ජනවාරි
පහලොස්වනදා වන තුරුම මහිතේ එතරම්ම කැලඹිල්ලක් තිබුණේ නැත. ඒ අතරවාරයේ විභාග එක
දෙකක් පැවතීම ඊට හේතු වූවා විය හැකි වූයේ,
අන් කිසි දෙයක්
සිතන්නටවත් බැරි තරමට විභාග අපව කාර්යබහුල කල බැවිනි. නමුත් පහලොස්වනදා දහවල්
ජේඩන් මා හට පසුදින ගැන මතක් කල වේලේ පටන් නිමා නොවෙන බඩ දැවිල්ලක් වැනි හැඟීමකින්
මා පෙලෙන්නට වීමි. එය ඉනිදු නොනැවතී හදවතද කුමක්දෝ තිගැස්මකට ලක් කර තිබිණි.
"හෙට යන එක
ගැනද ඔය කල්පනා කරන්නේ?"
සිය යහනේ හිඳ
වරින් වර මදෙසට බැලුම් හෙලමින් උන් සොනාලි ඇසුවාය.
"ම්ම්" මම
හිස වැනීමි.
"ඔය තරම්
කල්පනා කරන්න දෙයක් තියෙනවද?" ඉන් පසු ඈ ඇසුවාය.
"ජේඩන් මොනා
කියන්න හදනවද කියලා මම දන්නෑ සෝනු...මගේ හිත හරි කලබලයි. එයා මං ගැන ඕනවට වඩා
හිතනවද කියලත් මට හිතෙනවා දැන්" මම හිතේ වූ දෑ සොනාලිට පවසන්නට වීමි.
"ඒක ඉතින්
අමුතු දෙයක්යැ? එයා කොහොමටත්
ඔයාට විශේෂත්වයක් දක්වනවා කියලා අපට නම් පෙනුනේ ගොඩක් කලින්. ඔයාගේ ඔය දුක් මූඩ්
එක නොවෙන්න එයා ඔයිට කලින් වචනේ දාලා"
"මට බයත් ඒකමයි
සෝනු. එහෙම දෙයක් කිව්වොත් මම කොහොමද ආයෙම එයාගේ මූණ බලන්නේ? එහෙම දේකට මම කොහොමවත්
ලෑස්ති නෑ"
එවර සොනාලි
යහනින් නැගිට බිමට කකුල් දම යහන මතම හිඳ ගත්තාය.
"මම අහන දේට
ඇත්තම කියන්න පංචලී. ඔයාගේ හිතේ එයා ගැන තියෙන්නේ මොනවගේ හැඟීමක්ද?"
සොනාලි එසේ
ඇසූ කල මම ඈ දෙස බැලුවේ පුදුමයෙනි.
"ඔයා ඇයි එහෙම
අහන්නේ? ඔයා දන්නැද්ද
මම එයාව ආශ්‍රය කරන්නේ මගේ යාලුවෙක් විදියට විතරයි කියලා. ඔයාලා වගේම"
"මම හිතන්නෑ ඒක
ජේඩන් දන්නවා කියලා" සොනාලි එසේ කියා සුසුමක් හෙලුවාය.
"එයා එහෙම
නොහිතනවා වෙන්නත් පුලුවන් නේද?" මම ඉන්පසු ඇසුවෙමි.
"පුලුවන්. ඒත්
සම්භාවිතාවය නම් ඉතාමත්ම අඩුයි"
ඈ එසේ කියත්ම
වාගේ අප කාමරයේ දොරේ සීනුව නාද විණි.
"කවුද
දන්නෑ" මම දොර අසලට ගොස් එය හැර බලද්දී එතැන උන්නේ පූජාය.
"අද නයෝමිගේ
උපන්දිනේ. රෑ කෑම එයා ගානෙ කියලා ඔය දෙන්නටත් එන්න කිව්වා"
මා පසුකර
කාමරයට එබුණු ඈ හඬනගා කීවාය.
"ආනේ අපි
දන්නෙත් නෑ"
"හතහමාරට
එන්න" එසේ කියූ පූජා යන්නට ගිය අතර, අප දෙදෙනා දනි පනි ගා නයෝමිට දෙන්නට
කාඩ්පතක් සකසන්නට පටන් ගතිමු.
නයෝමි අපට
දුන් රෑ කෑම ගැන කියතොත්, එය අධික ලෙසම
ජපන් සංස්කෘතියට බර, ජපානයේ දුර්ලභ
සහ මට අනුව කන්නට ඉතාමත්ම අපහසු කෑම අඩංගු වූ සංග්‍රහයක් විය. එහි අමු මාලු වලින්
තැනූ සුෂි සහ බත් පොඩිකර තැනූ ගුලි වැනි කෑමක්ද, තවත් අමු එලවලු හා ඇලෙනසුලු බත් වර්ගයක්ද
තිබිණි. ඒවා ඉතාමත් රසවත් බව පූජා,ලතිකා සහ සොනාලි සහතික වූවත් අමු මාලු කන්නට හිත
හදාගන්නට මට නොහැකි විය.
"මම මාලු වලට
එච්චර ආස නෑ" නයෝමිගේ හිත රිදවනු නොහී මම එසේ කීවෙමි.
"පොඩ්ඩක් කාලා
බලන්නකෝ. ඒවා ලුණු රහයි, පැනි රහයි
එක්ක පොඩි සැරකුත් මුසු වෙච්ච මාලු රස බබල්ගම් එකක් වගේ" පූජාගේ කතාවෙන් මට
තවත් එය එපා විණි.
'මාලු රස
බබ්ල්ගම්!!?'
කෙසේ හෝ අවසන
මමත් සොනාලිත් නයෝමිට සුබ පතා රෑ නවය පමණ වද්දී අපගේ කාමරයට පැමිණියෙමු. ඒ කාම වේල
කෙතරම් දෑ වෙනස් කරයිද වග නයෝමි දැන උන්නේ නැත.
පසුදා උදෑසන
මා තිගැස්සී මෙන් ඇහැරුණේ නාන කාමරය දෙසින් ඇසුණ තදබල කැස්සක හඬිනි. ම හිස ඔස්වා
බලද්දී සොනාලි යහන මත නොසිටි අතර, නන කාමරය දෙසින් ඇසුණු හඬ අනුව ඈ ඔක්කාරය කරන වග මට පසක්
විණි. මම එසැනින් ඇඳෙන් පැන එදෙසට දිව්වෙමි.
"සෝනු...සෝනු...ඇයි
මේ?"
නාන කාමරයේ
බිමට නැවීගෙන වමනය කරන සොනාලිගේ පිට අතගාමින් මම විමසුවෙමි.
"දන්නෑ...බඩ
දඟලන්වා..." කඩින් කඩ එසේ කියූ ඈ යලිත් වමනය කරන්නට වූවාය.
"ඉන්න මම වතුර
ටිකක් අරන් එන්නම්" මම විගස කාමරයට දිව ගොස් ඈට වතුර වීදුරුවක් ගෙන ආවෙමි.
ඇගේ වමනය
සංසිඳෙන විට ඈ බෙහෙවින්ම දුර්වලව උන්නා ය. මේ වන විට නයෝමි සහ නජීබා අපගේ කාමරයට
පැමිණ හුන් අතර, ලතිකාට සහ
පූජාටද බඩේ අමාරුවක් සෑදී ඇති බව මට දැනගන්නට ලැබිණි.
"බඩජාරියෝ වගේ
කෑවාම ඔහොම වෙනවා" මම කීවෙමි.
සොනාලි ඇඳේ
දිගාවී හති අරිමින් උන්නාය.
"ඒ කෑම පුරුදු
නැති නිසා වෙන්න ඇති" නයෝමි කීවාය. ඇගේ මුහුණද මැලවී තිබිණි.
"ඔයා ඉතින්
මුකුත් හිතන්න එපා දැන්. වුණ දේ වුණේ අර කියනවත් වගේ පෙරේතකමට කන්න ගිහින්
නේ" නජීබා නයෝමිව සනසමින් කීවාය.
"සෝනුව හෙල්ත්
සෙන්ටර් ගෙනියන්න වෙයි. එයා දුර්වල වෙලා. ඉන්නකෝ මම කෝල් කරලා කියන්න" නයෝමි
එසේ පවසා කාමරයේ වු දුරකථනය අසලට යද්දී සොනාලි කෙඳිරි ගාන්නට වූවාය.
"අනේ ඕන
නෑ...මට දැන් හොඳයි"
"එහෙම කියලා
කොහොමද? පණ්ඩිතයා නොවී
ඉන්න. ඔයාට මෙවෙලේ වෛද්‍ය ප්‍රතිකාර ඕනමයි" මම ඈට සැර කලෙමි.
ඉතින් එදින
උදේ වරුවේ සියලුම දේශණ සඳහා අපට සහභාගී වීමට නොහැකි විය. පූජා සහ ලතිකාද වෛද්‍ය
මධ්‍යස්ථානයට පැමිණි අතර ඔවුන් වෙනුවෙන් මමද නයෝමිද එහි ගියෙමු. සොනාලිව නම් ගිය
වේලේම එහි නවත්වාගෙන සේලයින් පවා දෙන්නට පටන් ගැනුණි.
"ෂික්...මට හරි
දුකයි වුණ
දේට" නයෝමි දිගටම දුක් වූවාය.
"හිතලා කලා
නෙවෙයි නේ"
සොනාලිගේ
බලවත්පෙරැත්තය නිසාත්, ලඟ එන විභාග
දෙක නිසාත් සවස් වරුවේ දේශණ මගාරින්නට අපට පුලුවන් කමක් නොතිබිණි. අප දේශණ ශාලාවට
යද්දී, ඩීනෝ, මන්ජීත් සේම ජේඩන්ද අප
බලාපොරොත්තුවෙන් එහි ඉනු අපට පෙනුනි.
"මොකෝ වුණේ?"
සිදු වූ
සියල්ල ඔවුන්ට පවසා අහවර වද්දී, දේශකතුමිය
පාඩමේ කොටසක් පැහැදිලි කරන්නට පටන්ගෙන තිබිණි. දේශණ දෙකක් පැය හතරක් පුරා ම මනස
වෙහෙසවමින් ඇදී ගියේය. එය අහවර අප සියලු දෙනා යලි එකතු වූයේ සොනාලි සහ අනෙක්
දෙදෙනා බලන්නට යෑමටය.
"හරි වැඩේ නේද
වුණේ?" ඒ යනාතරතුරේ
මා අසලින් ගමන් කරමින් උන් ජේඩන් විමසුවේය. මට අනෙක් පසඉන් උන් නයෝමි හීන් සීරුවේ
අප දෙදෙනා තනිකොට ඉදිරියෙන් ගමන් කරමින් හුන් ඩීනෝ සහ මන්ජීත්ට එකතු වූවාය.
"හ්ම්....සොනාලි
හොඳටම වමනේ කලා"
"පුරුදු
නැත්තම් සමහර කෑම සමහර අයට අල්ලන්නේ නෑ. පුදුමයි ඔයාට මුක්ත් අමාරුවක් නැති
එක" ජේඩන් මට කීවේය.
"මම කෑවෙ නෑනෙ.
මට නම් අමු මාලු කන්න බෑ" මා කට ඇද කොට එසේ පැවසූ විට ජේඩන් සිනාසුනේය.
"ඒක නෙවෙයි,
අද හවස මම ඔයාව හයට
ගන්න එන්නද?" මද වෙලාවක්
නිසොමනේ ඇවිද ගිය ජේඩන් මගෙන් විමසූ කල. උදෑසන සිටම සන්සුන්ව තිබූ සිත යලි
කැලඹිනි.
"ජේඩන්,
සොනාලිටත් අමාරු නිසා
අපට අද මේ ගමන නොයා ඉන්න බැරි වෙයිද? එයාව බලන්න මම යන්න ඕන නේ. ගොඩ වෙලාවට අද එයාගේ ටිකට්
කැපුවොත් මම ඉන්න ඕනනේ" මම සෙමෙන් සෙමෙන් ඔහුට කීවෙමි.
මේ සිදු වූ
සියල්ල අතරතුර,ඔහු හා ගොස්
විනෝදවන්නට නොහැකියාවක් මසිතේ විණි. නමුත් බලා ඉන්දැද්දීම ජේඩන්ගේ මුහුණ අඳුරු
විය.
"ඔහ්...එහෙමද?"
"ජේඩන්..."
මා ඔහුට කතා
කලද ඔහු මුහුණ අඳුරු කරගෙන බිමට නෙත් යොමාගෙන උන්නා මිස මදෙස බැලුවේ වත් නැත.
"ඔයාට තේරෙන්වා
නේද මම ඉන්න ඕන කියලා"
මා ඇසූ විට
ඔහු යන්තම් හිස ඔසවා මදෙස බලා, තොල සපාගෙන
හිස වැනුවේය. කතාවෙන් කතාවෙන් අපි වෛද්‍ය මධ්‍යස්ථානය වෙතට සේන්දු වී උන්නෙමු.
ඉන්පසු අපට ඒ ගැන කතා කරන්නට ඉඩ නොලැබුණේ අනෙක් පිරිසද එහිදී අප සමග එක් වූ
බැවිනි.
"මට අමාරුවක්
නෑ දැන්"
සෙනග විසින්
වටකරගන්නාලදුව ඇඳක් මත හිඳගෙන උන් සොනාලි එසේ කීවාය. ප්‍රතිකාර ලැබ සුව වී උන්
ලතිකා සහ පූජාද සෙනග අතර උන්නහ.
"අද යන්න
පුලුවන් කියලා කිව්වද?" මම ඇසුවෙමි.
"ම්හු...හෙට
උදේ වෙනකල් ඉන්න වේවි කියලයි කිව්වේ" සොනාලි කිව්වාය.
"ඒක නෙවෙයි,
අද ඔය දෙන්නා කෑමකට
එලියට යන්න නේද හිටියේ?" එකවරම එසේ අසා
සිටියේ පූජාය.
එවෙලේ සොනාලි
වෙත යොමුව තිබූ සියලුම දෑස් මා සහ ජේඩන් වෙත යොමු විය. මම මහත් අපහසුතාවයකට පත්
වීමි.
"ඇත්තමයි...ඒක
මොකද වෙන්නේ?" සොනාලිද
ඇසුවාය.
"අ...අපි ඒක
කැන්සල් කලා. ඔයා ලෙඩ වෙලා හන්දා" මම හෙමිහිට පැවසුවේ ජේඩන් දෙස නොබලමිනි.
"ඈ...පිස්සුද?
ඔය දෙන්නා යන්නේ මා
එක්කයැ? අනේ පංචලී
පිස්සු නොකර දා ගත්තු වැඩේට යන්න" සොනාලි ඇඳේ සිටම කෑ ගැසුවාය.
ජේඩන් මදෙස
බලනු මට යන්තමට පෙනුනි.
"ඒත් ඔයාව දාලා
යන්නේ කොහොමද? මම ඔයාගේ රූම්
මේට් නේ" මම කීවෙමි.
"අනේ
මෝඩියේ...පිස්සු කතා කියන්න එපා. ජේඩන් දැන් මාසෙක ඉඳන් මේ දවස ප්ලෑන් කරන්නේ. මම
නිසා නොගියොත් ඔන්න මම තරහා වෙනවා. මේ අනෙක් අය ඉන්නවනේ අනික. කොහොමටත් මට අද ඉන්න
වෙන්නේ මෙහෙ නේ. ඒ නිසා ඔයා ගිහින් එන්න පංචලී" සොනාලි තරයේ කියා සිටියාය.
"ඔව් ඔව්"
"පොරොන්දු වුණා
නම් යන්න ඕන"
"සොනාලිට ඕන වුණොත්
අපි ඉන්නවනේ"
සියල්ලෝම මහා
හයියෙන් තම අදහස් පල කරද්දී, ජේඩන් තවමත්
නිහඬවම උන්නේය.
"සොරි ජේඩන් මට
මේක කියන්නම වෙනවා, පංචලීට අද
යන්නම ඕන මොකද කියලා තේරෙන්න" එවර මන්ජීත් කියා සිටියේ මා කුතුහලයට පත්
කරමිනි.
"මොකක්ද?"
"අද ජේ ගේ
උපන්දිනේ"
එවර ගොලු වූයේ
මාය. අනෙක් සියල්ලෝම යලිත් හඬ නගමින් මොන
මොනවාදෝ කියවූ අතර, පූජා සහ ලතිකා
ජේඩන්ට සුබ පතනු මට පෙනුනි.
"දැන් නම් ඔයාට
යන්නම වෙනවා" සොනාලි මට කීවාය.
"අකමැති නම් බල
කරන්න ඕන නෑ සොනාලි" මුල් වතාවට ජේඩන් සිය හඬ අවදි කලේ මසිත සසලවාලමිනි.
"එහෙම දෙයක්
නෙවෙයි ජේඩන්" මම කීවෙමි.
ඔහුගේ දුක්බර,
බලාපොරොත්තු සුන් වූ
පෙනුම දැක මසිතට පිවිසුනේ දුකකි.
"ඔයා...යන්නම
ඕනේ....යන්නම ඕනේ" එවර සියල්ලෝම කෑ ගසන්නට වූහ.
"කෑ ගහන්න එපා
අපිව මෙහෙන් එලවයි" මම කීවෙමි.
"යනවා
කියන්න" පූජා කෑ ගැසුවාය.
"ඔයා ගිහින්
නවතින්නේ නෑනෙ. එනවනේ. ඒ නිසා කමක් නෑ. මෙයාලා ඉන්නවනේ" සොනාලි මගේ අත මිරිකා
කීවාය.
"යන දිහාවක
ඉක්මණට යනවා නම් හොඳයි. මේ දවස් වල හිම
කුණාටු හෙම එන්න ඉඩ තියෙනවා" ඩීනෝ කීවේය.
ජේඩන්
සියල්ලන්ට හොරෙන් මදෙස බලා උන්නේය. ඔහුගේ සිත රිදවන්නට මට ලෝබ සිතිණි.
"මම හය හමාරට
ලෑසි වෙලා ඉන්නම්"
අන්තිමේදී මම
එසේ කී විට රෝහල් කාමරය තුල මහා ජය ඝෝෂාවක් නැගිනි. මෙවර එය තරම වැඩි වූ නිසාදෝ,
රෝහලේ මේට්‍රන්වරිය
පැමිණ අපට යන්නට කීවාය.
"හයාමරට"
ජේඩන් මට එසේ පවසා අනෙක් කොලු පිරිසද සමග නික්ම ගියේය.
මම යෙහෙලියන්
විසින් තෝරා දුන් මෙරූන් පැහැ, සිහින් පටි
අත් දෙකඉන් හෙබි, චාම් කෙටි
ගවොම ඇඳ කණ්ණාඩිය දෙස බලා උන්නෙමි. මින් පෙර මා එවන් ඇඳුමක් සාදයකට හෝ ඇඳ තිබුණේ
නැත.
"කොට වැඩි
නැද්ද?" මම පූජාගෙන
ඇසුවේ දණහිසේ සිට වියතක් පමණ කොට වූ ගවුමේ පහල කොටස බලමිනි.
"පීස්සුද අනේ.
ඒකටනේ ඔය මේස් දාලා තියෙන්නේ" නයෝමි කීවාය.
"මේ උස බූට්ස්
දෙකත් දැම්මාම හරි. ආ...ඔය ඉන්නේ ලස්සනට. අද නම් ජේඩන්ට එයා හොයපු උපන්දින තෑග්ග
ලැබේවි" පූජා මදෙස බලා කීවාය.
මම ලැජාවෙන්
රතු විනිද ඈට කිසිවක් නොකීවෙමි.
පැවසූ පරිසිම
ජේඩන් සවස හහමාරට සිය වාහනයේ නැගී නේවාසිකාගරය ඉදිරියේ පෙනී සිටියේය. සීත කබා
රාශියකින් වෙලී උන් මම යෙහෙලියන්ට අත වනා ඔහු වාහනයට නැග්ගෙමි.
"ආවට ගොඩක්
ස්තුතියි පංචලී" ජේඩන් කතාව ඇරඹුවේ එසේය.
"ස්තුති කරන්න ඕන මම නේ.ඒක නෙවෙයි, සුබ උපන්දිනයක් වේවා.
මම කලින් නොදන්න නිසා තෑග්ගක්වත් ගන්න බැරි වුණා. ඒකට සමාවෙන්න"
මම එසේ කී විට
ජේඩන් සැහැල්ලුවෙන් හිනැහුණේය.
"ම්ම්...ඒක මම
ගන්නම්කෝ. දැනට ඔයා මේ ආපු ඒකයි මගේ තෑග්ග"
ඉන්පසු
මොහොතක් දෙකක් අප නිහඬවම උන්නෙමු. රාත්‍රියේ දැල්වුණු විදුලි පහන් එලියෙන් හැඩවුණු
නගරය අලංකාර විය.
"පංචලී...අද
හවස ඔයා එන්නැති වෙයි කියලා හිතුන නිසා, මම හිතේ වේගෙට කලින් වෙන්කරගත්තු කෑම අවලංගු
කලා. ඒ නිසා, වෙන තැනකටයි
අද යන්න වෙන්නේ" ජේඩන් යලි හඬ අවදි කලේය.
"ආ...එහෙමද?
කමක් නෑ. කොහේ වුණාම
මොකද, කන්න
තියෙනවනම්. අපි යන්නේ ඒකටනේ" මම හිනැහී කීවෙමි.
"ඔයා කැමති
වෙයිද දන්නෑ හැබැයි"
"ඇයි ඒක නරක
තැනක්ද?"
"නෑ, නෑ. ඒක තමයි මට මේ
ලෝකෙන්ම හොඳම තැන"
"එහෙනම් ඉතින්
මටත් කමක් නෑ"
මා එසේ කීවද,
ජේඩන්ගේ නිවසේ වූ උද්‍යානය
හරහා වාහන ඇදෙද්දී මම තරම තිගැස්සි ගියෙමි.
"ගෙදර?"
"ඔව්...ඇයි ඔයා
අකමැතිද?"
"ම්...නෑ"
මම ගොත ගසමින් කීවෙමි.
"හැමදේම ගෙදර
ලෑසි කරලයි තියෙන්නේ" ඔහු කීවේය.
"පාටි එකක්ද?"
"ඔව්, හැබැයි අපි දෙන්නට විතරයි"
ජේඩන් එසේ
කියා වාහනයෙන් බැස විත් මට දොර හැර දුන්නේය. මම බලවත් සේ කැලඹුනු සිතින් යුතුව
එයින් බැස ගතිමි.
විදුලි පහන්
දැල්වූ පසු ජේඩන්ගේ නිවෙස තුල මා පෙර නොදැක තිබූ සුන්දරත්වයක් වෙතැයි මට සිතිණි.
මුලු නිවෙසම ඉතාමත් පිළිවෙලට අස් පස් කොට තිබූ අතර, නිවෙස තුල සුවපහසුදායක ලෙස උණුසුම් විය.
"ඉඳගන්න පංචලී.
කෝ ඔය කබාය දෙන්න මෙහෙන් එල්ලන්න. මම TV එක දාන්නම්. කෑම මේසෙ හදනකල් ඔයා ඒක
බලන්න" ජේඩන් මා අත වූ කබාය රැගෙන, රූපවාහිනි යන්ත්‍රය ක්‍රියාත්මක කොට ගෙතුලට
වැදී නොපෙනී ගියේය.
මම පාලු සාලයේ,
කැලඹුනු සිතත් සමග මොහොතකට
තනි වුණෙමි. සිදු වූයේ නොසිතූ දෙයක් බැවින් මා උන්නේ මදක් කලබලව ය. රූපවාහිනිය
නැරඹීමට තරම් හිත එකලස් නොවූ නිසා මම උන්
තැනින් නැගිට ජේඩන්ගේ නිවසේ විශාල සලය තුල ඇවිදින්නට පටන් ගතිමි. පෙර දවසක නත්තල්
ගස තැබූ ස්ථානය අද කුඩා පියානෝවක් තබ තිබිණි. ඒ මත වූයේ ජේඩන්ගේ කුඩා කල යැයි
සිතිය හැකි පින්තූරයකි.
"ඔය මම අවුරුදු
දාසයේදි ගත්තු එකක්. ගෙදරින් ආපුම කාලෙ"
මම තිගැස්සී
ගියෙමි. ජේඩන් මා අසලට ආ බවක් මට දැනුනේවත් නැත.
"ඔහ්...මං බයත්
වුණා"
ජේඩන් සිය
පුරුදු දීප්තිමත් සිනාව පෑවේය.
"යමු කෑම
හරි" ඔහු මට කීවේය.
ඉන්පසු මම්
අඔහු අනුව ඇතුලු ගෙටත්, ඉන් අනතුරුව
උඩු මහලටත් පිය නැගුවෙමි. උඩුමහලේ මන්දාලෝකය සහිත විදුලි පහන් දල්වා තිබූ අතර,
එහි වූ එකම බැල්කනිය
මත, ඉටිපන්දම්
දැල්වූ කුඩා රවුම් මේසයක් තබා තිබිණි. එම කොටසේ තැන තැන, සුදු, රෝස සහ කහ පැහැති කපුරු මල් වලින් සැරසූ
වීදුරු මල් පෝච්චි කිහිපයක් ද විය.
"එන්න"
ඔහු මා කැටුව ගියේ විවෘත කර තිබූ බැල්කනියට ය.
මෙම බැල්කනිය
නිවෙසපිටුපස වූ විශාල, නිවාසාදියෙන්
තොර හිස් බිමකට ඇරුණු අතර. කලු පැහැ ගස් වල සෙවනැලි වලට ඉහලින්, අනන්තය දක්වා දිවෙන
අහස සහ එහි ගොඩ ගැසී තිබූ කැටි වලාකුලු සමූහය සුන්දර දසුනක් මවා
පෑවේය. ඉඩමේ ඈත කෙලවරින් නගරයේ කොටසක්
යැයි සිතිය හැකි වූ ගොඩනැගිලි රැසක කහ සහ සුදු පැහැ ආලෝක පුංජයන්ද කණාමැදිරියන්
රංචුවක් සේ දිස් විණි.
"මෙතන රෑට තමා
ලස්සනම. වලාකුලු
මොනවත් නැතිව තරුයි, හඳයි තියෙන දවසට රෑට
හරිම ලස්සනයි. දවල්ට කිසි වැඩක් නෑ. බලන්න දෙයක් නෑ.. ඒකමයි මම මෙතන ගත්තේ"
ජේඩන් මට කීවේය
"ඇත්තමයි"
ඉන්පසුව ඔහු
මට මේසය අසල වූ පුටුව ඇද වාඩි වෙන්නට ඉඩ සැලසුවේය. රවුම් මේසය මත දෙන්නෙකුට කන්නට
හැකිවේදැයි සිතිය නොහැකි තරම් කෑම වර්ග රාශියක් තිබිණි. කොල සහ චෙරි තක්කාලි
සලාදයක්, විශාල තම්බා
පුලුස්සන ලද බැටලු මස් කුට්ටියක්,චීස් සමග බේක් කරන ලද මැකරෝනි, බදින ලද කුකුල් මස් සහ, ග්‍රිල් කරන ලද එලවලු
සහ මාලු ද එහි තිබිණි. ඊට අමතරව නා නා විධ සෝස් වර්ග පහක් පමණද එහි තිබිණි.
"මෙච්චර කෑම?"
මම දෑස් විසල් කර
ඇසුවෙමි.
"ඔව්, තව කේක් නැතුව. ඔයා
කන්නේ නොකන්නෙ මොනාද කියලා නොදන්න හන්දා මම මාලු මස් සේරම ගෙන්නුවා. මේවා මට හදලා
දෙන්න එනවා ගෑණු කෙනෙක්. එයා හොඳ කෝකියෙක්. එයාගේ හුරතල් සත්තුන්ට කෑම ගන්න පාට් ටයිම් වැඩක් විදියටයි මට උදව් කරන්නේ.
ඔයාට අඳුන්වලා දෙන්න තිබුණා, ඒත් ඇය පහට යනවා.
ගෙදර පූසොයි, ඇගේ ස්වාමියයි
බලා ඉන්න නිසා" ජේඩන් මට කීවේය.
"හරි ෂෝක්
නේ"
"ම්ම්. ඉතිං
ඔයා මොනාද කන්නේ?" ඉන්පසු ජේඩන්
ඇසීය.
"ඊට කලින් කේක්
කපන්න ඕන නේද?"
"කේක් අන්තිමට
කපමු. ආ...ඔයා වයින්,
ෂැම්පේන් වගේ ජාති
නොබොන හන්දා මම ඔයාට ලෙමනේඩ් ගෙන්නුවා. බය වෙන්න එපා ඔය වීදුරුවේ තියෙන්නේ ඒවා
තමයි. “
ඉනික්බිති අප
දෙදෙනා විවිධාකාර වූ මාතෘකා ඔස්සේ කතා කරමින්, සොනාලිට කුමක් වී ඇත්දැයි උපකල්පන ගොඩනගමින්
හෙමි හෙමින් කෑම ගන්නට වීමු.
කෑම ගෙන අහවර
ජේඩන් පුංචි ඉටිපන්දමක් ගැසූ කප් කේක් එකක් ගෙන ආවේ මා සිනාගන්වමිනි.
Happy Birthday to
you… මා ගායනා කරද්දී ,
කප් කේක් එක දෙකට කැපූ
ඔහු ඉන් කැබැල්ලක් ගෙන මට කැව්වේය.
"සුබ
උපන්දිනයක් වේවා ජේඩන්. ඔයාගේ හැම හීනයක්ම සැබෑවෙන්න කියලා මම සුබ පතනවා"
සැක් මතකත් නැ නවත්තපු තැන
ReplyDeleteතැන්ක්ස් හොදෙයි
ගොඩක් කල් නොලියා හිටියේ පෙරලි ගොඩක් වුණ හන්දා. එක්සෑම් සති දෙකක්ම තිබුණා. ඔලුවට මහා බරක් එක්ක. ඊට පස්සේ මට අලුත් ජොබ් එකක් හම්බුනා. ඉතින් මුලු සතියෙම වැඩ වැඩ. කතාව නොලියා ඉන්න එක මටත් හිතට අමාරුවක්. ඒත් රෑ වෙද්දි නිදිමතේ පනයන්න එනවා. කොහොම වුණත් මම පුලුවන් හැම වෙලේකම කතාව ලියනවා.
ReplyDeleteඉවසා වදාරගෙන උන්නු හැම යාලුවෙක්ගෙන්ම සමාව අයදිනවා. ඒ එක්කම මේ පැත්තේ නිකමට හරි ආවා ගියාට ඔයාලට ගොඩක් ස්තුතියි!