"අන්න ලබන සඳුදා
කැම්පස් පටන් ගන්නවලු..." රෑ පුවත් අහමින් උන්නු අනුහස් සාලේ ඉඳන්
ඉස්තෝප්පුවේ උන්නු ආන්යට කෑ ගැහුවා.
ආන්යා අභීට කෝල් කරලා කාමරෙන් එලියට ආවා විතරයි. ආන්යා නැතිව ගෙවෙන දවස් වල
පාලුව ගැන විස්සෝප වෙන එක තවමත් අභී නවත්තලා තිබුණේ නෑ. ආන්යට හිතුණා තමනුත්
දවසින් දවස අභීට ලං වෙනවා කියලා.
"ආ...එහෙමද? අනේ ඒකත් හොඳයි අප්පා. නැත්තම් නාකි වෙනකල්
කැම්පස් යන්න වෙයි" ආන්යා කිව්වා.
රෑ හත පහුවෙලා තිබුණත් හාත්පස මන්දාලෝකයක් තිබුණා. අහසේ වලාකුලු අතරඉන් එක
එක පෙනෙන තරු දිහා ආන්යා බලාගෙන උන්නා. මේ එක්කම වගේ එලියේ මිදුලට බයිසිකලයක්
පැදගෙන ආවේ ගෝපි. එදා වුණ සිද්ධියෙන් පස්සේ ගෝපි ආන්යට මූණ දුන්නේ අඩුවෙන්. ආන්යා
තනියෙම ඉද්දි ගෝපි කොහොමහරි ඈව මගෑරිය. ආන්යට මේ වෙන්ස නොතේරිලා තිබුණා නෙවෙයි. ඒ
නිසාම ඈ ගෝපි දකිනකොටම ඉස්සරහට ගියා.
"ගෝපි මේ කොහේ
ගිහින් එන ගමන්ද?"
"ආ...බේබි. මම මේ
කඩේට තමා ගියා" ආන්යා දැකලා බිම බලගත්තු ගෝපි කිව්වේ අතේ තිබුණ මල්ලක්
පෙන්නලා.
"මොකද ගෝපි මාව
මගාරින්නේ? එදා රැයින් පස්සේ
ගෝපි මා එක්ක කතා කලේම නෑනෙ. මම කෑ ගැහුවට තරහා වෙලාද?"
"චී බේබි...මං යේම
කරනවද?"
"එහෙනම් ඇයි?"
ගෝපි බිම බලාගෙන හිස කැසුවේ අපහසුතාවයකට පත් වෙලා වගේ.
"එදා ඊට පස්සේ
ආර්යන් මහත්තයට මොකද වුණේ?" බැරිම තැන ආන්යා
එහෙම ඇහුවා. ගෝපි ඈ දිහා බලලා ආයෙම බිම බලාගත්තා.
"බේබි...ඒ මාතියා
ගෙන ඕන නේ බේබි...යේක මගෙන් අහන්න එපා"
එහෙම කිව්වාම ආන්යා නො ඉවසිලිමත් වුණා.
"ඒ මහත්තයා එහෙම
කරන්නේ මම හන්දා වග ගෝපි දන්නවනේ"
ගෝපි ආන්යා දිහා බැලුවේ දුක්බරව.
"බේබි...අභී
මාතියාට වචනේ දීලා ඉවරයි නේ. එයි ආයෙම මේ ගෙන අහනවා?"
"ඒ ඇයි කියලා ගෝපි
දන්නවනේ" ආන්යා කිව්වා.
ගෝපි සුසුමක් හෙලලා වටපිට බැලුවේ කවුරුවත් එනවද කියලා.
"ඊට පස්සේ ආයෙම
එදා ඒ මාතියා බිව්වේ නෑ. ඒම රෑ ගිහින් නේවා. මොනාවත්ම කිව්වේ නේ, බේබිගේ සිංදු අහනකල්"
"සිංදුව අහනකල්? ඒ කිව්වේ?"
"යේක අහලා ඒ මාතියා ඔඳටම අප්සට් තමා ගියා..."
"අප්සට් ගියා?" ආන්යා ඇහුවේ හෙමින්. ආයෙම
අගේ හිත අවුල් වුණා වගේ ඈට තේරුණා.
"හ්ම්...ආයෙම
එලියට ඇවිත් මූණ වහගෙන අත් දෙකෙන්, හිටියා,හිටියා,හිටියා...බෙරිම තෙන මම එන්න ආවා බේබි. උදේ කෝම ගියාද කඩවල් තමා
දන්නවා"
ආන්යා උන්නේ දුකෙන්. ආර්යන්ගෙන් දුර යන්න හදන හැම වෙලේකම ඔහුව හිතට ලං වෙන
දේවල්ම වෙන්නේ ඇයි කියලා ඈට තේරුණේ නෑ.
"යේකනේ බේබි මම
කිව්වේ අහන්න යෙපා කියලා. මේක සරි ඉල්ල බේබි. අභී මාතියාට වචනේ දීලාට පස්සේ මේම
දුක් වෙන එක, බේබිත් වෙරදියි,ආර්යන් මාතියත් වෙරදියි...තරහා වෙන්න යෙපා බේබි
කිව්වට" ගෝපි ඒ පාර නම් කිව්වේ ආන්යා දිහා කෙලින්ම බලලා.
ආන්යා ඔහු දිහා බැලුවේ අසරණව වගේ.
"මේ කිසි දෙයක්
අපි හිතලා කරගත්තු දේවල් නෙවෙයි ගෝපි. ඒක මම ගෝපිට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.
කාටත් වඩා සමහර දේවල් ගෝපි දන්නවනේ...මම දන්නවා හිත හදාගන්න ඕන කියලා. මම මහන්සි
වෙන්නෙත් ඒක කරන්න. ආර්යන් අයියත් හදන්නේ ඒක කරන්න කියලා මට තේරෙනවා...ඒත් හැමදේටම
කාලයක් ඕනනේ" ආන්යා කිව්වේ දුක්බරව.
ගෝපි ආන්යා දිහා බලාගෙන උන්නෙත් දුකෙන්.
"ආර්යන් මාතියට, බේබි ට තරම් හිත හයිය නේ...වෙඩිය කතා නොකලට පොඩි
බබා වගේ තමා. පව් තමා, මගේ හිතට හරි
දුකයි...ඒත් මොනාද කරන්නේ? බේබි මේක ගෙන
හිතන්න යෙපා. අමතක කරලා දාන බේබි. ඔය දෙන්නටම යේක තමා හොඳ"
එහෙම කියපු ගෝපි බයිසිකලේ තල්ලුකරගෙනම යන්න ගියේ ආයෙම ආන්යා මුකුත් කියන්න
කලින්. ආන්යා ලොකු සුසුමක් හෙලුවා. හදිසියේම ඈට අනාගතේ ගැන දැනුනේ බයක්.
ආර්යන් ආපහු වත්තට ආවේ ආන්යලා විශ්ව විද්‍යාලයට යන්න පිටත් වෙන දවසට
කලින්දා රෑ. ඒ රෑ බලෙන්ම වගේ තාත්තා ඔහුව ආන්යලාගෙන ගෙදරට කන්න එක්කගෙන ඇවිත්
තිබුණා. ආන්යගේ හිත පොඩ්ඩක් විතර නොසන්සුන් වුණත්, ආර්යන් ඈ දිහා වැරදිලාවත්
බැලුවේ නෑ. අඩු තරමේ ආන්යා බලන එක වෙලාවකවත් ඔහු ඈ දිහා බලාගෙන උන්නේ නෑ. ඔහු ගැන
සැලකිල්ලක් පෙන්නන්න ගිහින් තවත් ඒ හිතට බලාපොරොත්තු දෙන්න ආන්යට ඕනවුණෙත් නෑ.
"අම්මලා කියන්න කිව්වා ලබන විසිඅට වෙනිදා දිහාට එහේ එන්න කියලා හැමෝටම.
තිහ මගෙයි, ශර්මිලාගෙයි වෙඩින් එකට
දින නියම කරගන්න දාගෙන ඉන්න හන්දා"
කෑම කාලා අහවර අතුරුපස ගේනකල් ඇතිවුණ විරාමයේදි ආර්යන් කිව්වා.
ආන්යට ඔහු දිහා ඉබේටම බැලුණත් ඔහු නම් උන්නේ අහක බලාගෙන.
"ආ...එහෙමද? ඔව්, ඉතින් අපි එන්නම එපායැ දැන්" තාත්තා කිව්වේ හිනාවෙලා.
"ආර්යනුත් එහෙනම් අමාරුවේ වැටෙන්නයි හදන්නේ ඈ?" එහෙම කට කැඩිච්ච
කතාවක් කියන්න එතන උන්නේ අනුහස් විතරයි.
"අනූ කටවහගන්න" අම්මා සැර වුණා.
"අමාරුවේ වැටිලම තමා හිටියේ කලින් ඉඳන්ම" ආය්‍රන් කිව්වෙත් හිනාවෙලා.
"කසාද බඳිනවා කියන්නේ අමාරුවේ වැටෙනවා කියන එක නෙවෙයි. තමන්ගේ ජීවිතේට තව
ශක්තියක්, ආදරයක් එකතු වෙනවා කියන එකයි" තාත්තා කිව්වා.
"හ්ම් හ්ම්" අනුහස් ඔලුව නවාගෙන හිනාවුණා.
"අභීගෙත් ප්ලාස්ටර් එක කපන්න තවත් ස්තියක් විතර යන්න ඕන කිව්වලු නේද?"
අම්මා ඇහුවේ
ආන්යා කලින් කියලා තිබ්බ දෙයක්.
"ඔව් ආන්ටි, ඒක්ත් මගෑරලම ගන්න ඕන නිසයි තිහට කල් ගියේ" ආර්යන් කිව්වේ මුල්ම වතාවට
ආන්යා දිහා යාන්තමට බලමින්.
"එතකොට ආර්යන්ලා බැඳලා ඉන්නේ මෙහේද?" අම්මා ඇහුවා.
"කියන්න බෑ ආන්ටි, ආපහු යූ කේ යන අදහසකුත් තියෙනවා. මෙහේ ඉන්න මට හේතුවක් නෑ ඇත්තටම. සේරම
අභීටම බාරදීලා යන්න තමයි මම නම් කැමති. ඒත් ඉතින් අම්මට ඕනලු මෙහේ අපි ටික දවසක්
හරි ඉන්න..." ආර්යන් කිව්වා.'අභීටම බාරදීලා' කියන වචන ටික ආන්යගේ හිතට
බරට දැනුනා.
"අම්මලා ආස ළමයි ලඟ තියාගන්න නේන්නම්" අම්මා එහෙම කිව්වා.
කිසිම දෙයක් නොවුණ ගාණට ආන්යට සමු දීපු ආර්යන් යන්න ගියේ ආන්යගේ හිතේ
මොකක්දෝ පසුතැවීමක් වගේ හැඟීමක් ඉතිරි කරලා.
"මට පේන්නේ මේ ළමයත් අර නාරදලට එකතු වෙලා බොන්න පුරුදු වෙලාද කොහෙද? ජීප් එකේ
පිටිපස්සේ පුරෝලා එකක් බෝතල් මම දැක්කා. අනේ මන්දා මොනවා වෙලාද කියලා...පිටරට
ගිහින් අරගෙන ආපු පුරුදු තමා ඔය" ආර්යන් ගියාට පස්සේ තාත්තා අම්මට කියන්වා
ආන්යට ඇහුණා. ආයම ඇගේ හිත ගිනි වැදුණා.
ගොඩාක් හිතලා, හිතලා අන්තිමට ආන්යා ෆෝන් එකට අතට අරන් ආර්යන්ගේ නොම්මරේ ඔබලා කනේ
තියාගත්තේ, දෙගිඩියාවෙන්. එහාපැත්තෙන් නාද වෙන හඬ ඇහෙද්දි ඇගෙ හද ගැස්ම වැඩි වුණත්,
ඈ හිත තදකරගත්තා.
"ආන්යා....ඇයි?" ආර්යන් කෙලින්ම ඇහුවා.
"ම්...මට...මට කතා කරන්න ඕන ටිකක්.." ආන්යා කිව්වේ හෙමින්, ගොත ගගහ. කාමරේ
දොර වහලා තිබ්බත් එලියට ඇහෙයි කියලා ඈ බය වුණ හන්දා.
"මං අහගෙන ඉන්නේ" ආර්යන් කිව්වා. ඔහුගේ හඬේ තිබ්බ දයාබර ආදරනීය ගතිය
වෙනුවට වියලි, දුර්වල හනඩක් ආන්යට ඇහුනේ.
ආන්යා හුස්මක් ගත්තා. "ඔයා ආයෙම බොන්න පටන් අරන් නේද?" ඈ ඇහුවා.
"කවුද කියන්නේ ආයෙම පටන් ගෙන කියලා" ආර්යන් ඇහුවා.
"කියපු කෙනාගෙන් වැඩක් නෑනෙ, වැඩේ ඇත්ත නම්" ආන්යා කිව්වා.
"ආයෙම පටන් ගන්න නැවැත්තුවේ නෑ" ආර්යන් කිව්වේ උපහාසෙන් වගේ.
"ඔයා හදන්නේ බීලා බීලා නහින්නද? ඔයා හදන්නේ එහෙම ජීවිතේ විනාශ කරගෙන මට
රිද්දන්නද?" ආන්යා ඇහුවේ ආවේගශීලීව.
එහා පැත්තෙන් මොහොතක් යනකල් ඇහුණේ හුස්ම ගන්න හඬක් විතරයි.
"හීනෙකින්වත් ඔයාට රිද්දන්න මට ඕන නෑ ආන්යා...මම බොන්නේ මට දේවල් අමතක කරන්න
ඕන හන්දා මිස ඔයාගෙන් පලිගන්න නෙවෙයි" ඒ පාර ආර්යන්ගේ හඬ මුදු වෙලා.
"ඒත්...ඔයා කරන්නේ මගෙන් පලි ගන්න එක නෙවෙයිද?"
"ඇයි මම එහෙම කරන්නේ? අපි අතරේ කිසිම දෙයක් වුණේ නෑ ආන්යා, කතාබහක් ඇරෙන්න...අපි
කවදාවත් කිසිම බොන්ඩ් එකකින් බැඳිලා උන්නේ නෑ...හිතින් ඇරෙන්න" ඔහු අන්තිම
වචන දෙක කිව්වේ ඇහෙන නෑහෙන ගාණට.
"මට ඕවා අහන්න බෑ...ප්ලීස් ආර්යන් අයියා අම්මලා වෙනුවෙන්වත් නොබී ඉන්න"
ආන්යා බැගෑපත් වුණා.
"අම්මලා වෙනුවෙන් මම ඕනවටත් වඩා දේවල් කරලා ඉවරයි ආන්යා. මම වෙනුවෙන් කිසිම
දෙයක් නෑ, මේ ඇරෙන්න. මට එපා කියන්න එපා..."
"ඔයා ඔය වැඩේ නැවැත්තුවේ නැත්තම්, මම...මම..අභීට කියන්වා
ඔයා මෙහේ ඇවිත් බිබී නාස්ති වෙනවා කියලා" ආන්යා හැදුවෙව් ආර්යන්ට තර්ජනයක්
කරන්න, බැරිම තැන.
"අභී ඇහුවොත් ඇයි කියලා...දෙන්න තියෙන උත්තරේ එයාට දරාගන්න පුලුවන් වෙයිද
ආන්යා..."
"ඔයා මොනාද මේ කියන්නේ?" ඒ පාර ආන්යගේ හිතට ආවේ භීතියක්.
"ආන්යා ප්ලීස්...ලීව් මී අලෝන්. ප්ලීස් ලෙට් මී ගෝ ෆ්‍රොම් යෝර් ලයිෆ්.
මෝස්ට් ඔෆ් ඕල් ප්ලීස් ඩෝන්ට් කෝල් මී...මේ මොහොත, ඔයාගේ කටහඬ අමතක කරන්න,
කොච්චර
බොන්නවෙයිද මං දන්නෑ....බට් අයි විල් ඩූ ඉට්, ෆෝ අභී..."
"ප්ලීස් ආර්යන් අයියා...ඔහොම ගිහින් ඔයා ලෙඩෙක් වෙයි, එහෙම වුණොත් අපට
තව දුක වැඩි වෙන්නැති වෙයිද?" ආන්යා ඇහුවා.
"අයි වෝන ඩයි....සූනර් ද බෙටර්...කෝස්' අයෑම් සෝ වීක් ආන්යා...සෝ
ඩෑම්න් වීක්..."
ආර්යන් එහෙම කිව්වාම ආන්යගේ හිත හොඳටම බිඳුණා.
"අනේ එහෙම කියන්න එපා...ඔයා මොන පිස්සුද මේ දොඩවන්නේ?"
"ප්ලීස් හැන්ග් අප් ද ෆෝන් ආන්යා..."
"අහන්න...අනේ ඔය තරම් බොන්න එපා දෙයියනේ" ආන්යා කිව්වේ ඇස් වලට කඳුලු
උනන්ද්දි.
"ගුඩ් නයිට් ආන්යා...ස්ලීප් ටයිට් ඇන්ඩ් ඩෝන්ට් ලෙට් ද බෙඩ් බග්ස්
බයිට්..."
ඈ කියපුවා ගණනකටවත් නොගෙන ආර්යන් ඇමතුම විසන්ධි කලා. ආන්යගේ ඇස් වලින්
කඳුලු බිංදු දෙකක් කොට්ටෙට වැටුණා. තවත් කරන්න කිසිම දෙයක් ඈට ඉතිරිවෙලා තිබුණේ නෑ,
නොපෙනෙන දෙවියන්
යදිනවා ඇරෙන්න. ඒත් ආන්යට වඩා වැලපෙන හිතකුත් ඒ අහසයට තිබුණ වග ඈ දැනගෙන උන්නේ නෑ.
ඒ හිත අයිතිකාරයා, එවෙලේ පොලේ ගහපු බෝතලයක වීදුරු කටු ගොඩක් මැදට වෙලා ඈ ගැන හිතමින් උන්නු
වගවත් ඈ දැනං උන්නේ නෑ.
