන උන්නු අනුක් කිව්වා.
"මේ ළමයට නැති කරදර අපි හන්දා" එහෙම කිව්වේ අම්මා.
"පිස්සුද ආන්ටි. එහෙම හිතන්න එපා. කිසිම කරදරයක් නෑ" අනුක් කිව්වේ සුහද හිනාවක් පාලා.
"ඒක මොකක් හරි බලමුකෝ අම්මා. මම කොහොමත් අද ගෙදර එනවා" මම කිව්වේ මට අනුක් එක්ක යන්න ඕන වුණ නැති හන්දා.
අම්මලා කෝච්චියට නග්ගවලා අපි ස්ටේෂන් එකෙන් එලියට එද්දි භූපගෙන් කෝල් එකක් ආවා ඔහු තාම ඉන්නේ මග කියලා. මම කෝල් එක අරගෙන එද්දි අනුක් කාර් එකට වෙලා මම එනකල් බලාගෙන උන්නා.
"භූප කොහාටද එනවා කිව්වේ?"
"පේරාදෙණියට"
"ම්ම්...එතකොට දැන් කොහෙද ඉන්නවා කිව්වේ?"
"මාවනැල්ලේ"
"ආ එහෙනම් ඉක්මණට ඒවි. යමු මම ඔයාව පේරාදෙණියෙන් දාන්නම්" අනුක් මට කිව්වා.
"ඕන නෑ අනුක් මම බස් එකේ යන්නම්"
මම එහෙම කිව්වාම අනුක් මා දිහා බැලුවේ අමනාපෙන්.
"ඇයි ඒ?"
"නෑ ඉතිං...ඔයා ගෙදර යන්න ඕන නැද්ද? මේ දවස් ටිකේම මහන්සි වෙලා පොඩ්ඩක් රෙස්ට් කරන්න ඕන නැද්ද? අනික ගෙදරත් දැන් පාලු වෙලා ඇති හැමෝම වගේ ගිහින් හන්දා, ඔයා දැන් හවස යන්න ලෑස්ති වෙන්නත් ඕනනේ"
"ඉතිං ඔයාව දාලා එන්න මට මහ වෙලාවක් යනවද? බය වෙන්න එපා මම ඉන්නේ නෑ ඔයා එක්ක" අනුක් එහෙම කිව්වම මම ඔහු දිහා බැලුවේ යන්තම් රවලා.
"මම දන්නවා ඒක"
"පිස්සු නැතුව නගින්න " අනුක් නැවිලා මට දොර ඇරලා දුන්නා.
අන්තිමේදි මට කරන්න වෙන දෙයක් තිබුණේ නෑ නගිනවා ඇරෙන්න. ටික දුරක් එනකල්ම අපි අතරේ කතා බහක් වුණේ නැති තරමයි. අනුක් ඒත් යන්තම් ඇස් කොනින් මා දිහා වරින් වර බලනවා මම දැක්කා.
"ඔයා exite වෙලා නේද ඉන්නේ?" අන්තිමේදි කතා කලේ අනුක්මයි.
"ම්ම්...නෑ. එහෙම නෑ" මම කිව්වත් ඇත්තටම මම උන්නේ ටිකක් නොසන්සුන් වෙලා තමයි. හේතුවක් නැතුවම.
"කොහොමත් තරහා වෙලා දෙපැත්තක ඉන්නවට වඩා කතා කරලා දේවල් විසඳගන්න එක හොඳයි" අනුක් කිව්වේ බැරෑරුම් විදියට.
"ඔව් ඒක ඇත්ත"
මම එහෙම කිව්වම අනුක් මා දිහා බලලා අහක බලාගත්තේ මොකක්දෝ දුකකින් වගේ කියල මට හිතුණා.
අපි පේරාදෙණියට එද්දි භූප ඇවිත් උන්නේ නෑ. ඉතිං අපි Agri Faculty එක පාරේ වාහනේ නවත්තගෙන ටිකක් වෙලා හිටියා. උත්පලා අක්කා ගැන, ගෙදර ගැන, ජොබ් එක ගැන ඇරෙන්න අපි ගැන අනුක්  කතා කලේ නෑ එවෙලේ නම්. පැය බාගෙකට විතර පස්සේ භූප මට කතා කරලා අපි උන්නු තැනට ආවම, මට අනුක්ගෙන් සමු ගන්න වෙලාව ඇවි තිබුණා. භූප දැක්කම හිත යාන්තම් සසල වුණා විතරයි පුදුමෙකට. එච්චර වෙලා වල් පල් කියව කියව උන්නා මිස සමු ගන්න වගක්වත් නොහිතා හිටපු මට හදිසියට කියාගන්න පුලුවන් උනේ "අපි එහෙනම් ගිහිං එන්නම්" කියලා විතරයි. වාහනෙන් බැහැලා උන්නු අනුක් හිස වැනුවා.
"හරි එහෙනම්. ඔයාලා මා එක්කම යන්න ඕකේ නම් මම හවස කෝල් එකක් දෙන්නම් යන්න ලෑස්ති වෙලා"
"ඕන නෑ අනුක්. අපි එහෙමම කෝච්චියේ යන්නම්. ඒක ලේසියි නේ. නැත්තම් ඔයාට වටයක් යන්න වෙනවා" මම කිව්වා.
"ඒකනම් ප්‍රශ්ණයක් නෑ. ඒත්...ඔයාලා කැමති විදියක්" අනුක් කිව්වා.
මම භූප එක්ක එන්න පිටත් වෙලා ඉස්සරහට ආවත් භූප අනුක් එක්ක කතා කරන්න පොඩ්ඩක් නැවතුණා. අන්තිමට භූප අනුක්ට අතට අත දීලා සමු දෙද්දි දෙන්නගෙන මූණු වල තිබුණේ මොකක්දෝ අමුතු, ගුප්ත හැඟීමක් කියලා මට හිතුණා.
"හරි මම ඒක බලන්නම්. මට කතා කරන්න ඕන වුණොත්"
අනුක් එහෙම කියන්වා මට ඇහුණේ යාන්තමට. ඒත් මට ඒ ගැන හිතන්න වෙලාවක් තිබ්බේ නෑ. මොකද භූප එවෙලෙම වගේ මා ලඟට එන්න ආපු නිසා.
"අපි ෆැකල්ටිය දිහාට යමුද?" භූප ඇහුවා.
"හ්ම්ම්. ඒත් ඇයි ඔයාට අද එහේ යන්න හිතුණේ?" ඇවිදගෙන එන අතරෙම මම ඇහුවා.
"අතීතේ මතක් කරගන්න" භූප කිව්වේ බිම බලාගෙන.
වෙනදටත් වඩා ඔහුගේ රැවුලයි, කොණ්ඩෙයි වැවිලද කියලත් මට හිතුණා ඔහු දිහා බලද්දි.
"ගාල්ලෙත් බබර් සාපු, රේසර් හෙම නැද්ද භූප?" මම ඇහුවේ විහිලුවට.
භූප මා දිහා බැලුවේ හිනාවක් නගාගෙන වුණත් ඒ ඇස් තිබ්බේ මැලවිලා.
"ඇයි මම පිස්සෙක් වගේද පේන්නේ?" ඔහු ඇහුවම මම හිස වැනුවා නෑ කියන්න.
"හිත එකලසක් නැතුව මොනවත් කරන්න හිතෙන්නෑ" ඊලඟට ඔහු කිව්වා.
"භූප..." මම ඔහුව ඇමතුවේ ඔහුගේ වචන මගේ හිත සසල කල හන්දා.
"පහුගිය දවස් වල වෙච්ච දේවල් වලට මට සමාවෙන්න...මම දන්නවා මට එයිට වඩා ඉවසන්න තිබ්බා කියලා"
"නෑ...ඔයා කොහොමවත් සමාව ඉල්ලන්න ඕන නෑ. ඔයා වැරදියි කියලා මම හිතන්නේ නෑ" භූප කිව්වා.
ඉස්සර කාලේ වගේ මම ඔහුගේ අතක වෙලුණේ ආදරෙන්. මේ සරසවි බිමේ අපි දෙන්න කොයි තරම් නම් මෙහෙම ඇවිදලා තියෙනවද කියලා මට එවෙලේ මතක් වුණා.
ෆැකල්ටිය දිහාට ගිහින් අපි මුලින්ම ගියේ WUS එකට. වැඩි කතා බහක් නැතුවම අපි දෙන්න තේ බීලා එන්න ආවේ පොලොන්නරුවට. ඒ අතරතුර භූප වෙඩින් එක ගැන ඒවා මේවා ඇහුවා විතරයි. ඒ හැමවෙලේකම මට භූපගේ මොකක්දෝ අමුත්තක් තියෙනවා කියලා නිතරම හිතුණේ ඇයි කියන්න මම දන්නේ නෑ. ඔහු උන්නේ මොනාදෝ දුක් ගොඩක් හිතේ හංඟගෙන වගේ කියලා මට හිතුණා. පොලොන්නරුවේ සෙනග වැඩිපුර නො උන්න තැනකට ගිහින් අපි දෙන්නා වාඩි වුණේ කතාබහක් නැතුවමයි. මම හෙමින් ඔහුට වාරු වෙලා ඔහුගේ උරහිසින් හිස තියාගත්තා ඉස්සර වගේම. භූප ලොකු සුසුමක් හෙලුවා විතරයි ඒත්. මම ඒ පාර හිස උස්සලා ඒ මූණ දිහා බැලුවේ කුතුහලෙන්.
"ඇයි භූප මේ? ඔයා හරි අමුතුයි අද. ඇයි මේ?"
භූප ආයෙම සුසුමක් හෙලලා හුගේ අතේ වෙලිලා තිබ්බ මගේ අත හයියෙන්ම මිරිකගත්තා. හිතට පිවිසුනේ මොකක්දෝ නොසන්සුන්භාවයක්.
"භූප...ඇයි මේ? මට කියන්නකෝ" මම ආයෙම කිව්වා.
ඒ පාර භූප හෙමින් හිස හරවලා මගේ දෑස් දිහා බැලුවා.
"මං ඔයාට ගොඩක් ආදරෙයි. මේ ලෝකෙ වෙන කිසිම කෙනෙකුට මම එච්චර ආදරේ කරලා නෑ මගේ අම්මට ඇරෙන්න. ඔයා ඒක විශ්වාස කරනවද දුලාරා?" ඔහු ඇහුවම මගේ හිත සසල වුණා.
"මං ඒක දන්නවා භූප"
"ආදරේ යන්තම් හිතට තේරෙන කාලෙත්, අපි වෙන් වෙලා උන්නු කාලෙත්, ලඟ හිටියත්, නොහිටියත් මම ඔයාට ආදරේ කලා. ඒ හැමදාකටම වඩා මේ දැන්, මේ අද මම ඔයාට ආදරෙයි" භූප ගැඟීම්බරව එහෙම කිව්වම මගේ හිත සසල වුණා හොඳටම.
"හ්ම්ම්"
"මං දන්නවා ඔයත් එහෙමයි කියලා. ඔයා බනින්නේ, තරහා වෙන්නේ ඒ හන්දා කියලා. ඒත්...ඔයාගේ ආදරේ ලබන්න වටින මිනිහෙක් නෙවෙයි දුලාරා මම"
"මොනාද මේ ඔයා කියන්නේ?"
භූප ලොකු හුස්මක් හෙලලා අහක බලාගත්තේ වෙදනාවකින් වගේ.
"මට තේරෙන්නෑ කොහෙන් මේ කතාව පටන් ගන්නද කියලා. ඒ කතාව ඉවර වෙනවට මම බය හන්දා. එතකොට දේවල් ආයෙම ඉස්සර තත්වෙටම යන වග මම දන්නවා. ඒත්...ඔයාට තවත් දෙවල් හංගන්න මට බෑ දුලාරා. කිසි දෙයක් වුණේ නෑ වගේ ඇවිත් ඔයාගේ භූප වෙන්න මට බෑ. කවදාවත් මට වචනෙකින්වත් වරදක් නොකරපු ඔයාව රවට්ටන්න මට  බෑ"
භූප එහෙම කිව්වම මට දැනුනේ මගේ හිස ගිනි ගත්තා වගේ හැඟීමක්. 'මොනවද මේ භූප කියන්නේ?'
"රවට්ටන්න? ඔයා මොනාද භූප මේ කියන්නේ?" මම ඇහුවේ වෙව්ලමින්.
"දුලාරා...චේතියගේ ප්‍රශ්ණෙත් එක්ක අපි වෙන් වුණාට පස්සේ මට දැනුනේ මගේ මුලු ලෝකෙම දෙදරලා ගියා වගේ. ඒක ඔයාගේ වරද නෙවෙයි. ඒ වරද මගේ. මම කොන්ද පණ තියාගෙන ඔයාව මගේ ලඟට ගත්තා නම්, මේ මොනවත් නෑ. ඒත් මම එහෙම කලේ නෑ"
"මම දන්නවා ඔයා එහෙම කලේ අපේ අම්මලා ගැන හිතපු නිසා කියලා. ඇයි දැන් මේ පරණ කතා අදින්නේ?" මම මැදින් පැනලා ඇහුවා.
"ඔව්. ඒත් මම හිතන්න ඕන ඔයා ගැන නෙවෙයිද? මම දන්නෑ. මාසයක්, දෙකක්, මම හිටියේ පිස්සෙක් වගේ. ඊටපස්සේ මට ඕනවුණා මේ සේරම අමතක කරන්න. මං වෙනුවෙන් නෙවෙයි දුලාරා, ඔයා වෙනුවෙන්. නැති නාස්ති වෙලා ඒ වරදත් කවදක හරි ඔයාට පැටවෙන්න මට ඕන වුණේ නෑ. ඒ වුණත් ඒ වෙද්දි මම හොඳටම බොන්න ඇබ්බැහි වෙලා ඉවරයි. මම තැන තැන යන ජොබ් එකක් තෝරගත්තේ, ගමෙන් ගොඩාක් ඈතට වෙලා ඉන්න තීරණය කලේ මට හිත හදාගන්න ඕන නිසා. මං නොබීපු දවසක් නෑ. ඒ ඔයාව මතක් නොවී ඉන්න. අන්තිමට මම ලෙඩෙක් වුණා. ටිකෙන් ටික ටිකෙන් ටික, කැම්පස් යද්දි ඔයා ලඟින් ඉඳගෙන හොරෙන් හොරෙන් ලස්සන බලපු, හැම තප්පරේකම ඔයාට ආදරේ කරපු ඒ භූප මියැදුනා. (මම ගැස්සුනා ඒ කතාවට). ඔව් දුලාරා එහෙම වුණා.මම කවදාවත් හිතුවේ නෑ දුලාරා ඔයා ආපහු මාව හොයාගෙන මා ගාවට ඒවි කියලා. මම පුදුම වුණා, මට හිතාගන්න බැරි වුණා දැන් මොකද මම කරන්න ඕන කියලා. ඔයාට ආපහු දෙන්න ඔයාගේ භූප මං තුල හිටියේ නෑ..."
භූප කියාගෙන කියාගෙන යද්දි, ඒ එක වචනයක් පාසා මාව ගල් වුණා වගෙයි මට දැනුනේ. හැඟීම්, කඳුලු, වචන... මේ සේරම මගේ ඇතුලෙම මිදුණා ඒ වචනයක් වචනයක් ගානෙම.
"ඒත් මාව විශ්වාස කරන්න මගේ රත්තරං ඒ භූපට වඩා දස දහස් ගුණයක් මං ඔයාට ආදරේ කලා. මගේ පණටත් වඩා මං ඔයාට ආදරේ කලා දුලාරා... මට අසනීප වුණාට පස්සේ සේරම ආපහු ලස්සනට හරියගෙන එද්දි, මම හිතුවා මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙනා මම කියලා. ඒ වුණාට ඒක එහෙම වුණේ නෑ..."
භූප ලොකු හුස්මක් අරන් මොහොතක් නැවතුණේ කතා කරලම මහන්සියි වගේ. ගල් වෙලා උන්නු මට කිසිම දෙයක් කියාගන්න පුලුවන් වුණේ නෑ. මොනවත් අහන්නවත් දිව නොනැමුණේ මට ලැබෙන උත්තරේ මොන වගේ එකක් වෙයිද කියන බය හන්දා. හිතේ තිබ්බේ අනියත බයක්. කොයි වෙලේ නරක ආරංචිය මතු වේවිදෝ කියලා වගේ අවධානෙන් උන්නු හිත හොලවන්නවත් මට බය හිතුණා. ඒ කඩාවැටීම මට දරාගන්න බැරි වෙන වග මම දන්න නිසා.
"මම මහා නරක මිනිහෙක්. ආයෙම වැඩට යන්න පටන් ගත්තට පස්සේ, බීමට සිගරට් වලට තියෙන ඇබ්බැහිකම ආයෙම මතු වුණා. ඔයා ගැන හිත හිත වුණත් ඒක නොකර ඉන්න මට පුලුවන් වුණේ නෑ. ඒක මගේ දුර්වලකම දුලාරා...කියන්න මම මොන ජාතියේ මිනිහෙක්ද කියලා? දෙයියනේ මම සමහර දවස් වලට නැගිටගන්න බැරි වෙන තරමට බිව්වා. දුලාරා...ඔයාට පුලුවන්ද එහෙම මිනිහෙකට සමාව දෙන්න?" භූප ඇහුවත් මට උත්තරයක් දෙන්න වචන මතක් වුණේ නැති තරමයි. මොකක්දෝ හේතුවකට මට හිතුණා ඒක ප්‍රශ්ණයක් නෙවෙයි කියලා.
"මම ඔයාගෙන් සමාව ඉල්ලන්න වටින්නේ නෑ. මම ඔයගේ විශ්වාසේ කඩ කලා. ඒ පලවෙනි පාර. ගෙදර එන හැම වෙලේකම මට මම හිටියේ මං ගැනම ලොකු තරහකින්. ඒ වෙලාවට මම හිත රිද්දුවේ ඔයාගේ. මම දන්නෑ මට මොන ආවේසයක් ඇවිලා එහෙම වුණාද කියලා. ඒත් මම සතුටු වුණා නෙවෙයි දුලාරා. ඔයාගේ හැම කඳුලක් ගාණෙම මම සිය දහස් වතාවක් විඳෙව්වා. ඒ හැම වෙලේකම මට සමාව දීලා ඔයා ආයෙම මට ලං වෙද්දි මම මහ හුඟක් පසුතැවිලි වුණා"
"ඔයා මොනාද කියන්න හදන්නේ භූප?" අන්තිමේදි උතසාහ කරලා මට වචන දෙක තුනක් ගැටගහගන්න පුලුවන් වුණ වෙලේ මම ඇහුවේ ඔහු මේ අර අඳින්නේ මොකක්දෝ මහා බරපතල දෙයක් කියන්න කියලා මට හිතුණා නිසා. භූප මා දිහා බැලුවා. ඒ දෑස් තිබ්බේ තෙත් වෙලා. මට බිම බැලුණේ ඉබේටම.
"මට කියන්න දෙන්න...සමහරවිට මේ දේවල් ආයෙම මට ඔයාට කියන්න ඔයා ඉඩ දෙන එකක් නෑ" භූප එහෙම කියලා ආයෙම අනෙක් පැත්ත හැරිලා කතාව පටන් ගත්තා.
"හැමදේම එහෙම වෙද්දි මගේ ඔලුව හොඳටම අවුල් වෙලා තිබුණේ. ඒ අස්සේ බිස්නස් එකෙත් ප්‍රශ්ණ ආවා එක එක. එවෙලෙට මම කරන්න දැනගෙන උන්නු එකම දේ බොන එක විතරයි..." භූප එහෙම කියලා ආපහු සුසුමක් හෙලුවා.
"ඒ සමහර වැඩ වලට මට නිතර නිතර යන්න වුණා හැටන් පැත්තේ හෙම. එතකොට මම සුමනදාසලගේ ගෙදරත් ගියා. මොකද කාලයක් ඒ මිනිස්සු මට ඉන්න හිටින්න දීලා පවුලේ කෙනෙක් වගේ සලකපු හන්දා. ඒ ගමන් ආයෙම සැරයක් මට අතීතෙ මතක් කලා දුලාරා. ඔයා නැතිව මම විඳවපු රෑ ගණන්. අඬපු දවස් ගනන් හෙම..."
ඔහු එහෙම කියද්දි මම ගැස්සිලා ඔහු දිහා බැලුවේ හිත දුකකින් පිරෙද්දි.
"ඔයා නිසා මම අඬලා තියෙනවා...හිතේ දුක පිටාරගලද්දි ඇස් දෙකට කඳුලු එන එක වලක්වගන්න බෑ. ඒත්...ඒ අතීතේ නෙවෙයි දුලාරා අද මේ මොහොත අපට උදාකරලා තියෙන්නේ. බේබද්දෙක් වෙච්ච මගේ අතීතේ. ඔයා දන්නේ නැතුව ඇති සමහරවිට, අපි වෙන් වෙලා ඉන්න කාලේ මම හැටන් ඉද්දි ගොඩ වෙලාවට මගේ හිත හදන්න ඉදිරිපත් වුණේ නයනා"
භූප එහෙම කියපු ගමන්, මගේ හිතට පිවිසුණේ අමුතුම බයක්. මම ආයෙම ගල් පිලිමයක් වගේ වුණා.
"මම නයනට සැලකුවේ මගේ නංඟිට වගේ. ඒත්... මට මේ දේවල් ඔයාට කියන්න වෙන එක පවා මගේ පව්කාරකම දුලාරා. ඒත් මට තවත් ඔයාට බොරු කියන්න බෑ. ටික දවසක් යද්දි මම නයනට මොකක්දෝ විදියකින් හිතිං ලං වුණා"
භූප කියද්දි මම ලොකු හුස්මක් උඩට ඇදලා ගත්තා.
"නෑ...දුලාරා, කවදාවත් මම නයනට ආදරේ කලේ නෑ. ඒත් මොකක්දෝ බැඳීමක් අපි අතරේ තිබ්බා. නයනා සමහරවිට හිතන්න ඇති මම එයාට ආදරේ කලා කියලා. ඒක නයනගේ වරදකුත් නෙවෙයි. ඒත් ඒ දේවල් ඔයා ආපහු ආවත් එක්කම වෙනස් වුණා. මට නයනව සම්පූර්ණයෙන්ම වගේ අමතක වුණා. මම එහේ ආවා ගියත් නයනා ගැන විශේෂ හැඟීමක් මගේ තිබ්බේ නෑ. ඒත් මං දැනං හිටියේ නෑ නයනා මට ආදරේ කල විත්තිය. නොදන්නවටත් වඩා එහෙම හිතන්න මට ඕන වුණේ නෑ..."
භූප කියාගෙන කියාගෙන යද්දි මගේ දෑස් වලට කඳුලු පුරාගෙන ආවා. අන්තිමට වෙන්න යන දේ හිත දැනගෙන උන්නද?
"දුලාරා....එදා ඔයා මා එක්ක තරහා වෙලා යන්න ගිය දවසේ, මට ඉහිලුම් නැතුව ගියා. ඒ කවදාවත් ඔයා මට එහෙම කරලා නැති හන්දා. මම දන්නෑ මට මොනා වුණාද කියලා. මම එදා රෑම ගෙදරින් ගියා. මගේ හිත තිබ්බේ තරහින් වැහිලා. මම හොඳටම බිව්වා. බීලා මොන කරුමෙකටද මන්දා මම ගිහිං නැවතුණේ හැටන් වල" භූප එහෙම කියලා මොහොතක් නැවතුණා.
"මම කොහොම කියන්නද ඔයාට..." භූප කියද්දි වුණ දේ හිතාගන්න මට අපහසු වුණේ නෑ. ඔහු අල්ලගෙන උන්නු අත මම හෙමින් ඇදලා ගත්තෙත් ඔහු ඊලඟ වචන පෙල කිව්වෙත් එකටම වගේ.
"මගේ අතින් නයනට වරදක් වුණා..."
ඒ වචන පෙල ගල් අහුරක් වගේ ඇවිත් හිතේ වැදිලා හිත සුනු විසුණු වෙනවා වගේ මට දැනුනා. ඒත් දුක වැඩි හන්දම මම තවත් ගල් වුණා විතරයි. ඇස් වලට උණපු කඳුලු එහෙමම ඇස් වලම වියලෙද්දි, දුක මැදි කරගත්තු හිත අයිස් කුට්ටියක් වගේ මිදිලා ගියා.
"මගේ රත්තරං දුලාරා...මේ කරපු දේට සමාව ඉල්ලන්න තියා ඔයාගේ ඉස්සරහට වත් එන්න මම සුදුසු නෑ. ඒත් ඔයාට පුලුවන් නම්  ඔය හිතට මේ දුන්න ගින්දරට මට ජාති ජාති සමාවෙන්න දුලාරා..."
භූප එහෙම කියලා අත්දේකේ මූණ ඔබාගෙන ඉකි ගැහුවේ පොඩි එකෙක් වගේ. ඒත් ගල් වෙලා තිබ්බ මගේ හිතට කිසිම හැඟීමක් දැනුනේ නෑ. අපි එහෙම කොච්චර වෙලාවක් උන්නද කියන්න මම දන්නේ නෑ. අන්තිමේදි භූප හිස එසෙව්වම, ඇස් කොනකින් ඔහු දිහා බලපු මට ඔහුව පෙනුනේ පුදුමාකාර වෙනස් කෙනෙක් විදියට.
"මොනා හරි කියන්න මගේ රත්තරං...මට බනින්න... මට ගහන්න...මාව මරලා දාන්න. ඒත් ඔයාට පව් නෑ..."
"මට ඒ මොනවත් කරන්න ඕන නෑ" මම කිව්වේ පාලනය කරගත්තු හඬකින්.
"මම මහා පව්කාරයෙක්, ජරා මිනිහෙක්...ඔයාට කොහොමවත්ම නොවටින මිනිහෙක්. " භූප කිව්වේ තමන් ගැනම තරහකින්.
මේ හැමදේම වුණේ මගේ බේබදුකම හන්දා. මගේ මුලු ජීවිතේටම සාපයක් වුණේ ඒක. ඔයා කියපු දේවල්, අම්මලා, නංඟිලා කියපු දේවල් ඇහුව නැති එකේ වන්දිය වෙන්න ඇති මට අද මේ හිතින් ගෙවන්න වෙලා තියෙන්නේ. මට දුක නෑ ඒකෙන් විඳවන්නේ මම විතරක් නම්. ඒත් ඒ හන්දා ඔයා විඳවන එකයි මට ඉවසගන්න බැරි දුලාරා...මම දන්නෑ මම කරන්න ඕන මොනාද කියලාවත් දැන්. මම දන්නෑ අදින් පස්සේ මම කොහොමද මගේම හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙන්නේ කියලාවත්. ඒත් ඔයාට දීපු දුකට මම ආත්ම ගානක් වුණත් වන්දි ගෙවන්න ලෑස්තියි දුලාරා..."
 භූප කිව්වේ වේදනාවෙන් පරිපීඩිත වෙලා වගේ. ඒත් මගේ හිතට කිසිම හැඟීමක් දැණුනේ නෑ.
"ඒක මම ලබා උපන් හැටි වෙන්න ඇති. මගෙ උරුමේ වගේම කරුමෙත් වෙන්න ඇති. ඒකට ඔයාට කරන්න දෙයක් නෑ" මම කිව්වේ හැඟීමකින් තොරවමයි.
"ඔයා එහෙම පව් කරපු කෙනෙක් නෙවෙයි දුලාරා...ඒත් ඇත්ත, මාව ඔයාට හම්බවුණ එක ඔයාගේ කරුමේ වෙන්න ඇති...මම ඔයාට ආදරේ කරපු එක, හීන මාලිගාවක් මිසක හැබැහින් ඔයාට මම මොනවත්ම නොදීපු එක..." භූප කිව්වේ බිම බලාගෙන.
"ඔයා නයනා ගාවට යන්න භූප" මම ඒ මොනවත් නෑහුණ ගාණට කිව්වම භූප මා දිහා බැලුවේ මම කියපු එක අදහාගන්න බැරුව වගේ.
"දුලාරා...මං..."
"තවත් අපට කතා කරන්න දෙයක් නෑ. ප්ලීස්...දැන් මෙතනින් යන්න. ගිහිලා නයනා ලඟට යන්න. මට කරපු දේ එයාටත් නොකර ඔය දෙන්නා හොඳින් ඉන්න භූප..."  මම කිව්වේ රොබෝ කෙනෙක් වගේ.
"එහෙම කියන්න එපා. දෙයියනේ ඔහොම ඉන්න එපා දුලාරා...ඇයි මා එක්ක තරහා ගන්නේ නැත්තේ? ඇයි මට බනින්නැත්තේ?"
"බෑන්නා කියලාවත්, කෑ ගැහුවා කියලාවත් දැන් මොනා වෙන්නද? දැන් මොනා කිව්වත් මොකටද?" මම ඇහුවා.
"දුලාරා...ප්ලීස් ඔහොම ඉන්න එපා" භූප කිව්වේ ආයාචනාත්මකව.  
බැරිම තැන මම එතනින් නැගිට්ටා. මම ම දැනං හිටියේ නෑ කොහොමද මම ඒතරම් මාව පාලනය කරගෙනහිටියේ කියලා.
"ඔයා කොහේද යන්න හදන්නේ?" භූප ඇහුවේ බයකින් වගේ.
"තවත් ඔයා එක්ක එන්න මට අවසර නෑ නේද භූප?" මම ඇහුවේ ඔහු දිහා නොබලා.
"අනේ මෙහෙම කරන්න එපා දුලාරා. අඩු ගාණේ මට ඔයාව ගෙදරට ගිහින් ඇරලවන්න විතරක් ඉඩ දෙන්න. මට ඔයාට තනියෙම යන්න දෙන්න බෑ" භූප කිව්වේ ආයාචනාත්මක්ව.
මට දැනුනා මගේ හිත එන්න එන්න දුර්වල වීගෙන එන බව. තවත් මට එතන ඉන්න පුලුවන් කමක් තිබ්බේ නෑ.
"මට තවත් මෙතන ඉන්න ඕන නෑ. මම යනවා. කරුණාකරලා මගේ පස්සෙන් එන්න එපා. ආවොත් මම කෑ ගහනවා"
මම භූපට තර්ජනාත්මකව කියලා එතනින් නැගිටලා බස් නැවතුම දිහාට එන්න ආවේ, හිත ටිකින් ටික කඩා වැටෙද්දි. භූප එනවද නැද්ද කියලා බලන්නවත් මම පස්ස හැරිලා බැලුවේ නෑ. AT එක ලඟට යද්දි නොහිතපු විදියට මං ඉස්සරහට ආවේ අනුක්. මම ඔහුව දැක්කම උන්නු තැනම නැවතුණා. මම දන්නෑ ඔහු එවෙලේ කොහොම එතනට ආවද කියලාවත්. ඔහු ඇවිත් හෙමින් හෙමින් ඇවිත් මා දිහා බලාගෙන උන්නේ මොකක්දෝ කණගාටුවකින් වගේ. ඒත් මට ඒ දේවල් ගැන හිතන්න හිතේ එකලසක් තිබ්බේ නෑ. අනුක් හෙමින් මගෙ අතකින් අල්ලගද්දි පවා මම උන්නේ රොබෝ කෙනෙක් වගේ.
"අපි යමු' ඔහු කිව්වා.

මම ඇහුවේ නෑ කොහේද කියලාවත්. ආයෙම සෙනෙට් එක පැත්තට ඇවිත් ඒ හරියක නවත්තලා තිබ්බ ඔහුගේ වාහනේට ගොඩ වෙනකලුත් මම උන්නේ ඇතුලාන්තෙන්ම ගල් වෙලා වගේ. මට හිතුණා මම ඇඬුවොත් ජීවත් වෙන තුරාවටම මට ඒක නතර කරගන්න බැරි වේවි කියලා. භූප මෙහෙම දෙයක් කරාවි කියලා හීනෙකින්වත් නොහිතපු මට තාමත් වෙච්ච දෙවල් දැනුනේ භයානක හීනයක් වගේ. ඒ හීනේ ජීවත් වෙන්න මට ඕන වුණේ නෑ. ඒ වගේම හීනෙන් ඇහැරෙන්නත් හිතේ තිබුණේ බයක්. මට ඕනවුණේ පුලුවන් තරම් වෙලා, එවෙලේ මම උන්නු හැඟීම් දැනීම් නැති ගන්ධබ්බ අවස්ථාවේ පාවි පාවි ඉන්න වෙන්න ඇති.

4 comments:

  1. ඔන්න මේක කියවල භූපගේ පැත්තේ කට්ටිය මා එක්ක තරහා වෙන්න හෙම එපා. කතාව තව ඉවර නැ හොඳේ..

    ReplyDelete
  2. Hi nethu akke.. kohomade? i hope you can remember me... first of all wishing all of you guys who come this blog A VERY HAPPY NEW YEAR, i visit this blog every day to check for the new episodes of the story... but i didn't comment for some time..

    the story is flowing in a very surprising way i am waiting for the next episode.... wish you all the best akkiya and hope you would continue to write more and more loving stories like this :) and may be publish it as a book one day :) take care

    ReplyDelete
    Replies
    1. Of course I remember you darling. I can never forget any of you. I know it is late but I too wish you a Very very Happy New Year.

      The story will end soon but no way the blog will be abandoned. I will always write for my dear readers as long as I can. So come in the future too and have a lovely time!!

      Delete
  3. Ane akkii.. Can't wait for the next part... Please publish it sooon...

    ReplyDelete