Saturday, March 22, 2014

පනස් පස්වන කොටස



"දුලා..."
දවල් ලෙක්චර් එකක් ඉවර වෙලා අනික් එක පටන් ගන්නකල් බලාගෙන ඉන්න වෙලේ චතූ මාව ඇමතුවේ මම ලොකු කල්පනාවක ගැලිලා ඉන්දැද්දි.
"ම්ම්?"
"මොනාද අනේ ඔයා මේ ආපු වෙලේ ඉඳලා කල්පනා කර කර ඉන්නේ? මම බලාගෙන lecture එක වෙලෙත් ඔයා ගොඩ වෙලාවට උන්නේ මේ ලෝකේ නෙවෙයි. ආයෙම මොකක් හරි ප්‍රශ්ණයක්ද,නැත්තම් ඔයා තාම ඔය කල්පනා කරන්නේ භූපගේ සිද්ධිය ගැනද?" චතූ ඇහුවා.
මට සුසුමක් හෙලුණේ ඉබේටම. ඇත්තටම මේ දවස් ටිකේම මම කල්පනාවල පැටලෙන්නේ මටත් නොදැනිම වගේ.
"වෙච්ච දේවල් ගැන කල්පනාවෙන එක මට නවත්තගන්න බෑ චතූ. මම දන්නෑ මොනා කරන්නද කියලා මේ වෙන දේවල් වලට. කිසිම පැත්තක විසඳුමක නාමයක් වත් පේන්න නෑ.  එදායින් පස්සේ භූප ගැන ආරංචියක්වත් නෑ. හරි තොරතුරක් දැනගන්නකල් හිතට කිසිම නිවනක් නෑ චතූ. ඒ මදිවට එදා නොකියම ගිහින් මේ ප්‍රශ්ණ බලෙන් දා ගත්තා කියලා අනුක් මා එක්ක තරහා වෙලා..."
"තරහා වෙලා...? ඒක මහ පුදුම වැඩක් නේ. ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක්නෙ ඔයාට වෙලා තියෙන්නේ. සේරම ඔයාට හොඳ නැති විදියට වුණාට පස්සෙත් අනුක් ඔයා එක්ක තරහා වෙලාද? එයා මාර එක්කෙනෙක්නේ" චතූ කිව්වේ පොඩි අප්‍රසාදෙකින් වගේ.
"එක අතකට මට හිතෙනවා එයා වැරදි නෑ කියලා චතූ. මොකද භූපව මට මුණගස්සන්න එයා ගොඩක් මහන්සි වුණා. එයා එහෙම කරන්න ඕන නෑනෙ හොඳටම දැන දැන චේතිය මා ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න වග. ඒත් එයා එහෙම කලේ මං ගැන එයා තේරුම් ගත්තු නිසා. අනුක් ඇත්තටම හොඳ යාලුවෙක් චතූ.එයා මට සලකන්නේ පුදුමාකාර විදියට. එහෙමත් කරද්දි මම හිතුවක්කාර වුණ එක හරි කියලා මටත් හිතෙන්නේ නෑ. එයා තරහා ගන්න එක සාධාරණයි එක අතකට. හිතන්නකෝ එයා එනකල් ඉඳලා මම ආවා නම් එදා එහෙම නොවෙන්නත් තිබුණා. අනේ මන්දා චතූ...හැමදේම හොඳටම පැටලිලා"
මම කියාගෙන යද්දි චතූ මා දිහා බලාගෙන උන්නේ කුතුහලයත් පුදුමයත් පිරුණ ඇස් වලින් කියලා මට හිතුණා.
"ඉතිං ඔයා අනුක්ට කතා කලෙත් නැද්ද?"
චතූ එහෙම ඇහුවාම නම් මට පොඩි ලැජ්ජාවකුත් දැනුනා කලින්දා මම අනුක්ට කතා කරපු විදිය මතක් වෙලා. මම මොනා කිව්වත් අනුක් එක්ක තරහා වෙලා ඉන්න මට බැරි වග මට තේරුම් යමිනුයි තිබුණේ.
"කතා කලා...ඒත් මම එයාට කිව්වා ආයෙම මට උදව් කරන්න ඕන නෑ කියලා චතූ. මට එහෙම කියවුණා. මම එවෙලේ උන්නේ හිත අමාරුවෙන් හන්දා"
ඒ පාර චතූ මා දිහා බැලුවේ අමුතු විදියට.
"දැන් ඔයාම එයාට බැනලද මේ එයා තරහා වෙලා ඉන්නවා කියලා අප්සට් එකේ ඉන්නේ?"
"මං දන්නෑ චතූ...මේ දවස් වල මගේ ඔලුව අවුල් වෙලා ඉන්නේ"
"දුලා...මේ අහන්න. ඔයා ඔය කරන දේ ඒ තරම්ම හොඳයි කියලා මම හිතන්නේ නෑ" චතූ කිව්වේ අවවාදාත්මක ස්වරයකින්.
"මොන වැඩේද?"
"ඔය අනුක් එක්ක කරන වැඩේ. මට හිතෙනවා ඔයා මේ භූපගේ ප්‍රශ්ණේ එයා එක්ක විසඳන්න ගිහින් එයාව අනවශ්‍ය විදියට ඔයාගේ ජීවිතේට ලං වෙයිද කියලා"
චතූ කිව්වම මගේ හිතට ආවේ බයක් එක්කම පොඩි පසුතැවිල්ලක්.
"ඇයි එහෙම කියන්නේ?"
" මේ වෙන දේවල් දැක්කම මට එහෙම හිතෙනවා ඒකයි. ඔය දෙන්නා එකට යන්නේ එන්නේ. එක ගෙදර ඉන්නේ. ඊලඟට මේ යාලුවෙන තරහා වෙන එව්වා ඉවරයක් නෑ. දුලා අපට ගොඩක් තරහා යන්නේ අපි ගොඩක් ආදරේ කරන අය සම්බන්ධ දේවල් වලදි. ඒ අය එක්ක. මොකද අපි අනික් හැමෝටම වඩා ඒ අය ගැන හිතන හන්දා...මට බය ඒකයි"
චතූ කිව්වේ හදවතින්ම. ඒක මොන තරම් තිත්ත ඇත්තක් වුණත් ඒක පිලි ගන්න මම ලෑස්ති වුණේ නෑ හිත මොනවා කිව්වත්.
"එහෙම වෙන්නෑ...කවදාවත් එහෙම වෙන්න බෑ. අනුක් මම ගැන දන්නවා. එයා මං ගැන වැරදියට හිතන්නේ නැති වග මට විශ්වාසයි" මම කිව්වා.
"කෙනෙක්ට හිතින් ලං වෙනවා කියන්නේ වරදක් නෙවෙයි" චතූ කිව්වා.
"ඒක වරදක් තමයි  එයා අයිති වෙන කෙනෙක්ට නම්" මම වාද කලා.
චතූ තව මොනවත් කියන්න කලින් lecturer එන වග කියාගෙන ළමයෙක් හෝල් එකට වැදුනම අපේ කතාව නතර වුණා.
"මොනා වුණත් හිතලා...පරෙස්සමින් කරන්න දුලා. ආයෙමත් ඔයාගේ හිත රිදෙනවට මම කැමති  නෑ" චතූ note එක ගන්න ගමන් මට කිව්වා.
මගේ හිත සැලුණේ නැතුවා නෙවෙයි. චතූ කියන දේ ඇත්තත් නෑ කියලා මට කියන්න බැරි වුණත්, හිතේ කොනක අනුක් ගැන කියාගනන් බැරි හැඟීමක සේයාවක් තියෙනවග මම දැනගෙන උන්නත්, මට ඒක පිලිගන්න කොහෙත්ම ඕන වුණේ නෑ. තාමත් මම තදින්ම හිතුවේ මම භූපගේ විතරමයි කියලා. ඒ තරම් හිත සසල කරන්න පුලුවන්, ඒ තරම් මට ආදරය කරන්න පුලුවන්, ඒ වගේ දයාබර වෙන කෙනෙක් ආයෙම කවදාවත් මගේ ජීවිතේට එන එකක් නෑ කියලා මම ඇදහුවා. ඒ මොහෙතේ පවා භූප මගේ හිතේ හැමතැනකම උන්නා. ඒ මොහොතෙත්, හැම මොහොතකමත් මම ආදරේ කරන්නේ භූපට විතරමයි කියලා හිතන්න මට ඕන වුණා.
***
"තාත්තා කීයටද එන්නේ දුලා?" දවල් කෑමට අපි ගෙම්බා එකත යන අතරේ මගෙන් ඇහුවේ තාරකා.
"තුනට විතර එයි. තුන හමාරේ කෝච්චියට යන්න ඕන නේ"
"ම්ම්...කාලෙකට පස්සේ ගෙදර යන නිසා ඔයාට happy නේද? ගිහිල්ලා ටිකක් නිදහසේ ඉඳලා එන්න දුලා. මේ වෙච්ච දේවල් පොඩ්ඩකට අමතක කරලා ඉන්න බලන්න" තාරකා කිව්වා.
"එහෙම කරන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද තාරු. මම දන්නවා ගෙදර ගියාම මට භූපව හොඳටම මතක් වෙයි. ඒත් අඩුගාණේ එයාට වුණේ මොකක්ද කියලාවත් දැනගන්න පුලුවන් වෙයි කියන එක විතරයි හිතට තියෙන එකම බලාපොරොත්තුව" මම කිව්වා.
ඒ පාර යෙහෙලියෝ තුන් දෙනාම මා දිහා බලාගෙන උන්නේ දුකෙන් වගේ. මම හිනාවෙලා ඒ දුක නොදැක්කා වගේ ඉස්සරහ බලද්දිම වගේ මගේ කකුල් මොහොතකට නැවතුණේ ගෙම්බා එක ලඟ හිටගෙන උන්නු කෙනෙක් දැකලා.
"දුලා...අර අනුක් නේද?"
එවෙලෙම වගේ චතූ මගෙන් ඇහුවා.
මගේ උගුර ඇතුලේ ගින්නක් පත්තු වුණා වගේ මට දැනුනා. අනුක් මාව දැක්කේ තව මොහොතක් විතර පමා වෙලා. ඔහු මාව දැක්ක ගමන් එතනින් ඉස්සරහට එන්නා ආවත් මගේ ගමන් නම් බාල වෙලා තිබුණේ.
"can I talk to you for a minute?" අනුක් චතූලට හිනාවක් පාලා මගෙන් ඇහුවේ වෙනදා වගේම සැහැල්ලුවෙන්.
"ඔයා කතා කරලා එන්න, අපි ඉන්නම්" චතූ කිව්වා.
"නෑ චතූ ඔයාලා කන්න. මම එන්නම්"
ඒ පාර චතූලා අනුක්ගෙන් සමු අරගෙන ගෙම්බා එකට ගියාම අපි දෙන්න එහාට මෙහාට යන සෙනග මැද්දේ ඔහේ හිටගෙන උන්නා තව මොහොතක්.
"අපි පොඩ්ඩක් එහාට ගිහින් කතා කරමුද?"
අනුක් ඊට පස්සේ ඇහුවම මම ඔහු එක්කම යන්න පිටත් වුණේ පොලොන්නරුව දිහාට. පොලොන්නරුවේ තැන තැන එක්කෙන්ක් දෙන්නෙක් උන්නත් අපට ඉඳගන්න පොඩි තැනක් හොයාගන්න අමාරු වුණේ නෑ. මගේ හිත තිබ්බේ හොඳටම සැලෙමින්. හිතේ ප්‍රශ්ණ දාහක් විතර කැලඹෙමින් තිබුණා ඒ මදිවට. අපි ඉඳගත්තත් අනුක් කතා කලේ නෑ තවත්.
"දැන් ඔයාට හොඳද?" මම ඇහුවේ බැරිම තැන.
අනුක් මා දිහාට හෙලුවේ තියුණු බැල්මක්. මට බිම බැලුණා.
"ඇයි ගෙදර යන වග මට නොකිව්වේ?" ඔහු උත්තර දුන්නෙත් ප්‍රශ්ණෙකින්මයි.
"ඒක මේ හදිසියේ තීරණය කලේ අනුක්. කියන්න වෙලාවක් තිබුණේ නෑනෙ" මම හෙමින් කිව්වා.
මට අනුක් එක්ක රණ්ඩු කරන්න ඕන වුණේ නෑ.
"බොරු කියන්න එපා දුලාරා. එහෙම නම් ඔයා ගෙදර යන්න හිතන්නේ මීට කලින්. අර ප්‍රශ්ණේ වුණ වෙලාවේ. දැන් ඔයා යන්න හදන්නේ ඒ නිසා නෙවෙයි" අනුක් කිව්වේ නොරිස්සුම් ස්වරයකින්.
"ඔයා කොහොමද එහෙම කියන්නේ?"
"ඒක මම දන්න නිසා. ඔයා යන්නේ..."අනුක් මදක් නැවතුණා.
"ඔව්..."
"ඔයා යන්නේ මා එක්ක තියෙන අමනාපෙ නිසා"
අනුක් එහෙම කිව්වම මට දැනුනේ පුදුමයක්. ඒත් ඔහු කියපු දේ ඇත්තක් නොතිබුණාම නෙවෙයි. මම ඒ කියපු දේට යමක් කියන්න කල් ගත්තේ ඒකයි.
"මම ගෙදර යන්නේ කා එක්කවත් තරහා නිසා නෙවෙයි. මට ගෙදර යන්න ඕන නිසා. මම දැන් සති ගාණකින් ගෙදර ගියේ නෑනෙ. හැමදාම මට චේතිය එක්ක යන්න බෑ. අනික දැන් අපේ ලොකු අයියලාගේ බබා ලැබෙන්නත් ලඟයි" මම කිව්වා.
"ඔයා ඔය කියන්නේ සම්පූර්ණ ඇත්ත නෙවෙයි" අනුක් කිව්වා.
"මොකක්ද මම කියන බොරුව?"
"මම දන්නවා ඔයා යන්නේ මා එක්ක තරහා වුණ නිසත් කියලා"
"එහෙම හිතන්න එපා...එහෙම දෙයක් නෑ"
මම එහෙම කිව්වම අනුක් ආයෙම මොහොතක් ගොලු වෙලා උන්නා.
"මම ඔයාට බැන්නේ, ඔයා එක්ක තරහා වුණේ මගේම හිතේ තිබ්බ දුකට. මං දන්නවා චේතිය අයියා එදා ඔයාව නොමරා මරන්න ඇති කියලා. මට හිතාගන්නවත් බෑ ඒ moment එක ගැන. ඔයා මා එක්ක යන්න හිටියා නම්, එක්කෝ මට විතරක් ගිහිල්ලා විස්තරේ බලාගෙන එන්න දුන්නා නම් මේ දේ වෙන්නේ නෑ කියලා හිතද්දි ඔයාගේ හිතුවක්කාරකම ගැන මට තරහා ගියා. ගොඩක් තරහා ගියා. ඒත් පස්සේ මට දුක හිතුණා ගොඩක්. ඔයාගේ හිතේ මොනතරම් දුකක් ඇත්ද කියලා හිතනකොට. ඉතිං මම කතා කරන්න එද්දි ආයෙම ඔයා මට පොර talk දුන්නානේ. ඉතිං මට තරහා යන එක අසාධාරණද? ඒකයි මම කිව්වේ ඔයාට ඕන දෙයක් කරගන්න කියලා. ඒත් මං හිතුවේ නෑ ඔයා මෙහෙම ගෙදරින් යන්න හිතයි කියලා..."
අනුක් කියාගෙන කියාගෙන යද්දි මගේ හිත දියවෙනවා වගෙයි මට දැනුනේ. ඇත්තටම ඔහු මං ගැන කොච්චර හිතනවද?
"මම නවතින්නම යනවා නෙවෙයි නේ අනුක්"
"ඒත් ඔයා ඉරිදා එන්නෙත් නෑනෙ"
අනුක් එහෙම කිව්වම මම පුදුම වුණේ මගේ හිතේ තිබුණේ දේ ඔහුට දැනුනේ කොහොමද කියලා.
"ඔයා කොහොමද් එහෙම කියන්නේ?"
"ඔයා දිහා බැලුවම මට ඒක කියත හැකි. හිත නොරිදීම ගෙදර ගියත්, ඉරිදට එන්න හිත හදාගනන් බෑනෙ නේද? මම ඒක දන්න්වා. මොනා වුණත් ගෙදර වගේ තව තැනක් කාටවත් නෑනෙ. ඒකයි..."
මම අහගෙන උන්නේ අනුක් ගැන උපන්න දයාවක් හිතේ පැතිරෙද්දි.
"ඒත් මා එක්ක තරහාවෙලා ඔයාට යන්න දෙන්න මට බෑ දුලාරා..." අනුක් කිව්වේ ගොඩාක්ම හැඟීම්බරව.
මම ඔහු දිහා යන්තමට බැලුවේ ඒ වචන අයිස් ධාරාවක් වගේ හිත සීත කරගෙන යද්දි.
"මම තරහා නෑ අනුක්. ඒත්...මගේ හිත රිදුණේ නෑ කියලා බොරු කියන්න මට බෑ. හැමදේම වැරදියට වුණාට පස්සේ මගේ හිතේ දුක කියන්න මම ඔයාව හොයද්දි ඔයා මා එක්ක තරහා වෙලා. මට වුණේ මගේ හිතේ දුක හිතේම හිර කරගෙන ඉන්න. ඔයා දන්නෑ මම අඩු තරමේ මගේ යාලුවෙක්ටවත් ගොඩක් දේවල් කියලා නෑ. ඔයාට තරම් දේවල් කියලා නෑ. ඒ ඔයා මගේ හොඳම  යාලුවා කියලා මම හිතපු නිසා වෙන්න ඇති. මම තාමත් එහෙම හිතනවා අනුක්. මම ඔයා එක්ක තරහා නෑ..."
අනුක් මා දිහා බලාගෙන උන්නේ වේදනාවකින් වගේ.
මම හිස උස්සලා ඒ දිගටි ඇස් දිහා බැලුවම මගේ හිත ආයෙම සසල වුණා. ඒ ඇස් රතු වෙලා තිබුනේ ඇයි කියන්න මම දන්නේ නෑ.
"I am really sorry Dulara...මම ඔයාගේ හිත රිද්දුවා. හීනෙකින්වත් ඔයාගේ හිත  රිද්දන්න නොහිතපු මමම අන්තිමට ඔයාගේ හිත රිද්දුවා. Please forgive me.." අනුක් එහෙම කිව්වා හෙමීට, අන්තිමට.
"දැන් ආයෙමත් ඔය ගැන හිතන්න එපා. මම කිව්වනේ තරහා නෑ කියලා" මම කිව්වම ඔහුගේ මූණේ හීන් හිනාවක් ඇඳුනා. මමත් හිනාවක් පෑවා. ඇත්තටම මට ඔහු එක්ක තරහා වෙන්න බැරි වග ඔහු දන්නවා නම්...
"ආනේ...එකටත් ලඟයි වෙලාව. දැන් ඔයාට දවල්ට කන්න වෙලාකුත් නැති වෙයි. යන්න යන්න දුවලා ගිහින් කන්න" අනුක් ඒ පාර ෆෝන් එක එලියට අරගෙන වෙලාව බලන ගමන් කිව්වේ කලබලෙන්.
"කෑම එක බෑග් එකේ. අපි දෙන්නම කමුද?"
ලතා අම්මා හැමදාම වගේ අදත් ඔතලා දීපු බත් එක අතට අරගෙන මම ඇහුවේ අනුක් කාලා නැතිව ඇති කියලා හිතුණ නිසා. එවෙලේ මට දැනුනේ ආපහු හැමදේම සාමාන්‍ය වෙලා වගේ. පුදුමෙකට වග හිත තිබුණෙත් සන්සුන් වෙලා.
"අනේ මට කන්න බෑ දුලාරා. කිසිම පිරියක් නෑ" අනුක් කිව්වේ මූණ ඇද කරගෙන.
"ඔයාට තාම උණ වෙන ඇත් එහෙනම්"
මම පුරුද්දට වගේ අතක් ඔහුගේ නලලේ තියලා බැලුවම මගේ ඇස් උඩ ගියේ අනුක්ගේ ඇඟේ රස්නේ හොඳටම වැඩි වග දැනිලා.
"අනේ අනුක් මේ ඔයාට හොඳටම උණ නේ! ඔයා මොනවත්, අඩුගාණේ පැනඩෝල් එකක් වත් බිව්වේ නැද්ද?"
"නෑ නෑ. මේක හරි යයි" අනුක් අතත් අයින් කරලා කිව්වේ නොසැලකිල්ලෙන්.
"පිස්සුද, හරියන්නේ කොහොමද? මෙහේ මේ දවස් වල ඩෙන්ගුත් තියෙනවා. අපි යමු Health Center එකට"
මම යෝජනා කලේ ඒ තරම්ම නොහිතා. අනුක් ලෙඩින් ඉන්න එක මට දුකක් වුණා.
"අනේ ඕන නෑ දුලාරා. මම දැන් ගෙදර යනවානෙ. ගිහින් බෙහෙතක් ගන්නම්" අනුක් කියන දේ අහන්නෙම නෑ.
"එහෙම කියලා කොහොමද? අනික ඔච්චර උණ තියාගෙන වාහන එලවන්නේ කොහොමද? පිස්සු නටන්න එපා. යමු අපි Health Center " මම බල කලා.
"දුලාරා...මේ වෙලාවේ එහේ ඩොක්ටර්ස්ලා නෑ"
"එහෙනම් වෙන කොහාට හරි යමු.. සුව සෙවනට?"
"අනේ ඕන නෑ. අනික දැන් ඔයාට එකට lectures නේද? ඔයා යන්නකෝ. ගිහින් කාලා යන්න lectures ප්ලීස්"
"ඊලඟ ලෙක්චර් එක තියෙන්නේ දෙකට. දැන් අපේ ලයිබ්‍රි පැය. අපි ඉක්මණට ගිහින් එමු. දැන් එන්න"
"ඕන නෑ කිව්වනේ" අනුක් කිව්වේ එපා වෙලා වගේ.
"එහෙනම් ඉන්නකෝ මගේ බෑග් එකේ පැනඩෝල් දෙකක් තිබුණා. ඒකවත් දෙන්න" බැරිම තැන මම කිව්වා බෑග් එකේ සාක්කුව අරින ගමන්.
"ගෑණු ළමයිනුත් මාරයි නේද? රටේ තියෙන සේරම බෑග් එකේ දාගෙන එනවා නේ. නැත්තේ අලි ඇත්තු විතරයි වෙන්න ඕන මහිතේ" ඒ පාර අනුක් කිව්වේ හිනාවක් පාන ගමන්.
"හා...එහෙම තමා. මොකද ඔයා වගේ අත වන වන යන කොල්ලෝ ඉන්නකොට, ඕන දේවල් අපි හරි ගෙනියන්න එපෑ. ආ...මෙන්න"
මම සාක්කුවේ තිබිලා හොයා ගත්තු පැනඩෝල් දෙක වතුර බෝතලෙත් එක්ක අනුක්ට දික් කලා.
"ඔයා තරහාවෙන හන්දයි මම මේ බොන්නේ. නැත්තම්මේ පොඩි උණකට බෙහෙත් ගිලින්න ඕන නෑ" අනුක් කිව්වා.
"පණ්ඩිතකම පැත්තක තියලා ඕක බොන්නකෝ"
අනුක් නිකං නරක මොනා හරි බොන්නා වගේ මූණත් ඇද කරගෙන බේත් පෙති දෙක බොද්දි මම ඔහු දිහා බලාගෙන උන්නේ දයාවකින්. අනුක් වෙලාවකට පොඩි එකෙක් වගේ කියලා මට හිතුණා.
"ඔයත් හරියට අපේ අම්මා වගේ. ලෙඩක් වුණාම මට නිවනක් නෑ බේත් බීලයි, රෙස්ට් කරලයි" අනුක් කිව්වේ බෝතලේ ආපහු මා අතට දෙන ගමන්.
ඔහු එහෙම කිව්වම මට දැනුනේ පොඩි සංතාපයක්. ඇත්තටම අම්මා කෙනෙක් ලඟ නැති එක මොන තරම් නම් පාඩුවක්ද? ඒ එක්කම ලෙඩිනුත් ඉඳලා අනුක් මාව මෙහෙම බලන්න ආපු එක ගැනත් මට තිබුණේ දුකක්. මේ ටික කාලෙට අපි මොන තරම් ලං වෙලාද?
"ඒ පාර මොකක්ද කල්පනා කරන්නේ? මට දෙන්න හොඳ කසාය වඩියක් ගැනවත්ද?"
"ඇයි අනුක් මෙච්චර උණත් තියාගෙන මෙහෙම ආවේ?" මම ඔහුට උත්තරයක් නොදී ඇහුවා.
මම එහෙම ඇහුවම අනුක් මා දිහාට හෙලුවේ හිත සසලකරවන විදියේ බැල්මක්.
"ඇයි ඔයා මේ දවල්ට කන්නෙත් නැතුව, යාලුවොන්වත් දාලා ඇවිත්, මට මේ වද කර කර බේත් පොවන්න හදන්නේ?"
මම ඔහු දිහා බලාගෙන උන්නේ උත්තරයක් හිතාගන්න බැරිව.
"ම්ම්?"
"දුලාරා...අපි දෙන්නටම තියෙන්නේ එකම හේතුව. ඒ..මම ඔයා ගැන, ඔයා මම ගැන ගොඩක් care කරන හන්දා කියන එක...අනික තමයි මම ආවේ මට කොහොමවත් ඔයා එක්ක තරහා වෙලා ඔයාට ගෙදර යන්න දෙන්න බෑ හිතුණ නිසා" අනුක් කිව්වේ දයාබරව.
ඒ දයාබර බව මගේ හිත ආයෙම සසල කලා. මම ආයෙමත් මුකුත් කියන්න ගියේ නැහැ.
"අපි WUS එකට යමු, එතකොට ඔයාට කන්න පුලුවන්. දැන් ගොඩක් අය කාලා ගිහින් ඇති. ගෙම්බා එක හරි තදබදයි. මං ආස නෑ" මට මොහොතක් එහෙමම ඉන්න දීපු අනුක් ඊලඟට ඇහුවා.
"හ්ම්"
අපි ඊට පස්සේ Senate එක පැත්තෙන් නැගලා WUS එක දිහාට යන්න ආවා.
"දුලාරා..."
"ම්ම්"
"එදා සිද්ධියෙන් පස්සේ භූපට මොකද වුණේ කියලා ඔයා දන්නවද?"
අනුක් එහෙම ඇහුවම මම තිගැස්සුනා. ඔහු එහෙම ඇහුවේ ඇයි කියලා මට හිතාගන්න බැරි වුණා.
"නෑ...ඔයාට මොනා හරි දැනගන්න හම්බුණාද? මම ඇහුවේ බලාපොරොත්තු සහගතව.
"ම්හු...නෑ. මගේ ගාව තිබුණා කට්ට්යගෙම නොම්මර. ඒත් කවුරුත් answer කරන්නේ නෑ කතා කලාට. භූපගේ නම් ෆෝන් එක off කරලා තියෙන්නේ" අනුක් කිව්වම හුලං ගිය බැලුමක් වගේ මගේ හිත ඇකිලුණා.
"අනෙ මංදා අනුක්...හිතාගන්න බෑ මොනා වෙලාද කියලා. මට බයත් හිතෙනවා වෙලාවකට. අඩු ගාණේ ගෙදර ගියාමවත් මොනා හරි දැනගන්න ලැබෙයි කියලා මම හිතනවා"
"ඔයා ගෙදර යන්නේ ඒ නිසාද?"
"ඒකත් එක හේතුවක් තමයි"
"මට පුලුවන් නම් මම ඔයා එක්ක එනවා. ඒත් ඉතිං ඒක කරන්න බෑනෙ. මම try කරන්නම් දුලාරා භූප හැන මොනා හති තොරතුරක් හොයාගන්න පුලුවන්ද බලන්න" අනුක් කිව්වා.
"හ්ම්"
"දැන් චේතිය අයියා නම් ඇත්තේ මාර alert එකේ. මට තේරුණා මිනිහා ඉන්නෙත් ඕන වෙලාවක blast වෙන මට්ටමක කියලා. හොඳම දේ තමා දැනට ෂේප් එකේ ඉන්න එක. ඒ නිසා ඔයා කරන දෙයක් එයාට නොදැනෙන්න කරන්න දුලාරා..."
"මම භූප ගැන හෙව්වට ආයෙමත් අපට එකතු වෙන්න ලැබෙයි කියලා මම හිතන්නේ නෑ අනුක්" අනුක්ගේ දයාබර බව ලඟ මගේ හිතේ තද කරගෙන උන්නු දුක හෙමින් හෙමින් එලියට එන්න පටන් අරන් තිබුණා.
"මොකක්? ඔයා මොනාද මේ කියන්නේ?"
"මම කියන්නේ ඇත්ත. අපි මොනා කලත් අන්තිමේදි ගෙදර අය ලඟදි මට නතර වෙන්න වෙනවා. මට ඒ අය කියන දේට උඩින් දෙයක් කරන්න බෑනෙ" මම කිව්වේ කලකිරීමෙන්.
"ඇත්තටම ඔයා මොනාද මේ කියන්නේ?"
"අනුක්...මම භූප ගැන හොයන්නේ මගේ හිත හදාගන්න. මට දැනගන්න ඕන එයා කොහේ හරි කරදරයක් නැතිව ඉන්නවද කියලා.තවත් තේරුමක් නැති දේවල් ගැන බලාපොරොත්තු තිය තිය ඉන්න එකේ තේරුමක් නෑ අනුක්. චේතිය කවදාවත් මට භූප ලඟට ලං වෙන්නවත් දෙන එකක් නෑ"
මම කියාගෙන යද්දි අනුක් මා දිහා බලාගෙන උන්නේ මම කියන දේ විශ්වාස කරන්න බැරුවා වගේ.
"එතකොට දැන් ඔයා හදන්නේ භූපව අමතක කරලා චේතිය අයියව මැරි කරන්නද?"
"මම මැරෙනකල්ම මට එයාව අමතක කරන්න බෑ අනුක්. මම එයාට ඒ තරම්ම ආදරෙයි. ඒත් මට එයා ගැන බයයි. ඇත්තටම මම බයයි චේතිය එයාට මොනා හරිකරයි කියලා" මම කිව්වේ නහයත් බර වෙද්දි.
"පිස්සු කියන්න එපා දුලාරා. චේතිය අයියා කොහොමද භූපට මොනවත් කරන්නේ? එහෙනම් මේක එයාට ගිය රට වෙන්න ඕන. එහෙම මොනවත් වෙන්නේ නෑ. ඔයා ඔහොම weak වෙලා කොහොමද? පොඩි දේවල් නිසා මෙහෙම සැලෙන්න එපා. මම ඔයාට ඉන්නවනේ උදව් කරන්න. අපි කොහොමහරි භූප ගැන හොයාගමු ඉස්සෙල්ලම. ඊට පස්සේ බලමු ඊලඟට කරන දේ. We’ll tackle one problem at a time"
"ඔයාට තේරෙන්නේ නෑ අනුක්. චේතිය එදා මාව ඇදගෙන ගිහින් මට තර්ජනය කලා. ආයෙම භූප හම්බවෙලා තිබුණොත් එයා භූපට යහතින් ඉන්න දෙන්නේ නෑ කියලා කිව්වා. අනුක් එයා ගාව තුවක්කුවක් තියෙනවා. මේ...පිස්තෝලයක් තියෙනවා...මම බයයි. ඇත්තටම මම බයයි. මම නිසා භූපට මොනා හරි වුණොත් මට ආත්ම ගාණක් විඳවන්න වෙයි අනුක්..."
අනුක්ගේ ඇස් වල තිබුනේ ප්‍රශ්ණ ගොඩක්.
"පිස්තෝලයක්? එයාට කොහෙද ඒකක්? අනේ මන්දා මේ යකා මොනා කරනවද කියලා...ඉතිං එයා ඒක පෙන්නලා ඔයාව බය කලාද?"
"ම්ම්"
"බලාගෙන යනකොට මේ මනුස්සයා මාර පිස්සෙක්නේ. දුලාරා...මේ අහන්නකෝ. එයා ඔය පොර සේ කියෙව්වට ඔයා ගණං ගන්න එපා. කියන තරම් යකා කලු වෙන්නේ නෑ මොන වෙලාවකවත්. අනික එක පිස්තෝලයක් නෙවෙයි, යුද්ධ හමුදාවක්ම අරන් ආවත් ඔයා එයාට අකමැති නම් එයාට ඔයාව බලෙන් ගෙනියන්න බෑ. එහෙම එයාට කරන්න පුලුවන් නම් ඉතින් මොනා කරන්න බැරිද. එයා ඔයා දුෂ්ඨයා වෙන්න හැදුවට ඔයා බය වෙන්න එපා"අනුක් කිව්වේ ස්ථිර හඬින්.
"ඔයාට කියන්න නම් ලේසියි. ඒත් ඒක කරන්න අමාරුයි නේ. ඔයා දන්නෑ අනුක්...චේතිය ඔයාලා දකිනවට වඩා හරි වෙනස්. එයා ඔයාලට පෙන්නන කෙනා නෙවේ ඇතුලේ ඉන්නේ" මම කිව්වා.
"මේකයි ඉතිං, චේතිය අයියට තරහා යන එක එයාගේ පැත්තෙන් සාධාරණ ඇති. ඒත් එයා මුල ඉඳන්ම කලේ වරදක්නේ. එයා තෝරගත්තේ වැරදි කෙල්ලව. එයා එහෙම කලේ හොඳට තිබ්බ හිත් දෙකක් වෙන් කරලා. එන්න ඒකයි වරද. එහෙමත් කරලා ඔයා එයාට කැමති වෙයි කියලා එයාට කොහොමවත් බලාපොරොත්තු වෙන්න බෑ. දුලාරා...ඔයා එයාට බය වෙන්න ඕන නෑ. ඔයාට මම ඉන්නවා ඕන දේකට. අපි ආයෙම භූප ගැන හොයා ගන්න බලමු" අනුක් කිව්වා.
"අනේ එපා අනුක්. ඔයත් මේකට ගෑවෙන්න එපා. මේ වෙන දේවල් මෙහෙමම වුණාවේ. මේක මගේ කරුමේ. ඒක ගෙවිලා ඉවරයක් වෙච්චදෙන්. නැත්තම් මට ලබන ආත්මෙත් මේ මනුස්සයා එක්ක දුක් විඳින්න වෙයි..."
"ලබන ආත්මෙට යන්න කලින් මේ ආත්මේ ජීවත් වෙලා ඉන්න එපැයි. විකාර නොකියා ඉන්න. ඔයා බය වෙන්න එපා. මම සේරම බලාගන්නම්. හැබැයි එකක්, මේ පාර කලා වගේ පිස්සු වැඩ කරන්න බෑ. පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න බලන්න. අනික පුලුවන්තරම් චේතිය අයියාගෙන් ඈතට වෙලා, ඒත් එයා එක්ක ෂේප් එකේ ඉන්න බලන්න. එයාව අවුස්සගෙන මේක කරන්නත් බෑනෙ. තේරුණාද?" අනුක් ඇහුවේ ලොකු සැලසුමක් හදන කෙනෙක් වගේ.
"ඔයා මොනා කරන්න යනවද කියලා මට තේරෙන්නේ නෑ අනුක්...මට බය අන්තිමට මේ සේරම හන්දා මට භූපත් නැති වෙලා, ඔයාටත් කරදරයක් වෙයි කියලා"
"ඒ කියන්නේ ඔයා මං ගැනත් හිතනවා?" අනුක් ඇහුවේ විහිලුවට වගේ. මම ඔහු දිහා බැලුවා. ඒ ඇස් වලත් තිබුණේ හිනාවක්.
"ඔව්...ඇත්තටම මම හිතනවා තමයි"
මම බැරෑරුම් විදියට කිව්වම ඒ ඇස් වල පිරුණේ සෙනෙහසක්.
"Don’t worry...අපි මේක කොහොම හරි කරමු" ඒත් ඔහු කිව්වේ එච්චරයි.

Sunday, March 16, 2014

පනස් හතරවන කොටස



මේ හොඳට තිබ්බ ජීවිතේ එක පාරටම කුණාටුවකට අහුවුණා වගේ හැඩිවෙලා ගිහින් තිබුණේ හිතාගන්න බැරි විදියට. චේතිය ගැන මට හිතන්න දෙයක් තිබුණේ නෑ. ඔහු ගැන හිතේ තිබුණ එකම දේ පිලිකුල විතරයි. ඒත් මට දරන්න අමාරුම දේ වුණේ භූපට එදායින් පස්සේ වුණේ මොකක්ද කියලාවත් දැනගන්න නැතිවුණ එකයි. ඒ සේරටම හරියන්න එක්ක අනුක් උන්නෙත් මා එක්ක තරහා වෙලා. ඒ ඔහුට නොකියා, ඔහු කියන දේ නාහා එදා මම ඉස්පිරිතාලේ ගිය හන්දා.
"මම කිව්වා ඔය ගමන යන්න එපා කියලා...ඇයි එහෙම කියද්දි කියද්දි ඔයා ගියේ? ඔයා ඇයි ඔය තරම් හිතුවක්කාර දුලාරා?" අවසරයක් ලැබුණ මුල්ම වෙලේම අනුක් කලේ මට දොස් කියපු එක.
මට මොනවත් කියන්න ඕන වුණේ නෑ. ඒ නිසා මම කලේ අහගෙන උන්නු එක විතරයි.
"මම එනකල් ඔයාට ඉන්න තිබ්බනේ. එහෙනම් මේක චේතිය අයියට ආරංචි වෙන්නේ නෑනෙ. දැන් ඉතිං සේරම කරලා ඉවරයි. දැන් හරි නේ. මේ සේරම ඔයාගේ තියෙන තේරුමක් නැති වැඩ නිසා. ඔයා ඕන දෙයක් කරගන්න දුලාරා. මට නම් මීට වඩා දෙයක් කරන්න බෑ. I am really disappointed…now I had enough. Yes.."
අනුක් යන්න ගියේ කලකිරීමෙන් වගේ. මම ඔහුට කතා කරන්න හිස ඉස්සුවත් ඔහු උන්නේ ඈතට ගිහින්.
හිතේ දුකක් නොතිබුණා නෙවෙයි ඒ ගැන. මොකද මේ ගෙදර මගේ දුක කියන්න මට උන්නේ අනුක් විතරයි. දැන් ඔහුටත් මාව එපා වෙලා. මම සුසුමක් හෙලුවේ හිත ටිකක් සැහැල්ලු කරගන්න. ඒත් භූප ගැන් හිතේ තිබුණ බර, දෙගිඩියාව, බය, ඒ සුසුමේ දිය කරන්න මට පුලුවන් වුණේ නෑ. හොඳ වෙලාවට ඉස්පිරිතාලෙදි වෙච්ච කිසිම දෙයක් අනුක්ලගේ ගෙදර අය දැනගෙන උන්නේ නෑ. එහෙදි චේතිය හැසිරුණේ මොනවත්ම නොවුණු ගාණට මා ගැන මවාගත්තු ආදරේකින්. ඒත් මට මේ සේරම තිත්ත වෙලයි තිබුණේ. මට ඕන වුණේ මේ සේරම දමලා ගහලා ගෙදර යන්න විතරයි.
ඊට පස්සේ ගෙවුණ මුලු සතියෙම වගේ චේතිය උන්නේ නුවර. ඒ නිසා මට උදේ හවා කැම්පස් යන්න වුණේ ඔහු එක්ක. හිතේ තිබ්බ කම්පනෙයි, දුකයි නිසාම මට ගෙදර යන්න තිබ්බ උවමනාව සතිය මැද වෙද්දි හොඳටම වැඩි වෙලයි තිබුණේ.
"අම්මා...."
මගේ හිතේ තිබ්බ ආවේගේ නිසාම මම බදාදා කෑම පැයේ කාසි දාන දුරකථනයකින් ගෙදරට කතා කලා.
"දෝණි...හානේ. මොකද මේ අද කවදාවත් නැතිව දවල් කතා කරන්නේ? කොහෙද ඔයා ඉන්නේ? අද නිවාඩුවත්ද?" අම්මා කතා කලේ දයාබරව.
මගේ උගුර හිර වෙලා ඇස් වලට කඳුලු පිරුවේ ඇසිල්ලකින්.
"නෑ...අම්මා. මට නිකං කතා කරන්න ඕන වුණා"
"හා ඒක මිසක්. ඒත් ඔයාගේ කට හඬත් අමුතු වෙලා නිසා මම හිතුවා අසනීපයක්වත්දෝ කියලා" අම්මා කිව්වා.
"අම්මේ...මට ගෙදර එන්න ඕන” උගුර තවත් හිර වෙන්න කලින් මම කියාගත්තේ මට ඇඬෙන්නම ආපු නිසයි.
"මේ අද, ඇයි දෝණි, මොකක් හරි හදිසියක්ද?"
"නෑ...සිකුරාදට. හදිසියකට නෙවෙයි. අක්කවත් මට බලන්න ඕන" මම කිව්වා.
"අනේ ඉතිං එනවනන් කොච්චර එකක්ද? අක්කට දින තියෙන්නේ ලබන සතියේ. ඒත් දැන් කාලේ හරි හන්දා කොයි වෙලේද කියන්න බෑ. ඔයා එහෙමනම් සිකුරාදට එන්න දෝණි. චේතිය ඔයාව ගෙනැත් ඇරලයි නේද?"
"මට චේතිය එක්ක එන්න බෑ. ඇයි මම එයා එක්ක එන්නේ? අනික එහෙම හැමදාම කෙනෙක්ට කරදර කරන්න බෑනෙ. කිව්වොත් එන්නේ වැඩ සේරම දාලා. ඊට පස්සේ ඒ පාඩු වෙන ඒවා? අනේ අම්මා මම තනියෙම එන්නම්. මට තනියෙම එන්න පුලුවන්" මම අම්මට පිංසෙඩු වුණා.
"තනියෙම එන්නේ කොහොමද? මට අයියගෙන් මෙහේ විසුමක් වෙන එකක් නෑ" අම්මා කිව්වා.
"එහෙනම් තාත්තට එන්න කියන්න බැරිද?" මම ඇහුවා.
අම්මා එක පාරටම මුකුත් නොකියා උන්නේ මොකක්ද කරන්නේ කියලා කල්පනා කරපු නිසා වෙන්න ඇති.
"මම තාත්තට කියලා බලන්නම්. දැන් නම් ගෙදර නෑ...ආවම කියලා මම රෑට කෝල් එකක් දෙන්නම්"
"හා...අම්මේ තව තප්පර දහ අටයි තියෙන්නේ, දැන් කට් වෙයි. අනේ අම්මේ මතක් කරලා කියන්න තාත්තට. තාත්තා නාවත් මම තනියෙම හරි එනවා..." මම කියාගෙන යද්දි ෆෝන් එක කට් වුණා.
මම රිසීවරේ තියලා සුසුමක් හෙලලා ලඟ උන්නු චතූ දිහා බැලුවා.
"ගෙදර යන එක හොඳයි" ඈ කිව්වේ එච්චරයි. කොහොමින් හරි ඒ පාර හිතේ තිබුණේ පුංචි සහනයක්. ඒ සිකුරාදා දවස එනකල් බලා ඉන්න මට දැන් බලාපොරොත්තුවක් තිබුණ නිසා.

හවස ලෙක්චර්ස් ඉවර වෙලා මම පොලොන්නරුවේ ලොකු මාර ගහ යටට ආවේ චේතිය සාමාන්‍යයෙන් එන්නේ එතනට නිසා. ඒත් ටික වෙලාවකින් මා ලඟට ඇවිත් නැවැත්තුවේ අනුක්ගේ වාහනේ. මම එක පාරටම මොකවත් හිතාගන්න බැරිව අනුක් දිහා බැලුවා.
"නගින්න" අනුක් කිව්වේ මා දිහා යන්තම් බලලා.
"කෝ චේතිය?" මම නොනැගම ඇහුවා.
"හදිසියක් වෙලා කොලඹ යනවා කිව්වා" අනුක් කිව්වේ ඕනවට එපාවට වගේ.
"මම බස් එකේ එන්නම්. ඔයා යන්න"
මම හිතේ පිරුණ හිතුවක්කාර කම නිසා එහෙම කිව්වා. මෙච්චර දෙයක් වුණාට පස්සෙත් ඔහුට මගේ පැත්තෙන් හිතන්න බැරි වුණානේ කියලා ඔහු ගැන පුංචි තරහක් මගේ හිතේ ලියලලා තිබුණා. ඒ පාර අනුක් වචනයක් වත් නොකියා වාහනේ රේස් ක්‍රගෙනම එතනින් යන්න ගියේ මම නොහිතපු විදියට. චතූලත් ගිහින් උන්නු නිසා එවෙලේ එතන මම උන්නේ තනියෙම. හිතේ දුකක් පිරුණත් මම හිත තද කරගෙන බස් නැවතුමට එන්න ආවා. ඒත් මම ඈට එනකොටම බස් එකක් ගිය නිසා ආයෙම බස් එකක් පේනතෙක් මානෙකවත් තිබුණේ නෑ. හිතේ කොනක බලාපොරොත්තුවක් තිබුණත් අනුක් ආඅපහු එයි කියලා, විශ්වාස කරන්න ඔහු ආවේ නෑ. බස් දෙකක්ම යනකල් බලාගෙන ඉඳලා මම බැරිම තැන ඊලඟ බස් එකේ නැගලා එන්න ආවා. මම කන්ද නැගලා ගේ ලඟට එද්දි හයටත් ලං වෙලා. අනුක්ට මොනවා කිව්වත් මේ විදියට ගෙදරට යන එක ගැන නම් හිතේ තිබුණේ පොඩි සංකාවක්.
මම එද්දි අනුක්ගේ කාර් එක ගෙදර මිදුලේ නවත්තලා තිබුණා. ඒ කියන්නේ අනුක් ගෙදර ඇවිත්.
"ආ...මෙන්න මේ ළමයා යන්තම් ආවා" මම ගෙට යද්දිම ඉස්සරහට ආවේ ගෝතමී අක්කා.
"අනේ අපි ඒත් බල බල හිටියේ. ඔයා බස් එකේද ආවේ?" උත්පලා අක්කත් එතනට එන ගමන් ඇහුවා.
"ඔව්" මම කිව්වේ වෙන්නේ මොනවද කියලා මුකුත් හිතාගන්න බැරුව.
"චේතිය දන්නවානම් මෙතන නටයි" ගෝතමී අක්කා කියද්දි අනුක් කොහේදෝ ඉඳලා සාලෙන් මතු වුණා. මම අහක බලාගත්තා.
"අපේ මල්ලිටත් පිස්සු අනේ. මේ ලෝකේ සිහියක් නෑ. එයා හිතලා තියෙන්නේ අදත් චේතිය එනවා කියලා. මම මේ යකාට sms එකකුත් යැව්වා. අනේ ඔයා පව්" ගෝතමී අක්කා කිව්වේ මාවත් ඇදගෙන ගේ ඇතුලට යන ගමන්.
"ආ...ඒකට කමක් නෑ අක්කා. මට බස් වල ගිහින් පුරුදුයි" මම කිව්වේ අනුක්ට රිද්දන්න නෙවෙයි, ඇත්තටම.
"ඔයා යන්න පැටියෝ ගිහින් වොෂ් එකක් දාගන්න. මම ලතා අම්මට කියන්නම් තේ එකක් හදලා දෙන්න කියලා" උත්පලා අක්කා මගේ හිස අතගාලා කිව්වා.
මම කාමරේට ආවේ අනුක් දිහාවත් නොබලා. ඔහු දැක්කම හිතේ කොනක් රිදුම් දුන්නා වුණත්, මට ඕන වුණේ හිතුවක්කාර වෙන්නමද මන්දා.
මම මූණ කට හෝදගෙන එද්දි ලතා අම්මා මට තේ එකක් අරගෙන ඇවිත් තිබුණා. මම තේ එක බීලා ඉවරවෙන්නත් කලින්ම ලතා අම්මා ආයෙම මගේ කාමරේට ආවේ සාලේ phone එකේ reciever ඒකත් අතින් අරගෙන.
"නෝනට call එකක්" ඈ කිව්වේ හෙමින්.
"කවුද?"
මම එහෙම අහගෙනම ෆෝන් එක ගත්තේ ලතා අම්මා උත්තරයක් දෙන්නත් කලින්ම.
"හෙලෝ"
මම කතා කලේ නික්මට වගේ ඒ තාත්තාවත් වෙන්න ඇත්දෝ කියලා හිතමින්.
"නපුරි...නපුරි නපුරි නපුරි..."
එහා පැත්තෙන් ඇහුණේ අනුක්ගේ හඬ. මම මොහොතකට ගොලු  වුණා. ලතා අම්මා යන්න ගියා.
"ඇයි මෙච්චර මට රිද්දන්නේ?" අනුක් ඇහුවා ආයෙම.
"මමද?" මම ඇහුවේ ඇස් උණුසුම් වෙද්දි.
"එහෙනම් මමද?" අනුක්ගේ හඬේ තිබ්බේ මොකක්දෝ දුක්බර බවක්.
"මට කතා කරන්න ඕන නෑ" මම කිව්වේ ඇත්තටම නම් නෙවෙයි.
"ෆෝන් එක තිබ්බොත් ආයේ ජීවිතේටම කතා කරන්නේ නෑ මම" අනුක් මට කිව්වා.
"මම තර්ජන වලට බය නෑ. මට ඒවා හොඳට පුරුදුයි"
"ඔයා හිතන්නේ හැමෝම චේතිය වගේ කියලා. ඒකයි ඔයාගේ තියෙන ලොකුම වරද" අනුක් චෝදනා කලා.
"නෑ...ඒක විතරක් නෙවෙයි. මිනිස්සුන්ව ඕන්වට වඩා විශ්වාස කරන එක. හැමදේම එයාලට කියන එක, දුකක් වුණාම තේරුම් ගනී කියලා හිතන එක...අන්න වත් මගේ වැරදි තමයි..."
"මම එපා කියද්දි ඔයා ගියාම, ගිහිල්ලා සේරම අවුල් කරගත්තම මට තරහා යන්නේ නැද්ද? මම සේරම ප්ලෑන් කරලා ලෑස්ති කලේ කොච්චර අමාරුවකින්ද?"
"දැන් ඒක ඉවරනේ... ආයෙම මම වෙනුවෙන් පුංචි මහත්තයා මොනවත් කරන්න ඕන නෑ. මට උදව් කරන්න ඔයාට බෑ..."
"දුලාරා..."
"මම ආයෙම ඔයාගේ කාර් එකේ එන්නෙත් නෑ. මට බස් වල කෝච්චි වල ගිහිල්ලා විතරක් නෙවෙයි, පයින් ගිහිල්ලත් හොඳට පුරුදුයි...අද දාලා ආවා වගේ දිගටම එන්න" මම කිව්වේ ඇස් කෙවෙණි තෙත් වෙද්දි.
"මමද ආවේ? එතකොට මමද ඒකටත් වැරදි? මට යන්න කිව්වේ ඔයාම නෙවෙයිද?"
ඔහු එහෙම ඇහුවම මම නිරුත්තර වුණා මොහොතකට.
"ඒ මොනා වෙලා හරි, මිනිස්සු කවුද කියලා මම අඳුනාගත්තනේ..."
"දුලාරා..." අනුක් සැර වුණා. "ඇයි මෙහෙම පිහියෙන් අනිනවා වගේ දේවල් කියන්නේ. දුලාරා මටත් තියෙන්නේ හිතක්. පණ තියෙන, රිදෙන හිතක්"
"ඒක තමයි මම කියන්නේ. අපි අතේ දුරින් ඉමු. එතකොට ඔයාට දුකකුත් නෑ, මට දුකකුත් නෑ අපට පාඩුවකුත් නෑ" මම කිව්වා.
"ඔයා කොහොමද ඔච්චරම නපුරු වුණේ?"
"මම නපුරු නෑ අනුක්..."
"ඔයාට මා එක්ක තරහා වෙලා ඉන්නද ඕන?" අනුක්ගේ හඬේ ඒ පාර තිබුණේ දැඩි ගතියක්.
"‍යාලු ඕනත් නෑ, තරහා ඕනත් නෑ. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. මම මෙහේ තව ගොඩ කල් ඉන්නේ නෑ. ඒ ඉන්න ටික මට මෙහෙම ඉන්න දෙන්න"
අනුක් අහගෙන උන්නා විතරයි. ඒත් ඒ හිතේ තෙරපෙන දුක මටත් දැනුනාවත්ද? මගේ හිත තිබුණටත් වඩා දුකින් බර වෙලා තිබුණා දැන්. අන්තිමට ඔහුගේ සුසුම් හඬක් අනෙක් පැත්තෙන් මට ඇහුණා.
"ඔයා කැමති දෙයක් කරන්න...කමක් නෑ" ඔහු එහෙම කියලා ෆෝන් එක තිබා  එහා පැත්තෙන් "ඩක්" ගාලා. මගේ හිත කඩා වැටුණා වගේ මට දැනුනා. අඬන්න තරම් දුකක් හිතේ පිරිලා තිබුණා.ඒ මම දැනගෙන උන්නේ නෑ ඒ ඇයි කියලා.
ඒක උඩ තට්ටුවට වෙලා වහල දිහා බලාගෙන සිවිලිං ගණින අනුක් වුණත් දැනගෙන උන්නද කියලා මම දන්නේ නෑ. එහෙම නැත්තම් අපි ඒක තේරුම් නොගත්තාවද?
අනුක් රෑට කන්නවත් පහල තට්ටුවට ආවේ නැතුවම මගේ හිතේ අමාරුව තවත් වැඩි වුණා. ඒත් මට කරන්න දෙයක් තිබුණේ නෑ.
"මල්ලි නැත්තේ මොකෝ අද කන්න?"
අපි කෑම මේසෙට වාඩි වෙලා ටිකකින් වගේ එතනට ආපු ගෝතමී අක්කා ඇහුවම උත්තර දුන්නේ ලතා අම්මා.
"කන්න බෑ කියලා ආන්න නිදි. මම තව ටිකකින් කිරි එකක් හදලා ගිහින් දෙනවා නෝනේ"
"ඇයි එයාට මොනා වෙලාද, මොකක් හරි අසනීපයක්ද?" උත්පලා අක්කා ඇහුවා.
"හිස කකියනවලු"
"හ්ම්...පව්. එක්සෑම් අනං මනං වලට මහන්සිත් වෙනවනේ...මං කෝකටත් බලලා එන්නම්" ඒ පාර කෑම කන එක පැත්තක දාපු උත්පලා අක්කා මේසෙන් නැගිට්ටා.
"කන්න ගත්තු එක කාලා යන්නකෝ" යශෝ අක්කා කිව්වා.
"මම බලලා එන්නම්. දන්නවනේ එයාගේ හැටි. කවුරුත් බැලුවේවත් නෑ කියලා දුක හිතයි" එහෙම කිය කියම උත්පලා අක්කා උඩ තට්ටුවට යන්න ගියා.
කෑම මේසේ ඉඬහ්ගෙන උන්නු මම උන්නේ ගොඩක් අපහසුවකින්. අනුක් ගැන ඇහුවම මට කන්න තිබුණ පිරියත් නැති වුණා වගේ.
"මොකද ඔයා ඒ පාර කෑම එක අන අන ඉන්නේ? යාලුවට හිස කකියන්වා කිව්වම ඔයාටත් කන්න එපා වුණාද?" හැමදාකම වගේ ඒ වගේ අමුතුම කතාවක් කිව්වේ ගෝතමී අක්කා. ඈ ඊට පස්සේ හිනා වෙද්දි මමත් හිනාවුණේ අඬන්න බැරි නිසා.
"නෑ එහෙම එකක් නෑ"
මේ අතරේ මගේ වෙලාවටදෝ ෆෝන් එක නාද වෙන්න ගත්තා. කතා කලේ අපේ ගෙදරින් තාත්තා.
"අම්මා කිව්වා ඔයාට ගෙදර එන්න ඕන කිව්වා කියලා" තාත්තා කිව්වා.
"ඔව් තාත්තේ. කාලෙකින් ගෙදර එන්නත් බැරි වුණානෙ"
"හ්ම්...ඒක නම් ඇත්ත. දැන් පොඩි පුතාත් ගෙදර එන්නේ කලාතුරකින්. ගෙදර කවුරුවත්ම නෑ අර සෙනුරි දුව ඉඳ හිට ඇවිත් යනවා ඇරෙන්න. එහෙම නම් මම සිකුරාදට එන්නම්. ගෙදරට එන්න ඕන නෑනෙ. මම කැම්පස් එක ලඟට එන්නම්කෝ තුන විතර වෙද්දි. අපට එතකොට තුන් හමාර කෝච්චී ආහැකි"
"හා තාත්තේ"
ඊට පස්සේ අම්මා ගෝතමී අක්කටත් කතා කලා. ඒ මම ගෙදර යන වග කියන්නයි, වෙන්ඩ ලේලිගේ දුක සැප අහන්නයි.අන්තිමේදි කොහොම හරි මට ගෙදර යන්න ලැබෙන එක හිතට එකතු කලේ පොඩි අස්වැසිල්ලක්.
 පහුවදා මම කැම්පස් බෑග් එකේම ඇඳුම් දෙකකුත් ඔබාගෙන උදේ එන්න පිටත් වුණේ එද හවස ගෙදර යන එක ගැන හිතමින්.
"ඉරිදා එනවා නේද?"
එහෙම ඇහුවේ උත්පලා අක්කා. ඊයේ කෝල් කරපු වෙලේ අම්මා මම ගෙදර එන වග අක්කලට කියලා තිබුණා.
"එන්න බලනවා" මම කිව්වා.
"ඔයා මෙහේම ඉඳලා ඉඳලම දැන් හරියට ඔයා අපේම කෙනෙක් වෙලා. ගියාම හරි පාලුයි අපට" උත්පලා අක්කා කියද්දි අනික් දෙන්නත් හිස වැනුවේ ඒක එහෙමයි කියන්න වගේ.
"කෝ අනේ මේ මල්ලි?" අපි හිටගෙන ඉන්න අතරේ අනුක් පරක්කු වෙන නිසා නො ඉවසිලිමත් වුණ ගෝතමී අක්කා වට පිට බැලුවා.
"මම උදේ නැගිටලා ඉන්නවාවත් දැක්කේ නෑ. ලතා අම්මා...." ඒ පාර යශෝ අක්කා ලතා අම්මව හොයන්වා.
"මේ එනවා නෝනේ"
"කෝ මල්ලි නැගිටලද? තේ එක දුන්නද?"
"ඔව් නෝනේ...මම අවදි කලා"
"හරි හරි...ලතා අම්මා යන්න මම බලන්නම්" උත්පලා අක්කා කිව්වා.
අපි තව විනාඩි පහක් විතර එහෙම ඉන්න ඇති. ඊට පස්සේ රෑ ඇඳුම පිටින්ම පහල තට්ටුවට ආපු අනුක් දැක්කම පුදුමයක් එක්කම මගේ හිතට පිවිසුණේ දුකක්.
"අද  යන්නේ නැද්ද?" යශෝ අක්කා ඇහුවේ පුදුමෙන්මයි.
"යන්න බෑ වගේ අක්කා...මම මේ එක කියන්නමයි පහලට ආවේ. අද driver සීයා එක්ක දුලාරට යන්න කියන්න වෙයි" අනුක් කිව්වේ මා දිහාවත් නොබලා.
"ඕන නෑ අක්කා මට බස් එකේ යත හැකි" මම ඉක්මණින් කිව්වා.
"පිස්සුද? ඉන්න මම සීයව බලලා එන්නම්" එහෙම කියාගෙන යශෝ අක්කා ගියා සීයව හොයන්න.
"ඔයාට මොකද මල්ලි ඇත්තටම? උණ වගේද?" උත්පලා අක්කා ඇහුවේ දයාබරව.
"ඔව් පොඩ්ඩක් ඇඟට හරි නෑ"
"හ්ම්.. එහෙනම් අද දවල් ගිහින් බේත් ටිකක් ගමු"
උත්පලා අක්කා එහෙම කියද්දි මම උන්නේ අනුක් දිහා බලාගෙන. ඔහු මා දිහා හොරෙන් බලනවා මට පෙනුනා.
"සීයා විනාඩි පහකින් එයි" ආපහු යශෝ අක්කා අපි අසලට ආවේ එහෙම කියාගෙන.
"මේ ඒක නෙවෙයි නංන්ගියෝ, ගෙදර ගිහින් එද්දි අම්මට කියලා කන්න දෙයක් හදාගෙන එන්න ඈ. අම්මා හදන වැලි තලප හෙම හරි රහයි" ඒ පාර ආයෙම මා දිහාට යොමු වුණ ගෝතමී අක්කා කිව්වේ හදිසියේ ඒක මතක් වෙලා වගේ.
"හා හා" මම කිව්වේ හිනාවෙලා.
"ගෙදර?" ඒ ඇහුවේ අනුක්.
"ඔව්. ඔයාට කිව්වේ නැද්ද? හපොයි හරි අපූරු යාලුවෝ දෙන්නෙක් නේ මේ දෙන්නා. ඔයා කිව්වෙත් නැද්ද?" 
ගෝතමී අක්කා එහෙම ඇහුවම මම බිම බලාගත්තා.
"කොහොමද යන්නේ, චේතිය අයියා එනවද?" අනුක්ගේ හඬේ ඒපාර තිබ්බේ කලබලයක් වගේ.
"දුලිතලගේ තාත්තා එනවා හවස" මං වෙනුවෙන් උත්තර දුන්නේ ගෝතමී අක්කා.
මේ අතරේ ලහි ලහියේ එලිය පැත්තෙන් අපි උන්නු දිහාට ආපු driver සීයා නිසා ආයෙම අපේ කතාවට බාධා වුණා.
"කාර් එක ලෑස්තියි පුංචි නෝනා"
"එහෙනම් මම ගිහින් එන්නම්. හවස තාත්තා ආවාම එහෙමම යනවා" මම ආයෙම අක්කලාගෙන් සමු ගනිද්දි, අනුක් මා දිහාම බලාගෙන උන්නේ වික්ෂිප්ත වෙලා වගේ.
"ගිහින් කෝල් එකක් දෙන්න පැටියෝ" උත්පලා අක්කා කිව්වා.
"ඔව් ඔව්. අනේ පරෙස්සමින් ගිහින් ඉක්මණට එන්න එහෙනම්"
"හා අක්කේ...මම ....යන්නම් අනුක්"
මම අන්තිමට අනුක්ට කිව්වේ, කොච්චර හිත් අමනාපකම් තිබ්බත් ඔහුට නොකියා යන්න මට බැරි හන්දා. අනුක්ගේ දෑස් වල තිබුණේ මට කියවාගන්න අමාරු හැඟීම් ගොන්නක්. ඒත් ඔහු ඉන්පස්සේ එක පාරටම මගේ දෑස් මගෑරලා අහක බලාගත්තේ 'ඔයා ඕන දෙයක් කරන්න' කියන්නා වගේමයි.
හිතේ දුක ආපහු අලුත් වෙද්දි මම හැරිලා එන්න ආවා. මේ හැඟෙන, දැඑනන හැඟීම් ඇති වෙන්නේ ඇයි කියලාවත්, නැති කර ගන්නේ කොහොමද කියලාවත් මම දැනගෙන උන්නේ නෑ. අනුක් නිසා ඇයි මගේ හිත මෙච්චර දුක් ගන්නේ කියලත් මම දැනගෙන උන්නේ නෑ. භූප හන්දා දහස් වාරයක් තැවි තැවී තිබ්බ හිත අනුක් හන්දා තව ටිකක් වැඩිපුර තැවෙන්න පටන් අරන් තිබුණා. මට සුසුමක් හෙලුණේ ඉබේටම. පුරුද්දට වගේ ආපහු ගෙදර දිහා හැරිලා බැලුවම හිත තවත් ටිකක් පෑරුණේ මිදුලටම ඇවිත් කාර් එක යන දිහා බලාගෙන උන්නු අනුක් දැක්කම. ඇස් වලට කඳුලුත් පිරුණා අසිල්ලකින්. අනුක් ගැන මගේ හිතේ උපන්නේ දුකක්. ඇත්තටම ඔහු කියන්නා වගේ ඔහුට නපුරුකම් කරන්නේ මම නේද කියලා මට ආපහු හිතුණා. ජීවිතේ අපි ඇති කරගන්න්  මේ බැඳීම් කියන්නේ මොන තරම් දුකක්ද? අනුක්ට දුක කියන්න ගිහින් අන්තිමට අද මේ අපි දෙන්නම දුක් වෙන්නේ ඒ බැඳීම් නිසාමයි. හිතේ කොනක පොඩි බයක් නොතිබුණා නෙවෙයි අනුක් මොන දෙයක් මා ගැණ හිතාගෙන ඇතිද කියලා. ඒත් ඇත්තටම මම ඒ ගැන තව හිතන්න බය වුණා. ඒ සිතිවිල්ල මතක්වත් නොකර ඉන්න මම උත්සාහ කලේ ඒකයි. 'ඇත්තටම කොහේදෝ උන්නු අනුක් මගේ ජීවිතේට මේ තරම් කොහොමලං වුණාද?'