"ඔයින් ගියා ඇති
මස්සිනා...තරහා ගිය වෙලාවට නොකල යුතු එක දෙයක් තමා වාහන එලවීම. මොකද අපට ඒ වෙලාවට
අපිව කන්ට්‍රෝල් නෑනෙ"
අභීව වෝඩ් එකට මාරු එකට මාරු කරලත් දෙවනි දවසේ තමයි ආන්යට මුලින්ම අභීව බලන්න යන්න ආයෙම ඉඩක්
ලැබුණේ. ඒ යද්දි ආන්යලට කලින් ආපු අනුහස් අභීට අවවාද රාශියක් දෙමින් උන්නු වගකුයි
පෙනුනේ.
"මං දන්නෑ
මට-" තවමත් ඇඳේ වැතිරිලාම උන්නු අභී එක පාරටම කතාව නැවැත්තුවා. ඒ සෙනග අතරින්
මතු වුණ ආන්යගේ රුව දැකලා.
අනුහස් ආන්යා දිහා බලලා එතනින් හෙමිහිට අයින් වුණා. අම්මයි, අනුලා මැඩමුයි පිටිපස්සේ ඉඳන් ආන්යා අභී දිහා
බැලුවේ හිත ආයෙම දුකකින් පිරෙද්දි.අභී ආන්යා දිහා බලාගෙන හිටියේ හැඟීම් තදකරගෙන.
සුදු වෙලුම් පටි වලින් තවමත් වෙලලා තිබුණ හිස, අත් දෙක සහ වම් කකුල, ප්ලාස්ටර් ඔෆ්
පැරිස් බදාමය යොදලා නොහෙල්ලෙන විදියට සකසලා තිබ්බ දකුණු කකුල දැක්කම ආන්යාගෙ ඇස් වලට කඳුලු ආවේ
අනාරාධනාවෙන්මයි.
අභීගේ අම්මා උන්නේ අඬමින්. ආන්යගේ අම්මා ඈව වත්තන් කරගෙන ඈව සනසමින් උන්නා.
ආන්යා ඇඳේ පැත්තකට හේත්තු වෙලා මේ තුන්
දෙනා දිහා බලාගෙන උන්නා.
"අම්මා ඔයා අදත් අඬනවා...ප්ලීස්
නාඬා ඉන්න. දැන් මට එච්චරම
අමාරුවක් නෑ..." කොට්ටෙන් හිස යන්තම් උස්සපු අභී කිව්වේ ඔහුගේ අම්මගේ අතකින් අල්ලගන්න ගමන්.
"ඔයාව මේ විදියට දකින්න මම මොන පවක් කලාද පුතේ?" අනුලා මැඩම්
කිව්වේ කඳුලු පිහින ගමන්මයි.
"දැන් මට හොඳයි නේ අම්මා...මුකුත් වුණේ නෑනෙ. කෝ ඉතින් හොඳ අම්මා වගේ නාඬා
ඉන්නකෝ. අප්පා ආවේ නැද්ද?" අභී අම්මට කිව්වේ ආදරෙන්.
"දැන් ඒ වි. එයා ගියා දොස්තරට කතා කරලා ඔයාව කලම්බු වලට මාරු කරගන්න
පුලුවන්ද බලන්න. මෙහේ ඉඳලා ඔයාව බලන්න අපට බෑනෙ"
අනුලා මැඩම් එහෙම කිව්වාම, අභීගේ ඇස් යොමු වුණේ ආන්යා දිහාවට. ආන්යා තොල හපාගෙන
ඇඬුම් වලකගෙන හිටියා.
"හ්ම්...ඒක හොඳයි, මෙහේ ඉඳලා තවත් මේ ආන්ටිලට කරදර කරන්න ඕන නෑනෙ" අභී කිව්වාම ආන්යගේ
හිත රිදුනා. ඒ කිව්වේ ඈට ඇනුම්පදයක්දෝ කියලා ආන්යට හිතුණා.
"මොනවද පුතේ ඔයා මේ කියන්නේ? ඔයාව බලන එක අපට මහ දෙයක් නෙවෙයි. අනික...වෙච්ච
දේවල් බැලුවාම අපි මෙහෙම නෙවෙයි ඔයාව බලන්න ඕන" ආන්යගේ අම්මා එහෙම කිව්වේ ආන්යා දිහාත් යන්තමට
බලන ගමන්.
අභීට කතා කරන්න ආන්යට ලොකු උවමණාවක් තිබුණත් ඒකට කිසිම ඉඩක් එවෙලේ තිබුණේ
නෑ.
"එහෙම හිතන්න එපා ආන්ටි" අභී කිව්වේ එච්චරයි.
"දැන් ඔයාට කන්න පුලුවන්ද පුතා?" එහෙම ඇහුවේ අභීගේ අම්මා.
"අපි මේ උදේට ඉඳිආප්ප හදාගෙන ආවා"
ආන්යගේ අම්මා කෑම බෑග් එක මේසය මත තියන ගමන් කිව්වා.
"කන්න තරම් බඩගින්නක් නෑ අම්මා. කන්න නෙවෙයි මට ඉක්මණට ගෙදර යන්නයි ඕන. මෙතන
ඉඳලා මට එපා වෙලා" අභී කිව්වා.
අභීව නතර කලේ ගෙවන ඉස්පිරිතාලෙක වුණත්, ඕනම ඉස්පිරිතාලෙකට පොදු බෙහෙත්
ගඳ, රෝගීන්ගේ හඬවල් වගේම කියාගන්න බැරි පාලු මූසල බවකුත් ආන්යටත් මෙතනදි
දැනුනා. ඒ මොනවා නැතත් ඕනම කෙනෙක් කමති තමගේ පුරුදු තැන සැප්ට ඉන්න මිස රෝහලක ඇඳක්
උඩ ඉන්න නෙවෙයි.
"ඒත් ඉතින් කටක් හරි කන්න එපායැ"
ඒ පාර අභී වෙලුම් යොදපු අත් දෙක පෙන්නලා අම්මට පෑවේ වේදනාබර හිනාවක්.
ආන්යගේ ඇස් වලට ආයෙම කඳුලු ඉනුවා.
"මං කවන්නද?" කතා කරන්න හයියක් ලබුණ ගමන් ආන්යා ඇහුවේ අම්මලා දෙන්නා ආයෙම කඳුලු
පිහිද්දි. අභීගේ අම්මා ආන්යා දිහා පුදුමෙන් වගේ බැලුවත්, එපා කියලා කිව්වේ නැහැ.
අභී ආන්යා දිහාම බලාගෙන උන්නත් ඔහු මොනවත් කිව්වෙත් නෑ.
"කවන්නකෝ බලන්න එහෙනම්" ආන්යගේ අම්මා කෑම එක ඈ අතට දුන්නේ
නොකැමැත්තෙන්දෝ කියලත් ආන්යට හිතුණා.
"දුව එහෙනම් කවන්නකෝ, අපි වාහනෙන් වතුරත් අරගෙන, අභීගේ අප්පාවත් බලලා එන්නම්. වතුර එක පිටිපස්ස
සීට් එකේද කොහෙද දාලා ඇවිත්. අපි ගිහින් එමුද රූපා?" අනුලා මැඩම් එහෙම
කිව්වේ ආන්යා නොහිතපු විදියට.
ඈට රෝහල නුපුරුදු නිසා ආන්යගේ අම්මට ඈ එක්ක යන්න වුණත්, අම්මා ගියේ යන්නම
ඕන නිසා කියලා ආන්යට හිතුණා.
අභී උන්නේ ඇඳේ ඇලවෙලා අහක බලාගෙන. ආන්යා කෑම එක අතට නොගෙන ඔහු දිහා බලාගෙන
උන්නා මොහොතක්.
"අභී..." ඈ කතා කලේ වෙව්ලන ස්වරයෙන්.
ඒත් ඔහු නෑහුණා වගේම හිටියා.
"අනේ කතා කරන්න අභී..." ආන්යා බැගෑපත් වුණා.
"ඇයි ආවේ?" අභී ඇහුවේ අහක බලාගෙනමයි.
ආන්යගේ ඇස් වලට පිරුණු කඳුලු බිංදු දෙකක ඇගේ කම්මුල දිගේ ලැමට වැටුණා. ඈට
හැඬුම් නවත්තගන්න පුලුවන් වුණේ නෑ. ඈ කලේ ඉකි ගසමින් අඬපු එක. අහක බලාගෙන නිසොල්මනේ උන්නු අභී
බැරිම තැන හැරිලා බැලුවා.
"මේ වුණ සේරටම වැරදිකාරි මම වග මං දන්නවා අභී...ඒකට මට සිය දහස්
වතාවක් සමාවෙන්න...මා එක්ක හැමදාටම තරහා වෙන්න වුණත් ඔයාට අයිතිය තියෙනවා...එදා
වුණ දේවල් නිසා මෙච්චර දෙයක් වෙයි කියලා මං හීනෙකින් වත් හිතුවේ නෑ අභී...මාව
විශ්වාස කරන්න, ඔයාට නරකක් වෙන්න කියලා හිතාගෙන මම එදා ඔයාට දොස් කිව්වා නෙවෙයි"
ආන්යා කිව්වේ හොඳටම අඬන ගමන්.
අභී උන්නේ ආයෙම නෙත් බිමට යොමාගෙන. ආන්යට තවත් මොනවත් කියන්න ඕන වුණේ නෑ.
අභී තමන් එක්ක ආයෙම කවදාත් ඉස්සර වගේ හිතවත් නොවෙයි කියලා ඈට හිතුණා. හිත ආයෙම
හොඳටම තුවාල වෙද්දි ආන්යා එන්න හැරුණේ
තවත් එතන ඉන්න ඈට බැරිවුණ නිසයි.
"මීනු..." ඇඳ ලඟදි ඇගේ අතක් අභීගේ සුරතට හිර වුණේ එකපාරටම. ආන්යා ඉද්ද
ගැහුවා වගේ එතනම නැවතුණා.
"යන්න එපා මීනු..."
ආන්යා නොහැරීම ආයෙම අඬන්න ගත්තා.
"අනේ ප්ලීස්... ප්ලීස් අඬන්න එපා..." අභී කිව්වේ දයාබරව. ඒ දයාබර බව වැඩි වෙන්න
වෙන්න ආන්යට තවත් ඇඬුනා.
"මේ අහන්න මීනු.....මම ඔයා එක්ක පොඩ්ඩක් වත් තරහා නෑ මීනු. මම කොහොමද ඔයා
එක්ක තරහා වෙන්නේ? මම එදා යද්දිවත් මගේ හිතේ තරහක් තිබ්බේ නෑ. මම එහෙම ගියේ ඉවසගන්න බැරි වුණ
දුක හන්දා මිස, තරහින් නෙවෙයි…එහෙම කියපු අභී
මොහොතක් නැවතුනා.
“ඔයා එදා මුලු රෑම
මාව බලන්න හිටියා කියලා මට අන්නා කිව්වා. මට මතක
නෑ...ඒත් මාව වෝඩ් එකට දාපු වෙලේ ඉඳලා මං බලාගෙන උන්න ඔයා එනකල්...අස්
රිදෙනකල්...ඒ...මොනා වුණත් මට ඔයාව ඕන නිසා මීනු...වෙච්ච දේවලට ඔයාට කරන්න දෙයක්
නෑ, ඒක මගේ මොකක් හරි පවක්
නිසා වුණ දෙයක්...ප්ලීස් ප්ලීස් නාඬා ඉන්න...ඔයා මේ දවස් ටිකට කොච්චර ඇඬුවද කියලා
මං දන්නවා...දැන්වත් නාඬා ඉන්න මීනු...මට දැන් හොඳයි නේ..."
අභී කතා කලේ හෙමිහිට. ඔහුගේ දුර්වල හඬ ආන්යව සනසනවා වෙනුවට තවත් ඇඬෙව්වා
විතරයි. ආන්යා ඔහුගේ
පැත්තට හැරිලා ඔහු දිහා බැලුවේ බොඳ වුණ ඇස් වලින්.
"එදා මොනා හරි වුණා නම්?" ආන්යා කිව්වේ ඒ මොහොත මතක් වෙද්දිත් හිත
හිරිවැටිලා යන හැටි හඟිමින්.
"ඔයා හිතුවද මම මැරෙයි කියලා, ඔයා බය වුණාද?" අභී ඇහුවේ යන්තම්
හිනාවෙලාද මන්දා.
ඒකට දෙන්න ආන්යට තිබුණේ එකම එක උත්තරයයි.
"එහෙම වෙලා තිබ්බා නම්,මාත් මැරෙනවා අභී..."
ඒ වචන පෙල අභී බලාපොරොත්තු නූණ වෙන්න ඇති. ආන්යා දිහා පුදුමෙන් වගේ බලා
උන්නු ඔහු මොනවද කියන්න ගියත් වචන පිට වුණේ නෑ. ඒ වෙනුවට ඔහු කලේ ආන්යගේ අත
මිරිකගෙන ඈව තව ටිකක් ඔහුවෙත ඇදගත්තු එක.
"එච්චර මං ගැන හිතනවද?" ඔහු ඇහුවේ හුඟාක්ම දයාබරව.
අහේතුකවම ආන්යගේ හිතට ආවේ ආර්යන්. ඒත් ආන්යා ඒ හැඟීම යටපත්කරත්ගෙන හිස
වැනුවා. අභීගේ මූණ එලිය
වැටුණත් ඒ මොහොතකට විතරයි. ඔහු ආයෙම ආන්යා දිහා බැලුවේ අඳුරු වතින්.
"ඔයා මෙහෙම කරන්න යන්නේ, ඔයා නිසා මට මේක වුණා කියලා හිතන නිසාද? ඔයා මට අනුකම්පා කරන නිසා
නේද? එහෙමනම් ඒක කරන්න එපා
මීනු..." අභී ඊට පස්සේ කිව්වේ බැරෑරුම්ව.
"ඒ නිසා නෙවෙයි..." ආන්යා අභීගේ අත මිරිකගෙන කිව්වා.
"එහෙනම්?"
"මට ඔයා ඕන නිසා..."
ආයෙම අභී ගොලු වුණා. ඒත් ඒ ඇස් තිබුණේ දොඩමලු වෙලා. ඒ ඇස් ආන්යා දිහා
බලාගෙන උන්නේ වචනෙට නගන්න බැරි සෙනෙහස ඇස් වලින් විදහා පාමින්. ඊට පස්සේ ඔහු
සුසුමක් හෙලුවා.
"මෙච්චර දෙයක් දන්නවනම් මට මීට කලින් ඇක්සිඩන්ට් වෙන්න තිබ්බා" ඔහු
ආයෙම පරණ අභී වෙලා.
"අභී...මොනවද මේ කියන්නේ?"
ආන්යා ඔහුට සැර
වුණා.
"ඇයි? මට මේක නූනා නම් ඔයා මෙහෙම එන්නෑනෙ"
"එහෙම හිතන්න එපා...ඇක්සිඩන්ට් එක නිසා මම ඔයා ලඟට ආවා නෙවෙයි. මං ආවේ ඔයා
ඇත්තටම මං ගැන ගොඩක් හිතන වග මට දැනුන නිසයි...ඉතින් ඇක්සිඩන්ට් එක නූනත්, ඒක මට කවදාහරි
දැනෙන්න තිබුණා..."
අභී ආන්යා දිහා බැලුවේ ආදරෙන්.
"ඒක මම දැනං හිටිය නිසා වෙන්න ඇති අර තරම් ඔයාගේ පස්සෙන් ආවේ"
පලවෙනි වතාවට ආන්යගේ මුවට හිනාවක් නැගුනා.
"ඔයා හිනාවෙද්දි ලස්සන්යි මීනු...අඬද්දි කැතයි. ඒ නිසා අඬන්න එපා හරිද?"
ආන්යා බිම බලාගත්තා. අභී ආන්යා දිහා මොහොතක් බලා ඉඳලා ඇගේ අත හෙමිහිට අරන් සිප ගත්තේ ගොඩාක්
ආදරෙන්.
ආන්යා ඔහු දිහා බලාගෙන උන්නේ හිතේ ලියලන සෙනෙහසකින්.
"මම හිතුවා ආයෙම කවදාවත් ඔයා මා එක්ක කතා නොකරයි කියලා" ආන්යා කිව්වේ
පොඩි ළමයෙක් වගේ.
අභී ඇගේ අත මිරිකගත්තා.
"ඔයා මට මොනා කිව්වත්, කලත්, මට ඔයා එක්ක කතා නොකර ඉන්න බෑ. ඔයාගේ හිතේ පුංචිම හරි ඉඩක මම ඉන්නවා කියලා
මම දැනගෙන හිටියා මීනු...කවදාහරි ඔයා මගේ ලඟට ඒවි කියලා මම විශ්වාස කලා..."
ආන්යා ඔහුගේ ඇස් වලට එබුණා.
"ඒත් ඒක මේ විදියට වුන එකයි මට උහුලගන්න බැරි..."
"එහෙම හිතන්න එපා ... හැමදේම වෙන්නේ හොඳටයි කියනවනේ..."
ආන්යා ඔහුගේ අත උඩින් අනික් අතත් තියලා ඒ අත දෝතින්ම අල්ලගත්තා.
"දළදා හාමුදුරුවන්ගේ පිහිටින් ඔයාට ඉක්මණට සනීප වේවි"
ආන්යා එහෙම කිව්වේ අභීගේ දිලිසෙමින් තිබුණ ඇස් දෙක දිහා ආයෙම බලලා. ඒ ඇස්
විඩාබර වුණත්, ඒවායේ තිබුණේ ලොකු ආදරයක්. දෙන්නගෙම ඇස් හතර කතා කරමින් තව තප්පර කීපයක්
ගෙවෙන්න ඇති. ඊට පස්සේ එකපාරටම කාමරේ දොර ඇරුණා. ආන්යා
අත ඇදලා ගත්තේ විදුලි වේගෙන් වුණත් කාමරේට ආපු අනුහසුයි, ආර්යනුයි දකින්න කලින්
නෙවෙයි. ආන්යා ඇඳෙන් ඈතට වෙලා හිට ගත්තේ බිම බලාගෙනමයි.
