Tuesday, January 31, 2012

නවවන කොටස


ආන්යා ගෙදරට යද්දි ගීතාන් ඇවිත්. අනුහස් එක්ක දෙන්නම හැටන් වලදි වැස්සකට අහු වෙලා හොඳටෝම තෙමිලා, ඒ පයින්ම ගෙදර ඇවිත් සීතල වතුර නාලා, වෙවුල වෙවුල ගිනි උදුන ලඟ වාඩි වෙලා ඉන්න වෙලාවෙයි ආන්යා තාත්තා එක්ක ගෙට ගොඩ වුණේ.
"එන්න ටිකක් පරක්කු වුණ ලොකු පුතේ. මේ දවස් වල ලොක්කෝ ඇවිත් නේ. ඉතින් කීයටද ආවේ?"
තාත්තා අම්මට බෑග් එක දීලා ගිනි උදුන ලඟ පුටුවකට බර වෙන ගමන් කතාව පටන් ගත්තා. හැටන් වල වැස්සෙන් පටන් ගත්තු කතාව කෙලවර වුණේ අම්මා පස් වෙනි වතාවටත් තාත්තට ඇඳුම් මාරු කරගන්න කියලා දැනුම් දීපු වෙලාවෙයි. ආන්යා නම් ඒ වෙද්දි මූණ සෝදලා ඇඳුම් මාරු කරලයි උන්නේ.
ගීතාන් ගෙදර එන්නේ කාලෙකින් නිසා ඔහු ආපු දවසට මුලු ගෙදරම පිරිලා වගේ කියලා ආන්යට හිතුණා. අනුහස් ගීතාන්ට වඩා අවුරුදු කීපයක් බාල වුණත් දෙන්න හිටියේ යාලුවෝ වගේ. හැම වෙලේකම මොනවා හරි පිස්සු වැඩක් කරමින්, කාට හරි වද දෙමින් ඉන්න එක තම වැඩිපුරම කලේ.
"ඉතින් අහන්නකෝ අයියා...හොඳම වැඩේ තමා මෙයා මනි මහත්තයාගේ ලොකු පුතාත සින්න දොරේ කියලා රැවටිලා. ඒ මනුස්සයට කතා කරලා තියෙන්නෙත් එහෙම. අභි බඩ අල්ලගෙන හිණා වෙනවා ඒක කියලා..."
රැ කෑම කාලා ඉවර වෙලා සාලේ වාඩි වෙලා අතරේ අනුහස් කිව්වේ අම්මයි, තාත්තයි එනවද කියලා කුස්සිය දිහාට එබිකම් කරමින්.
"නෑ...මේ ඇත්තද මෙයා කියන්නේ?" ගීතාන් ආන්යාගෙන් ඇහුවේ හිනාවෙවී.
මෙච්චර දවස් අනුහස් ඒ වග දැනගෙන නේ ද ඉඳලා තියෙන්නේ කියලා ආන්යා දැනගත්තේ මෙවෙලේ.
"ඔයා නම් අන්තිමයි අනූ...මෙච්චර දවස් දැනගෙන ඉඳලත් කිව්වේ නැති හැටි. මම නිකම් ඒ මනුස්සයා ඉස්සරහ ලැජ්ජා වුණා" ආන්යා කිව්වේ අමනාපෙන් මූණ රතු කරගෙන.
"මේ මේ...මාව ඕකට අල්ලගන්න එපා. අභි තමා කිව්වේ ඔයාම හොයාගන්නකල් ඉන්න දෙන්න කියලා"
"ඔයාට අර කොහෙන්වත් ආපු අභි ලොකුයි නේ මට වඩා. ඔයා නම් මහා නරකයි අනූ. මම ඔයා එක්ක හොඳටම තරහයි" ආන්යා එහෙම කියද්දි තරහටයි, ලැජ්ජාවටයි, දුකටයි මේ සේරටම එක්ක ඇගේ ඇස් වලට කඳුලු පිරුණා. ඈ පුටුවෙන් නැගිට්ටේ කඳුළු පිහිමින්.
"ඒයි...මීනු...ඔහොම ඉන්න" ඒ පාර නම්  අනුහස් ගේ සෙල්ලක්කාර හඬේ ගැබ් වෙලා තිබ්බේ කලබල වුණ ගතියක්.
"හොඳට හිටපු කෙල්ලව ඇඬෙව්වා නේ. මීනු ඔහොම ඉන්න...මෙන්න මෙහාට වෙලා ඉන්නවා, ආයෙම කෙල්ලව අඬවන්න නොයා" ගීතාන් අනුහස්ව පැත්තකට ඇදලා දමලා ආන්යා පස්සෙන් ආවා. කඳුලු පිහිමින් ආපු ආන්යා නතර වුණේ පෝටිකෝවේ කණුවක් ලඟ.
"මීනූ...ඔයා ඇත්තටම අඬනවද? කෝ බලන්න...අනේ නගෝ අඬන්න එපා ඉතින්. දන්නවනේ අර යෝදයාගේ හැටි ඔහොම්මමනේ. කෝ, මේ බලන්නකෝ"
ගිතාන් ආන්යව තමන්ගේ පැත්තට හරවගන්න උත්සාහ කරමින් කිව්වා. ඒත් ආන්යා නොහැරීම වත දරදඬු කරගෙනම උන්නා.
"නපුරු වෙන්න එපා නංඟි. එන්නකෝ ගෙට යන්න. දැන් අම්මලා ආවොත් බලයි මොකද කියලා. අපි යමුකෝ මම ඔයාට ගෙනාපු තෑගි බලන්න. අනූව එක්කගන්න ඕන නෑ. කෝ ඉතින්...එන්නකෝ හොඳ ළමයා වගේ"
ගීතාන් වදෙන් පොරෙන් වගේ ආන්යව ගෙට එක්කගෙන ගියා. සාලේ උන්නු අනුහස් මේ දෙන්න දිහා යටැසින් බැලුවා.
"මීනූ..."
ඔහු කතා කලත් ආන්යා ඒ දිහාව බලන්න ගියේ නෑ. ඇගෙ හිත ඇත්තටම ගොඩක් රිදිලයි තිබුණේ. ආර්යන් ගැන වැරදි දෙයක් හිතාගෙන ඉන්න ඈට සිද්ධ කරපු එක ගැන අභි ගැනත් ඈට දැනුනේ අමනාපයක්.
ගිතාන් ඔහුගේ කාමරේට එක්ක ගිහින් ඈට ගෙනාපු ඇඳුම්, කොණ්ඩකටු ආදිය පෙන්නදි නම් ආන්යාගේ හිත යාන්තම් හරියාගෙන ආවා. ගිතාන් හැමදාම වගේ ආන්යට තෑගි ගොඩාක් උස්සගෙන ඇවිත්.
"සෙරෙප්පු ගත්තේ නෑ මීනු ඔයාගේ සයිස් මට අන්ෂුවර් නිසා. මෙහෙන් අරන් දෙන්නම්කෝ හොඳේ"
"අනේ එපා අයියා ඕන නෑ නිකම් වියදම් කරන්න. මට සෙරෙප්පු තියෙනවනේ. හානේ...මේ චූටි ටෙඩීබෙයාර් කීටැග් එක හරි ලස්සනයි"
ආන්යා තමන්ගේ තෑගි අතරේ තිබ්බ පුංචි කීටැග් එක අතට අරන් කිව්වා.
"ටෙඩි බෙයාර් නෙවෙයි ඔය බලු හාමි කෙනෙක් නේ. ඕකගේ බඩ මිරිකුවාම බුරනවා"
ආන්යා ඒ සතාගේ බඩ එබුවාම ඔන්න ඇත්තටම බල්ලෙක් වගේ බුරන සද්දයක් ආවා. ඈට හිනා ගියා හොඳටම.
"ඇති යාන්තම් වැහි අඳුර පහ වෙලා වගේ"
මේ හඬ ඇහිලා ඇවිත් කාමරේට යන්තම් එබුණ අනුහස් කිව්වේ හෙමිහිට.
"එන්න එපා මෙහාට, යන්න" ඒ පාර ආන්යා ආයෙම මූණ නපුරු කරගෙන කිව්වා.
"අයියෝ සොරි සොරි. මම හිතුවේ නෑ ඔයා මේක මේ තරම් සීරියස් ගනී කියලා"
"ඔයාලා නිසා මමයි අර මනුස්සය ඉස්සරහ ලැජ්ජ වුණේ" ආන්යා තදින් කිව්වා.
"ආර්යන්ට ඒකේ ගාණක් නෑ, හැබැයි ඉතින් මිනිහා කිව්වා ඔයා පව්, ඒ නිසා කියන්න කියලා. කෝ ඉතින් කියන්න වෙලාවක් ආවේ නෑනෙ" අනුහස් එහෙම කිව්වාම ආයෙමත් අර සීතල හැඟීම ආන්යගේ හිතේ යන්තමට පැතිරෙනවා ඈට දැනුණා. ආන්යා සුසුමක් හෙලලා බිම බලාගත්තා.
"කෝ මේ කට්ටිය...කුමන්ත්‍රණයක්වත්ද?"
ඊලඟ මොහොතේ තාත්තා කාමරේට එබුණ නිසා කතාව එහෙම්මම යට ගියා. ඒත් රෑ නිදා ගන්න ඇඳට ගිහින් ඇස් පියවෙන තුරුත් ආර්යන් තමන්ගේ හිතේ සක්මන් කරමින් උන්නු වග ආන්යට දැනුනා. වගේ වගක් නැතිවා වගේ ඉන්න, ඈ ගැන විශේෂ සැලකිල්ලකුත් නොදක්වන ආර්යන් ගැන තමන් මෙච්චරටම හිතන්නේ මොකද කියලා ආන්යා දැනගෙන හිටියේ නැහැ. ඒ සන්සුන් වෙච්ච තරමටම, නිහඬව උන්නු තරමටම ඔහු ආකර්ශණීය වුණ නිසාද?

Friday, January 27, 2012

අටවන කොටස

"මිස්...ඇයි මොකක් හරි ප්‍රශ්ණයක්ද?"
හතරවෙනි පාරටත් වැරදියට ගාණක් කියවපු ආන්යාගෙන් තාරකා ඇහුවා.
ආන්යට දැනුනේ වරදකාරී හැඟීමක්. ගිණුම් ආපහු චෙක් කරන එක සීරුවෙන් කරන්න ඕන වැඩක්. මේ වගේ වෙන දේවල් හිතමින් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.
"අනේ සොරි තාරකා...මගෙ ඔලුව ටිකක් අවුල් අද. ඉන්නකෝ මම දැන් ඉඳන් හරියට කියවන්නම්"
හිත තද කරගෙන වෙච්ච දේවල් ගැන නොහිතා වැඩේ කරන්න ආන්යා හිතා ගත්තා. ඒත් එහෙම වැඩ කරන්න වුණේ පැය බාගයක් විතරයි. තාත්තාගේ කන්තෝරු කාමරේ ඇරගෙන ඇතුලේ උන්නු සේරම් අය එලියට ආවා. ආන්යා වාඩි වෙලා උන්නු තැනට කෙලින්ම පෙනුනේ ඒ දිහාව නිසා ඇයට ඒ දිහාව බැලුනේ ඉබේටම.
තාත්තා, අලුත් මැනේජර්ට බරපතල දෙයක් විස්තර කරනවත්, ආර්යනුත් ඒ කතාවට කන් දීගෙන ඉන්නවත් ආන්යට පෙනුනා. ඒත් අභි නම් උන්නේ ආන්යා උන්නු පැත්ත බලාගෙන සිනාසෙමින්. ආන්යත් යන්තමට හිනා වෙලා වැඩේට ආපහු යොමු වුණා.
"ඔයත් මෙහේ වැඩ කියලා දන්නේ අදනේ" අභි ලඟටම ඇවිත් වග ආන්යාට තේරුණේ ඒ හඬ ඇහුනාමයි. ඈ ඉක්මණට හිස උස්සලා බැලුවා.
"අනේ නෑ, මම මේ තාරකාට උදව් වෙන්නයි ආවේ. තාත්තා කිව්ව ඇවිත් උදව් කරන්න කියලා"
ආන්යා කරන වැඩේ නොනවත්වම කිව්වා.
"හරියට වැඩ කරන්න ඕන හරිද? නැත්තම් තාත්තගේ පඩියෙන් තමා අඩු කරන්නේ" අභි කිව්වේ හිනා වෙවීමයි.
ආන්යා ඒ පාර ඔහු දිහා හොඳට බැලුවා.
"වැඩ කරන්නේ කොහොමද මෙහෙම එක එක්කෙනා ඇවිත් බාධා කරද්දි, නේද තාරකා?"
"ඕකේ, ඕකේ. මට යන්න කියලනේ කියන්නේ. ඔන්න මම ගියා. ගැණු ළමයි දෙන්න වැඩේ කර ගන්න එකයි ඇත්තේ"

අභි යන දිහා ආන්යා බලාගෙන හිටියේ යන්තමත හිනාවක් මුවේ තවරගෙන. ඊලඟට ආයෙම වැඩ. වැඩේ ඉවර වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ආයෙමත් කෙනෙක් ඇවිත් ආන්යාල උන්නු මේසෙ ලඟින් හිට ගත්තා.
"එක්ස්කියුස්මී...මට දෙනවද ගිය ක්වාටර් එකේ මස්ටර් ෂෙඩ් එකේ දලු කිරපු රෙකෝර්ඩ්ස් ටිඅක"
ආන්යා ඒ හඬට හිස උස්සලා බලද්දි එතන උන්නේ ආර්යන්. ඔහු ආන්යා දිහා යන්තම් බලලා තාරකාගෙන් විස්තර පොත අරගෙන එතනින් යන්න ගියා. ආන්යාට දැනුනේ පුදුමයක්. මේ උදේ හම්බවෙච්ච මනුස්සයා දැන් හරියට අඳුනන්නේ නෑ වගේ ගියේ මොකද කියලා ඈ කල්පනා කලා.'වෙස් පෙරලෙනවද කොහෙද?' සියුම් අමනාපෙකින් ඈ තමටම කියා ගත්තා. කොහොමින්හරි යන්තම් හතර වෙද්දි දෙන්නම පවරපු වැඩේ කරලා ඉවර කර ගත්තා.
"නෝනා...ලොකු මහත්තායා කන්තෝරු කාමරේට එන්න කිව්වා තාරකා මිස් එක්කම" පියන් ඇවිත් කතා කලේ මේ දෙන්නා පොත් ටික පිලිවෙලකට තියන අතරේ.
තාරකාත් එක්ක ආන්යා ඇතුලට යද්දි තාත්තාගේ කාමරේ ජනේලේ අයිනට වෙන්න තිබ්බ පොඩි මේසේ තේ ලෑස්ති කරලා තියෙන වග ඇය දැක්කා. දැනටමත් අභි ආර්යන් එක්ක මේසේ අසලින් වාඩි වෙලයි හිටියේ.
"ආ...එන්න එන්න. මේ ඔය දෙන්න එනකල් තමා අපි හිටියේ" අභි පැනලා කතා කලා.
ආන්යාට තාත්තා දිහා බැලුනේ ඉබේටම වගේ.
"එන්න පුතේ. එන්න තාරකා"
ආන්යා තාත්තා ලඟින්ම වගේ වාඩි වුණාම ඈට කෙලින්ම ඉස්සරහින් උන්නේ ආර්යන්. ආන්යට මොකක්දෝ අපහසුතාවයක් දැනුනා ඔහු දිහා බලන්න බැරි විදියේ. ඈ ඒ නිසා මේසේ තියලා තිබ්බ කැවිලි දීසි දිහා ඇස් යොමු කර ගත්තා.
"ආර්යන්, අභි පටන් ගන්න එහෙනම්. මේ මගේ වයිෆ් ගෙදර හදාපු කේක් වගයක්" තාත්තා කිව්වේ කේක් දීසිය අතින් අත යවන තාරකා අතට දෙන ගමන්.
"එහෙනම් කන්නම ඕන" අභි කියනවා ආන්යට ඇහුණා.
ආන්යා මුලින්ම තාත්තට තේ එකක් හදලා දීලා තමට තේ එකක් හදා ගනිද්දි ආර්යන් යන්තමට ඈ දිහා බලපු වගක් ඈට ඇස් කොනකින් පෙනුනා.
"ආන්යා අර්යන්ටත් තේ එකක් හදනවද පුතේ..." තාත්තා එකපාරටම කිව්වම ආන්ය පොඩිත්තක් ගැස්සුණා. ඈ එක පාරටම ආර්යන් දිහ බලලා ආයෙමත් තාත්තා දිහා බැලුවා. කේක් කාලා ඉවර වෙලා ටිෂූ එකකින් අත පිහිමින් හිටපු ආර්යන් ඒ පාර කතා කලා.
"නෑ, නෑ. ඕන නෑ මම හදා ගන්නම් මිස්ට වීරප්පෙරුම. කරදර වෙන්න එපා"
ඒත් ඒ වෙද්දි ආන්යා කෝප්පෙකට තේ දාලාත් ඉවරයි.
"ඒකට මක් වෙනවද? දැන් හදන්නත් පටන් ගත්තා නේ. ඔන්න ඔහේ බොන්න" තාත්තා කිව්වා.
ආන්යා තේ පෝච්චිය අතේ තියාගෙනම ආර්යන් දිහා බැලුවේ ඊලන්ගට මොනාද කියන්න හදන්නේ කියලා.
"කිරි දාන්න එප. තෑන්ක්ස් මම සීනි දාගන්නම්" ආර්යන් මොකක්දෝ කලබලේකින් වගේ තේ එක ඇදලාවගේ ආන්යා අතින් අරගත්තා.
"මට නම් කිරි දැම්මට කමක් නෑ ආන්යා" කේක් කටේ පුරෝගන උන්නු අභි අමාරුවෙන් කට ඇරලා කිව්වා. ආන්යා අභි දිහා සරදම් ලීලාවෙන් බලලා තේ එකක් හදන්න ගත්තා ආයෙමත්. 'පිස්සු කොල්ලෙක්!'
"පුතේ ඔයා ඉන්න මා එක්කම ගෙදර යන්න පුලුවන් නේ" තේ බීලා ඉවර වෙද්දි තාත්තා ආන්යට කතා කරලා කිව්වා.
"ඉක්මණට යනවා නේද තාත්තේ? අයියා දැන් ඇවිල්ලත් ඇති සමහරවිට" ආන්යා කිව්වේ බිත්තියේ ගහලා තිබ්බ ඔරලෝසුව දිහා බලලා.
"අප්පච්චියේ...මට ඒක අමතකම වුණානේ. හරි හරි, මට තව විනාඩියක් දෙන්නකෝ"
තාත්තා මේසේ ලඟට දුවන ගමන් කිව්වා. තේ බීලා ඉවරවෙච්චගමන් අභි කොහාටදෝ අතුරුදහන් වෙලා. ආර්යන් තේ මේසෙම ඉඳගෙන තව මොනවදෝ වාර්තා වගයක් බලනවා. ආන්යා සුසුමක් හෙලලා එලියට එන්න ආවා. ඇගේ හිත තාමත් තිබ්බේ පොඩිත්තක් නොසන්සුන් වෙලා. හිතා පීර පීර ඒකට හේතුව හොයද්දි හිතේ කොනක ඉඳලා එබිකම් කරන්න ගත්තේ ආර්යන්. ඔහු එකපාරටම මේ තරම් තමන්ගේ හිත නොසන්සුන් කරන්නේ මොකද කියලා ආන්යා කල්පනා කලා. මීට කලින් හරියට දැකලත් නෑ, හරියට වචන දහයක් වත් කතා කරලත් නෑ, ඒත් ඔහු අහල පහලක ඉන්න වග දැනුනම පවා ඇගේ හිත හීනියට නොසන්සුන් වෙනවා නේද කියලා ආන්යා මතක් කලා. ආර්යන්ට තිබුණේ ඕනම කෙල්ලෙක්ගේ හිත සසලන විදියේ පෙනුමක් එක්කම හැසිරීමක් නේද කියල ඈට හිතුණා. ඒත් එහෙම ව්ච්චපලියට ආන්යා මේ හැඟිම් වලට ඉඩ දෙන්න ඕන නෑ කියලා ඇගේ හිතේ එක පැත්තක් කෑගහනවා ඈට දැනුනා. දැනෙමින් තිබුණ නොසන්සුන්තාවය යටපත් කර ගන්න ආන්යා උත්සාහ කලේ ඒකයි.
ඒත් ඉතින් එහෙම හිත එකලස් කරගෙන ඉන්න වුණේ තප්පර ගාණක් විතරයි. දොර ලඟ හිටගෙන උන්නු ආන්යා ලඟින් එලියට බැස්සේ ආර්යන්. ඔහු එන හඬ ඈට ඇහුණේ නැහැ. එලියේ තිබුණේ තරම වැහි අඳුරක් එක්ක පොද වැස්සක්. ඒ නිසාම එලියට බැස්ස ආර්යන් ආයෙමත් දොර අසලට ඇවිත් ගොඩනැගිල්ලේ වහල යටට වුණා.
"තාත්තා එනකල්ද ඉන්නේ?" ඔහු එතනට ඇවිදගෙන ආපු ඔහු එකපාරටම ආන්යාගෙන් ඇහුවාම ආන්යා ආයෙම ගැස්සුනා.
"ආ....ඔව්" ඇය කිව්වේ හෙමින්, ඔහු දිහා යන්තමට බලලා.
"ම්ම්..තේ එක හදලා දුන්නට තෑන්ක්ස් කරන්න බැරි වුණා නේ. තෑන්ක්ස් අ..ම්..තේ එකට" ඔහු නවත්ත නවත්ත කතා කලා.
ආන්යට ඔහු ගැන දැනෙන්න පටන් අරන් තිබ්බේ පුදුමයක්. වෙලාවකට පැත්තවත් බලන්නේ නෑ, තව වෙලාවකට හොඳට දන්නවා වගේ කතා කරනවා. ඔහුගේ මේ හැසිරීම ආන්යට ප්‍රෙහේලිකාවක් වුණා.
"ඒක සුලු දෙයක් නේ. තෑන්ක් කරන්න ඕන නෑ" ඈ කිව්වේ ඔහු දිහා විටින් විට ඇස් කොනකින් බලමින්. කොයි වෙලේ අර අරුම පුදුම ගොලු ආවේශය ඒවිද කියලා සැකෙන්.
"ඔයා මෙහෙම ඇවිත් මෙහේ වැඩ වලට උදව් කරනවටත් තෑන්ක්ස්. ඔයාගේ වෙලාව වියදම් කරගෙන, මහන්සි වෙලා...මේ එහෙම කරන අය හරි අඩුයි නේ" ආර්යන් හෙමිහිට නැවතිල්ලේ ආයෙම කියනවා.
"ඕක නම් මොකක්ද" ආන්යා කියලා දැම්මා. ඒ එක්කම ඈට මතක් වුණේ ආර්යන්ව වරදවලා තේරුම් අරගෙන කරපු හදිය. ඒකට සමාව ඉල්ලන්න ඈට ලොකු උවමනාවක් දැනුණා. සමහරවිට ආර්යන් වැඩිය මූණ නොදෙන්නේ ඒ නිසා ඇති වුණ ලැජ්ජාව නිස වෙන්නත් පුලුවන් කියලා ඈ හිතුවා.
"මිස්ට ආර්යන්..." ආන්යා කතාව පටන් ගත්ත විගසම් ආර්යන් ඈ  දිහා ඉක්මණින් බලලා ඒ ඉක්මණින්ම අහක බලා ගත්තා.
"මිස්ට කියන්න ඕන නෑ. නිකම් ආර්යන් කිව්වාම ඇති"
"මේ...අම්...මෙච්චර දවස් අපි ඇත්තටම හිතාගෙන හිටියේ අලුතින් ආපු ඇසිස්ටන්ට් මැනේජර් ඔයා කියලා. ඉතින්...ඒ නිසා මොනා හරි අපහසුතාවයක් වුණා නම් සොරි"ආන්යා අතේ තිබ්බ පෑන අඹර අඹර බිම බලාගෙන හෙමින් මිමිණුවා.
ආර්යන් ඒකට උත්තරයක් දෙන්න ටිකක් වෙලා ගද්දි නම් ඔහුට තරහ ගිහින්වත්දෝ කියලා ආන්යට පොඩි බයක් නොදැනුනාම නෙවෙයි.
"ඒක ඔයාගේ වැරැද්ද නෙවෙයි නේ. ඔයා මාවවත් අලුත් එස් ඩී වත් දන්නේ නෑනෙ. අභි තමා ඕකට වගකියන්න ඕන. ඔය ඉන්සිඩන්ට් එක වුණ දවසේ එයා ඇත්ත කිව්වේ නෑනෙ"
ඔහුගේ හඬේ නපුරු ගතියක් තිබ්බේ නෑ, ඔහු උන්නේ හිනා වෙමින්ද කියලත් ආන්යට හිතුණා. ඒත් ඔහු උන්නෙ අහක බලාගෙන නිසා ඒක ඈ හරියටම දැක්කේ නෑ. ආන්යට පුදුම නොවී ඉන්න බැරි වුණා. ඔහුට සිද්ධිය වෙච්ච දවසත් මතක තිබිලා. ආන්යට පොඩි හිනාවක් ගියා.
"ඒත් මම කැමතියි මම ඇත්තටම මේ වත්තේ එස් ඩී වුණා නම්" ඔහු කිව්වේ ආන්යා නොහිතපු වෙලාවක.
"ඇයි ඒ?" ඈ වැඩිය නොහිතම ඇහුවා.
"මම මෙහාට, මේ පරිසරයට, මේ සීතලට, මිනිස්සුන්ට කැමතියි" ඔහු උත්තර දුන්නා.
ඔහු කතා කරපු හැම වචනයක් පාසාම ආන්යා පුදුම වුණා විතරයි.
"ඉතින් මේ වත්ත ඔයාලගෙනේ. ඔයාලට ඕන දෙයක් කරන්න පුලුවන් නේ" ආන්යා කිව්වා.
ඒ වෙලාවේ ආර්යන් යන්තම් හිස හරවලා ඈ දිහා බැලුවා.
"ඕන දෙයක් කරන්න බෑ..." එහෙම කියපු ඔහු සුසුමක් හෙලලා ආයෙම අහක බලාගත්තා. ඒත් ආන්යා ඔහු දිහා බලාගත්වනම හිටියා.
"මට තේරෙන්නේ නෑ"
"මේකනේ, අපේ වැඩ ගොඩක් තියෙන්නේ කොළඹ. අපි ඉගෙන ගන්නේ එහේ. ෆැමිලි ඉන්නේ එහේ. ඒකයි"
ඔහු කිව්වේ එන්න එන්න ගනකම් වෙවී පැතිරෙන මිදුම දිහා බලාගෙන.
"පුතේ යමු..." තාත්තා කතා කරනකල්ම ආන්යා ඔහු එන වගත් දැක්කේ නෑ.ඔහුගේ හඬට ආර්යනුත් හැරිලා බැලුවා.
"අප්පච්චියේ ආර්යන් තාමත් මෙතනද? අභි ආවේ නෑ?"
ඔහුව දැකපු ආන්යාගේ තාත්තා ඇහුවේ එලියට බහින ගමන්.
"දැන් ඒවි. ඔයාලා යන්න මිස්ට වීරප්පෙරුම"
"කමක් නැද්ද? නැත්තම් මම ගිහින් දාන්නම් නාරදගේ දිහාවට"
"එපා එපා. අභි දැන් ඒවි නේ. ඔයාලා යන්න. නෝ වොරීස්"
ආන්යා තාත්තා පස්සෙන් එලියට එද්දි ඔවුන්ට වෙන් වුණ වාහනේ දොරකඩට ආවා. නගින්න කලින් ආන්යා හැරිලා ආර්යන් දිහා බලද්දි ඔහු උන්නෙත් ඈ දිහා බලාගෙනමයි.
"ගිහින් එන්නම්"
"ඕ කේ" ඔහු හිස වැනුවා.
"ආ...අමතක කරන්න එපා අනිද්දට එහෙම නම් තුන් දෙනාම එන්න ඕන. වයිෆ් සතියක ඉඳන් කෑම හදාගෙන ඉන්නේ" වාහනේට නැගපු තාත්තා ආයෙම හැරිලා ආර්යන්ට කිව්වා.
"ආ...හරි හරි. අපි එනවා" ආර්යන් හිනා වෙලා කිව්වා. හිනාවේ අන්තිම හරිය නතර වුණේ ආන්යා ලඟ. හිතට ආයෙමත් කිඳා බහින්න ගත්තු හැඟීම  බර හඟිමින් ආන්යා හෙමිහිට ඔහුට අතක් වැනුවේ පුරුද්දට වගේ. ආර්යන් අත වැනුවේ නෑ, ඒ වෙනුවට බිම බලාගත්තා විතරයි. ඔහු මහා පුදුම චරිතයක් කියලා ගෙදර එන අතරේ ආන්යා කල්පනා කලා. 

Saturday, January 14, 2012

හත්වන කොටස

හවස ආන්යා ෆැක්ට්‍රියට යන්න ලෑස්ති වෙද්දි අනුහස්  හැටන් යන්න ලෑස්ති වෙනවා. ඉරිදා එනවයි කියපු ගීතාන් හදිසියේම සෙනසුරාදා එන්න තීරණය කරලා තිබුණ නිසා ඔහුව එක්ක එන්න යන්නයි අනුහස් ලෑස්ති වෙමින් උන්නේ.
"පුතේ බයික් එකේ හයියෙන් යනවා එහෙම නෙවෙයි හොඳේ. මේ පාරවල් වල වංගුත් වැඩියි" අම්මා මගින් මගටම අනුහස්ට කිව්වා.
"අයියෝ හරි අම්මා, මම පුරුදු වෙන්න පදිනවා නෙවෙයි නේ. මේ ඔයා ෆැක්ට්‍රි යන්වා නම් එන්න මම ගිහින් දාගෙන යන්නම්" අනුහස් අන්තිමට ආන්යට කිව්වා.
"එහෙනම් අම්මා මම මේ එක්කම ගිහින් එන්නම්. තාත්තා මාව ගෙනැත් දාවි නේ"
 අම්මට සමු දීපු ආන්යා අනුහස් එක්ක ඇවිත් ෆැක්ටරිය ලඟින් බැහැගත්තා.
"පරිස්සමින් අනූ..." අනුහස් පිටත් වෙලා යද්දි ආන්යා මිමිනුවෑඅ පුරුද්දට වගේ.
"ආ...මේ පොඩි නෝනා නේ. කාලෙකින් දැක්කේ. කොහොමද ඉතින්?"
ආන්යා කන්තෝරුව ඇතුලට යද්දි දොර ලඟම කා එක්කදෝ කතා කරමින් උන්නු සීසී මහත්තයා වෙච්ච ගමගේ ඈට කතා කලා.
"හොඳින් ඉන්නවා අන්කල්. අන්කල්ට කොහොමද?"
"කියන්න වරදක් නෑ"
"කෝ තාත්තා ඇතුලෙද?" ආන්යා ඇහුවේ සීසී මහත්තයා ලඟ හිටගෙන උන්නු තරුණයා දිහාවත් ඇස් කොනකින් බලමින්.
"ආන් ඇතුලේ ඉන්නවා. පඩි පොත්ද කොහෙද බලනවා මහිතේ. යන්න යන්න" සීසී මහත්තයා ඈට කිව්වා.
ආන්යා ඇතුලට එන්න ආවා. කන්තෝරුවේ මේස ලඟ ඉඳගෙන උන්නු ලිපිකාරිනියෝ දෙන්නයි, වෙල්ෆෙයා ඔෆිසර් වුණා නාලිනීයි ඈ එක්ක සුහදව හිනා වුණා.
"කෝ දැන් පහුගිය දවස් තුනේ මස්ටර් ෂෙඩ් එකේ දලු මැනපු රිපොර්ට්? ඒවා එතන තිබිලා හරියන්නේ නෑනෙ. ඒවා අකවුන්ට් එකට දාන්න මෙතනට ඒ විස්තර ඇතුල් වෙලා තියෙන්න එපායැ. නැත්තම් කොහොමද මේක හදන්නේ? මිනිස්සුන්ට පඩිත් දීලා ඉවරයි නේ තාරකා..."
ආන්යා ඇතුලට යද්දි තාත්තා කන්තෝරුවේ ගිනුම් හදන තාරකාට දෝස්මුරයක් දානවා. ආන්යා දොරට තට්ටු කරලා දොර ඇරගෙන ඇතුලට ගියා.
"ආ...ඔයාද? එන්න එන්න. මෙන්න මේ තාරකා එක්ක පොඩ්ඩක් එකතු වෙලා මේ පොත් ටික බලන්න පුතේ. ද කොයි වෙලේක හරි අර මහත්තුරු ඒවි මේ පැත්තේ. පොත් බලන්න ඕන කිව්වොත් හෙම. මට දැන් වැඩ කෝටියයි. මේ නාරද කරන්න ඕන වැඩනේ මේ මම කරන්නේ"
"නාරද අයියට මක් වෙලාද තාත්තා?"
"මක් වෙලාවත් නෙවෙයි, අර අලුත් හාදයා පුරුදු වෙනකල් අනික් ඩිවිෂන් එකේ වැඩ බලන්න එයා එහේ ගිහින්. මට මේ ඩිවිෂන් පහේ මැනේජර්ලා එක්ක හවස මීටින් එකකුත් තියෙනවා"
තාත්තා කතා කරන ගමන් ලාච්චු ඇද ඇද මොනවදෝ හොයනවා. ඒ අස්සේ මේසේ පොත් එහා මෙහා කරනවා. තාත්තා උන්නේ කලබලේකින් කියලා තේරුණ නිසා ආන්යා ආයෙමත් මුකුත් අහන්න නොයා, පැත්තකට වෙලා බය වෙලා වගේ උන්නු තාරකා එක්ක එලියට එන්න ආවා.
ඕ ලෙවල් වලට කොමස් කරපු නිසාත්, ඉඳහිට තාත්තට මේ වගේ උදව කරන්න ඇවිත් තියෙන නිසාත් ආන්යටැ මේ ගිණුම් පොත් වැඩ ගැන පොඩි දැනීමක් තිබුණා. ඇය තාරකාගේ මේසේ ලඟින් වාඩි වෙලා, අයට උදව් කරන අතරේ මෙච්චර වෙලා වහින්න අර ඇදිමින් උන්නු අහසින් වැස්සක් කඩාපාත් වෙන්න පටන් ගත්තා.
"හප්පේ මුරුගසන් වරුසාවක් නේ වහින්නේ" සීසී මහත්තයා කියනවා ආන්යට ඇහුණා.
"මේ වගේ වහිද්දි දලු කඩන්න මිනිස්සුන්ට අමාරුයි. ඔක්කොමත් හරි වහිද්දි වතු අස්සේ ඉන්න කූඩල්ලෝ එක්ක තමා මොනවත් කරන්න බැරි. මේ බූට් එක දිගෙත් නැගලා උන් එනවනේ" අර නාඳුනන තරුණයාගේ හඬ ඊලඟට ආන්යට ඇහුණා.
"මිස්, මේ ගිය මාසේ අන්තිම සති දෙකේ විස්තරේ පොඩ්ඩක් කියවන්නකෝ" තාරකා ඇගේ අවධානය ආයෙමත් පොත් දිහාට යොමු කර ගත්තා.
 ඒ වැඩේ කරමින් තව පැයක් විතර ගත වෙන්න ඇති. මේ වෙද්දි වැස්සත් යාන්තම් තුරල් කරලා තිබුණා. වත්තේ උඩ පැත්තේ ඉඳලා කන්තෝරුව දිහාට ආපු වාහනයක් කන්තෝරුව ඉදිරියේ නවත්තද්දි ආන්යායි, තාරකායි දෙන්නම ඒ දිහා බැලුවේ එකටම වගේ. ඒ එක්කම කන්තෝරුව ඇතුලේ ඇති වුණේ නොසන්සුන්තාවයක්.
"මහත්තයා ඇවිත්..." කවුදෝ රහසින් කොඳුරනවා ආන්යට ඇහුණා. ඒ එක්කම වගේ කන්තෝරුව ඇතුලට ආවේ වෙන අභිමන්යු එක්ක ආර්යන්. කන්තෝරුවේ උන්නු හැමෝම හිට ගත්තු නිසා ආන්යත් ඉඳගෙන උන්නු පුතුවෙන් නැගිට්ටා. අභීයි, ආර්යනුයි දෙන්නම ආන්යව දැක්කේ එකටම වගේ. ඇය යන්තම් හිනා වෙලා බිම බලා ගත්තා.
"කෝ වීරේ මහත්තයා ඇතුලේද?"
එහෙම අහගෙන ආර්යන් ආන්යාගේ තාත්තා උන්නු කාමරේට ඇතුල් වුණා. අභි සහ අර අලුත් තරුණයා ඒ පස්සෙන්ම ඇතුල් වුණා.
"අපි වැඩ කරමු" කන්තෝරුව ආයෙම සාමන්‍ය තත්වෙට එද්දි ආන්යා තාරකාට කියලා ඉඳගන්න හැදුවා විතරයි, කන්තොරුවේ පියන්ගේ සිනුව වැදුණා. ඇසිල්ලකින් ආන්යාගේ තාත්තා උන්නු කාමරේට දුවපු පියන් එලියට ආවේ ආන්යට තාත්තා එන්න කියපු බව කියමින්.
ඇය තාත්තාගේ කාමරේට ඇතුල් වුණේ පොඩි චකිතෙකුත් එක්ක. ඈ යද්දි තරුණයෝ තුන් දෙනාම උන්නේ වාඩි වෙලා. ඒත් ඈ දැකපු ගමන් ඈට ඉඩ දෙන්න තුන් දෙනාම නැගිට්ටේ එකටම වගේ.
"නෑ, නෑ, මහත්තුරු ඉන්න, මිස් මේ පුටුව ගන්න" ආන්යට පුටුව ඇදලා දීපු අර නාඳුනන කෙනා කිව්වා.
"නෑ කමක් නෑ, ඉන්න" ආන්යාට ඉබේටම කියවුණා.
"ඔව් ඔව්, මං මේ අඳුන්වලා දෙන්නයි ටිකකට එන්න කිව්වේ, එන්නකෝ ආන්යා" තාත්තා කතා කලාම ආන්යා ඔහු ලඟට ගියෙත් චකිතයෙන්මයි.
"ආන්යා මේ ඉන්නේ අපේ අලුත් ඇසිස්ටන්ට් මැනේජර් මහත්තයා" තාත්තා කිව්වේ ආන්යට පුටුව දෙන්න හදපු කෙනා පෙන්නලා. ආන්යාගේ ඇස් උඩ ගියා මේ කතාව අහලා. එතකොට ආර්යන්?
"මේ තමා අර ආවයි කියපු අපේ මනි මහත්තයාගේ පුතාලා දෙන්නා. ආර්යන් මහත්තයයි, අභි මහත්තයයි. මේ මගේ එකම දුව ආන්යා"
තාත්තා එහෙම කිව්වාම ආන්යට තරු පෙනුනා.තමන්ගේ කන් පෙති දෙක රත් වීගෙන එනවා ඈට දැනුනා. ඒ එක්කම ලොකු ලැජ්ජාවකුත් දැනුනා. ඒ කියන්නේ මෙච්චර කල් ඇය ඇසිස්ටන්ට් මැනේජර් කියලා හිතාගෙන ඉඳලා තියෙන්නේ මනි මහත්තයාගේ පුතෙක්ව? හිතුවා විතරක් නම් මදෑ මූණටම කිව්වත් එක්කනේ. කර කියාගන්න දෙයක් නැතිව ආන්යා ලැජ්ජාවෙන් මිරිකෙමින් බිම බලාගෙන හිටියා. 'වස වැරැද්දක් නේ වෙලා තියේන්නේ'
"ඔව් ඔව්.අපට එක පාරක් හම්බුණා නේද අන්නා?" අභි කියන්වා ඈට ඇහුනා. "නයිස් මීටින්ග් යූ අගේඅන් ආන්යා"
ඔහු ආයෙම කිව්වාම ආන්යා යන්තම් හිස උස්සලා හිනා වෙන්න උත්සාහ කලා.
"හරි පුතේ එහෙනම් ඔයා යන්න. ගිහින් වැඩේ කරන්නකෝ"
තාත්තා එහෙම කිව්වාම ආන්යා පුලුවන් තරම් ඉක්මණින් කාමරෙන් පිට වෙලා එන්න ආවා. ඈ තාමත් උන්නේ ලැජ්ජාවෙන්, අපහසුතාවයෙන් මිරිකෙමින්. ආයෙමත් වැඩ පටන් ගන්න හිත එකලස් කර ගන්න ආන්යට හුඟ වෙලාවක් ගියා. 'ආර්යන්...ඇසිස්ටන්ට් මැනේජර්..ෂික් මෝඩි!' ඈ හිත යටින් තමන්ටම බැන ගත්තා. ඒත් ඉතින් දැන් මොනවා කරන්නද? වෙච්චි වැරැද්දට අච්චු ලැබේවා කියලා ඉන්නවා මිස?

Wednesday, January 11, 2012

හයවන කොටස

"දුව හවස වැඩක් නැත්තම් එන්නකෝ මගේ ඔෆිස් එක පැත්තේ. මේ මාසේ අන්තිමට දෙන්න තියෙන වැඩක් තියෙනවා මගේ පොත් වල කර ගන්න. අනුහස් වැඩකාරයා වුණාට ඔයාට වගේ පිළිවෙලකට වැඩක් කරන්න මිනිහට බෑ"
තාත්තා උදේ වැඩට යන්න ලෑස්ති වෙලා, ඔෆිස් බෑග් එක අරන් ආපු ආන්යට කිව්වා.
"ඒක නම් හොඳයි, ගෙදරට වෙලා පාලුයි කිය කිය මට වද දිදී ඉන්නවට වඩා" තාත්තා ලඟ උන්නු අම්මත් කිව්වා.
"මම එන්නම් තාත්තා" ආන්යා කිව්වා.
තාත්තා පිට වෙලා ගියාට පස්සේ අම්මා පෝටිකෝවේ තිබ්බ පුටුවකට බර වුණා.
"අනූ අද කීයට ඒවිද මන්දා. ඔය තරම් කුරුල්ලෝ ඉන්නවද මෙහේ හැමදාම බලන්න තරම්?" අම්මා අහනවා.
"ඉන්නේ නම් ටික දෙනයි, ඒත් ඉතින් එක එක ඉරියව්, හැසිරීම්, නාද රටා එහෙම බලන්න කියනවනේ ඔය යන්නේ" ආන්යා කිව්වේ ඈ අනුහස් ගැන දන්න නිසයි.
"ඒකට නම් මට කමක් නෑ. මේ හදිසියකට කඩේ යවා ගන්න ගෝපිවත් නැති එකයි මට තියෙන ප්‍රශ්ණේ. කොහෙද අනූ ආපු දා ඉඳලා වලිගේ වගේ ගෝපි එයා පස්සේ"
අම්මා ආයෙම කිව්වා.
"ඉතිං රාමන්ට කියන්නකෝ" ආන්යා කිව්වා.
"ඊයේ රෑ ඉස්ටෝරුව මුර කරලා ඇවිත් ඒ මිනිහා බුදි. පව් නේ නැගිට්ටවන්න ඕන නෑ කියලා හිතුණා. සෙල්ලම්මටත් ඔය වැඩ බෑ. රාධාවයි, කුට්ටිවයිවත් යවන්න බලන්න ඕන" අම්මා කිව්වා.
"මොනා ගේන්නද අම්මා?"
"ගෙදර සීනි ඉවර වෙලා. ලුණු කුඩු එකකුත් ගේන්න ඕන. මේ දවස් වල වැඩ වැඩි නිසා තාත්තට හැටන් යමු කියන්නත් බෑ හදිසියේ"
"චින්නා මුදලාලිගේ කඩේටද යන්න ඕන?"
ආන්යා ඇහුවේ වත්තෙම කඩයක් දාගෙන උන්නු කන්කානිගේ පුතාගේ කඩේ ගැන.
"ඔව්. එතන සාමාන්‍යයෙන් බඩු තියෙනවනේ"
"අනේ අම්මා මාත් යන්නද?" ආන්යා ඇහුවා.
වැස්ස නැති, හුලඟ සැර, සීතල අඩු මේ වගේ දවස් වල ඇවිදින්න යන්න ආන්යා කවදත් ආසා කලා. අම්මා ආන්යා දිහා බැලුවේ හිනා වෙලා.
"යන්න යන්න. ඔයා ඉතින් අනූට දෙවනි නෑනෙ"
ඉතින් ආන්යයි,  රාධායි කඩේ යන්න පිටත් වුණා. කුට්ටිව එක්ක යන්න හදද්දි සෙල්ලම්මා ඒකට අකමැති වුණේ තුන් දෙනෙක් ගමන් යන්න හොඳ නැති බව කියමින්. ඒකේ ඇත්ත නැත්ත ආන්යා දැනං හිටියේ නෑ.
"චින්නාගේ කඩේ මේ වෙලාවට වඩ තියෙනවා බේබි...රස ඒවා" රාධා කිව්වේ දෙන්න මගට බහිද්දි.
"අපි කමු" ආන්යා කිව්වේ ආසාවෙන්.
පාර දිගේ හෙමිහිට පල්ලම් බහිද්දි වංගුවක් ගිය තැන තියෙන්නේ වත්තේ අය නාන තොටක්. තේ වත්ත ඇතුලට පඩි පෙලකින් බැහැලා ගියාම මේ නාන පීල්ල තිබුණා. තාත්තට හොරෙන් ආන්යත් දවසක් දෙකක් රාධා එක්ක මේ පීල්ලට නාන්න ඇවිත් තිබුණා. දෙන්නත් එක්ක හෙමිහිට පල්ලම් බහිද්දි ඈත තියාම ආන්යා දැක්කා එතන බයිසිකලයක් නවත්තගෙන කවුදෝ රෙදි පොට්ටනියක් අදිමින් ඉන්නවා.
"අර කවුද රාධෝ? නාරද මහත්තයාද? ඒත් මේ වෙලාවේ?"
"ම්ම්...අනේ මන්දා. යද්දි පෙනෙයි නේ"
කිව්වත් වගේ ටිකක් ලං වෙද්දියි ආන්යා ඒ කවුද කියලා හරියටම ඇඳින්නේ. අලුත් මැනේජර්. යතුරු පැඩිය උඩ රෙදි ගොනක් තියාගෙන ඔහු මොනවදෝ හොයන්වා. ආන්යට පොඩි හිනාවක් ගියෙත් ඇගේ පයට පොඩි, තද යමක් පෑගුනෙත් එකවිටම වගේ. ඈට බිම බැලුනේ ඉබේටම. පෑගිලා තිබුණේ යතුරු පැදියක යතුරක්. 'එතකොට අර මැනේජර් පණ කඩාගෙන හොයන්නේ මේක වත්ද?' ආන්යා නැවිලා යතුර අතට ගන්න ගමන් හිතුවා.
"බේබි, අර අලුත් සින්න දොරේ නේද?" රාධා ඇහුවේ හෙමින්.
"හ්ම්..යමුකෝ"
ආන්යලා ඔහු අසලට ලංවෙද්දි ඔහු ඔවුන් දිහා බලන්නෙවත් නැතිව තමන්ගේ වැඩේ කරමින්ම හිටියා.'අපි අල්ල ගනී කියලා වෙන්න ඇති නොබලන්නේ' ආන්යා ඔහුට හිතින් අවලාද කිව්වා. යතුර නොදී ඉන්න එක වෙලාවක හිතුණත් එහෙම කරන එක හරි නෑ කියලා ඈට ආයෙම හිතුණා.
"මේ...එක්ස්කියුස් මී.."හිතට ආපු නුරුස්නා ගතිය මැඩගෙන ආන්යා ඔහුව ඇමතුවා.
ඊලඟ මොහෙතේ වුණේ ආන්යා නොහිතපු දෙයක්. ඔහු ආන්යා දිහා එක එල්ලේම බලද්දි දෙන්නගෙම ඇස් නිමේෂයකට එකට පැටලුණා. ඒ නිමේෂය තප්පරෙන් දහයෙන් එකක් තරම් වුණත්, ඔහුගේ බැල්ම තමන්ගේ උණුසුම් හදවත පසාරු කරගෙන, අයිස් දහරාවක් වගේ, හිතේ පතුලටම කිඳා බහිනවා ආන්යට දැනුනා. ඒ ඇස් නිදිබරයි, තද දුඹුරු ඉංගිරියාව සැලෙනවා හෙමිහිට.  ඒ හැමදේටම වඩා ඒ ඇස් පුදුමාකාර තරම් දොඩමලුයි..ඊලඟ මොහොතේ දෙන්නම ඉක්මණට අහක බලාගත්තා.
"මේ...මේ යතුර ඔයාගෙද?" ආන්යා ඇහුවේ තතනමින්.
ඔහු යතුර දිහා බැලුවා.
"ඔහ්...අනේ...ඔව් ඔව්. මම මේ එක තමා හොය හොය හිටියේ. තෑන්ක් යු...මේක කොහේ තිබිලද හම්බවුණේ" ඔහු කතා කල ඈ දිහා නොබලම. ආන්යගේ හිත තව ටිකක් සැලුණා.
"අතන පාරේ වැටිලයි තිබුණේ" ආන්යා උත්තර දුන්නා.
"ගොඩක් තෑන්ක්ස්" ඔහු ආයෙම ඈ දිහා බලලා කිව්වේ යතුර අතටගන්න ගමන්.
"යූ ආ වෙල්කම්..." ආන්යා කිව්වා.
ඊට පස්සේ ඇති වුණේ ටිකක් දිග නිහඬතාවයක්.
"අ...අම්...එහෙනම් අපි යන්නම්" ආන්යා ඔහුට කලින් වචන ගැට ගහගත්තා.
"හොඳයි...මමත් මේ ආපහු බංගලාවට යන්න හදන්නේ" ඔහු උන්නෙත් කලබල වෙලා වගේ.
"අපි ගිහින් එන්නම් මැනේජර් මහත්තයා" ආන්යා ඔහුට සමු දීලා එන්න ආවා.
"ආ...මේ..." ඔහු ආයෙම තතනද්දි ආන්යා හැරිලා බැලුවා.
"ඔයාගේ නම?"
"මම ආන්යා..."
"ඕකේ, තෑන්ක්ස් අගේන් ආන්යා. ගිහින් එන්න"
ආන්යා ඔහුට පිටු පාලා එන්න ආවා. අගේ හිත පොඩිත්තක් විතර නොසන්සුන් වෙලාද?
"නියම සින්න දොරේ...දහයට තමා නානවා...මේම ගියොත් වෙඩිකල් වත්තේ ඉන්නවා බොරු..." රාධා පස්ස හැරි හැරී බලමින් හිනා වෙවී කිව්වා.
ආන්යගේ හිතට එක පාරටම ආවේ පොඩි ලෝබකමක්. ආන්යා ආපහු හැරිලා බලද්දි ඔහුත් එවෙලෙම හිස හරවලා ඔවුන් යන දිහා බලා උන්නා. ඇය ආයෙමත් ඉක්මණට ඉස්සරහ බලා ගත්තා.
"පව්...මොනවත් දන්නේ නැති කෙනෙක් වෙන්න ඇති" ආන්යා කිව්වා.
"ම්ම්...අපිව දැකලා උඩ ගියා වගේ වුණා..." රාධා තාමත් හිනා වෙනවා.
"වැඩිය සමාජ ආශ්‍රයක් නැති පාටයි" ආන්යා කිව්වා.
"කෙල්ලොන්ට බයයිද කොහෙද" රාධා කිව්වා. ඒ පාර නම් ආන්යටත් හිනා ගියා.
"අනේ මන්දා රාධෝ"

Wednesday, January 4, 2012

පස්වන කොටස

"අර ආපු මහත්තුරු දෙන්නා ටික දවසක් ඉඳී වගේ කියලා තාත්තා කියන්නේ" සාලෙට වෙලා ආන්යාගේ හිස පීරමින් උන්නු අම්මා කිව්වාම ගෝපි එක්ක කැරම් සෙල්ලම් කරමින් උන්නු අනුහස් යන්ත්ම් හිස උස්සලා බැලුවා.
"අහන්නකෝ අම්මා, අපි එක දවසක් ආනන්ද් මහත්තයාගේ පුතාවයි, අලුත් මැනේජර්වයි දැක්කනේ"
ආන්යා කිව්වා.
"ඇත්තට, ඒ කොයි වෙලේද?" අම්මා ඇහුවා.
"අපි අර දවසක් උදේ අනූලා හොයන්න ගිය වෙලාවේ"
"අපිට එදා පුතාලා දෙන්නම හම්බුණා" අනුහස් කැරම් ඉත්තෙක්ට මාන බලමින් කිව්වා.
"කොහෙදිද?" ආන්යා ඇහුවා.
"ෆැක්ට්‍රි එක ලඟදි"
"අප්පා...ඒ දොරේ ලා දෙන්නා නියම හීරෝලා වගේ තමා"
ගෝපිත් කතාවට එකතු වුණා.
"රජිනි වගේ?" ආන්යා ඇහුවා.
"නෑ. නෑ බේබි..."
"මම හිතුවා ආනන්ද් මහත්තයාගේ පුතාල කියද්දි නිකම් සරත් කුමාර් වගේ උඩු රැවුලක් වවලා, වේට්ටි ඇඳලා ඇති කියලා. බලද්දි මේ ඩෙනිම් ටී ෂර්ට් ගහන හැන්ඩි කොල්ලෝ දෙන්නෙක් නේ" අනුහස් කිව්වා ආයෙමත්.
අම්මා හිනා වුණා.
"පුතාලා නම් හොඳ ඇති, ඒත් අර අලුත් මැනේජර් නම් අන්තිමයි. මනුස්සයෙක්ගේ මූණ බලලා කතා කරන්න වත් දන්න්නේ නෑ. කතා කරොත් අපි ගිලියි කියලා වෙන්න ඇති" ආන්යා කිව්වේ අමනාපෙන්මයි.
"ඔයා මොකටද එයාගේ වග බලන්න ගියේ? තාත්ත එහෙම දන්නවනම් බැනුම් අහන්න වෙයි" අම්මා කිව්වා.
"ඒකනේ" අනුහස් උඩගෙඩි දෙනවා.
"මම කතා කරන්න ගිය එකක් නෑ. දැක්ක දේ තමා මම කිව්වේ"
අම්මා සුස්මක් හෙලලා ආන්යාගෙ හිස මත අතක් තියාගෙනම කල්පනාවට වැටුණා.
"ඒ අයට කෑමක් දෙන්නත් ඕන කියලා තාත්තා කිව්වා"
"ඔව් ඔව්. බොස්ව ෂේප් කරලා තියා ගන්නත් එපායැ" අනුහස් කිව්වා. "අයියෝ..." ඊලඟට ඔහු ඔලුවේ අත ගහගත්තා.
"මොකෝ?"
"ආයෙම මේකා දිනුම් නේ.."
ආන්යා බලද්දි ගෝපි නැගිටලා පොඩි කාවඩි නැටුමක් නටනවා අද සිංහල සිංදුවක් කිය කිය.
"ජෙය අපටයි ලංකාවේ...ජෙය අපටයි ලංකාවේ..."

හවස ආයෙමත් වැස්සක් පටන් අරගෙන. ආන්යා ජර්සියක් දාගෙන කුස්සිය දිහාවට යද්දි අනුහස් එක්ක ගෝපි චිත්‍රපටියක් නරඹනවා සාලේ. ඒත් ඉතින් නරඹනවා කිව්වට අනුහස්ට නම් පුටුවේ නින්ද ගිහින්. ආන්යාගේ තාත්තා නැති වෙලාවට විතරයි ගෝපි මේ වගේ ගේ ඇතුලට ආවේ. තාත්තා ඉන්දැද්දි නම් ගෝපි පැත්ත පලාතකවත් හිටියේ නෑ. ආන්යාට හිනාවක් ගියා.
"ගෙදර කවුද?"
ආන්යා කුස්සියේ දොරකඩට යද්දිම වගේ ඉස්සරහින් කවුදෝ කතා කලා. ඒ හඬට හැරිලා බලපු ගෝපි ඈව දැක්කා.
"බලන්න ගෝපි කවුද කියලා" ආන්යා එතනම ඉඳගෙන කිව්වා.
"අප්පා...නාරද මාතියා"
එලියට හිස දාපු සැනින් අරගත්තු ගෝපි ආන්යට හඬ නොනගා කිව්වා.
"අනූව නැගිට්ටවන්න මම කතා කරන්නම් එතකල්"
ආන්යා ගෝපිට කියලා පෝටිකෝව දිහාට ගියා.
ඇය යද්දි ඉස්සරහා මිදුලේ නවත්තලා තිබුණ ජීප් එකෙන් එලියට හිස දාගෙන උන්නු නාරද ඇයට සුහද සිනාවක් පෑවා. නාරද ආන්යට වඩා අවුරුදු පහක් හයක් විතර වැඩිමල්, උස මහත, හිසකේ මුලුමණින්ම වගේ බූ ගාපු, බොක්සිං ක්‍රීඩකයෙක්ගේපෙනුම තිබ්බ තරුණයෙක්. පෙනුම ටිකක් විතර නපුරු වුණත් නාරද හිත හොඳ කෙනෙක් වග ආන්යා දැනගෙන හිටියා.
"ආ...මේ නාරද අයියා නේ. එන්න අයියා ගෙට" ඇයත් සුහදව සිනා වෙලා ඔහුට ගෙට ආරාධනා කලා.
මුරුගසන් වැස්සේ තෙමීගෙනම නාරද අඩියට දෙකට ගෙදර පඩිය උඩට පැන ගත්තා.
"දෙන්නම ආවා කියලා ආරංචි වුණා. ඒත් ඉතිං මේ වැඩ අස්සේ එන්නේ කොහොමද? කෑමට ගෙදර ආවේ දැන්. අලුත් මෑන් කෙනෙක් ආවා නේ. එයාට ඔරියෙන්ටේෂන් දෙන්න වුණා. අවුරුද්ද අන්තිම නිසා මේ දවස් වල යමරෙට වැඩ. ඉතිං කොහොමද? කෝ අනුහස් එහෙම? එදා බංගලාවට ඇවිත් දෙන්නා එක්ක සෙල්ලම් කලා කියලා අභි මට කිව්වා"
ඇඳුම් වලින් වතුර පිහින ගමන් නාරද කතාව පටන් ගත්තා.
"මේ ඉන්නවා...පොඩ්ඩක් නින්ද ගියා අයියා. ඉතිං කොහොමද විස්තර?" අනුහස් මෙවෙලෙම වගේ සාලෙට ආවා.
"වැඩි විස්තර නෑ කොල්ලෝ. පුරුදු විදියට ඉන්නවා. ඔයාලගෙනේ විස්තර තියෙන්නේ. කොහොමද කැම්පස් ජීවිතේ?"
පෝටිකෝවේම තිබ්බ පුටු දෙකකට බර වෙච්ච දෙන්න කතාව පටන් ගත්තා. ආන්යා ගේ ඇතුලට එන්න ආවේ අම්මට කතා කරන්න.
"අම්මේ...අම්මේ...අන්න නාරද අයියා ඇවිත්"
ආන්යා යද්දි අම්මට ඇඳේ නින්ද ගිහින්.
"ආ...මොකක්ද? ආ...ඔයාද? මොකක්ද කිව්වේ නාරද ආවා?"
"ඔව් ඔව්. අන්න සාලේ අනූ එක්ක කතා කර කර ඉන්නවා"
අම්මා ඇඳෙන් නැගිටල, හිස ටිකක් පීර ගත්තා.
"නින්ද ගියා ලමයෝ. හොඳ වැස්ස නේ. පුතේ, ඔයා කුස්සියට ගිහින් සෙල්ලම්මාට හරි රාධාට හරි කියන්න තේ මේසේ ළෑස්ති කරන්න කියලා. අපිත් දැන් තේ බොන වෙලාවනේ"
අම්මා එහෙම කියාගෙන කාමරෙන් පිට වුණා. ආන්යා කුස්සිය දිහාට ගියා.
"මේ දැන් කෑම කාලා මිසිස් වීරප්පෙරුම ආවේ. දැන් ආයේ තේ හදන්න කරදර වෙන්න-"
"කමක් නෑ එහෙම නම් කෝපි එකක් වත් බොමු. මම ලෑස්ති කරන්නත් කිව්වා"
ආන්යා කුස්සියට පණිවිඩේ කියලා ඉස්සරහට යද්දි අම්මා නාරදට තේ බොන්න කතා කරනවා.ආන්යා දොරකඩ හිටගත්තම නාරද ඈ දිහා බැලුවා.
"කොහොමද නංඟි? කොහොමද කැම්පස් එකේ තොරතුරු?"
ආන්යා බිම බලාගෙන හිනා වුණා.
"හොඳයි"
"හොඳට රැග් වෙලා ඉන්නේ" අනුහස් කිව්වා.
"රැග් එකත් කෑවද?" නාරද ඇහුවේ පුදුමෙන් වගේ.
"අනේ මේ අනූ කටවහගෙන ඉන්නවද? රැග් එක ඒ තරම් දෙයක් නෙවෙයි අයියේ. මේ අලයෝ ඒවා දන්නවයැ"ආන්යා කිව්වේ මවා ගත්තු අමනාපෙකින්.
ආන්යාට රැග් වෙන්න සිද්ධ වුණත් අනුහස් රැග් නොවි ඉන්න තීරණය කරලා තිබුණා. ඒත් ආන්යලගේ පීඨේ කාටවත් අල වෙන්න ඉඩ දුන්නේ නෑ.
"දැන් නම් වීරයා වෙලා. ඒ දවස් වල පණ බයේ පාරේ යන්නෙත්. මා එක්ක වත් කතා කරන්නේ නෑ" අනුහස් හදන්නේ ආන්යව අවුස්සන්න.
"රැග් එක ගැන් විස්තර මට නම් කිව්වේ නෑ" අම්ම ආන්යා දිහා බලලා කිව්වා.
"අනේ අම්මා දැන් ඒක ඉවරයි නේ. තවත් මොනාටද ඔය ගැන කතා කරන්නේ?"
"හරි හරි ඔය කතාව නවත්තමුකෝ. දැන් යමු තේ ටිකක් බොන්න" අම්මා එහෙම කියාගෙන නැගිට්ටා.
තේ මේසෙදි නාරද වදෙන් පොරෙන් වගේ කෝපි එකක් බිව්වා.

"ආර ආවයි කියපු මහත්තයලා දෙන්න කොහෙද, අද බංගලාවෙද?" අම්මා නාරදගෙන් ඇහුවේ ආන්යට තේ එකක් දෙන ගමන්.
"අද ගියා ඔන්න තලවකැලේ අර දිය ඇලි බලන්න යනවා කියලා. එද්දි රෑ වෙයිද දන්නේ නෑ. මටත් එන්න කිව්වා, ඒත් මේ වැඩ දාලා කොහේ යන්නද?" නාරද උත්තර දුන්නා.
"නාරදගේ ස්කූල් මේට්ලු නේද ලොකු ළමයා" අම්මා ආයෙම ඇහුවා.
"ඔව් ඔව්. අපි ඒ ලෙවල් ක්ලාස් එකේ එකට හිටියා. ඒකනේ මේ මාවම හොයාගෙන ඇවිත් අපේ බංගලාවේ ඉන්නේ"
අම්මා හිනා වුණා.
"වෙලාවක් කියලා එවන්නම්කෝ මහත්තයා අතේ, තුන් දෙනාම එන්න කෑමකට අපේ ගෙදර.අප්පු උයන ඒවම කාල එපා වෙලත් ඇති"
"වෙලාවකට නම් හිතෙනවා වලලු දාපු අතකින් උයපු කෑමක් කන්න තියේ නම් හොඳයි කියලත්. එනිවේ තෑන්ක්යූ මිසිස් වීරප්පෙරුම මම අභිලටත් කියන්නම්"
"අප්පුට වලල්ලක් දාගෙන උයන්න කිව්ව නම් හරිනේ අයියා" අනුහස් ඉතින් කිව්වොත් ඔහොම කතාවක් තමා.
නාරදයි, අම්මායි දෙන්නම් හිනා වුණා.
"දැන් ඉතින් තවත් බල බල ඉන්නේ නැතිව පෙලවහක් කර ගත්තා නම් ඔය ප්‍රශ්ණ මොනවත් නෑනෙ" අම්මා කිව්වා.
"අම්මා හදන්නේ මේ හොඳට ඉන්න කොල්ලව අමාරුවේ දාන්නද?" අනුහස් අහනවා.
අම්මා අනුහස් දිහා රවලා බලලා ආයෙමත් නාරද දිහාට හැරුණා.
"ඕන වුණාටම බෑනෙ මිසිස් වීරප්පෙරුම, කෙනෙක් ඉන්නත් එපැයි" එහෙම කියලා නාරද යන්තමට ආන්යා දිහාත් බැලුවා.
ආන්යා අපහසුවෙන් වගේ අහක බලා ගත්තා.
"ඔහොම යද්දි හම්බවෙයි. ඒක නෙවෙයි, කොහොමද අම්මලා එහෙම, හොඳින් ඉන්නවද?"
අම්මා ඒ පාර වෙනත් කතාවක් පටන් ගත්තා. නාරදගේ අම්මයි, ආන්යගේ අම්මයි කාලෙක ඉඳන් දන්න නිසා හොඳ යාලුයි. කොහොමින් හරි තව පැය බාගයක් විතර ගියාට පස්සේ නාරද යන්න නැගිට්ටා.
"එහෙනම් මම ගිහින් එන්නම්. ආයේ වෙලාවක එන්නම්කෝ"
නාරද එලියට බහිද්දි වැස්ස නැවතිලා.
"ඇති යාන්තම් වැස්ස නෑ, අම්මා මම ගෝපි එක්ක සයිකලේ පැදලා එන්නම් වටයක් ඈ?"
අනුහස් ගෙයි පිටිපස්ස දිහාට ඇදුනා.
"රෑ වෙන්න කලින් එන්න ඕනා" අම්මා ගෙට ගියේ එහෙම කියාගෙන.
ආන්යා මිදුලේ මොහොතකට තනි වුණා. ඈත මීදුමින් වැහිච්ච කඳු පෙල යාන්තම් පැහැදිලි වීගෙන එන හැටි ආන්යා දැක්කා. ඒ එක්කම් ආඅපු සීතල සුලං රැල්ලක් ඇගේ මූණේ වදිද්දි ඈ වෙව්ලුවා. ඒ එක්කම පහල වංගුවෙන් නාරදගේ ජීප් එක නොපෙනී යන හැටි ඈ බලාගෙන උන්නේ හැඟීමකින් තොරව.