Friday, November 22, 2013

අවසරයි ලං වෙන්න: විසි පස් වන කොටස



"දෝනි...පොඩ්ඩක් මෙහාට එන්නකෝ"
තාත්තා මට කතා කලේ මම සාලෙට වෙලා ඔහේ නිනව්වක් නැතිව ටීවී එක දිහා බලාගෙන ඉද්දි.
"මේ එනවා තාත්තේ" මම ඉස්තෝප්පුවේ උන්නු තාත්තා ලඟට යන ගමන් කිව්වා.
මම යද්දි තාත්තා උන්නේ මිදුලට බැහැලා.
"තාත්තා කොහේ හරි යන්නද?" මම ඉස්තෝප්පුවට යන ගමන් ඇහුවා.
"අපි දෙන්නම යමු එන්න" තාත්තා කිව්වා.
මට දැනුනේ පුදුමයක්. තාත්තා සාමාන්‍යයෙන් එහෙම නොකරන නිසා. අම්මා එක්ක නම් ඕන තරම් මම ගමේ ඇවිදින්න ගියාට, පොඩි කාලෙදි ඇරෙන්න තාත්තා එක්ක මම එහෙම ගිහින් නැහැ.
"කොහේද අපි යන්නේ තාත්තේ?" මමත් මිදුලට බහින් ගමන් ඇහුවා.
"අපි යමොකෝ ආච්චි අම්මලගේ දිහාට පොඩ්ඩක් ගිහින් එන්න. කාලෙකින් යන්න බැරි වුණා මට මේ වැඩ හන්දා" තාත්තා එහෙම කියාගෙනම ගමන පටන් ගත්තා.
මාසෙකට දවසක් දෙකක්,  අපි එක්ක නොගියත් තාත්තා සාමාන්‍යයෙන් ආච්චි අම්මගේ ගෙදර යන වග අපි දැනගෙන උන්නේ පුරුද්දෙන්මයි. ගිහින් ගෙදර ඕනෑ එපාකම් හොයලා බලලා, බඩු ටිකක් හෙම ගෙදරට ගිහින් දාන එක තාත්තා එදා ඉඳන්ම කලා. සීයා ඉන්න දවස් වල පවා තාත්තා ඒක කලා. ඒත් මම කල්පනා කලේ තාත්තා හදිසියේම එහේ යන්න මට කතා කලේ මොකද කියලයි.
"අයියට කවද්ද දෝණි අවුරුද්දට නිවාඩු හම්බවෙනවා කිව්වේ?" අපි පාර දිගේ ඇවිදගෙන යද්දි තාත්තා ඇහුවා.
"මම හිතන්නේ දොලහද කොහෙද"
"එහෙමද? අවුරුද්ද කටේ තියලා තමා එහෙනං. ඒකෙත් හැටි බලමොකෝ ඉතිං. ඉස්සර නම් අප්‍රේල් පලවෙනිදා ඉඳලම ගමේ කොල්ලෝ කුරුට්ටෝ එක්ක අවුරුද්දට ලක ලෑස්ති වෙවී උන්නු ළමයා. දැන් රස්සා කරන්න පටන් ගත්තට පස්සේ ඒ නිදහස ආයෙමත් නෑ" තාත්තා කිව්වේ හිනාවක් එක්ක වුණත්, ඒ වචන වල තිබුණේ අපේ ගෙවිලා ගිය පුංචි කාලේ ගැන තාත්තගේ හිතේ තියෙන සංතාපය කියලා මට හිතුණා.
ඉස්සෙල්ලම ලොකු අයියා ගෙදරින් ගියා. දැන් පොඩි අයියත් ඈත් වෙලා. ඊට පස්සේ මම...මමත් ඒ වගේ ඈත් වෙයිද? එහෙම හිතද්දි මගේ හිතේ ඉපදුනේ දුකක්.
"දෝණිට ඊයේ අයියා මොනා හරි කිව්වද?"
නොහිතපු වෙලාවක තාත්තා එහෙම ඇහුවා.මම තාත්තා දිහා බැලුවේ පොඩ්ඩක් විතර ගැස්සිලා වගේ.
"ඇ..ඇයි තාත්තා එහෙම ඇහුවේ?"
තාත්තට මම උත්තරයක් දුන්නේ නෑ එක පාරටම. මට සුසුමක් හෙලුණේ ඉබේටම. ඊයේ රෑ වුණ කතා බහ මට අමතක කරන්න පුලුවන් කමක් තිබ්බේ නෑ.

 "ඔයා අද අර විදිහට දමලා ගහලා යන්න ගිය එක හරිම වැරදියි නංඟි. ඔයා දන්න්වද ඒක?" අයියා කතාව පටන් ගත්තේ එහෙම.
"ඒක මහ පුදුම කතාවක් නේ. මම එහෙම දමලා ගහලා ගියා නෙවෙයි. මට හිතුණා මම ගියා"
"ඒත් චේතිය ඒ නිසා ගියෙත් අප්සට් එකේ" අයියා කියද්දි මම ඔහු දිහා බැලුවේ පුදුමෙන්. කොහොමද මෙහෙම එයා මට කියන්නේ කියලා හිතාගන්න බැරුව.
"ඇයි ඒ?" මම පුදුම වෙලා වගේ ඇහුවා.
"ඇයි කියලා එයා ඔයාට කියන්න ඇති නේද?" අයියා ඊට පස්සේ කිව්වා.
"මම දන්නෑ අයියා මොනාද කියන්නේ කියලා. මට චේතිය මොනවත් කිව්වේ නෑ" මම ඕනවට එපාවට කිව්වා.
"මොනවත් කිව්වේ නෑ?" ඒ පාර අයියා ඇත්තටම පුදුම වෙලා.
මම නෑ කියන්න හිස වැනුවා.
"ඒකත් එහෙමද?" අයියා කියාගත්තේ තමන්ටමද කොහෙද.
හරි කමක් නෑ. අපි ඒක පැත්තක දාමුකෝ. එයා එහෙමනම් ඔයාට කතා කරයි නේ" අයියා කිව්වා.
"ඇයි එයා මට කතා කරන්නේ?" මම අයියා දිහා කෙලින්ම බලලා ඇහුවා. ඒ මගේ හිතේ මෝදු වෙමින් තිබුණ කෝපයයි, දුකයි නිසාමයි.
"ඒක එයාම ඔයාට කියයි. ඒත් මම දන්නවා ඔයාට ඒක මොකක්ද කියලා හිතා ගන්න පුලුවන් ඇති කියලා" අයියා කිව්වේ මා දිහා නොබලා.
මම අයියට ගස්සලා වගේ අහක බලා ගත්තා. අයියා මේ තරම් චේතියට උල්පන්දම් දෙන්නේ ඇයි කියලා මට තේරුණේ නෑ.
"අපි දැන් පොඩි ළමයි නෙවෙයිනේ නංඟි. ජීවිතේ සමහර තීරන තීන්දු අප දැන් ගන්න සිද්ධ වෙනවා. ඔයාට තේරෙනවා නේද? සමහර වෙලාවට අපිම දන්නෑ අපි ගන්න තීරණ හරිද වැරදිද කියලා. ඒ නිසා තමයි අපි තීරණ ගන්න අනෙක් අයගෙ උපදෙස් ඕන වෙන්නේ. මොකද සමහර වෙලාවට අපි හැඟීම් වලට වහල් වෙලා ගන්න තීරණ, අපේ ජීවිතේම නැති නාස්ති වෙන්න බලපාන්න පුලුවන් හන්දා"
අයියා ඒ පාර මොකදෝ කාරණාවකට එන්න ලොකු අටුවාවක් ගොතනවා. මම මුකුත්ම නොකියා අහගෙන හිටියේ හිත තවත් හිතුවක්කාර වෙන්න උත්සාහ කරද්දි.
"මම ඔයාගෙන් දෙයක් අහන්න, ඔයා මට ඇත්තම කියනවද?"
"මොකක්ද?" මම අහුවේ කිසීම හැන්ගීමක් නැතුව.
අයියා එහෙම අහද්දි මගේ හිත අහේතුකවම නොසන්සුන් වෙන්න ගත්තා.
"නංඟිට කැම්පස් එකේ හරි වෙන කා එක්ක හරි affair එකක් තියෙනවද?" මම ඉවෙන් වගේ දැනුනා අයියා අහන්න යන්නේ මේක තමයි කියලා.
"නෑ" මම හැරෙන තැපෑලෙන් එහෙම කිව්වා.
"ඔයා ඔය කියන්නේ ඇත්තම නේද?"
"මම කියන්නේ ඇත්ත තමයි" මම කලබල වෙලා උන්නු නිසාදෝ මට කෑ ගැහුණත් වගේ.
අයියා මා දිහා බලාගෙන උන්නේ පුදුමෙන් වගේ.
"ඔයා මේවා ඇයි මගෙන් අහන්නේ?" මම ඊට පස්සේ ඇහුවා.
"ඒවා අපි දැනගන්න ඕන නිසා"
මම ඊට පස්සේ ආයෙම මුකුත් ඇහුවේ නෑ.
"ඔයා තමයි මේ ගෙදර එකම ගෑණු ළමය. ආච්චි අම්මා කියනවා වගේ, ගෙදර පහන, නම්බුව සේරම ඔයා. මට මතක ඇති කාලේක ඔයා කවදාවත් අකීකරු ලමයෙක් වෙලා ඉඳලා නෑ. ඒ නිසා, මම ඔයාව විශ්වාස කරනවා. ඒ වගේම මම හිතනවා ඔයා කවදා හරි එහෙම තීරණයක් ගනිද්දි, ඔයා මේ ගෙදරට වටින තරම් ඔයා මතක් කර ගනී කියලා"
අයියා එහෙම කියද්දි නම් මගේ හිත පොඩ්ඩක් විතර සැලුණා. ඒත් මම ගෙදරට අවනම්බු වෙන දෙයක් කලේ නෑ කියන එක මම දැනගෙන උන්නු නිසා ඒ වචන මට වැරදිකාර හැඟීමක් දැනෙව්වේ නෑ.
"මම මේවා කියන්නේ ඔයා දැන ලොකු ගෑණු ළමයෙක් නිසයි. රටේ ලෝකේ වෙන දේවල් ඇහුවම ඔයාට තේරෙනවා ඇති නේ, සමාජේ ඉන්න මිනිස්සු කොච්චර විෂම අයද කියලා. මුලින් පණ දෙන්න වගේ ආදරේ කරලා ඊට පස්සේ වෙන වෙන දේවල් පස්සේ යන්වා. සමහර වෙලාවට අග හිඟ කම් එද්දි, අර ආදරෙත් නෑ, මොනවත් නෑ. රණ්ඩු විතරයි. ඔයා දන්නවනේ අර අපේ ලොකු තාත්තලගේ අල්ලපු ගෙදර ඉන්න කපල් එක. පැනලා ඇවිත් දැන් විඳින දුක. ඒකයි නංඟි මම කියන්නේ. අපි කෙනෙක් හොයා ගනිද්දි හැම පැත්තම හිතන්න ඕන. නැත්තම් අන්තිමට අපට කිසි දෙයක් ඉතිරි වෙන්නේ නෑ. අඩු ගාණේ ආදරේ වත්.
ඒ නිසා ඔයා ඒ දේවල් ගැනත් හිතන්න. අනික තමයි ඔයාගේ ඉදිරි අනාගතේ ගැන තීරණයක් ගනිද්දි මතක තියා ගන්න ඒක හැම වෙලේකම අපේ අම්මට, තාත්තට, නෑයින්ට මේ සේරටම බලපානවා කියලා. මොකද අපි මේ ලොකේ තනියෙන් ඉපදිලා මැරිලා යන අය නෙවෙන නිසා. අපට ඕන ඔයා සැපෙන් ඉන්නවා බලන්න. හොඳින් ඉන්නවා බලන්න. ඔයා මං කියන එක තේරෙනවා නේද?" අයියා ඇහුවේ දයාබරව.
පොඩ්ඩ ඇත්නම් මරු නගින, නාහෙට අහන්නැති පොඩි අයියා, අද සාන්තුවරයෙක් වගේ මා ඉස්සරහා මට උපදෙස් දෙද්දි, මට එයා ගැන පුදුම නොවී ඉන්න බැරි වුණා. ඒත්, මේ බටර් ගෑමේ යටි අදහසක් තියේදෝ කියන මගේ සැකය හන්දා, මට එක හිතින් ඒ කියන දෙවල් පිලිගන්න පුලුවන් වුණේ නෑ.
 ඒ අතරෙම හිතේ කොනක බලාපොරොත්තුවක් නොතිබ්බම නෙවෙයි. භූප කියන්නේ අපි කාලාන්තරයක් තිස්සේ දන්න, පවුල් සේරම අඳුනන, හොඳ කෙනෙක් හන්දා. සමහරවිට, සේරම හොඳින් සිද්ධ වුණොත්, අපි දෙන්නට ගෙවල් දෙකෙන්ම ආශීර්වාද ලැබෙන්න පුලුවන් කියලත් මට හිතුණා. මොකද අයියා චේතියට කැමති වෙන්න කියලා කෙලින්ම මට කිව්වෙත් නැති හන්දා. හිතේ සිතුවිලි තිබුණේ දෙපැත්තටම බර වෙවී. ඒ මොනා වුණත්, මෙච්චර කල් මම රැකගෙන ආපු විශ්වාසය, කීකරු කම මට මෙවෙලේ බිඳ දාන්න ඕන වුණේ නෑ. මොකද මම හිතුවා කවදාක හරි, බැරි වෙලාවත් මටයි, භූපටයි ප්‍රශ්ණයක් ඇති වුණොත්, මගේ මේ කල්කිරියාව එදාට මට වැදගත් වෙයි කියලා.
"මට මීට කලින්ම මේ ටික ඔයාට කියන්න ඕන වුණා. ඒත් මට වෙලාවක් තිබුණේ නෑ. මං හිතනවා ඔයා මුකුත්ම නොකියා හිටියත්, මම කියපුවා ඔයා හිතට ගන්න ඇති කියලා" අයියා ආයෙම කිව්වා.
මම ඔහු දිහා බලලා මද හිනාවක් පාලා හිස වැනුවා. අයියා මගේ හිස අතගෑවේ සෙනෙහසින්.

අයියා කියපු දේවල් ආයෙම හිතලා බලද්දි ඒකේ යටි අදහස මාව එන්න තියෙන ලොකු දේකට සූදානම් කරන එකද කියලත් මට නොහිතුණා නෙවෙයි. ඒත් මම උදක්ම හිතුවා මගේ කැමැත්තටත් ඉඩ දෙන්න ගෙදර අය කැමැති වෙයි කියලා. මොකද චේතිය තරම්ම, නැත්තම් ඊටත් වඩා භූප අපේ පවුලට සමීප නිසා.

"දෝණි මොනාද ඉතිං ඔය අහස පොලව ගැටලන්න වගේ කල්පනා කරන්නේ?"
මම පියවු ලෝකෙට ආවේ තාත්තගේ හඬට. අපි ඒ වෙනකොට උන්නේ කුඹුක් ලිඳට ලඟින්.
"මුකුත් නෑ තාත්තා" මම කිව්වා.
"මොකද නැත්තේ? ඔයා ඔය හිතන්නේ අයියා කියපුවා ගැන නෙවෙයිද?" තාත්තා ඇහුවා.
මම යන්තම් හිනා වුණා.
"අයියා එහෙම විශේෂ දෙයක් කිව්වා නෙවෙයි තාත්තේ. එයාට මොනවදෝ හිතිලා, මට අවවාද ගොඩක් දුන්නා. එයා බය වෙලා මම කැම්පස් එකේදි මොනා හරි පටලැවිල්ලක් හදා ගනී කියලා" මම කියාගෙන ගියා.
තාත්තත් නිනා වුණා.
"ඒක ඉතිං අයියා විතරක් නෙවෙයි අපි වුණත් හිතන දෙයක්නේ" තාත්තා කිව්වා.
මම ඔහු දිහා බැලුවා.
"මම කවදාවත් එහෙම අපට නොගැලපෙන දෙයක්, අවනම්බු වෙන දෙයක් කරන්නේ නෑ තාත්තේ" මම කිව්වේ හෙමින්.
එතකොට තාත්තත් මා දිහා බැලුවා. ඒ ඇස් වල තිබුණේ සෙනෙහසක් එක්කම ලොකු හැඟීම්බර බවක්.
"මගේ දෝණි මට විශ්වාසයි" තාත්තා ඊට පස්සේ කිව්වා.
මම බිම බලාගත්තා.
වෙච්ච හැමදේම නිසා, හිත තිබුනේ යකාගේ කම්මල වගේ වෙලා. ජීවිතේ හිටපු ගමන් සම්පූර්ණයෙන්ම හැඩි වෙලා ගිහින් වගේ. මේ හැමදේටම හේතුව චේතිය කියලා මට හිතුණා. එයා නොවෙන්න මට හිතන්න මේ තරම් ප්‍රශ්ණ තියෙන එකක් නෑ කියලයි මගේ හිත කිව්වේ. කොහොම හරි  මම නො ඉවසිල්ලෙන් හිටියේ ආපහු භූප හම්බවෙනකල්. එයාට මේ හැමදේම කිව්වම හිත පොඩ්ඩක් හරි නිදහස් වෙයි කියලා මට හිතුණා.

Thursday, November 21, 2013

අවසරයි ලං වෙන්න: විසි හතර වන කොටස



මුලු ඉරිදා දවසම චේතියට වෙට්ටු දදා උන්නු මම බැරිම තැන ලොකු අයියලගේ ගෙදර ගියේ සෙනුරි අක්කව බලලා එන්නත් එක්කමයි.
ගෙදර ඉන්න වෙලාවල චේතිය මාව කතාවට පටලවාගන්න ගොඩක් උත්සාහ කලත්, මම ඒ හැම වෙලේකම ඔහුව මගෑරියා. ඔහු එක්ක ඇවිල්ලා උන්නු අනුක් වැඩිය කතා කරන කෙනෙක් නෙවෙයි. කතා කරපු වචන දෙක තුනත් එයා කතා කලේ අයිඅයි, චේතියයි එක්ක විතරද කොහෙද. ඉතිං චේතිය එයාව අයියටම පංගරාර්තු කරලා, කලේ  මග පස්සෙන් ඇවිද ඇවිද උන්නු එක.
"ගෑණු ළමය අද මොකද මේ පැත්තේ, පාරවත් වැරදුනාද?" මම යද්දි ලොකු අයියයි සෙනුරි අක්කයි දෙන්නම උන්නේ ඉස්සරහ ඉස්තෝප්පුවේ වාඩි වෙලා. මගෙන් එහෙම ඇහුවේ සෙනුරි අක්කා.
"අනේ නෑ...කොහෙද නිවාඩුවට ආ දා ඉඳලා වැඩනේ. නැත්තම් මම එන්න තමා උන්නේ ඔයාව බලන්න" මම ගෙට ගොඩ වෙන ගමන් කිව්වා.
"චේතියලා ගියාද නංඟි?" මගෙන් එහෙම ඇහුවේ ලොකු අයියා.
"නෑ...ඔය ඉන්නේ" මම කිව්වේ ඇදලා පැදලා ඕනවට එපාවට වගේ.
සෙනුරි අක්කා මා දිහා බලලා හිනා වුණා.
"අනේ මංදා කවදා යනවද කියලා. අර තවත් ගොබිලෙක් එක්කනේ ඇවිත් ඉන්නේ" මම අසල තිබුණ පුටුවක වාඩි වෙන ගමන් කිව්වා.
මම කියපු එකට සෙනුරි අක්කට බකස් ගාල හිනා ගියත් අයියා නම් හිනා වුණේ නෑ.
"ඒ මොකද එහෙම කියන්නේ?" අයියා ඇහුවේ ඇස් දෙකත් පුංචි කරලා.
"නෑ ඉතිං...එහෙම පිට අය ඉද්දි කිසිම නිදහසක් නෑනෙ ගෙදර" මම කිව්වේ බිම බලාගෙන.
"ඒ වුණාට ගෙදරට ආපු අමුත්තෙකුට එහෙම කතා කරන එක හරි නෑනෙ. ඒ මනුස්සයා නරක කෙනෙක් යැ? අනික ඉතිං පදිංචි වෙන්න ආවා නෙවෙයි නේ. මට උදේ කිව්වා අද හවස යනවා කියලා" ලොකු අයියා කිව්වා.
'අනේ වාසනාවන්' මම එහෙම කිව්වේ නෑ හිතුවා විතරයි.
"දුමාල්...අර ඔයාගේ ෆෝන් එක නේද රිං වෙනවා ඇහෙන්නේ?" මේ අතරේ ගේ ඇතුල දිහාට කන් යොමාගෙන උන්නු සෙනුරි අක්කා ඇහුවා.
"ආ...ඔව් ඔව්."අයියා එහෙම කියාගෙන එතනින් නැගිටලා ගේ ඇතුලට දිව්වා ඉක්මණට.
"මොනාදා බෑග් එකේ?" සෙනුරි අක්කා අහනකල්ම අම්මා අක්කට එවපු පලතුරු ටික දෙන්නත් අමතක වෙලයි මම හිටියේ.
"ආ...මේ පලතුරු වගයක්. අම්මා දෙන්න කිව්වා" මම ඒක ඈ අතට දුන්නා.
"චේතිය ගෙනාපුවද?" අක්කා ඇහුවේ බෑග් එකට එබෙන ගමන්.
"හ්ම්"
"මොකද...ළමයා නිකං චේතිය එක්ක තරහින් වගේ කතා කරන්නේ?" සෙනුරි අක්කා බෑග් එක අසල ටීපෝව මතින් තියලා මා දිහා බලලා ඇහුවේ උනන්දුවෙන්.
"මට එයා අල්ලන්නෑ" මම කිව්වේ හිතේ තිබ්බ නොරිස්සුම පිට කර ගන්න ඕන නිසාමයි.
"හදියෙම ඇලජික් වුණේ මොකෝ? පොර මොනා හරි ඇහුවා වත් ද?" සෙනුරි අක්කට ඉව තියෙනවද කොහෙද. ඈ එහෙම ඇහුවාම මට ඈ දිහා බැලුණා, ඉබේටම.
"ඇහුවේ නම් නෑ. ඒත්...."
"ඒත්?"
"අනේ මංදා අක්කේ. මොනාදෝ කියන්න ඕන කියලා කිව්වා. ඊට පස්සේ මම පුලුවන් තරම් මගෑරලා ඉන්නයි බැලුවේ. එන පොට මොකක්ද කියලා තේරෙනවනේ"
හැමදාම වගේ සෙනුරි අක්කට කියන්න බැරි දෙයක් මට තිබුණේ නෑ. එයා මගේ වයසේ නොවුණත්, සොහොයුරියකට මට ලඟින්ම උන්නේ ඇය හන්දා, කාටත් වඩා ඇය මාව තේරුම් ගන්න වග මම දැනගෙන උන්නා.
"ආ...මනුස්සයා එහෙමනම් approach එක අරගෙන නේ. කවද්ද ඕක වුණේ ඊයෙද?" සෙනුරි අක්කා මගේ කතාව අහන්න වගේ හරි බරි ගැහෙමින් ඇහුවා.
"හ්ම්. කුඹුරට යද්දි"
"ඉතිං ඔයා එයාට මොනවත්ම අහන්න නොද්දි කොහොම හරි ජාම බේරගත්තා?"
"ඔව් ඔව්. අදත් එයා සෑහෙන try කලා කතාවට අල්ලගන්න. බැරිම තැන තමා මම මෙහේ ආවේ" මම කිව්වේ බිම බලාගෙන.
"තාම මුකුත් අහන්න වුණේ නෑනෙ? ඉතිං ඔයා දන්නවයැ, එයා ඕකමයි අහන්න එන්නේ කියලා?" සෙනුරි අක්කා ඇහුවාම මම ඈ දිහා බැලුවා.
"ඒකවත් තේරුම් ගන්න බැරි තරම් අන්ධ නෑ අක්කේ මම. තේරෙන්වනේ කෙනෙක් කතා කරද්දි එන්න හදන්නේ මොකාටද කියලා" මම කිව්වා.
සෙනුරි අක්කා සුසුමක් හෙලලා පුටුවට හේත්තු වුණා.
"ඒ කියන්නේ ඔයා එයාට කැමති නෑ?"
"අපෝ නෑ...කොහොමටවත් නෑ" මම කිව්වේ තදින්ම.
"මොකද හේතුව අකමැති වෙන්න?" සෙනුරි අක්කා ඇහුවා.
"හේතුවක් තියෙන්නම ඕනද? මම එයාට කොහොමත් එච්චර කැමති නෑනෙ ඉස්සරත්. එයා මහා මදාවි පාටයි. මම එහෙම අයට ආස නෑ. අනික එයා මම හොයන විදිහේ කෙනෙක් නෙවෙයි" මම කිව්වා.
සෙනුරි අක්කා ඒ පාර මා දිහා බැලුවේ හිනා වෙවී.
"ඒ කියන්නේ හොයන්නත් පටන් අරන් තියෙන්නේ?"
"එහෙම නෙවෙයි...ඔයාට තේරෙන්නැද්ද?"
"හරි හරි මට තේරෙනන්වා"
මම ගේ ඉස්සරහින් දිවෙන ගුරු පාර දිහා බලාගෙන සිත සන්සුන් කරගන්න උත්සාහ කලා. මොකද මන්දා චේතිය ගැන කියන අහන වෙලාවක් ඇත්නම් මගේ හිත හරි කරදරකාරී විදියට නොසන්සුන් වුණා.
"ඔයා ඇත්තටමද කිව්වේ, හොයන්න පටන් අරන් නෑ කියලා. එහෙම නැත්තම් නොහොයන්නේ දැනටමත් කෙනෙක් ඉන්න නිසාවත් ද?" සෙනුරි අක්කා ඊලඟට එහෙම ඇහුවාම මම උඩ ගියා.
"ඔයාට පිස්සුද?"
"පිස්සු? මට නම් පිස්සු නෑ. හැබැයි ගමේ සමහර අයට නම් ඔයා නිසා පිස්සු හැදෙන්න ආසන්න වග තමා ආරංචිය"
සෙනුරි අක්කා එහෙම කිව්වාම මම හොඳටම බය වුණා. ඒ වගේම හිතේ කුතුහලයකුත් ඇති නොවුණා නෙවෙයි.
"කවුද ඔය දූෂමාන ආරංචි පතුරවන්නේ? කාටද ඉතිං ඔය පිස්සු හැදෙන්න ආසන්න වෙලා තියෙන්නේ? කියන්නේකෝ බලන්න මටත් දැනගන්න" මම කිව්වේ අක්කා දිහාට හොර බැලුම් හෙලන ගමන්.
"එතකොට ඔයා දන්නේ නෑ"
"අනේ අක්කේ පිස්සු නොකර කියන්නකෝ. මටත් ඕන දැනගන්න ඕවා අම්මලගේ කනට යන්න කලින්" මම කිව්වේ සීරියස්ලිමයි.
අක්කා ඒ පාර මෙලෝ වගක් නැතිව හිනා වෙනවා.
"ගමේ අය කිව්වට ඉතිං එහෙමම නෑ. මම මේ මට දැනිච්ච දෙයක් කියන්නේ" ඒ පාර සෙනුරි අක්කා එහෙම කියනවා.
"අනේ අම්මපා ඔයා වගේ කෙනෙක්. මාව හොඳටම බය කලා. දැන් කියන්න මොනාද ඔයාට දැනුනේ කියලා" මම නෝක්කඩු කිව්වා.
"මේකයි...ඔයා චේතියට අකමැති, ඔයා වෙන කෙනෙක්ට කැමති නිසා නෙවෙයිද? මේ ගමේම කෙනෙක්ට?"
සෙනුරි අක්කා අහන්නේ හැමදේම දැනෙගෙන වගේ. මම අහක බලා ගෙන සුසුමක් හෙලුවා.
"ඔයා කා ගැනද ඔය කියන්නේ?"
"කා ගැනද කියලා ඔයා දන්නවනේ. මම මේ ගෙදර හිටියට, ඒ ගෙදර වෙන දේවල් මම දන්නවා. අනික එක එකයි එකයි එකතු වුණාම දෙකයි කියන්න තරම් අත්දැකීම් මටත් තියෙනවනේ" සෙනුරි අක්කා කිව්වා.
"මම දන්නෑ ඔයා මොනා කියනවද කියලා"
සෙනුරි අක්කා ආයෙම මොනවත් කියන්න කලින් අයියා ආපහු සාලෙට ආවා.
"කවුද දුමාල් කතා කලේ?"
"අර ටවුමේ අමරසිංහ මුදලාලි. Personal loan එකක් ගන්න ඕනලු අලුත් කඩයක් දාන්න. ඒකේ වග විස්තර කිව්වා මෙච්චර වෙලා. වැල් වටාරම් කියන්න ඒ වගේ කෙනෙක් නෑ"
"ඉතිං ඔයා ඉන්නේ ගම්පහ නේ. ලෝන් එක ගන්නේ එහෙන්ලුද?"
"නෑ..නෑ...විස්තරේ දැනගන්න විතරයි..." අයියා එහෙම කියලා ආයෙම සාලෙන් වාඩි වුණා.
"කීයද මන්දා වෙලාව?" සෙනුරි අක්කා ඇහුවේ ආයෙම ගේ ඇතුලට එබෙන ගමන්.
"හතරහමාරයි" අයියා ෆෝන් එක දිහා බලලා කිව්වා.
"තේ ටිකක් වත් හදමු නේද?" සෙනුරි අක්කා පුටුවෙන් නැගිටින ගමන් කිව්වා.
"මං හදන්නම් අක්කේ. ඔයා ඉන්න" මම කිව්වා.
"නෑ කමක් නෑ. මාත් එන්නම්. රෑට හාල් ටිකක් ලිපේ තියන්නත් ඕන"
"ඉතිං මං තියන්නම්"
"මාත් එන්නම්. යමු. පහන තියන්නත් ඕන දුමාල්, ඔයා මල් කඩනවද?"
සෙනුරි අක්කා නැගිටලා ගෙට යන ගමන් අයියගෙන් ඇහුවා.
"හරි මං කඩාගෙන එන්නම්. ඔයාට හාල් තියන්න අප්පිරියා නම් නංඟිට කියන්න"
අපි දෙන්නා හෙමි හෙමින් කුස්සියට යද්දිම වගේ මට ඇහුණා බයිසිකලයක සද්දේ. ඒත් ඒ මෙහාට ආපු එකක්ද පාරේ ගිය එකක්ද කියලා හරියටම මට තේරුණේ නෑ.
"මම ඔයාට ඇත්තම කියන්නම්කෝ. ඔයා දන්නැතුව ඇති, මෙහේ station එකේ ක්ලාක් කෙනෙක් ඉන්නවා මගේ යාලුවෙක්. සඳා කියලා. එයා ඔයාව දන්නවා" සෙනුරි අක්කා කුස්සියට ගිහින් මම වතුර ලිප තියන අතරේ කිව්වා.
"ඉතිං?"
"එයා මට කිව්වා ඔයා හැමදාම එකම කොල්ලෙක් එක්ක ඇවිත් කෝච්චියෙන් බහිනවා. එයා එක්කමයි ආපහු ඉරිදට යන්නෙත් කියලා. මගෙන් ඇහුවා ඒ ඔයා බඳින්න ඉන්න කෙනා වෙන්න ඇති නේද කියලා"
සෙනුරි අක්කා එහෙම කියද්දි මගේ ඔලුව ගිනි ගත්තා වගේ. මම ඈ දිහාවත් නොබලා මේසේ තද කරලා අල්ලගෙන උන්නේ මාව වැටෙයි වගේ දැනුන නිසා.
"ඔයා දන්නවනේ මම කා ගැනද කියන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි ගමේ ඉන්න මා එක්ක ක්ලිනික් යන දෙතුන් දෙනෙකුත් කිව්වා ඔයාලා දෙන්න අර පීල්ල හන්දියේ කතා කර කර ඉන්නවා දැකලා තියෙනවා කියලා. සමහරවිට අම්මලගේ කනටත් මේවා ගිහින් ඇති"
අක්කා බැරෑරුම් විදිහට එහෙම කියද්දි මම උන්නේ වෙව්ලමින් වගේ.
"මම ඒක වැරදියි කියලා කියන්නේ නෑ" අක්කා ආයෙම කිව්වා.
මම මොනවත්ම කියාගන්න බැරිව ගොලු වෙලයි උන්නේ. ඒ මම කවදාවත් සෙනුරි අක්කටවත්, ගෙදරටවත් බොරුවක් කියලා නැති නිසා වෙන්න ඇති. පොඩි බොරු කිව්වට මේ තරම් දෙයක් ගැණ ලොකු බොරුවක් කියන්න මට කොහෙත්ම පුලුවන් වුණේ නෑ.
"ඔයා මුකුත්ම නොකියා ඉන්නේ එහෙම දෙයක් තියෙන නිසාද නංඟි?" සෙනුරි අක්කා ඇහුවේ දයාබරව.
එහෙම අහද්දි නම් මගේ ඇස් වලට කඳුලු පිරුණා. ඒ මට භූපව මතක් වුණ හන්දා.
"ඔයාට මට කියන්න බැරි දෙයක් නෑනෙ" අක්කා ආයෙම ඇහුවේ මගේ ලඟටම ඇවිත්.
මගේ උගුර රිදුම් දුන්න නිසා, මම උන්නේ අමාරුවෙන්. ඒත් ඇස් වල නම් කඳුලු පිරෙන එක නතර කර ගන්න මට පුලුවන් වුණේ නෑ.
"මේ බලන්න නංඟි" අක්කා බලෙන්ම වගේ මාව එයාගේ පැත්තට හරවා ගත්තා. ඊට පස්සේ ඈ ඇස් ලොකු කර ගත්තා.
"ඇයි මේ?" අක්කා ඇහුවේ පුදුමෙන් වගේ.
මම බිම බලාගතා.
"ඔයා බය වුණාද? මම ගෙදරටයි, අයියටයි කියයි කියලා?"
අක්කා එහෙම ඇහුවාම මම හිස වැනුවේ නෑ කියන්න.
"මේ බලන්න නංඟි, මගේ දිහා බලලා කියන්නකෝ. බය වෙන්න දෙයක් නෑනෙ. ඔයා භූප එක්ක යාලුයි නේද?" අක්කා අන්තිමට එහෙමම ඇහුවා.
"නංඟී...තව තේ එකක් හදන්න..." අක්කට මුකුත් කියන්න කලින් ගෙයි මැද්දෙන් ඇහුණේ අයියගේ කට හඬ.
"කවුද දන්නෑ ආවේ?"අක්කා ඒ පැත්ත බලලා ආයෙම මා දිහා බැලුවා.
"ඉතිං කියන්න..." අක්කා ආයෙම කිව්වා.
මම සුසුමක් හෙලලා බිම බලාගෙන හිස වැනුවා 'ඔව්' කියන්න. අක්කටත් සුසුමක් හෙලුණා.
"මදෑ..ඒක අහගන්න ගිය වෙලාවක්" අක්කා ඊට පස්සේ කිව්වේ සැහැල්ලුවෙන්.
"අපරාදෙ කියන්න බෑ භූප හොඳ කොල්ලෙක්. කෝ...ඉතිං, තාම බුම්මගෙනද ඉන්නේ?" ඊත පස්සේ අක්කා ආයෙම මා දිහාට එබිලා ඇහුවා.
මම ඈ දිහා යන්තමට බැලුවා විතරයි.
"කොහොමද අප්පේ මේක වුණේ? කොල්ලා වීරයා වෙලා ඔයාව ගිහින් දාන්න එක්ක එන්න පටන් ගත්තු නිසාද?"
අක්කා ඇහුවේ ටින් එකක තිබුණ බිස්කට් වගයක් පිඟානකට දාන ගමන්.
මම උත්තරයක් නොදීම තේ හැදුවා.
"ඒ පාර මෙයා කසාය බීපු ගොලුවා වගේ වෙලා...හරි හරි කියන්න අකමැති නම් ඕන නෑ" අක්කා ඊට පස්සේ කිව්වා.
"එහෙම එකක් නෙවෙයි අක්කා" මම හඬ අවදි කලේ අක්කා අමනාප වෙයි කියලා.
සෙනුරි අක්කා ගැන මගේ හිතේ සැකයක් වත් බයක් වත් තිබ්බේ නෑ. මොකද එයා අපේ ගෙදර අයට වඩා නිදහස් මතයක් දරන කෙනෙක් වග මම දන්න නිසා.
"මම දන්නෑ කොහොමද ඒක වුණේ කියලා" මම කිව්වා.
"ඒ කියන්නේ ඉබේටම ආදරේ ඇති වුණා?"
"හ්ම්"
අක්කා ඒ පාර මොහොතක් නිහඬව උන්නු නිසා මම ඈ දිහා බැලුවා.එයා තනියෙම හිනා වෙවී ඉන්නවා බිස්කට් පිඟානත් අතේ තියාගෙන.
"කාලයක් ආශ්‍රය කරද්දි එහෙම වෙන්න පුලුවන්. දැන් පේන්නැද්ද අපි දෙන්නා" අක්කා මා දිහා බලලා කිව්වා.
මම හිනා වුණා.
"එතකොට ගෙදරින් මොනවත්ම දන්නේ නැද්ද, දෙන්නගෙම?" අක්කා ඊට පස්සේ ඇහුවා.
"අපෝ නෑ. පිස්සුද? තාම නෑ. දැන්ම කියන්න අදහසකුත් නෑ. ඔයා දන්න්වනේ අපේ අම්මගේ හැටි. අනේ අක්කේ ඔයා බැරි වෙලාවත් අයියටවත් මේ ගැන කියන්නේ නෑ නේද? එහෙම වුණොත් මම ඉවරයි" මම ඇහුවේ පොඩි බයකින්.
"පිස්සුද ළමයෝ. මම මොකටද එහෙම කරන්නේ? එතකොට මේ ගැන අඩුගාණේ දුලිත දන්නෙත් නැද්ද?"
"ම්හු...භූප දැන්මම කියන්න කැමති නෑ. ඒක එයාම කියනකල් මට නම් බෑ අයියට කියන්න. එයා අම්මට හපන් වගත් ඔයා දන්නවනේ"
"ඔයා හිතනවද ගෙදරඉන් වලියක් දායි කියලා? භූප අපි හමෝම දන්න, පවුලත් හොඳට අඳුනන කෙනෙක්නේ" අක්කා කිව්වා.
"ඒක නම් එහෙම තමයි. ඒත්...මොකද මන්දා මගේ හිතට දැනෙන්නේ බයක්" මම කිව්වා.
"හ්ම්. ඒක නම් ඉතිං ඔය කාලේට එහෙම තමයි. ඒ වුණාට ඔයා බය වෙන්න එපා. මට ෂුවර් ඔය දෙන්නට ගෙදරිඅන් කැමති වෙනවා" අක්කා එහෙම කිව්වේ හදවතින්ම වග මට දැනුනා.
"එහෙම වුණොත් කොච්චර හොඳද?" මම සුසුමක් හෙලලා කිව්වා.
"හ්ම්...එහෙනං මේක දැනට හොරෙන් නැගලා යන එකක්. හරි ජොලි. එහෙම නැත්තනුත් වැඩක් නෑ අනේ. ආයෙ වෙලාවල මට කියන්නකෝ දෙන්නගේ විස්තරේ. දැන් යමු. නැත්තම් දුමාල් අහයි තේ දලු නෙලන්න ගියාද කියලා"
අපි සාලෙට යද්දි අයියා කා එක්කදෝ බර කතාවක්. සාලේ දොර ලඟදි මගේ දෙපා එක පාරටම නැවතුනේ ඇවිත් උන්නු කෙනාගේ කට හඬ ඇහිලා. මට කලින් සාලෙට ගිය අක්කත් එක පාරටම නැවතුන වග මම දැක්කා.
"ආ...මේ භූපනේ. මම ඒත් කල්පනා කලා කවුරු වෙන්න ඇතිද කියලා" අක්කා කිව්වේ හිනාවක් පාලා.
මම උන්නේ තාම දොරකඩ.
"ඔව් අක්කේ. අම්මා කිව්ව ඔයාට මේ කෑම ටික දෙන්න කියලා" භූප කියනවා මට ඇහුණා.
"හානේ...මොනවද මේ? නැන්දා නිකාං කරදර වෙලානේ මේ වැඩත් අස්සේ"
"එහෙම ගාණක් නෑ. ඔයා මොනාද කජු බැදුමකුයි තව මොනාදෝයි"
මම එවෙලේ කල්පනා කර කර හිටියේ එලියට යනවද නැද්ද කියලා.
"මදෑ තේ ගේන්න ගිය වෙලාව" අයියා කිව්වා.
"කෝ...නංඟි...තේ ටික ගේන්න" අක්කා මම තාම මග උන්නු වග දැකලා මට හිස වනලා කතා කලා.
මම සාලෙට ගියේ බිම බලාගෙන. මට බය හිතුණා අයියා මගේ මූණේ වෙනසක් දකීවිවත් දෝ කියලා.
"ආ...දුලාරත්  මෙහෙද?" භූපත් මාව දැකලා පුදුම වෙලා.
"ඔව්, ඇවිත් යන්න ආවා" මම හෙමින් කිව්වේ ඔහු දිහා නොබලා.
"දැන්වත් ඔය තේ එක දෙන්න. පේනවනේ මල්ලි, දැන් කාලේ කෙල්ලෙක්ට තේ එකක් හදා ගන්න යන වෙලාවක්. හස්බන්ඩ්ට නම් දෙයියන්ගෙම පිහිටයි" අයියා මට විහිලු කලා.
"ඒකට ඉතිං ඔයා වගේ, තේ හදන්න හෙම දන්න හස්බන්ඩ් කෙනෙක් හොයා ගත්තම ඉවරනේ" බිස්කට පිඟන්න අයියට අල්ලන ගමන් අක්කා කිව්වේ ඇඟට පතට නොදැනී.
අපි සේරටම හිනා ගියා ඒ කතාවට. ඒ අල්ල පනල්ලේ මම යන්තමට භූප දිහා බලලා හිනාවක් පෑවා.

අයියා එක්ක කතාකරමින් උන්නු භූප යන්න පිටත් වෙන්න හදද්දි හවස පහමාරත් පහු වෙලා.
"මාත් එහෙනම් යන්නද අයියේ? හයටත් ලඟයි නේ. අම්මා මෙලහකට මෙහාට කෝල් කරන්න ලෑස්ති වෙනවා ඇති" මම කිව්වේ මටත්  භූප එක්කම යා ගන්න ඕන වුණ නිසා.
සෙනුරි අක්කා මා දිහාට අමුතු බැල්මක් හෙලුවා.
"හා..හා. භූප එක්කම ගියා නම් හරි නේ" අයියා කිව්වා.
"ගිහින් එන්නද අක්කේ?" මම කිව්වම සෙනුරි අක්කා මට හිස වන වන හිනා වුණා අයියට නොපෙනෙන්න.
"මම භාජනේ දුමාල් අතේ එවන්නම් කියන්න මල්ලි. අම්මට ගොඩක් පිං කියන්න හොඳේ?"
අපි එන්න මගට බහිද්දි අක්කා භූපට කිව්වා.
"මම කියන්නම් අක්කේ. එහෙනම් ගිහිං එන්නම්"
භූප මිදුලේ නතර කරලා තිබුණ බයිසිකලේ අතට ගන්න ගමන් කිව්වා. +අයියගේ ගෙදරපහු වෙනකල්ම හොර පූසෝ දෙන්නෙක් වගේ ආවා මිස අපි කතා කලේ නෑ.
"මම හිතුවේ නෑ ඔයා ඉඳීවි කියලා ලොකු අයියලෑ ගෙදර" භූප කතාව පටන් ගත්තේ එහෙම.
"මම නිකං ගියා අක්කා බලන්න. ආවට පස්සේ යන්නම වුණේ නැති හන්දා" මම කිව්වේ ගුරු පාරේ ඈත බලාගෙන.
"ඔයාද තේ හැදුවේ" භූප ඇහුවම මම ඔහු දිහා බැලුවා. ඒ මූණේ තිබුණේ පුංචි හිනාවක්.
"ඇයි හොඳ නැද්ද?"
"නෑ..නෑ. තේ එක රසයි" භූප කිව්වා.
"මාත් හිතුවේ නෑ ඔයා මෙවෙලේ එහේ ඒවි කියලා" මම කිව්වා.
"එහෙම තමයි...ඔයා ඉන්න තැනට මාව ඇදිලා එනවද කොහෙද. රොනට ඇදෙන බඹරෙක් වගේ" භූප කිව්වේ තවත් හිනා වෙවී.
මගේ ඇතුලාන්තයම තිබුණේ උනුසුම් වෙලා. ඒ එක්කම හිතේ තිබ්බේ පුංචි නොසන්සුන් කමක් වගේ හැඟීමක්. ඒ ඇයි කියන්න මට තේරුණේ නෑ.
"චේතිය ගියාද?" භූප ඊලඟට ඇහුවේ එහෙම.
"මං දන්නෑ. මම මෙහේ එද්දි නම් ගෙදර හිටියා, ඒ නිසත් තමයි මම මෙහේ ආවේ" මම කිව්වේ පොඩි දොම්නසකුත් හිතේ පැතිරෙද්දි.
"එයා ආයම ඔයාගෙන් මොනා හරි ඇහුවද දුලාරා?" භූප ඇහුවේ මා දිහා නොබලා.
"නෑ...මම එහෙම අහන්න වෙලාවක් දුන්නේ නෑ. එයා කතා කරන්න නං ගොඩක් try කලා හැබැයි"
මම කිව්වම භූප සුසුමක් හෙලුවා.
"මේක හරියන්නෑ දුලාරා. මේ යකාට අපි ගැන කියන්නම වෙනවා. මම කැමති නෑ එයා ඔයාගේ ගෙදර එනවටවත්. ඒත් මට ඒක නවත්තන්න  බෑනෙ. මම ඊයේ මුලු රෑම කල්පනා කලේ මේ ප්‍රශ්ණේ ගැන. මම චේතියට කතා කරන්නද?"
භූප එහෙම අහද්දි ඔහුගේ මූණේ තිබුණෙත් දුක්බර බවක්. මගේ හිත සසැලුණා ඒ මූණ දැක්කම.
"එපා භූප. ඉස්සෙල්ලා මම කතා කරන්නම්. නැත්තම් එයා ඔයා එක්ක තරහා බැඳ ගනී. තාම නම් මොනවත්ම එයා ඇහුවේ නෑ. අනික ඔයා දන්නවනේ අපි ගැන එයාට කියනවා කියන්නේ ගෙදරටත් ඒ ගැන ආරංචි වෙන එකයි කියලා. මට බය අන්න ඒකට භූප" මම කිව්වා.
"ඒක නම් එහෙම තමයි. ඒත් ඉතිං මේකට වෙන විකල්පයක් නෑනෙ. ගෙදරට අපි ගැන කියන්න වුණොත් කියමු. අපි හිතන තරම් යකා කලු වෙන එකක් නෑ සමහරවිට" භූප කිව්වේ මා දිහා දයාබරව බලලා.
ඒත් මගේ හිතේ නම් තිබුණේ අහේතුක බයක්. ඒක අම්මා භූප ගැන මට කියපු දේවල් නිසාත් ඇති වුණ දෙයක් වෙන්න ඇති.
"ඒත් බැරි වෙලාවත් ගෙදරින් අකමැති වුණොත්?" මම එහෙම අහද්දි මගේ ඇස් වල කඳුලුත් පිරුණා.
"එහෙම හිතන්න එපා. මම හැමදාම කියනවනේ"
"අනේ මංදා භූප මට මහා බයක් දැනෙනවා එහෙම හිතන හැම වෙලේකම. ගෙදරින් අකමැති වුණොත් අපට මේක නවත්තන්නම වෙයි. එහෙම වුණොත් මට පිස්සු හැදෙයි භූප. ඔයා නැති හෙටක් ගැන හිතන්න මම දන්නෑ. මම ඔයාට ගොඩක් ආදරෙයි...මට ඔයා නැතිව ඉන්න බැරි වෙයි, එක මොහොතක්වත්" මම කිව්වේ කඳුලු ඇස් වලින් පිට පනිද්දි.
භූප බයිසිකලෙත් එක්කම පාර මැදම නතර වුණා.
"දුලාරා...මේ අහන්න මගේ රත්ත්තරං...ඔහොම දේවල් හිතලා, ඔය ඇස් වලට කඳුලු  පුරෝ ගන්න එපා. දැන් ඔයාව ගෙදරට ඇරලවලා ගියාම එතකොට මට හිත හදාගෙන ඉන්න බෑ. මං ඔයාට කිව්වනේ, ඔයාව මගෙන් වෙන කරන්න බෑ කාටවත්ම. මම එහෙම වෙන්න ඉඩ තියන්නෑ...සත්තයි"
භූප කිව්වේ මට ගොඩක් ලං වෙලා.  මම වටපිට බැලුවේ කවුරු හරි පාරෙන් මතු වෙයිදෝ කියලා බයෙන්.
"මගේ හිත හරි කලබලයි භූප. මට බයයි. මම චේතියට පොඩ්ඩක් වත් ආස නෑ. ඒ නිසම මම එයාටත් බයයි. මම ඔයාව විශ්වාස නොකරනවා නෙවෙයි"
"මම දන්නවා මැණික. මට තේරෙනවා. අපි මේකට මොකක් හරි විසඳුමක් හොයා ගමුකෝ. තාම අපට කල් තියෙනවනේ. දැන් ඉතිං ඔය කඳුලු පිහ ගන්නකෝ. ගෙදර ගියාම දැන් අම්මා බලයි මොකද කියලා නැත්තං. කොහොමත් අපට මෙහෙම කතා කරන්න බෑනෙ. මට ඔයා එක්ක තනියෙම නිදහසේ කතාකරන්න තියෙන උවමනාව මෙච්චරයි කියන්න බෑ. කැම්පස් එකෙන් ඇවිත් දවස් පහක් නෑ, අපි හරියට ලෝක දෙකක ඉන්නවා වගේ දුරස් වෙලා. හැමවෙලේම හිතේ තියෙන්නේ පුදුමාකාර නොසන්සුන් කමක්. හිත නිවෙන්නේ ඔයා දැක්කම විතරයි දුලාරා. වෙලාවකට මටම හිතෙනවා මට මේ මොනා වෙලාද කියලා" භූප කියෝගෙන ගියා.
"මටත් එහෙමම තමයි භූප. ඒ අස්සේ  මේ චේතියගේ විකාර නිසා මගේ ඔලුව පිස්සු වෙලා" මම කිව්වා.
"බලමුකෝ...අපට මුණගැහෙන්න විදියක් මම හිතලා බලන්නම්කෝ. ඔයා හිත කරදර කරගන්නේ නැතිව ඉන්න බලන්න. මම පුලුවන් හැම වෙලේකම බලලා යන්න එන්නම්. මැසේජ් කරන්නම්. හොඳද?"
"හ්ම්" මම පොඩි එකෙක් වගේ හිස වැනුවා.
"අපි යමු එහෙනම්"
 "ඔයා අපේ ගෙදර පැත්තේ එන්න එපා. මං තනියෙම යන්නම් භූප. ඔයා මෙතනින් යන්න"
අපේ ගෙදරට මෙහා වංගුවේ හන්දියෙදි නැවතිලා මම භූපට කිව්වා.
"ඇයි ඒ?"
"ඒක කෝකටත් හොඳයි නේ. අම්මලා දැන්මම සැක හිතයි කියලා මට බයයි භූප" මම කිව්වා.
"එහෙමද? කමක් නෑ. ඔයා කියනවනම් එහෙම කරමුකෝ. මම හෙට දිහාට එහෙනං එන්නම්. හරිද? දුක් වෙවී ඉන්න එපා හොඳේද?" භූප මා දිහා බලලා කිව්වේ ආදරෙන්.

භූපට හන්දියෙන් යන්න යද්දි, මම පය ඉක්මණ් කරලා ගෙදර එන්න ආවා. මම කඩුල්ල පැනලා මිදුලට එද්දි අම්මා මල් කඩනවා. චේතියගේ ජීප් එකත් පේන්න නෑ. මට සැනසුම් සුසුමක් හෙලුණා.
"ඔය ගෙදර එන වෙලාව නේ? හනේ අම්මපා මෙහෙමත් කෙල්ලෙක්? දැන් මම අයියල කෝල් එකකුත් දුන්නා. මෙච්චර වෙලා ගියේ මොකෝ? එහේ ඉඳන් වනු ගෑවද?" අම්මා පුරුදු විදියටම උන්නේ දුම්මල වරම අරන්.
"හරි හරි අම්මේ...දැන් මම ආවා නේ. කෝ දෙන්න මම මල් කඩන්න" මම චාටුවෙන් අම්මා ලඟට ගිහින් කිව්වා.
"දැන් ආයෙ කඩන්න දෙයක් නෑ. ගෙට යන එකයි ඇත්තේ, මූණ කට හෝදලා මේක පූජ කරන්න එන්න" අම්මා අනික් පැත්ත හැරෙන ගමන් කිව්වා.
"අ...ම්...චේතියලා...ගියාද?" මම එතනින් නොයා අම්මගෙන් ඇහුවේ මොනවත් දන්නෑ වගේ.
අම්මා හිස හරවලා මා දිහා උඩ ඉඳන් පල්ලෙහටම බැලුවේ පොඩ්දක් රවාගෙන වගේ.
" ගියාද තමයි. ඒ ළමයි යන්න ලෑස්ති වෙද්දිම වගේ ඔයා යන්න ගියා. චේතිය ලමය මොනා හරි හිතනත් ඇති, අර පිට ළමේකුත් උන්නු නිසා. එහෙම දමලා ගහලා යන රටක් තියේද ලමයෝ ගෙදරට අමුත්තෝ ඇවිත් ඉද්දි? අයියත් ඉන්නේ කේන්තියෙන්" අම්ම ඊට පස්සේ කිව්වා.
"ආ...මෙන්න වැඩක්! මම කොහොමද දන්නේ එයාලා යන්නද ඉන්නද ලෑස්ති වෙන්නේ කියලා? මට කිව්වයැ? මම හිතුවේ අදත් ඉන්න්වා ඇති කියලා. අනික අයියා කේන්ති ගන්නේ අහවල් එකකටද?" මම බොරුවක් කිව්වා.
අම්මා මුකුත්ම නොකියා ආයෙම අනික් පැත්ත හැරුණා මල් කඩන්න.
"ඔයා එක්ක කතා කරන්න පෙරකදෝරුවෙක් අල්ලන්න ඕන" ඊට පස්සේ අම්මා ගෙට යන්න ආවේ මට එහෙම කියාගෙන.
මම හිනාවකුත් දාගෙන අම්මා පස්සේ ඇදුනා.
අපි ගේ ඇතුලට යද්දි පොඩි අයියා සාලේ මේසේ උඩ පහන තියන්න ලෑස්ති කරනවා. මම ඒ පැත්තට ගියේ අයියවත් ෂේප් කර ගන්න හිතාගෙන.
"අද මොකද පිං කරන්න හිතිලා?" මම ඇහුවා අයියා දිහා බලලා.
අයියා මා දිහා ඇස් උස්සලා බැලුවේ නපුරු විදියට. මගේ හිනාව වියැකුණා.
"ඇයි?" ඊට පස්සේ මම ඇහුවේ හෙමින්.
"මම පාන තියලා එන්නම්. මූණ හෝදගෙන එන්න"
අයියා මට එහෙම කිව්වා ඊට පස්සේ. ඒකේ තේරුම අයියට මා එක්ක කතාවක් කරන්න තියෙනවා කියන එක.
අයියා තෙල් බෝතලේ අරන් කුස්සියට යද්දි මම එතනම ඉඳගෙන කල්පනා කලේ අයියා කියන්න හදන්නේ මොනා වෙන්න ඇතිද කියලා.
"පුතේ...මමවත්, තාත්තාවත් කැමති නෑ දැම්මම ඕවා කෙල්ලගේ ඔලුවට දානවට. ඒත් පුතා හිතන්වා නම් එහෙම හොඳයි කියලා එහෙම කරන්න. ඒත් පුතේ කෙල්ලගේ ඔලුව විතරක් අවුල් කරන්න ලෑස්ති වෙන්න එපා. තේරුණාද?"
මම හෙමි හෙමින් කුස්සිය දිහාට යද්දිමට යන්න්තම් ඇහුණා අම්මා එහෙම කියනවා. මම ඉක්මණට ඒ දිහාට ලං වුණේ ඒ කතාව හරියට අහ ගන්න.
"ඉස්සෙල්ලා කියලා තියෙන එක හොඳයි නේ අම්මා කෝකටත්. අම්මා බය වෙන්න එපා මම ඒක ගාණට කියන්නම්" අයියා කියපු එක නම් මම දොර ලඟ උන්නු නිසා හොඳටම ඇහුණා.
මාව ආයෙම ගැහෙන්න ගතා. 'අනේ දෙයියනේ මේ මොනාද වෙන්න යන්නේ?'